බයියාගේ ඉරණම

මගේ මිත්‍රයෙක් ඉන්නව. මිනිහගේ දෙමව්පියන් රාජපක්ෂ දේශපාලන බල කඳවුරේ ප්‍රාදේශීය මට්ටමින් වගේ යම් බලයක් හිමි දෙන්නෙක්. මිනිහ එක්ක දේශපාලනය කතා කරද්දි කියන්නෙ මෙහෙම දෙයක්. ‘මං දන්නව ඔය මොකා ආවත් රට හදන්නෙ නැහැ කියල. හොරකම් කරනව කියල. ඒ නිසා මම රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉඳල පුළුවන් වැඩක් කරගන්නව. මගේ හොඳට. මං දන්නව උන් රට කන බවත්. සූරා කන බවත්. ඒත් මට ඒකට කරන්න දෙයක් නෑ. මං මං ගැන බලාගන්න ඕනනෙ’. ඕකයි අදහස.

ළඟදි මෑන්ව හම්බුනා. මෑන් කෙල්ල එක්ක කොළඹ ආපු වෙලාවක. කතාබහ කලාම කියනවා ‘රට යන අත ශුවර් නෑ. ඒ නිසා මේ රටේ දරුවෙක් මල්ලෙක් හදාගෙන ඉන්න සේෆ් නැහැ. කවද බංකොලොත් වෙයිද දන්නෙ නැහැනෙ. අපි මේ කැනඩා යන්න ට්‍රයි එක, ඒ විස්තර බලන්න පොරක් හම්බෙන්න ආවෙ’ කියල. දැන් යාලුවගේ බලාපොරොත්තුව ලබන ජනවාරි වෙද්දි කැනඩා යන්න කෙල්ලව බැඳල.

මම තේරුම් අරගෙන ඉන්න විදියට මේකමයි අපේ සාමාන්‍යය ශ්‍රීලාන්කිකයාගේ දැක්ම. මීට කලිනුත් කීපවතාවක්ම කියල තියෙනව වගේ ලංකාවෙ මිනිස්සුන්ට තියෙන අවුල දේශපාලකයො රට කොල්ලකන එක නෙමේ, ඒ කොල්ලකන කුට්ටියෙන් තමන්ට කොටසක් නොලැබීම/ලැබෙන කොටස මදි වීම කියල.

රටට ආදරේ කියල (රටට ආදරේ කියන සංකල්පයම අපේ රට ඇතුලෙ විකාරයක්) උදේ හවහ කිය කිය රටක මිනිස්සු එකතු වෙලා ඒ රට කොල්ලකනව. තනතුරු පට්ටම් බාල මහලු බේදයක් නැතුව හැකි හැම කෙනාම තමන්ට පුලුවන් උපරිමයෙන් රටක් හූරාකනව. කොල්ලකාලා කොල්ලකාලා රට විනාස වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගිලෙන නැවෙන් මුලින්ම එලියට යන මීයො රැළ වගේ දියුණු රටවල් වලට පැනගන්න බලනව.

තමන්ගේ ජීවිතයේ අනාගතය ගැන තීරණයක් අරගෙන විදෙස් ගත වෙන එකේ කිසිම ආකාරයක වැරැද්දක් නැහැ. ඒක වැරදියි කියල මම කොහෙත්ම කියන්නෙ නැහැ. ඒත් ඒකෙයි, තමන් ඉපදුන රටේ ජීවත් වෙලා ඉන්නකල් මේ රට කොල්ල කාලා කාලා, තමන්ට ඒ විදියට රට කොල්ලකන්න උදව් කරන විදියේ පාලකයන්ට ඒ පාලකයන්ගේ අනිත් සියලුම වැරදි නොසලකා හැරල ඡන්දෙ දාලා කැම්පේන් කරලා උන්දැලව බලයට ගේන්න වැඩ කරලා, හැකි තරම් කාලයක් ඒ අයථා විදියට ලබා ගත් දේවල් භුක්ති විඳල, අන්තිමට ඒ දේවල් නිසාම තමා උපන් රට හතරගාතෙ වැටිලා පණ අදින තත්වෙට පත් වුනාම ඔක්කොටම කලින් රට පැනගන්න එක.. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් අර කලින් කිව්ව තීරණයට වඩා.

උපන් දවසෙ ඉඳල සමාජයක් වශයෙන් ඉන් තමාට ලැබෙන ප්‍රතිලාභ ඔක්කොම පිශාචයො වගේ උරා බොන අතරේ අයථා විදියට මහජන සම්පත් කොල්ලකෑමට උල්පන්දන් දෙමින්, තමාගේම සහෘද මනුශ්‍යයන්ගේ ජීවන තත්වයත්, උපදින්න නියමිත පරපුරේ අනාගත යහපැවැත්මත් දරුණු අර්බුදයකට ලක් කරල දැන් රට පනින්න හදන මිනිස්සු මිනිස්සුද? තමාගේ සහෘද ජනතාවගේ යහපැවැත්ම ගැන වගේ වගක් නැතුව තමන්ගේ සැපම සතුටම මුල් කරගෙන වැඩ කරන මිනිස්සු මිනිස්සුද?

මට හිතෙනව මේ දැක්ම ආකෘතියෙන් සමාන වෙන්නෙ සයිකොපැතික් කියල මානසික විද්‍යාවේ හඳුන්වන තත්වයට කියල. අනෙක් මනුශ්‍යයා ගෙවන ජීවිත වල ස්වභාවය ගැන දශමයක සහකම්පනයක් දක්වන්නේ නැතුව තමාගේම ලෞකික සුභසිද්ධිය ඉලක්ක කරගෙන ඒ ජයග්‍රහණ කරා යන මාවතේදී ඒකෙ ප්‍රතිඵල විදියට අනෙක් ජීවිත වලට ඇතිවන ඕනම ආකාරයක විනාසයක් ඇඟට වහන මැස්සෙක් තරම් වත් ගනන් නොගෙන ආත්මාර්ථකාමීත්වයෙන් මත් වුන පුද්ගල මනසක් ආකෘතියෙන් සයිකොපැත් කෙනෙකුට සමාන කරන්න එච්චර අමාරු නැහැ.

මේ දැක්ම තියෙන අය පවුල සහ නෑදෑයන් වගේ අවකාශ වල බැලූ බැල්මට සාමාන්‍යය විදියට පේන ජීවිත ගත කරමින් පිං දහම් කරගෙන කාලය ගෙවනව වුනාට සමාජීය අර්ථයෙන්, ඒ කියන්නේ පුරවැසි භූමිකාව සලකපුවම මේ රටේ 99% කටත් වඩා ඉන්නේ සයිකොපැත්ලා විදියට ලෝකය දිහා බලන ඉතාම කෙටිකාලීන වාසි උදෙසා සමස්ථ ජනසමාජයක අනාගතයක් වලපල්ලට දාන්න සූදානම් මිනිස්සු.

ඉතින් මෙච්චර කල් සිද්ධ වුන දේවල්, මේ වෙන දේවල් සහ වෙන්න නියමිත දේවල් ඒ විදියට සිද්ධ නොවී වෙන කොහොම නම් වෙන්නද?

මේ ගැන කතා කරද්දි තව සිදුවීමක් මතක් වෙනව.

මම හැමදාම කියන දෙයක් තමයි මේ වගේ වර්තමානයක් අපට උරුම කරදුන්නු අපේ රටේ වැඩිහිටි පරපුර කියන කොටසට දිය යුතු උපරිම ගරුත්වය තමයි නෑදෑ හමුවල්, සාද, මගුල් ගෙවල් මරණ ගෙවල් වලදී ඒ වැඩිහිටියන් විසින් තමන් සියල්ල දත් බක පඬියන් බව තරුණ සහ බාල පරපුරට ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් දෙසා බාන බහුබූත විකාර කතා නිහඬව උපේක්ෂා සහගතව අහන් ඉන්න එකය කියලත්, සාමාන්‍යය මනුස්සයෙක්ට ලබා දෙන ගරුත්වයෙන් එහාට දෙයක් ලැබිය යුතු විදියට පරපුරක් වශයෙන් ඔවුන් මෙතෙක් කල් කටයුතු කරල නැති බවත්.

ඒත් මගේ ඒ ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රවේශයක් මීට දින කීපයකට කලින් එක මොහොතක මම අනුගමනය කලා. බැරිම තැන.

මේ තවත් අත්දැකීමක්.

ජනාධිපතිවරණයට කලින් දැඩිව ජාතිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කල, වඳ පෙති, වඳ කොත්තු, සාෆි, විනය, සුදු වෑන්, මිලිටරි.. අමුතුවෙන් කියන්න ඕන නෑ මේ සටහන කියවන ඔබ දන්නවනෙ පැකේජ් එක. ඒ විදියට දැඩි ආත්මවිශ්වාසයෙන් කතා කරන අතරේ, ඒ අදහස් වලට එකම එක වචනෙකින් හරි විරුද්ධ වුනු මම වගේ මිනිස්සුන්ව අන්ත මෝ-ඩ-යො දේශද්‍රෝහියො ගානට දාලා කතා කරපු බයියෙක් සහ බයියාවියක් මුණ ගැහෙන්න සිද්ධවුනා මීට දින කිහිපයකට කලින්.

මුලින් මුලින් සුහද කතා ඉවර වෙලා සුපුරුදු පරිදි රටේ තොටේ සිද්ධ වෙන දේ ගැන කතාබහට මාරු වෙනකොට, මම දැක්කා කවදාවත් නැතුව මේ ඩබල ඕපාදූපම කතා කරන්න පෙළඹෙන බව. හරියට අවුරුදු ගාණක් පුරා බාරගෙන තිබුනු රට හැදීමේ වැඩපිළිවෙල අත ඇරල වගේ. ඒත් අන්තිමේදී ඔවුන් දෙදෙනාත් එතන හිටිය අනෙක් අය සහ මමත් පවතින දේශපාලන තත්වය ගැන සිදුවුනු කතාබහ අවසන් වුනේ අන්තිමට අර මනුස්සයෝ ගැන මා සිතේ ලොකු අනුකම්පාවක් හිතිලා.

මේ තරම් අසරණ වීමක්? එක වචනයක් කියාගන්න බැරි තරමට! එදා වෙව්ල වෙව්ල උස් හඬින් දැඩි ආත්ම විශ්වාසයෙන් ඇස් බබළවමින් කතා කරපු ඒ හඬවල් අද පුංචි බලු කුක්කන්ගේ කෙඳිරිලි වලටත් වඩා දුර්වල වෙලා.

ඇත්තටම පව්.

මම එහෙම පව් කියන්නේ මේ නිසයි. එවෙලෙ මට මතක් වුනා කොහේදෝ පොතක මම කියවල ඔලුවෙ රැඳුනු අදහසක්.

“කෙනෙක් මෝ-ඩ-යෙ-ක් වෙන්න වෙන්න ඔහුගේ ලෝකය පැහැදිලියි. ඔහුගේ ලෝකය සරලයි. මෝ-ඩ-ක-ම සිද්ධ වෙන්නේ එළිපිටයි. මෝ-ඩ-ක-ම සංකීර්ණ නැහැ. ඒ ඔක්කොටමත් වඩා මෝ-ඩ-ක-ම අවංකයි. මෝ-ඩ-යා අවංකව එළිපිට ක්‍රියාත්මක වෙද්දි බුද්ධිමතා වැඩකරන්නේ සැඟවිලයි. තර්ක විතර්ක සාධාරණීයකරනය කිරීම් සාක්ෂි සාධක ගොන්නක් ගොඩගහගෙන තමන් වටේ ඉන්න අයව විතරක් නෙමෙයි ඒ දේවල් හරහා තමන්වත් රවට්ටගන්නේ මෝ-ඩ-ක-ම නොවේ, බුද්ධිමත් බවයි”

මීට වසර තුන හතරකට කලින් අවංක මෝ-ඩ-ක-ම අද අවංක විදියට ගොළු වෙලා තක්බීර් වෙලා හිටියට එදා බුද්ධිමත් විදියට මේ පසුගාමී දේශපාලන ප්‍රොජෙක්‍ට් දැඩි ආත්ම විශ්වාසයෙන් කර තියාගෙන ගිය ඈයො අදවත් ගොළු වෙලා නැහැ. මොකද ඒ අය බුද්ධිමත්! වාද කරයි එළිවෙනකල්!

හැබැයි අවාසනාව කියන්නේ ඒ බුද්ධිමතුන් පිරිසෙන් වැඩි හරියක් දැන් පාස්පෝට් හදාගෙන පිට රටවල් වලට යන්න මාර්ග හොයද්දි අර අවංක මෝ-ඩ-මි-නි-ස්-සු-න්-ට වේල උයාගන්න දර එකතු කරන්න වෙන තත්වයක් උදා වෙලා තිබීම. ඒ වගේම අර අවංකයෝ තව අවුරුද්දකින් එකහමාරකින් විදුලිය නැතුව, ඉන්ධන නැතුව, බේත් හේත් නැතුව දුක් විඳිද්දි අර බුද්ධිමතුන් ලොකු පිරිසක් දැනටම ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල තමන්ගේ සැප වාහන වලින් යන ගමන් මිල අධික ෆෝන් වලින් තව දුරටත් එහෙ ඉඳන් මේ රට හැදීමේ කටයුතු, උපදෙස් සැපයීම් නොනවත්වා කරගෙන යන එක.

අද මම දැක්කා ඡන්දෙට කලින් මා එක්කම පවා ලොකු වාද විවාද ගිය මුහුණු පොතේ මිතුරියක් සඳහන් කරල තිබුනා ඇය ආයේ දේශපාලනය කතා කරන්නෙ නෑලු. බලාපොරොත්තු කඩවෙලාලු. කමෙන්ට් එක අවසානයේ බණ පදයකුත් කියල තිබුනා. එයත් දැනටමත් පදිංචිය පිටරටක. පවුල පිටින්ම.

වැඩේ කියන්නෙ දැන් ඒගොල්ලො පිටරටවල ඉඳගෙන අපිට බණ කියනව. අපි මේ රටේ ඉඳගෙන ඒගොල්ලන්ගෙ බණ අහනව.

මේක තමා බුද්ධිමත් තක්කඩිකම කියන්නේ. එයාලා ඒ රටවල් වල ඉඳගෙන ප්ලෑන් කලේ අවුරුදු පහෙන් දහයෙන් ලංකාව දකුනු ආසියාවේ ලොකුම අහවල් එක කරල විශ්‍රාම යන්න. ඒත් දැන් ලංකාව ආසියාවේ ලොකුම ල-බ්-බ වෙලා කෙළ වුනාම ඒ අය කොහොමත් ඉන්නේ විශ්‍රාම සුවෙන්ම තමා. හැබැයි ලංකාවෙ නම් නෙමෙයි. ඒ රටවල් වල.

හැමදාම කියනව වගේ, ලංකාව ගැන කතා කරන්න ලංකාවෙ ඉන්න ඕන නෑ. ඇමරිකාවෙ ඉඳගෙන වුනත් පුලුවන්. එංගලන්තයේ දේශපාලන අසාධාරණකම් ගැන කතා කරන්න පුළුවන් ලංකාවෙ ඉන්න ශ්‍රීලාංකිකයෙක්ට වුනත්. හැබැයි ඒ මානවවාදී හරපද්ධතියක් පදනම් කරගෙන. දේශප්‍රේමීන් පිට රටවල ඉඳන් මෙහෙ පෙට්‍රල් පෝලිමේ ඉන්න අපිට දේශප්‍රේමය උගන්නන්න එද්දි තමයි ඉතින් කුණුහරප මතක් වෙන්නෙ.

මං දන්නෑ මේ සටහන කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර වුනාද කියල. මේ දවස් වල දකින්න සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක හිතේ ගොඩගැහුනු සිතුවිලි ටිකක් අකුරු කලා විතරයි.

හැබැයි මේ තරම් අනාගතය ගැන අනාරක්ශිත බවක් මීට කලින් ජීවිතේ කිසිම දවසක දැනිලා නැති බව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ.

මං කියන්නෑ පිට රටවලට යන්න එපා කියල. පුද්ගලික හේතු කාරණා කිහිපයක් නොතිබෙන්න අවස්ථාව ලැබුනා නම් මාත් අනිවාර්‍යෙයෙන් යනවා මේ අපායෙන්.

හැබැයි මේ මහ පොලවෙ ඉඳගෙන හරි වෙන රටක ඉඳගෙන හරි ඔබත් මේ රට අපායක් කරන්න දායකත්වය දුන්නු කෙනෙක් නම්.. පැනගන්න හදන සහ දැනටම ජීවත් වෙලා ඉන්න රටවල ඉඳගෙන දවසක් ගානෙ හිතේ තියාගන්න මෙන්න මේ ටික.

උඹල ඔහෙ සාපේක්ශව සුවපහසු ජීවිත ගත කරද්දි උඹලගෙ තක්කඩි ආත්මවිශ්වාසයට, ඒ දරුණු ෆේල් වීමට වන්දිගෙවන්නෙ මේ රටේ ඉතුරු වුන අවංක මෝ-ඩ-යො බහුතරයයි ඒ මෝ-ඩ-යො එක්ක හැප්පිලා මේ රට පොඩ්ඩක් හරි යහපත් තැනක් කරන්න හිතපු, පතපු, උත්සාහ කරපු හදවතක් ඉතුරු වෙලා තිබුන අතිශය සුළුතරයකටයි කියන දේ.

දේශය හැරගිය දේශප්‍රේමීන් සහ දේශය හැරයන්න නියමිත දේශප්‍රේමීන් ආයෙ පිටරටවල ඉඳගෙන මේ රටේ ඉතුරුවෙන අපිට දේශ ප්‍රේමය ගැන බණ නම් කියාගෙන එන්න එපා.

උඹල මේ රටට කරපු හරිය හොඳටම ඇති!
.
.

jamisbanda

ප්‍රතිචාර සඳහා: