දරුවන්ට සම-නො-සැලකිල්ල

තමන්ගේ දරුවන් සියල්ලන්ට තමා එක හා සමානව ආදරය කරන බව අනෙක් අයට කීමටත් තමන්ටම තහවුරු කර ගැනීමටත් අප සැම කැමැත්තෙමු.

නමුත් එහි සත්‍යයතාවයක් නොමැති බවත් එය අප විසින් අපවම රවටා ගැනීමට අපටම කියාගන්නා ලස්සන බොරුවක් බවත් අවංකව සිතා බලන්නට සූදානම් කෙනෙකුට තරමක් අපහසුවෙන් වුවද තේරුම් ගැනීමට හැකි යැයි සිතමි.

“මම මගේ දරුවො ඔක්කොටම එක වගේ ආදරෙයි. මං කාටවත් කවදාවත් වෙනස් කමක් කරලත් නැහැ කරන්නෙත් නැහැ” බොහෝ දෙමාපියන් එසේ කියනු ඇත.

නමුත් සමාජයේ ජීවත් වන දෙමාපියන් තම දරුවන් සමඟ කටයුතු කරන ආකාරයන් දෙස කල්පනාකාරීව බැලූ විට ඔවුන්ගේ කීම එසේ වුවත් ක්‍රියාවන් නම් එසේ නොවන බව ඕනෑම කෙනෙකුට දක්නට හැකිය.

මේ සටහන ලියන මට දරුවන් නැත. මම කිසිදා පියෙකු වීමට අදහසක් ද නැත. එහෙත් මට දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටියා නම් මගේ කැමති අකමැතිකම් වලට ආසන්න ආකාරයට හැසිරෙන දරුවෙක්ට අන් දරුවන්ට වඩා වැඩි ලෙන්ගතු බවක් මා තුළ හට ගැනීමට තිබෙන අතිශය සාමාන්‍යය මානුෂීය යථාර්තය මා නොබියව පිළිගනිමි.

මට අනුව එක් දරුවෙක් ගැන අනෙක් දරුවන්ට වඩා තම සිතේ තිබෙන ලෙන්ගතු බව සිත තුළම තබා ගන්න තාක් ගැටළුවක් නැත. නමුත් ප්‍රශ්නය නම් බොහෝ දෙමාපියන් තමන් දරුවන් ඔක්කොටම ‘එක වගේ ආදරෙයි, එක වගේ සලකනවා’ කියා කටින් කීවද ක්‍රියාවෙන් අර ලෙන්ගතු බවක් තමන් තුළ ඇති දරුවාට වැඩියෙන් සැලකිල්ලක්, ආදරයක් දැක්වීමයි. ඒ මඟින් අනෙක් දරුවන්ට අසාධාරණයකට ලක් කිරීමයි.

මෙය දෙමාපියන් වශයෙන් තම දරුවන්ට කල හැකි අතිශය බරපතල වැරදි රාශියෙන් එකකි.

තමන්ගේ උවමනාවට තමන් විසින් මෙලොවට දරුවන් බිහි කලා නම්, ඔවුන්ට එක හා සමානව සැලකීම තමන්ගේ වගකීමකි. එසේ කිරීමට තමන් ඔවුන්ට සදාචාරාත්මකව බැඳී සිටියි.

කුඩා කාලයේ සෙල්ලම් බඩු අරන් දීමෙන් පටන්ගෙන ඉගෙනීම, බාහිර ක්‍රියාකාරකම් වලට අවධානය දීම හරහා කවදා හෝ තමන්ට අයත් වත්කම්/දේපළ බෙදාදීම වැනි වැදගත් තීරණ දක්වා මේ ‘සමාන සැලකීම’ අනිවාර්‍යෙන්ම කල යුතු බව මම තරයේ විශ්වාස කරමි.

නමුත් පුද්ගලිකව මා දන්නා හඳුනන බොහෝ පවුල් තුල දෙමාපියන් බහුතරයක් මේ මූලික වගකීම ඉටු කිරීමට පවා අසමත්ව තමන්ගේ එක් දරුවෙක්ට පක්ශග්‍රාහී වීම නිසා අනෙක් දරුවන් මහත් අසාධාරණ වලට ලක් වනවාත් තැවුලට පත් වී සිතින් දුක් විඳිනවාත් මම දැක ඇත්තෙමි.

බොහෝ පවුල් වල දෙමව්පියන් හෝ පවුලේ සියල්ලන් වැඩියෙන් ආදරය කරන එක දරුවෙක්, සහෝදරයෙක්/සහෝදරියක් සිටින්නටත් පවුලේ සියල්ලන් ඒ බව හොඳින්ම දැනගෙන ඉන්නටත් පවුලේ කිසිම කෙනෙකුට එය ප්‍රශ්නයක් නොවෙන්නටත් ලොකු ඉඩක් ඇති බව මගේ අදහසයි. කාලාන්තරයක් එකට ජීවත් වෙන මිනිසුන් කිහිපදෙනෙක් අතරේ එකිනෙකාගේ හැඟීම් එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වසන් කිරීම කල නොහැක්කකි. මේවා ස්වභාවිකය. ගැටළුවක් නැත. නමුත් කලින් කීවා සේ ගැටුම් සහ සිත් රිදීම් පටන් ගන්නේ ඒ හැඟීම් වෙනස් සැලකිලි බවට පත් වන්නට පටන් ගන්නා මොහොතවල් වලදී ය.

ඇමරිකන් රචක විලියම් ස්ටයිරන් විසින් ලියූ නවකතාවක එන ප්‍රසිද්ධ සිදුවීමක් ගැන මේ සටහන කියවනා බොහෝ අය දැනුවත් යයි මා සිතමි. නවකථාවේ නම Shopie’s Choice ය.

නාසීන් විසින් සිදුකල යුදෙව් සංහාරය මූලික කරගෙන ඇදී යන නවකතාවේ ප්‍රධානම සිදුවීම වන්නේ කථා නායිකා සොෆීට, තමන් හසුවී සිටින සිර කඳවුරේ වෛද්‍යයවරයෙකු විසින් දෙන ලද නියෝගයකි.

වෛද්‍යයවරයා සොෆී වෙත පැමිණ මෙසේ කියයි.

“උඹේ දරුවො දෙන්නගෙන් එක්කෙනෙක් තෝරලා දීපන් මට, ගෑස් කාමරයට යවන්න. හැබැයි උඹ එක්කෙනෙක් තෝරලා දුන්නේ නැත්නම් මම දරුවො දෙන්නවම ගෑස් කාමරයට යවනව”

සොෆීට ගන්නට සිදුවන අවාසාවන්ත තීරණය මෙයයි. එක්කෝ තමන් දැඩි සේ ආදරය කරන දරුවෙන් දෙදෙනාම ඒ මොහොතේ ගෑස් කුටියට යැවීමද, නැත්නම් එයින් එක්කෙනෙක් ගෑස් කුටියට යවා අනෙකා ඒ මොහොතට හෝ ජීවත් කරවීමද?

ගෑස් කුටියට යැවීමට තම අට හැවිරිදි දියණිය ඊවා ව තෝරන සොෆී පසුව තමා කල දේ දරා ගත නොහැකිව සියදිවි නසා ගනියි.

මා මේ සටහන මැද්දට සොෆීගේ තේරීම ගැන සඳහන් කලේ හේතුවක් ඇතිව ය.

මගේ වැටහීමට අනුව, සොෆීගේ තැනට පත් වුවහොත් ඕනෑම දෙමාපියෙක්ගේ සිතේ මුලින්ම ගෑස් කාමරයට යවනා දරුවෙකුත් නොයවා තබා ගන්නා දරුවෙකුත් සිටියි. මේවා තිත්ත බව මම පිළිගනිමි. අවාසනාවට තිත්ත වුනත් මේවා ඇත්ත ය.

මා මතු කරන්න උත්සාහ කරන කරුණ මෙයයි. පෙර කී ලෙසට සොෆීගේ තැනදී ඔබ මුලින්ම ගෑස් කුටියට යවනා දරුවෙක් සිටියි, බේරාගන්නා දරුවෙක් සිටියි. ප්‍රශ්නයක් නැත.

නමුත් ඒ අවාසනාවන්ත මොහොත උදා නොවෙනතාක්, තමන්ගේ සිත ඇතුළාන්තයේ කාට වැඩියෙන් ලෙන්ගතු බවක් තිබුනද, තම දරුවන් එකෙක් පරයා අනෙකාව තෝරා ගෙන කාට හෝ වෙනස් කමක් නොකිරීමට ඔබට විශාල වගකීමක් ඇත.

මා හැමදාම කියනා දේ මෙහිදී ද කියන්නට සිදුවෙයි.

ඔබේ දරුවන් ඔබෙන් ජීවිතය ඉල්ලුවේ නැත. මෙලොවට ඔවුන්ව ගෙන ආවේ ඔබේ උවමනාවට ඔබය. ඔබ එසේ කලා නම් ඔවුන්ව කුඩා කාලයේ මූලික අවශ්‍යයතා ලබා දී රැකබලා ගැනීමටත් ඔවුන්ට වෙනස් කම් නොකර සමානයෝ සේ සලකන්නටත් ඔබ මිනිසත් බවේ නාමයෙන් බැඳී සිටින බව සෑම මොහොතකම මතක තියා ගන්න.

ගෑස් කාමරය ඉදිරියේ සිටගෙන ඒ තීරණය ගැනීමේ මොහොතට මුහුණ නොදී ඉන්නට තරම් වාසනාවන්ත ඔබ, ඒ අතිශය ශෝකජනක තීරණය ගැනීමට, ඒ වෙනස් කම කිරීමට ඒ ගෑස් කාමරයේ එළියේ මොහොත පමණක් වෙන් කරන්න.

එතැනට පත් නොවන තාක්, කරුණාකර, කිසිදාක තමන්ගේ දරුවන්ට සොෆී ඉදිරියේ ඊවාට දැනුන ඒ හැඟීම දැනෙන්න ඉඩ තියන්න එපා!

මන්ද,

‘අම්මේ, තාත්තේ, මමත් ඔයාලගෙම දරුවෙක් නේද?’ කියා දරුවෙක්ට තමන්ව බිහි කල දෙමාපියන්ගෙන්ම අසන්නට වීම තරම් අවාසනාවන්ත මොහොතක් තවත් නැත.

බෞද්ධකම ගැන ආඩම්බර වීම

කෙනෙක් තමන් බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙන්නේ කොහොමද?

මා අසා ඇති අන්දමට බෞද්ධාගමේ මූලික අරමුණ වන්නේම පුද්ගලයාගේ මමත්වය නැති කිරීමය. මා දන්නා තරමින් ආඩම්බර වීම තරම් මමත්වය වැඩි කරවන තවත් මිනිස් හැඟීමක් නැති තරම් ය. ඉතින්, කෙනෙක් තමන්ගේ බෞද්ධකම ගැන ආඩම්බර වෙයි නම් එහි ඇත්තේ පරස්පරවිරෝදී බවකි. එය හරියට යම් කෙනෙක් තමන්ව මස් කන වෙජිටේරියන් කෙනෙක් කියා හඳුන්වා දීමට සමානය.

ඒ පරස්පරවිරෝදී බවට අමතරව තව කාරණයක් සඳහන් කල යුතුව තිබේ. උදාහරණ දෙකකින් පැහැදිලි කරමි.

මා ජනනවිරෝධියෙකි. මා ජනනවිරෝධියෙකු වූයේ ජනනවිරෝධී මතය පිළිගැනීමෙන් මා හට යම් චූන් එකක් දැනෙන නිසා නොවේ. මොළය පාවිච්චි කොට අවංකව කල්පනා කල විට ජනනවිරෝධී මතවාදය ළඟ මා නතර වුන නිසාය. එය එසේ නම්, මං ජනනවිරෝධියෙක් වීම ගැන මං ආඩම්බර විය යුතුද? මා යමක් එය එසේය කියා පිළිගැනීම ගැන ආඩම්බර වෙන්න දෙයක් තියෙනවද?

ඉර උදාවෙන්නේ නැගෙනහිරින් බව මම පිළිගනිමි. එය සිදුවන්නේ එසේය කියන දැනුම මගේ මනසේ ඇත. ඉර උදාවෙන්නේ නැගෙනහිරින් බව මා දන්නා නිසා එය එසේ බව පිළිගැනීම ගැන මා ආඩම්බර වෙන්නේ අහවල් බක්කකටද?

මේවා කුමනාකාරයක තේරුමක් රහිත කුණුහරපද?

යමෙක් තමන් බෞද්ධ දර්ශනය සත්‍යය කියා පිළිගැනීමත් ඉර නැගෙනහිරින් උදාවන බව පිළිගැනීමත් සර්වබලධාරී දේව සංකල්පය ප්‍රතික්ෂේප කිරීමත් රාත්‍රියේ නින්දට පෙර දත් මැදීම හොඳ සෞඛ්‍යය පුරුද්දක් බව පිළිගැනීමත් ගැන ආඩම්බර වෙන්නේ මොන…….. මුන්ට කොයිල්ද?

රාජ්‍යය විසින් එහි ජනතාවගේ මොළ ශෝදනයට භාවිත කරන ප්‍රධානතම ආයතනය වන පාසැල නම් ආයතනයට පෙමින් වෙළී ඒ ගැන තවමත් ආඩම්බර වෙමින් තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිලය හරහා පාසැල නම් ආයතනයට ඔහුගේ තිබෙන බැඳීම ගැන කයිවාරු ගහන්න තරම් අසරණ මානසිකත්වයකින් හෙබි සයිබර් මිතුරෙක් ඒ ප්‍රොෆයිලයේම කවර් පින්තූරය ලෙස “I’m Buddhist and I’m proud of nothing” යැයි සඳහන් ඡායාරුවක් යොදාගෙන සිටි අයුරු සිහි වෙයි.

බෞද්ධාගම ආගමක් නොවේ, දර්ශනයක් ය කියන්නේද මොවුන් වැනි අයමය. දර්ශනයක් තිබෙන්නේ අනුගමනය කරන්නටය. අනුගමන නොකරනවා නම් ඔහු ඒ දර්ශනය අනුව ගිය අයෙක් නොවේ. කෙනෙක් සත්ව මාංශ අනුභව කිරීම වැරදි බව පිළිගත් පමණින් ඔහු වෙජිටේරියන් කෙනෙකු වන්නේ නැත. ඔහු වෙජිටේරියන් කෙනෙකු වන්නේ ඔහු මස් කෑම ක්‍රියාවෙන් නොකරනවා නම් පමණි.

මට වැටහෙන අන්දමට නම් බුදුදහම කියන්නේ මෙලෝ යකෙකුට අනුගමනය කල හැකි දහමක් නොවේ. මම එහෙම කියන්නේ තමන් බුදුදහම අනුව ගිය උන් (බෞද්ධයන්) කියා ගන්නා කිසිම එකෙක්, එකම එකෙක් බෞද්ධ හරයන් අනුව ජීවත් වනවා මා දැක නැති නිසාය. මමත්වයක් නැති කිරීමට සියලු ආශා, බැඳීම් අතහැර බෞද්ධ දර්ශනයේ අන්තයටම යාම අමතක කරමු. අඩුම ගානේ මේ දර්ශනයෙන් යෝජනා කරන මූලික ඉගැන්වීම් ටිකවත් පිළිපදින්න මෙලෝ යකෙකුට නොහැකි බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.

රටෙන් හතරෙන් තුනක් අදහන්නේ සිද්ධාර්ථ ගෞතම වය. එහෙත් ඒ හතරෙන් තුනම තමන්ගේ දරුවා ගෞතම මෙන් සාන්දෘෂ්ඨිකවාදී අනන්‍යතා අර්බුදයකට මුහුණ පෑමෙන් අනතුරුව තමන් විසින් නියම කරන ලද ජීවන ඉලක්ක බල්ලට දමා ඒවායේ නිසරු බව ගැන කියන්නට ආවොත් ඒ දරුවාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනගොස් ඩිප්‍රෙශන් කියා පෙති පොවා ජීවිතය දිනීමේ රේස් එකට දමා “අපට ලැජ්ජා නොකර පොරක් වෙයන් පුතේ” කියා නැවත තල්ලු කරනා ජාතියේ උන් ය.

තමන් ආඩම්බරයෙන් අදහන සිද්ධාර්ථ ගෞතම මුන්ගේ දරුවා වෙලා ඉපදුනා නම් දැන් සිද්ධාර්ථ ගෞතම ජීවිතය කලකිරීම හේතුවෙන් දිනපතා රාත්‍රියේ විශාදයට බෙහෙත් පෙති බොමින් පහුවදා උදෙන්ම නැගිට ජීවිතය ජයගැනීමේ බලුපොරයේ යෙදෙන්නෙකි.

මුන්ගේ බෞද්ධකමේ යථාර්තය එයයි!

මා දන්නා බෞද්ධයන් නම් එකෙක්වත් නැත. බෞද්ධ ගිහියෝ ද නැත. බෞද්ධ භික්ෂූන් නම් ලොවෙත් නැත.

අච්චරක් දුෂ්කරක්‍රියා කොට මෙලෝ යකෙක් අනුගමනය කරන්නේ නැති, කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නේ නැති, ප්‍රායෝගික නැති දර්ශනයක් ගොඬනගන්නට කට්ට කෑ උන්වහන්සේ පව් ය.

නීතිය සියල්ලන්ට සමානය

ඔබ රැකියාව කරන්නේ සිල්ලර කඩයක කියා සිතන්න. නැත්නම් යම් පුද්ගලික ආයතනයක කියා සිතන්න.

ඔබ රැකියාව කරන අතරතුර යම් දිනකදී ඔබගේ නොසැලකිල්ල නිසා හෝ ඔබ ගත් තීරණයක් වැරදී යාම නිසා ඔබ රැකියාව කරන සිල්ලර කඩයට හෝ ආයතනයට රුපියල් දහදාහක, පනස්දාහක, ලක්ෂයක, ලක්ෂ පහක පාඩුවක් වුනා කියා උපකල්පනය කරන්න.

එසේ වුනා නම් කුමක් සිදුවනු ඇත්ද?

එසේ නම් බොහෝ විට ඒ වරදට ඔබට දඬුවම් විඳීමට සිදුවනු ඇත. බොහෝ විට පාඩුව ඔබගෙන් අයකරගනු ඇත. ඔබට රැකියාව අහිමි වන්නටද පුළුවන. ඔබව නීතිය ඉදිරියේද කට උත්තර බඳින්නට සිදුව සමහර විටෙක ඔබව වරදකරුවෙක් බවටද පත් වනු ඇත.

කරුණු එසේ වෙත්දී ඒ වෙනුවට ඔබ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් නම්, ඇමතිකෙනෙක් නම්, ජනාධිපතිකෙනෙක් නම් ඔබ කරනා වැරදි නිසා සිදුවන පාඩු වලට, අහිමිවීම් වලට ඔබට දඬුවම් විඳීමට සිදු නොවනු ඇත. ඔබ කාටවත් වග උත්තර බැඳිය යුතු වන්නේද නැත. නීතිය ඔබෙන් ප්‍රශ්න කරන්නේද නැත.

ඔබ අත තිබෙන බලයේ තරම අනුව ඔබගේ ක්‍රියාවලට වගවීම නොවීම තීරණය වනු ඇත.

ඔබ බලයලත් අයෙක් නම් ඔබේ නොසැලකිල්ල සහ මන්ධබුද්ධික බව නිසා රුපියල් බිලියන ගණනින් මුහුදට ගසාගෙන යාමට හැරිය හැක. කෝටි ප්‍රකෝටි ගණන් අලාභ වන ආයෝජනයන් කල හැක. ඔබට රාජකාරිය කිරීමට ලැබෙන මුදල් යොදාගෙන අධි සුඛෝපබෝගී වාහන වලට වියදම් කල හැක. ඔබට සහ පවුලේ සැමට නිවාඩු සවාරි යාමට හැක. ඔබගේ කීර්ති නාමය වැඩි වන අන්දමට පෝස්ටර් කටවුට් වලට, වෙළඳ දැන්වීම් වලට වියදම් කල හැක.

දවස් කිහිපයකට පසු සියල්ලන්ට එය අමතකව යයි. බොහෝ දෙනෙක් එය අඩුම ගනනේ වැරැද්දක් ලෙසවත් නොදකිනු ඇත.

ඔවුන්ට කරුණු කාරණා එසේ වෙද්දී ඔබ අතින් සිදුවන අත්වැරැද්දක් නිසා රුපියල් මිලියන 900ක් 1000ක් තියා රුපියල් පන්දාහක, පන්ස්දාහක, ලක්ෂයක පාඩුවක් ඔබ රාජකාරි කරනා තැනට සිදුවුනා නම් පහුවදාට ඔබට සිදුවන්නේ කුමක්ද? ඔබ රැකියාව කරන සිල්ලර කඩයේ ලාච්චුවෙන් රුපියල් 100ක් අයථා ලෙස ගත් බව තහවුරු වුනහොත් පහුවදාට ඔබට සිදුවන්නේ කුමක්ද?

සිතන්න.

ඔබ තවමත් නීතිය ඉදිරියේ සියල්ලන් සමානය කියන ලස්සන බොරුව පිළිගන්නා අයෙක්ද?

මිනීමස්, නොමිනිස් මස්, ජෙෆ්‍රි ඩාමර් සහ අපි

ජෙෆ්‍රි ඩාමර් කියන්නේ අසූව දශකයේ ඇමරිකාවේ විසූ දාම ඝාතකයෙක්. තමන් විසින් 1978 සිට 1991 දක්වා වසර දහ තුනක කාලයක් පුරා තරුණයන් දහ හත් දෙනෙකු ඝාතනය කලා යැයි පසුව ඔහු පාපොච්චාරණය කරනවා.

මේ තරුණයන්ගෙන් සමහරුන්ව කපා කොටා ඝාතනය කල ඩාමර් ඔවුන්ගේ ශරීර කොටස් – අත, පය, හිස – වෙන් කොට ශීතකරණයක ගබඩා කොට තබාගෙන තිබෙනවා. ඒ අතර සමහර අයගේ හෘදය වස්තූන් ඔහු විසින් ආහාරයට ගෙන ඇත්තේ ඒ අයව ‘තමාගේම කොටසක්’ කර ගැනීමේ අරමුණින්.

ජෙෆ්‍රි ඩාමර් ඉන්ටර්විව් එකක සිත්ගන්නා සුළු කතාවක් කියනවා. ඒ තමා, ඔහුට මේ මිනිස් ඝාතනයන් කරන්නට පහසු වුනේ ඔහු මේ මිනිසුන්ව හැඟීම් දැනීම් තිබෙන පුද්ගලයන් වෙනුවට සංතෘප්තිය ලබා දෙන මෙවලම් (objects of pleasure) ලෙස දකින්නට පුරුදු වුන නිසා කියල. (ඉන්ටර්විව් එකට ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ)


ඩාමර් ගේ ඔය කතාව අහපුවම මට යම් දෙයක් මතක් වුනා. මම මිනීමස් කන කෙනෙක් නෙමෙයි. හැබැයි මම නොමිනිස් මස් කන කෙනෙක්. මට මතක් වුනේ මේකයි.

එළවළු වර්ග තුන හතරකට වඩා නොකන මම දැනට කීපවරක්ම දැඩි උත්සාහයක් අරගෙන තියෙනවා මස් කෑම සම්පූර්ණයෙන් නවත්වන්න (සත්ව කරුණාවක් නිසා නොවේ. හේතුව පැහැදිලි කර තිබෙන සටහනක් දෙවන කමෙන්ටුවේ). සාමාන්‍යයෙන් මාසයක් දෙකක්, උපරිම තුනක් වගේ පුළුවන් වුනාට කන කෑම වර්ග බොහෝම අඩු නිසා නැවතත් පරණ පුරුද්දටම වැටෙන එකයි වුනේ.

කිව්වා වගේ මීට යම් කාලයකට කලින් මට මාස තුනක් විතර සම්පූර්ණයෙන්ම මස් කන එක නවත්තලා ඉන්න පුළුවන් වුනා. ඒ කාල සීමාවෙ මට තේරුම් ගිය දේ තමයි එන්න එන්නම මට කුකුල් මස් දීසියක් දැක්කම, හරක් මස් දීසියක් දැක්කම ඒක ‘කෑමක්’ වෙනුවට ‘සතෙක්’ විදියට/සතෙක්ගෙ මළකුණක් විදියට පේන්න ගත්ත බව. ඔය කාල සීමාවෙ එක දවසක යාලුවො පිරිසක් එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවක බයිට් ඉවර වෙලා ඉස්සෙක් කන්න ගිහිල්ලා ඔක්කාරෙට ඇවිත් වමනෙ යන්නම ගියා අප්පිරියාවට. මොකද පේන්නේ කෑමක් නෙමේ, සතෙක්ව නිසා.

ඕක වෙන්නෙ මෙහෙමයි. උදාහරණයකට චීනයේ යුලින් වල බල්ලො මරද්දි රටවල් ගානක සෑහෙන දෙනෙක්ට ඒක මාර අවුල් නෙ. ඒකට හේතුව අපිට බල්ලා කියන්නෙ සතෙක් මිසක් කෑමක් නොවන නිසා. චීනයේ යුලින් වල මස් වලට බල්ලො මරණ එක ගැන අප්සට් එකේ මූඩ් ගහගෙන කුකුල් මස් කන්න පුළුවන් වෙන්නෙ කුකුල් මස් අපිට කෑමක් නිසා. මේ සියල්ල පදනම් වෙන්නෙ පුරුද්ද සහ ආහාර සංස්කෘතිය අනුව මිසක් වෙනත් මහා ලොකු බක්කවල් මත නෙමෙයි.


ජෙෆ්‍රි ඩාමර්ගේ කතාව අහපුවම මට ඕක මතක් වුනා. මස් කනකල් මම කන්න පුරුදු වෙලා ඉන්න සත්තුන්ව මම කෑම විදියට දකින්නත් ටික දවසක් නවත්තලා ඉන්න ඉන්න ඒ ජීවීන්ව සතෙක්ගෙ මළකුණක් විදියට පේන්න ගන්න සිද්ධියත්.

හරියට මම ඒ විශේෂිත සත්තුන්ව කන කාලයට ඒ සත්තු දිහා හැඟීම් දැනීම් තිබෙන ජීවීන් වෙනුවට සංතෘප්තිය ලබාගත හැකි මෙවලම් (objects of pleasure) විදියට දකිනවා වගේ.

මේක සහ ඩාමර්ගෙ වැඩේ සමානයි කියල නෙමේ කියන්නෙ. අසමානකම් තියෙනවා. ඒත් මොහොතකට නැවතිලා හිතල බලන්න තරම් සමාන කමකුත් තියෙනවා. හොඳට බැලුවොත් පෙනෙයි.


නාසි ජර්මනියේ යුදෙව් සංහාරය සමයේ ඔබ, මම ජීවත් වෙලා හිටියා නම්, ඔබ සහ මම කුමක් කරයිද?

ඔබ, මම ඔස්කා ශ්ලින්ඩර් වගේ යුදෙව්වන් ආරක්ෂා කරන ජර්මානුවෙක් වේවිද? නැත්නම් බහුතරයක් නාසින් මෙන් යුදෙව්වන්ට කෙළ ගහන අයෙක් වේවිද?

ඔබ සහ මම ඉහළින්ම කැමතියි හිතන්න, සැකයක් නැතුව අපි ඉන්නේ යුදෙව්වන් ආරක්ෂා කරන, ඔවුන් දිහා සහකම්පනයෙන් බලන කොටසේ කියල. ඔව්නෙ..? එහෙමනෙ..? එහෙම නොවෙන්න බෑනෙ..?

ඒත් සත්‍යය නම්, දත්ත තියෙන්නේ අපේ වාසියට නෙමෙයි. ඉතා ඉහළ සම්භාවිතාවක් තියෙන්නේ ඔබ, මම යුදෙව්වන්ට කෙළ ගහන කොටසේ ඉන්නයි.

තමා උපත ලබන සමාජීය, සංකෘතික පරිසරය තමාට ඇති කරන බලපෑම ඒ තරම් තදබලයි.

ඔබ, මම නාසි ජර්මනියේ ජීවත් වුනා නම් අපි යුදෙව්වන් දෙස සහකම්පනයෙන් බැලූ සුළුතරයෙන් අයෙකු වීමේ සම්භාවිතාවය ඔබ, මම වර්තමානයේ මස් මාළු නොකන වීගන් අයෙක් වීමේ සම්භාවිතාවයටත් වඩා අඩු අගයක තිබිය හැකියි! පුදුමයි නේද..


මේ සටහන ජෙෆ්‍රි ඩාමර් ඉන්ටර්විව් එකේ කියපු කරුණක් මතක් වෙලා හිතුන දෙයක් නිකමට බෙදාගැනීමක් විතරයි. කාටවත් මස් කන්න එපා කියල ඉල්ලන්න ලියපු එකක් නෙමේ. අපෝ මස් කන්න. මස් කෑම ගැන සාඩම්බරයෙන් ජෝක් කරන එල බුවෙක් වෙන්න. දැන් මස් කෑමත් ආඩම්බර වෙන්න වටින දෙයක් වෙලානෙ. මාත් මස් කනවා, ඕගොල්ලො සමහරු වගේ ඒක ගැන කයිවාරු නොගහැව්වට. (දැන් නම් සෑහෙන අඩු කරලා හාල්මැස්සො සහ කරවල වලට සීමා කරල ඉන්නෙ).

මෙච්චර පරිමානයකින් නොමිනිස් සත්වයා මත දුක් වේදනා සංහාරයක් පතුරුවන අපි.. එතනින් නොනැවතී මෙච්චර පරිමානයකින් අපේම වර්ගයේ මිනිස් සහෝදරයන්ව අපේම පහසුව උදෙසා උපරිම ලෙස exploit කරන සිස්ටම් එකක් ආශාවෙන් කෙළ හළමින් නඩත්තු කරන අපි… මෙච්චරටම අපේ සතුට වෙනුවෙන් මිනිස්-නොමිනිස් සත්වයන්ගේ දුක් වේදනාවල් වලට අසංවේදී වෙන්න සූදානම් අපි… බැරි වෙලාවත්.. බැරි වෙලාවත් හිතන්න ගත්තොත් මිනිස් ළදරු මස් පට්ට රසයි කියල… තව අවුරුදු එකසිය පනහකින් විතර ලෝකය මොන වගේ ලෝකයක් වෙයිද? කියන ප්‍රශ්නයත් නිකමට වගේ ඔලුවට නොඑනවාමත් නෙමෙයි.

මොකද අපි මොකකට හරි රහ වැටුනොත්, ඉන් එහාට අපේ ඒ රසය වෙනුවෙන් අපි කරන්න නොපැකිළෙන දේවල් මොන තරම් ද කියල තේරුම් ගන්න වැඩි දුරක් යන්න ඕන නැහැ. අපි එකිනෙකා තම තමන්ගෙ කණ්ණාඩි ඉස්සරහට විතරක් ගියා නම් ඇති!

ලෝක යථාර්තය අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් දුප්පත් පවුල් වල කොලු ගැටව්

උසාවි දාන භික්ශූන් වැඩිම පිරිසක් ලමා අපයෝජන චූදිතයන්. ඒකෙනුත් වැඩියෙන්ම තමන්ගේම පොඩිනමවල් අපචාරයට ලක් වූ චෝදනා,

සැ යු – පහත සටහනේ ආවේගශීලි වචන භාවිතයක් අඩංගුය.

“පොඩි දරුවෙක් කැමති වුන පළියට ඒ පොඩි එකාට අරක්කු බොන්න බෑලු… කසාද බඳින්න බෑලු… යුද්ධෙට යන්න බෑලු… වාහන එලවන්න බෑලු… හවස හයෙන් පස්සෙ තනියෙම පාරෙ යන්න බෑලු… කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බෑලු… ඉස්කෝලෙ යන්නැතුව ඉන්න බෑලු… දවසම වීඩියෝ ගේම් ගහන්න බෑලු… අම්මලා ආරම්භ කරපු ඉතිරි කිරීමේ ගිණුමෙන් සල්ලි අරගෙන ඒ සල්ලි ඔක්කොම වියදම් කරලා සෙල්ලම් බඩු ගන්න බෑලු… ඉස්කෝලෙ යන්නෙ නැතුව දවසම යාලුවො එක්ක ක්‍රිකට් ගහන්න බෑලු… වහලෙ උඩ නගින්න බෑලු… ඡන්දෙ දාන්න බෑලු… බත් කන්නෙ නැතුව තුන් වේලටම චොක්ලට් කන්න බෑලු… හෝම් වර්ක් කරන්නැතුව ඉන්න බෑලු… ගින්දර එක්ක සෙල්ලම් කරන්න බෑලු… ගැඹුරු තැන් වල තනියෙම නාන්න බෑලු… අම්මලා එක්ක තරහ වෙලා ගෙදරින් යන්න බෑලු… කොටින්ම උදේ පරක්කු වෙලා නිදාගන්න, දවල්ට කෑම එපා බඩිගිනි නෑ කියන්න, රෑට නිදිමත නෑ තව ඇහැරිලා ඉන්න ඕන කියන්න…… ඔය මුකුත් බෑලු…

මේකා තාම පොඩි එකෙක් නිසා ඔය කිසිම දෙයක බරක් පතලක් තේරෙන්නෙ නෑලු… ‘කරන දෙයක් ලොකු වුනාම කරගනින්, උඹ තාම ඔය වැඩ කරන්න පොඩි වැඩියි’ කියලලු හැම වෙලේම මූ එක එක ඒවා කරන්න ඕනේ ඕනේ කිය කිය අඬද්දි අම්මලා කියන්නෙ..

කොටින්ම මේකාට ඌ ගැන කොච්චර නම් නොතේරෙනවද කියනවා නම් ඌ උදේ ඇහැරුන වෙලේ ඉඳල රෑ නින්දට යනකල්ම මූ කරන දේවල් ගැන දෙමව්පියෝ ඉන්නේ ඇහැ ගහගෙනලු…

දැන් ඔය මුකුත් බැරි, ඔය මුකුත් තේරෙන්නැති මූට කරන්න පුළුවන් මොකක්ද?

මූට පුළුවන්ලු………

සාරාසංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා, ඊටත් පස්සෙ අවුරුදු ගාණක් දුෂ්කර ක්‍රියා කරලා අවබෝධ කරගත්තයි කියන, ජීවිතයේ අනිත්‍යය බව ගැන සහ එහි ස්වභාවය ගැන සාකච්ඡා කරන, සසර ගමනින් එතෙර වෙන මාර්ගය උගන්වන ලොව ගැඹුරුම ආගමට ඇතුළු වෙන්න කැමති නම්, මූට පුළුවන් ලු ඒ ආගමට බැඳිලා මහණ වෙන්න..

අර මුකුත් නොතේරෙන, ඒ මුකුත් බැරි පොඩි එකාට අන්න ඒ කිව්ව මහණ වීමේ තීරණය තේරෙනවලු. ඒකට ඌ කැමති වෙන්නෙ සේරම තේරුම් බේරුම් කරගෙනලු… එතනදි උගෙ කැමැත්තට ඉඩ දෙන්නම ඕනලු…

කවුද දැන් මේ කතාව පුක හපාගෙන කියන්නෙ…?

මේ කතාව කියන්නෙ….. තමාගෙ දරුවා වැඩිහිටියෙක් වෙලා, අවුරුදු දහ අටත් පැන්නයින් පස්සෙ තමා අකමැති ජාතියේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක යාලු වුනාම දාන්න තියෙන නීති ඔක්කොම දාලා සම්බන්දෙට ඇඟිලි ගහන…. අවුරුදු විසිපහේ විසිහයේ තමන්ගෙ ‘අලිබබා’ බඳින්නෙ මොකාවද.. ඌ/ඒකි හැමිනෙන්නේ කාත් සමඟද, කුමන වේලාවකද, බඳින්න කලින්ද පස්සෙද… මූ මුගේ ගෑණි එක්ක/මිනිහා එක්ක පවුල් කන්නෙ කොහොමද, මූ මුගෙ දරුවාට නම දාන්නේ සුභ අකුරු වලින්ද, මුගේ ගෑණි ගෙදර හැමදාම උයනවද, කන්නෙ කඩෙන්ද..
ඔය වගේ එකී මෙකී නොකී හැම ඉලව්වම තමන්ගෙ ‘වැඩිහිටි බබාට’ තේරෙන්නෑ කියන… තමන්ගෙ දරුවා වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් ඌ මුකුත් නොතේරෙන බබෙක් කියල හිතලා ඌ කරන හැම මගුලටම ඇඟිලි ගගහා ඌව නිවැරදි කරන්න හදන වාහේ ලා ඉන්නෙ…

අන්න ඒ වගේ උන් තමා පුක කා ගෙන කියන්නෙ අර කලින් කිව්ව පොඩි එකාට “මහණ වෙන්න නම් තේරෙනවා” කියල.

ඔව්… උන්ගෙ එවුන්ට අවුරුදු විසිපහ පැනලත් උන්ගෙ අවසරය නැතුව බඳින්න කලින් කැමති එකෙක්/එකියක් එක්ක හැමිනෙන්නවත් බෑ… ඇයි?? තේරෙන්නෑනෙ.. ඉක්මනට රැවටෙනවනෙ.. පොඩි එකානෙ.. තමන්ගෙ එකාට ඌට ඕන මනුස්සයාව බැඳගන්න තියෙන උගෙ කැමැත්ත පිළිනොගන්න එවුන් අර අසරණ පොඩි එකාට මහණ වෙන්න තියෙන කැමැත්ත උඩින්ම පිළිගන්නවා…
තමන්ගෙ එකාට මෙහෙමයි.. අනුන්ගෙ එකාට එහෙමයි.

පොඩි කාලෙම මහණ වෙන එකේ හොඳ නරක තේරෙන්නෙමත් දුප්පත් පවුල් වලම ළමයින්ටනෙ… සල්ලිය බාගෙ තියෙන පවුල් වල ළමයින්ට අවුරුදු විස්ස තිහ පහුවෙලත් බඳින එකාවවත් තෝරගන්න තේරෙන්නෑනෙ…

අනේ මේ කුණුහරප නොකියා ඉඳින්…!

හයක් හතරක් නොතේරෙන පොඩි දරුවො මහණ නොකර තුන් ලොවේම පරම සත්‍යය කියන ආගමක පැවැත්ම තහවුරු කරගන්න බැයි නම්, පොඩි උන් මහණ කරන එක නවත්වන එක ශාසනයට තර්ජනයක් නම්. බුද්ධාගම විනාස කිරීමක් නම්..

මොකක්ද ඔය මහ ලොකුවට රකින්න හදන බිත්තර සිවියක් වගේ සුමට ශාසනය?

දරුවෙක් කියන්නෙ බුද්ධිය වර්ධනය නොවිච්ච පොඩි එකෙක්. ඒකයි ඌට අර මුලින් කිව්ව දේවල් මුකුත් ඕන වුන පළියට කරන්න බැරි. මොකද age of consent කියල ලෝකය සම්මත කරගෙන ඉන්නව යම් වයස් සීමාවක්. සමහර කාරණා සඳහා අවු.18 ත් සමහර කාරණා සඳහා අවුරුදු 21ත් ආදී වශයෙන්. ඔය වයසට පත් වෙන්න කලින්, ඌට ඕන වුනත් උගේ ජීවිතයට සහ අනාගතයට ස්ථීර බලපෑමක් කරන අතිශය වැදගත් තීරණ ගන්න බෑ කියල ශිෂ්ඨාචාර ගත සම්මුතියක් තියෙන්නේ හේතුවක් ඇතුවයි.

වෙන්න ඕන දරුවා වැඩිහිටියෙක් වුනාම ඌට සුදුසුම තීරණය ඌ විසින්ම ගන්න අවශ්‍යය මෙවලම් හෙවත් දැනුම කුඩා කාලයෙදි ඌට ලබා දෙන එක. ඒකට හොඳ පදනමක් දාලා දෙන එක.

සරලව මෙහෙම ගමු.

දැන් ඔය ශාසනය රකින්න කැපවෙලා දුප්පත් දරුවන්ට මහණ වෙන්න තියෙන අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඔබතුමා ඉන්නෙ.. අන්න ඒ ඔබතුමා හිතනවනෙ මොකක් හරි දෙයක් තමා සිරාම පරම සත්‍යය කියල (මේ කේස් එකේදි නම් ඒ පරම සත්‍යය බුදුදහමනෙ) අන්න ඒ පරම සත්‍යට ළඟා වෙන්න අබෞද්ධ පරිසරයක හැදෙන ළමයෙක්ට ලබා දෙන්න ඕන පරිසරය මොකක්ද? අධ්‍යාපනය මොකක්ද? ඒ ළමයට දෙන්න ඕන තොරතුරු මොනවද කියල හිතන්න. අන්න ඒ ටිකම වෙන පරම සත්‍යයන් ගැනත් ඔබතුමාගෙ දරුවාට දෙන්න. (කතෝලික, බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, විද්‍යාව, දර්ශනය ඔය ඕන මගුලක්).

වෙන ආගමක ළමයෙක්ට කවදා හරි ලොකු වෙලා ඔයා පරම සත්‍යය කියල හිතන බෞද්ධයෙක් වෙන්න පුළුවන් ඌව පොඩි කාලයෙ ඌ උපන් පවුලෙ ආගම ගැන කියල බ්‍රේන් වොශ් නොකර ලෝකයෙ ප්‍රධාන ආගම් ගැන සමානව ඉගැන්නුවොත් විතරයිනෙ. අන්න ඒකම උඹෙ දරුවටත් දීපන්. සරලයි.
ඒ අබෞද්ධ දරුවා වැඩිහිටියෙක් වෙලා කැමැත්තෙන් බෞද්ධ වෙන්න නම්, ඒ දරුවාව පොඩි කාලෙ ඉඳන් ඉස්ලාම් කතෝලික ආගම් පරම සත්‍යය කියලවත් උගන්වන්නෙ නැතුව ඌට විවෘත මනසකින් හිතන්න පොළඹවන්නනෙ ඕන. ඒ නිදහස උඹෙ දරුවටත් දීපන්..

උඹේ ආගම මොක වුනත් ඔය කියන විදියට ඒක පරම සත්‍යය නම් දරුවා ලොකු වෙලා ඒකම තෝර ගනියි. හැබැයි ඒ තීරණය දරුවාට වැඩිහිටියෙක් වුනයින් පස්සෙ ගන්න දීපන්. ඌ වෙනුවෙන් උඹ ඒ තීරණය ගන්න එපා.

ඌ ‘ලේනෝ ලේනෝ මේ දත අරන් අලුත් දතක් දියෝ’ කියල වහලෙට හැලුනු දත් විසි කරන වයසෙදි ඒ නොමේරූ මොළයට උඹෙ අදහස් දාලා බ්‍රේන් වොශ් නොකර හැම දේම ප්‍රශ්න කරන්න උගන්නපන්..

දරුවා ඇවිල්ලා යමක් ප්‍රශ්න කලාම, උත්තර දෙන්න ඕන “පුතේ, මේක ගැන තාත්තාගෙ අදහස මේක… ඒත් සමහර වැඩිහිටියො මේ අදහසෙත් ඉන්නවා. පුතාම හදාරලා බලලා තීරණය කරන්න මොකක්ද උත්තරය කියලා. තාත්තා නෙමේ, ඕනම කෙනෙක්ට වරදින්න පුළුවන්. පුතාත් කවද හරි යමක් ගැන වැරදි බව අවබෝද වුනොත් එවෙලෙම ඒ අදහස අත ඇරලා අදහස් වෙනස් කරගන්න..”
වගේ විදියකට මිසක් තමන්වහන්සේ ලොව තුන් කල් දක්නා තැනන් වහන්සේ වගේ පොඩි එකාට තමාගේ උත්තර ඔබ්බවන එක නෙමේ. දරුවාට උත්තර හොයා ගන්න හැටි කියල දියන්. හිතන්න ඕන දේ නෙමේ, හිතන විදිය කියල දියන්…

ඔන්න ඔය වගේ පරිසරයක, දෙමාපිය ආදරය රැකවරණය ලබමිනුයි දරුවෙක් හැදෙන්න ඕන. නැතුව පන්සලකවත්, පල්ලියකවත් වෙන ඉලව්වකවත් එකම ආකාරයක ලෝක දැක්මක් ගිරව් වගේ පාඩම් කරමින් නෙමේ.

ආගම වුනත්, දර්ශනය වුනත්, විද්‍යාව වුනත් පරම සත්‍යය ලෙස දරුවන්ට උගැන්වීම නොවිය යුතුයි.

අහිංසක දරුවාව තමන්ගේම කොපියක් කරන්න හදන්න එපා.. ඌව බ්‍රේන් වොශ් කරන්න එපා.. ඔය ඔක්කොටමත් වඩා ඌව ආගමික හමුදාවක එක ඉත්තෙක් කරන්න එපා…

ඊට පස්සෙ කවදා හරි ඌ ලොකු වුන දවසක කාටවත් කරදරයක් නැතුව උගෙ කැමැත්තෙන් මහණ වෙන්න බැයිනම් හිමාල වනයට ගිහිල්ල ටීක් බෝල ගගහා හිටියත් අපිට කමක් නෑ”
.
.
.
සංජය ශ්‍රීකාන්ත්
(පරණ පෝස්ට් එකක්) #jamisbanda

ජනතාවගේ ටීවී චැනල්

මාධ්‍යය ආයතන විසින් තමන්ව හඳුන්වා ගන්නෙ මහ ජනතාවගේ හඬ විදියට. ඔවුන් කියාගන්නා පරිදි ඔවුන් ජනතාවගේ සුභ සිද්ධිය අරමුණු කරගෙන ජනතාවට සේවය කරනවා ජනතාවට තොරතුරු ලබා දීම සහ ජනතාව දැනුවත් කිරීම හරහා.

“ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වසනීයම ප්‍රවෘත්ති විකාශය”
“People’s channel”
“සත්‍යයයේ සටහන බුද්ධියේ විමසුමට”

සාමාන්‍යයෙන් රටක ජනතාව දේශපාලන දැනුමෙන් සම්බුද්ධික වෙන්නෙත්, නව තොරතුරු සොයාගෙන යන්න උනන්දු වෙන්නේත් (උදා – පුස්තකාල වලට යාම, නොයෙකුත් විෂයන් ගැන සම්මේලන හා විවාද වලට සහභාගි වීම වගේ දේවල් හරහා) ඒ සඳහා වැය කරන්න කාලයක්, විවේකයක් තියෙන සුවපහසු බවින් වැඩි ජීවිත ගත කරන විට. නමුත් අවාසනාවට අපේ වගේ රටක බහුතරයක් මිනිසුන් දිනපතා නොනිමි ජීවන අරගලයක යෙදිලා ඉන්න නිසා ඔවුන්ගෙන් සෑහෙන අඩු පිරිසකට තමයි ඒ වගේ දැනුම සහ තොරතුරු සොයාගෙන යන්න අඩුම ගානෙ ඉඩක් හරි තියෙන්නෙ. ඉතින් බහුතරයක් ජනතාවගේ චින්තනය හැදෙන්නෙත්, චින්තනය හදාගන්න තොරතුරු ලබා දෙන්නෙත් මාධ්‍යය ආයතනයි. අපේ රටේ ජනතාව තොරතුරු ලබා ගැනීමේ එකම ක්‍රමය විදියට භාවිතා කරන්නේ ජනමාධ්‍යයයි.

අපේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් තිබෙන රටවල් වල, ජනතාවගේ චින්තනයන්ගේ හැඩය නිර්මාණය කිරීමේ අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරන මාධ්‍යය ආයතන කටයුතු කරන්නේ ඔවුන් කියනවා වගේ ජනතාව ගේ සුභසිද්ධිය අරමුණු කරගෙනද?

ඇමරිකාවේ වෙසෙන බුද්ධිමතුන් දෙදෙනෙක් වන නෝම් චොම්ස්කි සහ එඩ්වර්ඩ් හර්මන් මේ ගැන දීර්ඝ කාලයක් කරන ලද පර්‍යේෂණ මත පදනම් වෙලා 1988 වසරේදී පොතක් එළිදක්වනවා Manufacturing Consent (කැමැත්ත නිෂ්පාදනය කරනු ලැබේ) නමින්. ඒ පොතෙන් ජනමාධ්‍යය මඟින් තමන් ගැන හඳුන්වා දෙන කරුණු ගැන අදහස් වල සත්‍යයතාවන් වල පදනම් දෙදරා යන තරමට අභියෝග කරන්න සමත් වෙනවා.

තමන් සැමවිටම බලය ඉදිරියේ ජනතාවගේ පැත්තම අරන් ජනතාවට සේවය කරනවාය කියන අදහස වෙනුවට සැබවින්ම ජනමාධ්‍යය ආයතන කරන්නේ බලය තිබෙන අයට හඬක් වෙමින් බලය තිබෙන අය ජනතාවට කියන්න බලාපොරොත්තු වෙන දේවල්, ඒ කියන්න බලාපොරොත්තු වෙන විදියට ඉදිරිපත් කිරීමයි කියන අදහස “කැමැත්ත නිෂ්පාදනය කරනු ලැබේ” පොත හරහා කරුණු සාධක සාක්ෂි සහිතව පැහැදිලි කරනු ලබනවා.

නෝම් චොම්ස්කි සහ එඩ්වර්ඩ් හර්මන්ට අනුව ජනමාධ්‍යය ක්‍රියාත්මක වෙන්නේ කාරණා පහක් මූලික කරගෙනයි.

  1. හිමිකාරීත්වය.

ජනමාධ්‍යය ආයතන ක්‍රියා කරන්නේ විශාල සමාගම් (Corporations) ලෙසයි. සමාගමක අරමුණ වන්නේ ලාභයයි. එය ක්‍රියා කරන්නේ තමන්ට ලබා ගත හැකි උපරිම ලාභය අරමුණු කරගෙන, එයට ළඟා වන්නේ කෙසේද කියන කරුණ පදනම් කරගෙනයි.

මේ ලාභය අරමුණු කරගෙන යන ගමනේදී විමර්ෂණශීලී සමබර මාධ්‍යයභාවිතය (Critical Journalism) වැටෙන්නේ දෙවෙනි තැනටයි.

  1. වෙළඳ ප්‍රචාරණය (Advertising)

ජනතාව ගෙන් අය කර ගැනීමට නොහැකි තරම් ප්‍රමාණයක වියදම් ජනමාධ්‍යය ආයතන විසින් දරනවා. ඒ පරතරය පියවන්නේ ප්‍රචාරක දැන්වීම් පළ කරන්නන් විසින්. මේ අයට පහසුව සඳහා අපි ඇඩ්වර්ටයිසර්ස් කියල කියමු.

ඇඩ්වර්ටයිසර්ස් ලා මාධ්‍යය ආයතන වලට මුදල් ගෙවන්නේ ප්‍රේක්ෂකයන් උදෙසායි.

ඔබ රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටින විට ඔබට පෙනෙනවා මාධ්‍යය ආයතන විසින් ඔබට දේවල් විකුණන බව. ඒත් ඔබට නොපෙනෙන දෙය තමයි මාධ්‍යය ආයතන විසින් ඇඩ්වර්ටයිසර්ස් ලාට ත් දෙයක් විකුණන බව. ඒ දෙය තමා ඔබ!

  1. මාධ්‍යය ආයතන හිමිකාරීත්වය දරන ප්‍රභූ පිරිස (Media Elite).

ජනමාධ්‍යයට බලයට අභියෝග කරමින් ක්‍රියා කල නොහැකියි. ඔවුන්ගේ පැවැත්ම තීරණය වන්නේ පවතින බල ව්‍යුහයන් හෝ ඉන් තෝරාගත් ඒවාට පක්ෂපාතීත්වය දැක්වීම මතයි.

ආණ්ඩු, සමාගම් සහ සංස්ථා වලට මාධ්‍යය සමඟ සහසම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයන් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මාධ්‍යය හරහා ඉදිරිපත් කෙරෙන මතවාදයන් වල ආඛ්‍යානයට (narrative) බලපෑම් කරන්නේ කොහොමද කියල ඔවුන්‍ දන්නවා.

බලය ඇති පුද්ගලයන් සහ බලය ඇති පුද්ගලයන් ගැන වාර්තා කරන පුද්ගලයන් (මාධ්‍යය) ඉන්නේ එකිනෙකාව වැළඳගෙනයි.

ඔබ බලයට අභියෝග කලොත්, ඔබව කපා දැමීමට ලක් වෙනවා. ඔබට තිරය ඉදිරියේ ඉඩක් නොලැබී යනවා. පවතින බල ව්‍යුහය විසින් දියත් කරන දේශපාලන ආඛ්‍යානයට (political narrative) එකෙන් පිට යන ඔබේ විශ්ලේෂණාත්මක වාර්තාකරණයට හිමි වන්නේ කුණු බක්කියයි. මේ සෙල්ලම ඇතුළේ අවංක සමබර මාධ්‍යයකරණය විහිලුවට හා සමච්චලයට ලක් වෙන්නේ ගේම් එක ප්ලේ වන හැටි අවබෝධ කරනොගත් ප්‍රැක්ටිකල් නැති මෝඩයන් විදියටයි.

ඒ වෙනුවට ඔබේ ආලින්දයට සිනාමුසු මුහුණෙන් ප්‍රවෘත්ති ගෙන එන්නේ ගේම් එක අවබෝධ කරගෙන ඒක ලස්සනට ප්ලේ කරන්න දන්න වැඩ්ඩන් (නරුමයන්/තක්කඩින්) විසිනුයි.

  1. කපා දැමීම්/වාරණයට ලක් වීම්.

ඔබට කීමට ඇති දේ ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගන්නට උපකාර නොවන දෙයක් නම්, ඔබ කවුරු වුනත් ඔබව ජනමාධ්‍යය ආයතන විසින් ජනතාව ඉදිරියට යාමට ඇති ඉඩ අහුරා කපා දමනු ලබනවා.

වොයිස් කට් ලබා දෙන්නේ කාටද, ඒ වොයිස් කට් එකේ මොන කොටස්ද ජනතාව වෙත ඉදිරිපත් කරන්නේ, කුමන ආඛ්‍යාණයක් පසුබිම් කරගෙනද, දේශපාලන සාකච්ඡා වලට ආරාධනය කරන්නේ කුමන පක්ෂ වල කුමන චරිත වලටද කියන දේවල් තීරණය කිරීමේදී මූලික වෙන්නේ ඔවුන් ඉදිරිපත් කරන ආඛ්‍යාණය සමඟ ඔබ කෙතරම් සමපාත වනවාද කියන එක මතයි.

මේ ආඛ්‍යාණයට ඔවුන්ගේ මතයට විපක්ෂ අදහස් පවා ඇතුළත් බව අමතක කරන්න එපා. ජනමාධ්‍යය විසින් යොදා ගන්නා තවත් සූක්ෂම ක්‍රමයක් තමයි ඔවුන්ට රිසි තේරීම් ඔබට ඇති එකම තේරීම් විදියට හඳුන්වා දීලා ඒ තේරීම් අතර ගැටුමකින් ඔවුන්ට අවශ්‍යය තේරීම කරා ඔබ මෙහෙයවීම.

  1. භය (fear)

“කැමැත්ත නිෂ්පාදනය කිරීමට” ඔවුන්ට අවශ්‍යය දෙයක් තමයි ‘සතුරෙක්’ කියන්නෙ.

ජනතාව ඉදිරියේ සම්පූර්ණයෙන්ම මවාපාන හෝ විශාල කරල පෙන්නන මේ පොදු සතුරා තමයි ජනමාධ්‍යය ක්‍රියාකරන ආකාරයේ පස්වෙනි බලවේගය විදියට යොදා ගැනෙන්නෙ.

මේ පොදු සතුරා ත්‍රස්තවාදය, විජාතික බලවේග, වෙනත් ජාතීන් වැනි තමන්ගේ පැවැත්ම තුළට අවිනිශ්චිත බවක් සහ ‘බියක්’ ඇතුළු කරවන ‘බිල්ලෙක්’ වශයෙන් ජනමාධ්‍යය හරහා නිර්මාණය කොට නඩත්තු කරනු ලබනවා.


මේ කරුණු කියවූ ඔබට පැහැදිලි ඇති ඔබ ඉදිරියේ මෙතරම් ආදරබර වෙස් මූණක් දමාගෙන “මනුසත්” මූණවල් වලින් පෙනී ඉන්න මේ බිස්නස්කාරයන් ඇත්තටම ක්‍රියාකරන්නේ මහ ජනතාවගේ ‘සිතුවිලි සහ අදහස්’ තමන්ට රිසි පරිදි හැසිරවීම අරමුණු කරගත් මහා පරිමානයේ ප්‍රොපගැන්ඩා මැෂීන්ස් (propeganda machines) වශයෙන් කියන එක.

ප්‍රොපගැන්ඩා කියල අදහස් කරන්නේ පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසක් විසින් තවත් පිරිසක්ව ඔවුන්ට රිසි පරිදි මෙහෙයවීමේ අරමුණින් යම් හැසිරීම් හෝ ආකල්ප පිළිගන්නා තැනට පෙළඹවීමයි (manipulate).

මෙහිදී කිසිම ආකාරයකින් ගැටළුව හෝ අදාල තොරතුරු පැහැදිලිවත් සමබරවත් (unbiased) ඉදිරිපත් කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට කෙරෙන්නේ අදාල ගැටළුවේ එක් පැත්තක් පමණක් (ඔවුන්ගේ වාසියට හේතු වන පැත්ත) ඒ ප්‍රශ්නය දෙස බැලිය හැකි එකම සහ පරම ආකාරයට ඉදිරිපත් කිරීමයි. ඒ වගේම මේ අය (propagandists) ජනතාවගේ හැඟීම් සහ ජනතාව තුළ ඇති පූර්ව නිගමන (prejudices) විශාල ලෙස යොදාගන්නවා ඔවුන්ව මෙහෙයවීමට. (උදා – ජනතාව තුළ තියෙන සංස්කෘතික මතවාද, ආගමික ඇදහිලි, මිත්‍යයා මත, ජාතිවාදී ජාතිකවාදී අදහස්)

මේ සියල්ල සිදුවන්නේ ජනතාව විසින් හදාගන්නා මතයන් (opinions) තමන් විසින්ම හදාගත් තමන් විසින්ම තීරණය කරන ලද තමන්ගේම මතයන් කියල තහවුරු වෙන ආකාරයටයි.

කෙටි අමතර කරුණක් සඳහන් කරනවා නම් :- අධ්‍යාපනය සහ ප්‍රොපගැන්ඩා අතර වෙනසක් තිබෙනවාද? කියල සාධාරණ ප්‍රශ්නයක් මෙතනදි ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපනය විසින් මිනිසුන්ට ‘හිතන්නේ කොහොමද?’ කියන එක උගන්වද්දි ප්‍රොපගැන්ඩා විසින් කරන්නේ සිතිය යුත්තේ කුමක්ද කියා ජනතාවට කීමයි (Propeganda tells what to think while Education teaches people how to think).

මේ ආකාරයට සිතන්නේ කොහොමද? කියන එක වෙනුවට සිතිය යුත්තේ කුමක්ද කියා උගන්වන අධ්‍යාපන ක්‍රමයන් පවා ප්‍රොපගැන්ඩා විදියට හැඳින්වීමේ වරදක් නැහැ. එය සැලකෙන්නේ State propeganda වශයෙනුයි. (රාජ්‍යය විසින් ජනතාවගේ මොළ ශෝදනයට ලක් කිරීමේ අරමුණින් භාවිතා කරන ‘පාසැල්’ කියන ආයතන වලට ආදරයෙන් බැඳිලා හැට පැනලත් තවම ඒ ආයතන වලට හැඟීම් බරව බැඳුණු මානසික වහලුන් විදියට හැසිරෙන බුද්ධිමතුන්ට හිමි විය යුත්තේ අනුකම්පාව පමණයි).

නැවත මාතෘකාවට ආවොත්,

මම යෝජනා කරනවා මෙහෙම ප්‍රශ්නයක්. සමාජයේ ඔබ දන්නා කොටස් වලින් තමන්ට විවේචනයක් ආවාම වැඩියෙන්ම භූමිතෙල් වැදුනු ගැරඬි වගේ දඟලන්නේ කුමන කොටසද කියල කල්පනා කරල බලන්න.

මගේ නිරීක්ෂණය අනුව නම් ඒ හැසිරීම වැඩියෙන්ම පෙන්වන්නේ දේශපාලකයින්වත්, ආගමික නායකයින්වත් නෙමේ, ටීවී චැනල් වල නිවේදකයො කියල හඳුන්වන පිරිසයි.

යම් දේශපාලන සාකච්ඡාවකදි හරි ඕනෑම අවස්ථාවකදි හරි තමන්ට පඩි ගෙවන ටීවී චැනල් එකට විරුද්ධව එක වචනයක්…. එකම එක වචනයක් කිව්වොත් උඩ ගිහින් කෑගහන්නේ සුපිරිසිදු සුදු රෙද්දකට චූටි කළු පැල්ලමක් ගෑව්වා වගේ කෝපාවිෂ්ඨ වෙලයි.

යක්ෂයාට ආත්මය විකුණපු මේ තක්කඩින්ගේ සැබෑ ස්වරූපය මෙයයි. ‘ජනතාව බුද්ධිමත්, ජනතාව තීරණය කරයි’ කිය කිය හැම මොහොතකම මන්තරේ වගේ දොඩවන්නේ ජනතාව බුද්ධිමත් නැති බව කාටත් වඩා දන්නේ ජනතාවව මෝඩයන් කිරීම තම ජීවිකාව කරගත් ඔවුන්ම වීම නිසයි.

ඔබ ප්‍රවෘති බලන විට, ඔබේ මනසට යන්නේ යම් සිදුවීමක් ගැන තොරතුරු පමණක් නොවේ. ඒ අතරේ අදාල මාධ්‍යය හිමිකරුට රිසි දේශපාලන ආඛ්‍යාණයත් ඔබේ මනසේ සූක්ෂම ලෙස පැළපදියම් කරනු ලබනවා.

ඔබ දෙවෙනි ඉනිම හෝ වෙනත් වැඩසටහනක් නරඹා නින්දට යද්දි, මතක තියාගන්න.. ඔබ ඇත්තටම බලන්නේ දෙවෙනි ඉනිම නෙමේ. ඔබ ඇත්තටම බලන්නේ දෙවෙනි ඉනිම මැදින් යන වෙළඳ දැන්වීම් ටිකයි. ඔවුන් ඔබට පෙන්වන්නේ එයයි. දෙවෙනි ඉනිම කියන්නේ ඒ දැන්වීම් බලන්න ඔබව ටීවී එක ඉස්සරහා ඉන්දන්න ඔවුන් පාවිච්චි කරන ක්‍රමයට කියන නමයි.

දවසම රස්සාව කරල කරල මහන්සි වෙලා ඇවිත් ටීවි එක දාගෙන නිවුස් බලල, ඊට පස්සෙ දෙවෙනි ඉනිම බලල නින්දට යද්දි, ඔබ දැරිය යුතු දේශපාලන මතය මොකක්ද, රටේ තත්වය ගැන ඔබ සිතිය යුත්තේ කොහොමද, ඔබ ඉන්නේ අනාරක්ශිතවද ආරක්ශිතවද, ඔබ උපන්දින සැමරිය යුත්තේ කොහොමද,ඔබ සල්ලි වියදම් කල යුත්තේ කොහොමද, ඔබ ආශා විය යුත්තේ මොනවටද, ඔබ ඔබේ පෙම්වතාට/පෙම්වතියට ආදරය ප්‍රකාශ කල යුත්තේ කොහොමද, ඔබ විවේක ගත යුත්තේ කොහොමද ඒ සඳහා යායුත්තේ කොහෙටද, ඔබ කෑම ගත යුත්තේ, ඇඳුම් පැළඳුම් ඇඳිය යුත්තේ කොහොමද වගේ ඔබේ ජීවිතයේ සියලූම දේ ගැන බලය අරමුණු කරගත් පාලකයනුත්, ලාභය අරමුණු කරගත් මාධ්‍යය ආයතන සහ වෙළඳ ආයතනත් ඔබේ සිතේ තැන්පත් කිරීමේ සූක්ෂම ප්‍රොජෙක්‍ට් එකට ඔබ ගොදුරක් වී අවසන්….!
.
.
.
— ජේමිස් බණ්ඩා

බයි වහලුන් එක්ක දේශපාලනය කතා කරන්න අමාරු ඇයි?

මගේ නගා රාජපක්ෂ දේශපාලනය වන්දනා කරන කෙනෙක්. එයා එක්ක දේශපාලනය කතා කරල මම ඉගෙන ගත්‍ත දෙයක් තියෙනව.

ඒ තමා මම නගා එක්ක කතා කරන්න දන්නෙ නැහැයි කියන කාරණය. එයා එක්ක දේශපාලනය කතා කරද්දි මම ගොළු වෙනව. ගොඩක් වෙලාවට මට කට උත්තර නැති වෙනව.

ඕනම පුද්ගලයො දෙන්නෙක් යමක් ගැන සාකච්ඡා කරනව නම් ඒ සාකච්ඡාව තේරුමක් තියෙන එකක් වෙන්නෙ, ඒ දෙන්නා අතර කොමන් ග්‍රවුන්ඩ් එකක් තියෙනව නම් විතරයි. ඒ කියන්නෙ ඒ දෙන්නා අතර මූලික හරයන් එකතුවක් සම්බන්ධයෙන් එකඟතාවයක් තියෙනව නම් විතරයි.

උදාහරණයක් විදියට ස්ත්‍රීන් සීයකට අධික ගාණක් ලිංගිකව බලහත්කාරකම් කරල මරල දාපු ටෙට් බන්ඩි කියන මිනිසා මා ඉදිරියට ආවොත්, මට බැහැ ඔහු කල දේ වැරදියි කියල ඔහුට ඔප්පු කරන්න. ඒක කරන්න විදියක් නැහැ. මොකද ඔහු සහ මම එකඟ වෙන පොදු තැනක්, හර පද්ධතියක් නැති නිසා. ඔහු මගේ හරයන්ට එකඟ නැති නිසා සහ ඔහු මගේ හරයන් දන්නෙවත් නැති නිසා. කොටින්ම ඒ සාකච්ඡාව සමාන වෙන්නෙ එකිනෙකාගෙ භාෂාවන් නොදන්න දෙන්නෙක්ගෙ කතාබහකට (මෙතන පොහොට්ටු පාක්ෂිකයො ටෙඩ් බන්ඩිට සමාන කලා නෙමෙයි. යම් පොයින්ට් එකක් ගේන්න ගත්ත උදාහරණයක් විතරයි මේක).

ඒ වගේ, මගෙ නගා එක්ක විතරක් නෙමේ මං හිතන්නෙ මේ රටේ බහුතරයක් එක්ක, සුළුතරය නියෝජනය කරන මම සහ මගේ බොහෝමයක් මිත්‍රයො අතර කොමන් ග්‍රවුන්ඩ් එකක් නැහැ.

ලංකාවෙ බහුතරයක් දෙනා ඡන්දය දෙන අරමුණු අපි බලාපොරොත්තු වෙන අරමුණු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ අය තමන් ඡන්දය දෙන අය දිහා බලන විදිය, ඒ අය එක්ක තියෙන ඉමෝෂනල් ගනුදෙනුව අපි විසින් ඡන්දය පාවිච්චි කරන අය දිහා අපි බලන විදියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ අය තමන් පත් කරගන්න පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන දේ අපි බලාපොරොත්තු වෙන දේට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ අය “රට හදනවා” කියන වචන දෙකෙන් අදහස් කරන්නෙ මමයි ඔබයි “රට හදනවා” කියල අදහස් කරන දෙයට ළඟින්වත් තියෙන දෙයක් නෙමෙයි. ඒ අය ගෙ දේශපාලන සංකල්ප සහ අරමුණු සහ අපේ අරමුණු වටිනාකම් සමඟ කිසිම පෑහීමක් නැහැ. ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිතිවාදය, ආගම් වාදය, ජාතිවාදය, පොදු ජන සම්පත් කොල්ල කෑම, දූෂණය, හොඳ නරක, අපරාධ, නීතියේ සාධාරණත්වය, යුද්ධය, සාමය, ලිංගිකත්වය, ගෞරවය, අනාගතය වගෙ වචන ඇහෙද්දි ඒ අයගෙ ඔලුවෙ හටගන්න හැඟීම නෙමේ අපේ ඔලුවෙ ඇති වෙන්නෙ. ඒ අයගෙ වටිනාකම්, ප්‍රමුඛතා නෙමෙයි අපේ වටිනාකම් ප්‍රමුඛතා වෙන්නෙ.

සමහර විට ටෙඩ් බන්ඩි සහ ඔබ අතර තියෙන දුර වගේම දුරක් මමයි සාමාන්‍යය ශ්‍රීලාංකිකයයි (average Srilankan) අතර මේ කාරණයෙදි ඇති. (මේ ඒ දුර ගැන පොයින්ට් එකක් විතරයි. මාව ටෙඩ් බන්ඩිගෙ තැන තියල සාමාන්‍යය ශ්‍රීලාංකිකයාව ඔබේ තැන තියල හිතන්න. මේක කාවවත් demonize කරන්න උත්සාහ කිරීමක් නෙමේ).

මට තේරෙන විදියට මෙතන අවුලක් තියෙනව නම්, අවුල තමයි ඔන්න ඔය දුර. මම සහ ඔබ කතා කරන භාෂාව නෙමෙයි මෙරට බහුතරය කතා කරන්නෙ. ඒ අයගෙ ඔලුවල අහලකවත් නැති වටිනාකම් වලින් ඒ අයව මැනලා ඒ අයට පරිභව කිරීම එක අතකින් ඒ අයට කරන පට්ට අසාධාරණයක්.

මේ දේශපාලනික වටිනාකම් ගැන තියෙන උග්‍ර දිළිඳු බව මේ අවුලට හේතුව කියල මට හිතෙන්නෙ. දීර්ඝ කාලීන ස්ථාවර සමාජයක් වෙනුවෙන් ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවට කෙටිකාලීන වාසි වෙනුවෙන් පුද්ගල දේශපාලනයක් උදෙසා සමාජයේ ඉන්න “නරකම” මිනිස්සු ටිකට බලය අතට දීම තේරුම් ගන්නෙ වෙන කොහොමද?

අද උදේ නගා මට මැසේජ් කල වෙලේ මම දාපු රිප්ලයි එක තමයි “ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නිසා බුද්ධිමත් තීරණයක් අරන් තියෙනව” කියල. එතකොට නගාගෙ උත්තරේ “එතකොට 2015 ජනතාව බුද්ධිමත් නැද්ද?” කියන එක.

ඉතාම සාධාරණ ප්‍රතිචාරයක් ඒ. කල්පනා කරල බැලුවම පේනව 2015 දිත්, මෙරටේ මිනිස්සු ඡන්දෙ දුන්නෙ පෙරේදා ඡන්දෙ දුන්නු ඔලු වලින්ම තමයි කියල.

මේ කිසි දෙයක් ඇත්ත විසඳුම් නෙමෙයි. ජනතාව අන්දලා, ඒ ඒ මොහොතේ ආවේගයන් සහ situations අපිට ඕන විදියට මෙහෙයවලා අපි කැමති ප්‍රතිපලය දන්න සෙල්ලම් දාලා ගත්තත්, ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ.

මේ සියල්ලටම විසඳුම දේශපාලන වටිනාකම් පිළිබඳ සවිඤ්ඤානිකත්වයයි. මිනිසුන්ට මතවාද සහ හරයන් පිළිබඳ දැනුවත් කිරීමයි. මට තේරෙන විදියට විසඳුම් තියෙන්නෙ “අධ්‍යාපනයෙ”.

ඒ වගේම කියන්න ඕන, මේක ලංකාවට විතරක් අනන්‍යය ප්‍රශ්නයක් නෙමේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ලෝකයේ බොහෝ රටවල් වල මූලිකම අවුලක් තමා ජනතාව තුල දේශපාලන වටිනාකම් ගැන දැනුම නැති වීම.

කොමන් ග්‍රවුන්ඩ් එකක් නැතුව මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. තමාට බනින්නෙ ඇයි කියලවත් තේරෙන්නැති මනුස්සයෙක්ට බනින එක තේරුමක් තියෙනවද?

මේ අදහස ප්‍රායෝගික නැති තරම් කියන එක මම නොදන්නව නෙමේ. ඒත් පේන විසඳුම තමා ඕක. ඒ විසඳුම පේන තෙක් මානෙක නැති එක වෙනම කතාවක්.

දේශපාලන වටිනාකම් ගැන නොදැනුම සහ මිනිස් වටිනාකම් වල දිළිඳු බාවයට විසඳුම් හොයන්න වෙලා තියෙන්නෙ “දේශපාලන විද්‍යාව ඉගෙනගෙන වැඩක් නෑනෙ. ප්‍රැක්ටිකල් වෙන්න” කියන කතාව ඇත්තම ඇත්ත කතාවක් වුන සමාජ ක්‍රමයක වීම මේ ප්‍රශ්නය විසඳන්න බැරි තරම් සංකීර්ණ කරනවා.

අන්ත සුළුතරය බවට පත් වෙලා ඉන්න අපි වගේ අය හොයාගන්න ඕන මේ භාෂා දෙකක් අස්සෙ අතරමං වෙලා අඩුම ගානේ සන්නිවේදනය කරන්නවත් බැරි තැනක ඉන්න අපි සහ බහුතර මිනිස්සු එක්ක කතා කරන්න විදියක්. අපි ඒ අයගෙ භාෂාව ඉගෙනගන්න ගියොත් වැඩේ එතනින්ම ඉවරයි. ඇත්තටම හැමෝම කතා කරන භාෂාව අමුතුවෙන් අපිට ඉගෙනගන්න දෙයක් නැහැනෙ.

අපි කියන දේ ඒ අයට අඩුම ගානෙ තේරෙනවත් තැනකට එන්න ඕනනෙ ඔක්කොටම කලින්. අපේ භාෂාවෙ වචනයක් දෙකක්වත් නොවැටහෙන එක ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙමෙයි.

මේ වෙලේ බලාපොරොත්තු නැති කර නොගැනීමයි වැදගත් වෙන්නෙ. මට අනුව නම් මූලිකම ප්‍රශ්නය මේ ඡන්ද ප්‍රතිපලයම නෙමේ.

ඒ නැතුව මේ ප්‍රශ්නය එක තැනකින් අල්ලල ‘මෙන්න මෙතනයි අවුල. මේක හැදුවම හරි’ කියල පයිප්ප ලීක් එකක් හදනව වගේ හදන්න බැරි විදියට එකිනෙක ඉතා සංකීර්ණ විඳියට බැඳිලයි තියෙන්නෙ. ඒක මේ රටට වඩා ලොකු පැටළුනු මහා නූල් බෝලයක්. මුලක් හොයන්න හිතන්නවත් බෑ නෙමේ, මුලක් නෑ.

මේ ලොවට දරුවන් බිහි කිරීම හරි ද?

ජීවිතය කියන්නේ මුළුමනින්ම සතුටුදායක හොඳ අත්දැකීම් වලින් පමණක්වත් මුළුමනින්ම දුක හෙවත් නරක අත්දැකීම් වලින් පමණක්වත් පිරුණු දෙයක් නෙමේ. පොදුවේ සලකපුවම, අති මහත් බහුතරයක් අවස්ථා වලදී ජීවිතය ඇතුලේ ඉහත කිව්ව අත්දැකීම් දෙවර්ගයම අඩංගුයි.

මුලින්ම ඒ කරුණ සඳහන් කලේ, දරුවන් බිහි කිරීම සදාචාරාත්මක නොවන බව කියැවෙන කතිකාවත පදනම් වෙන්නේ ‘ජීවිතයම දුකක්’ කියන පදනම මතය කියල සමහරු වරදවා වටහාගෙන ඉන්න බව පෙනුන නිසා. දරුවන් බිහි කිරීමේ සදාචාරාත්මක බව ප්‍රශ්න කරන්නට ඒ පදනම අවශ්‍යය නොවන බව මේ සටහන කියවගෙන යද්දි ඔබට පැහැදිලි වේවි.

හරි. අපි සටහනට යමු.

අප සාකච්ඡා කරන දරුවන් ඉපදවීමේ හොඳ නරක (morality of procreation) ගැන මාතෘකාවේදී ගොඩක් දෙනෙක් තර්කයක් විදියට ඉදිරිපත් කරනවා මෙවන් අදහසක්.

‘ජීවිතයේ දුක විතරක් නෙමේ. සතුටත් තියෙනවා. අපිට නම් ජීවිතය ආතල්. ඒ නිසා අපි දරුවන් බිහි කිරීමේ යෙදෙනවා. මොකද අපි ලබන සතුට ඒ දරුවන්ටත් ලබා දෙන්න අපි කැමති නිසා’.

ඉහත තර්කයේ අඩුපාඩුව පැහැදිලි කරන්නම්.

ජීවිතයේ යම් ප්‍රමාණයක සතුට, තෘප්තිය දනවන අත්දැකීම් අඩංගු බව සත්‍යයක්. එහෙත් තේරුම් ගන්න ඕන කාරණය තමයි, ‘සතුටු වීම’ කියන්නේම දරුවෙක් මෙලොවට බිහි කරනු ලැබීමෙන් අනතුරුව ඒ දරුවා තුළ හටගන්නා ‘අවශ්‍යයතාවයක්’ කියන එක. ඒ කියන්නේ ජීවිතය තුළයි ‘සතුටු වීම’ කියන උවමනාව තියෙන්නෙ.

දරුවන් බිහි කිරීම සදාචාරාත්මක නොවන බව කියන දාර්ශනික ස්ථාවරයේ තර්කය වෙන්නේම ජීවිතයක් නිර්මාණය කිරීම මඟින් ඒ ජීවිතය තුළ ‘සතුට සොයා යෑමේ අවශ්‍යයතාව’ නිර්මාණය කිරීමට සාධාරණ (justifiable) හේතුවක් නොමැත කියන එකයි.

ඔබේ නොඉපදුන දරුවාට ඔහු/ඇය නොඉපදුනොත් කිසිදාක සතුට සොයා යාමේ අවශ්‍යයතාවයක් ඇති වන්නේ නැහැ. ඒ වගේම සොයා යන ඒ සතුට ළඟා කරගන්න නොහැකි වුනාය කියල ඔහු/ඇය කිසිදා කණස්සල්ලට, දුකට, කරදරයට පත්වෙන්නේත් නැහැ. ඊටත් අමතරව ඔහු/ඇය කිසිමදාක මේ කටුක ලෝකයේ මුහුණ දීමට ඉඩ තිබෙන දුක් වේදනා, අනතුරු, අහිමි වීම්, අපහාස, නින්දා, මානසික මෙන්ම ශාරීරික ලෙඩ රෝග වැනි දහසකුත් එකක් දුකට පත් වීම් වලට මුහුණ දෙන්නටද ඔහුට හෝ ඇයට සිදුවන්නේ නැහැ.

මෙහිදී තේරුම් ගත යුතු කාරණා මේවායි.

පළමුවෙන්, ඔබ දරුවා බිහි කරන්නේ ඔබේ කැමැත්ත හෝ උවමනා එපා කම් මතයි. කිසිම කෙනෙක් ඔවුන්ව මෙලොවට බිහි කරන්නය කියල ඉල්ලීම් කරන්නේ නෑ. එහෙම කරන්න විදියක් නෑ. ඒ නිසා අනිවාර්‍යයෙන්ම ඒ තීරණය ඔබ, ඔබ උදෙසා (your self-interest) ගනු ලබන්නක්. ඒ අර්ථයෙන් ගත්තම ජීවිතය කියන්නේ ඔබ අනිකෙක් මත බලෙන් පටවන්නක් (imposition).
මේ බලෙන් පැටවීම හරහා ඔබ අවශ්‍යතා වලින් යුත් සචේතනික ජීවියෙක් මේ hostile ලොවට බිහි කරනවා. ඔබ බිහි කරන්නේ සතුට හඹා යාමේ අවශ්‍යයතාවයෙන් නිරතුරුව පෙළෙන, ඒ අවශ්‍යයතාවය ඉශ්ඨ කරගැනීමට සමත් වීම හෝ අසමත් වීම තුළ තමන්ගේ මානසික සහ ශාරීරික සුවය පදනම් වෙන, ඒ වගේම නිරතුරුවම අනතුරු ආපදා වලට ලක් වීමට ‘අවධානමක්’ ඇති ජීවියෙක්ව.

ඔය අන්තිම වාක්‍යයේ තියෙන ‘අවධානම’ (risk) කියන වචනය ඉතා වැදගත්. දරුවෙක් බිහි කිරීම මඟින් ඔබ කරන්නේ ඔබගේ අවශ්‍යයතා සහ ආශා මුදුන්පත් කරවාගන්න ඔබෙන් නොඉල්ලූ ජීවිතයක් තව කෙනෙක් මත පටවනවා, අවධානමක් අරගෙන! ඔබ ඒ අවධානම ගන්නේ ඔබේ උවමනාව වෙනුවෙන්.. ඔබ අවධානමට පත් කරන්නේ වෙන කෙනෙක්ව..! ජීවිතය ඔබෙන් නොඉල්ලූ කෙනෙක්ව!

අනතුරු, ලෙඩ රෝග, නින්දා, අපහාස, මානසික ප්‍රශ්න, ප්‍රතික්ශේප වීම්, අසාධාරණයට ලක් වීම්, බලාපොරොත්තු කඩ වීම් මෙන්ම අකමැත්තෙන් වුනත් යථාර්තය නිසා සඳහන් කරන්න වෙනවා ලිංගික අපයෝජන වලට, ඝාතනය වීම් වලට, මංකොල්ලකෑම් වැනි අප්‍රසන්න අත්දැකීම් වලට ලක් වීම්.. මෙවැනි ලක්ෂ සංඛ්‍යාත දේවල් වලට මුහුණ දීමේ මේ මහා උරචක්‍රමාලය මේ ජීවිතය මත පැටවෙන්නේ ඔබ සවිඥ්ඥානිකව ඔහුව/ඇයව මෙලොවට ගෙන ඒමට ගන්නා තීරණය නිසයි.

ඒ තමයි, ඔබ ඔබේ උවමනා සහ ආශා නිසා ඔබ බිහි කරන්න බලාපොරොත්තු වන දරුවා වෙනුවෙන් ගන්නා අවධානම!

ඔබ කරන්නේ සූදුවක්. වෙනෙකෙක්ගේ යහපැවැත්ම හොඳ අතට හැරේවිය කියා අපේක්ෂාවෙන් ඔබේ වාසනාව උරගා බලමින් ඔට්ටු ඇල්ලීමක්.

නමුත් යථාර්තය, මේ ඔට්ටුව කවුරුත් දිනන ඔට්ටුවක් නොවන බවයි. මේ හැම ඔට්ටුවක්ම අවසන් වෙන්නේ එකම විදියකින් බවයි. දරුවෙක් මෙලොවට බිහි වීමට කලින් අපට ඒ දරුවාගේ ජීවිතය ගැන ‘නිශ්චිතවම’ කිව හැක්කේ එකම එක දෙයක් පමණයි. ඒ, ඒ දරුවා කවදා හෝ මරණයට පත් වන බවම පමණයි. ඒ නිශ්චිතයෙන් එහාට බිහි වන කෙනාගේ ජීවිතය පුරාවට ඔහුට/ඇයට සියලූම ආකාරයේ අත්දැකීම් වලට ලක් වීමේ හැකියාව (possibility) අනිවාර්යෙන්ම පිළිගත යුතුයි.

(නිකමට වගේ ඔබ බිහි කරන්න බලාපොරොත්තු වෙන දරුවා මරණයට පත් වීමට ඉඩ තිබෙන ආකාර මෙනෙහි කර බලන්න. පිළිකාව වැනි රෝගයකින් දුක් විඳීමෙන්? දීර්ඝ කාලයක් මහළු වියේ ඇඳක – අවුරුදු පහක් දහයක් – ගත කිරීමෙන්? හදිසි අනතුරකට ලක්ව වාහනයේ යකඩ කෑලි මත සිර වී මස් කෑලි එල්ලී අත පය කැඩී ලේ යාමෙන්? තමාගේ ආදරණීයයන්ව තියා තමන්ගේ නමවත් මතක නැති තැනකට පත් වී එවකට තරුණ පරපුරටම බරක් වෙන තත්වයකට පත් වීමෙන්? සිතා බලන්න. ඔබට කරුණු කාරණා එසේ නොවී ඔබේ දරුවා සුව නින්දකදී සැපසේ සුභ මරණයක් අත් කරගනීවි කියා සහතික විය හැකිද? මේ සියල්ල ඔබ ඔබේ උවමනාවට ඒ අසරණයාව මෙලොවට ගේන්න යන නිසා නොවේද? මේ වෙනකෙකු වෙනුවෙන් ඇල්ලීමට සාධාරණ ඔට්ටුවක්ද?)

ඉපදුන කෙනෙක් සතුට ළඟා කරගැනීම හරහා යම් තෘප්තියක් ලබන බව කලින් කිව්වා වගේම සත්‍යයක්. නමුත් සතුට විඳින්නම කෙනෙක් ඉපදවීම සමාන වෙන්නේ බෙහෙත් දැමූ විට සහනයක් ලැබෙන නිසා ඒ සහනය ලබා ගන්න තුවාලයක් නිර්මාණය කිරීමකටයි.

තුවාලය නිර්මාණය කල නිසා එයට අවශ්‍යය බෙහෙත් දැමීමෙන් සහනයකුත් ඒ බෙහෙත් නොලැබීමෙන් වේදනාවකුත් ලැබෙනවා තමයි, නමුත් තුවාලයක් නිර්මාණය නොකලා නම් ඔය දෙකම නැහැ.


ඔබ හෙට දරුවෙක් බිහි කලොත් ඒ දරුවා උපදින්නේම පැවැත්ම හෙවත් ජීවිතයට ආශා කරමින්. ඒක තමා default පොසිෂන් එක. ඔබ මේ බලෙන් පටවන ජීවිතයට ඇබ්බැහිවීම හැර ඒ උපදින දරුවාට අඩුම ගානේ වෙන විකල්පයක්වත් නැහැ.

උපන් දවසේ සිටම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙක් මෙන් ජීවිතයටත්, ජීවිතය මඟින් නිර්මාණය කෙරෙන ආශාවල්, උවමනා එපාකම් වලටත් ඇබ්බැහි වෙනවා. කුඩු ලබා ගැනීම නොගැනීම අනුව තෘප්තිය හෝ අසහනය තීරණය වන්නා සේම, ඔබ බිහි කිරීමට දායක වන ඒ ජීවිතය මඟින් නිර්මාණය කෙරෙන අවශ්‍යතා සහ උවමනා ළඟා කර ගැනීම නොගැනීම මත සතුට සහ දුක තීරණය කෙරෙනවා. මෙය නොවේද යථාර්තය?

තේරුම් ගත යුතු කාරණය මෙයයි. කෙනෙක් නොඉපදුනාය කියල ඒ කෙනාට යම් සැපක් අහිමි වීම ප්‍රශ්නයක් නැහැ.

ඉන්න, ඒක මම ආයෙම පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.

මේක ගැන හිතන්න ඕන “මම නොඉපදුනා නම්” කියන තැනින් නෙමේ. මොකද තමා හෝ තමාගේ සහෝදරයෙක් හෝ තමාගේ දරුවෙක් නොඉපදුනා නම් කියල හිතද්දිම, දැනට ජීවත් වෙන ඔවුන් හිතින් ඉවත් කර උපකල්පනය කිරීමක් වෙන්නෙ. එතකොට කොහොමත් ඉතුරුවෙන්නේ අපි අකමැති හිස් තැනක්.

ඕක හිතන්න ඕන, මගේ දාහතර වෙනි සහෝදරයා නොඉපදුන එක ඔහුට අවුල්ද? වගේ තැනකින්. මොකද එතකොට දැනට ජීවත් වන අපට ඒක තේරුම්ගන්න ලේසියි, ඒ නොපැවැත්ම කියන සංකල්පය.

කිසිදා නොඉපදුන මගේ නමවෙනි නංගිට අයිස්ක්‍රීම් කෑමේ සතුට භුක්තිවිඳින්න බැරි එක ගැන මටවත් නොඉපදුන ඒ නමවෙනි නංගිටවත් අවුලක් තියෙනවද..?
ඒ වගේ තමා. කෙනෙක් නොඉපදුනොත්, යමක් අහිමි වීම ප්‍රශ්නයක් වෙන්න ‘කෙනෙක්’ නෑ.

අහිමි වීම ප්‍රශ්නයක් වෙන්නෙ දැනට ජීවත්වෙන අයගෙ ඇහින් විතරයි.
නූපන් අයට ප්‍රශ්න නෑ. ප්‍රශ්න තියෙන්නෙ ඉපදීමේ සහ ජීවිතයේ බර දරාගෙන ඉන්න අපිටයි!

තම දරුවන් මත පැටවෙන්නට නියමිත ඕනෑම දුකකින් වේදනාවකින් ඔවුන් ආරක්ෂා කිරීම තම එකම සහ ලොකුම අරමුණ බව බොහෝ දෙමාපියන් පවසනවා. එහෙත්, තමන්ගේ දරුවන් මත දුක සහ වේදනාව පැටනොවෙන බවට සම්පූර්ණයෙන්ම සහතික විය හැකි එකම ක්‍රමය ඔවුන්ව බිහි කිරීමෙන් වැළකීම බව ඔවුන් කිසිවෙකුට නොවැටහෙන තරම්!

“මිනිසුන් අවංක බුද්ධිමය ගවේෂණයකින් පසුව පමණක් දරුවන් මෙලොවට බිහි කිරීමේ යෙදුනහොත්, මිනිස් සංහතිය තව දුරටත් පවතීවිද? මිනිසෙක්ට, දරුවෙක් බිහි කිරීමේ අවධානම තමා විසින් ගන්නවා වෙනුවට, ජීවිතයේ බර දරුවා මත නොපැටවීමට තරම් දරුවා කෙරේ කාරුණික විය නොහැකිද?”


අද සටහන මෙතනින් නවත්වනවා. ඊලඟ සටහන් වලින් මේ මාතෘකාව ගැන වැඩිදුරට කතා කරමු.
.
.
.
— ජේමිස් බණ්ඩා

ප/ලි –

  1. කෙනෙක් සිතන්න පුළුවන්, ‘මම මගේ දරුවාට සැපෙන් ඉන්න ලොකු ධනයක් හම්බ කරලා දෙනවා’ කියා. නමුත් ඒ තර්කය ගැන සාකච්ඡා කිරීමටවත් වටින්නේ, දරුවාගේ ජීවිතය තුළ දුක ඇති වීමට ඇති එකම ක්‍රමය ‘ධනය අහිමි වීම’ වුනා නම් පමණයි.

2 . මේ මාතෘකාව ගැන විවේචන තිබේ නම් කමෙන්ට් වල ඉදිරිපත් කරන්න. මේ ගැන සාකච්ඡා කෙරෙන ඉදිරි සටහන් වල ඒවාට පිළිතුරු ලැබෙන අයුරින් ලියන්නම්.

#antinatalismlk

ජීවිතේ සුන්දරද? මෙතරම්!

මම සම්පුර්ණයෙන්ම සෘණාත්මකව සිතන කෙනෙක් ද කියා මම හරියටම නොදනිමි. මා එසේ සිතන්නෙක් ය කියා මගේ සමහර මිතුරන් වරකට වඩා මා හට කියා තිබේ. සමහර විට ඔවුන් කියනා දේ සත්‍යය වන්නටත් පුළුවන.

මම සැබවින්ම සෘණාත්මකව සිතන්නෙක් වුනත් මට එය ගැටළුවක් නොවේ. ඒ, මට සෘණාත්මක චින්තනයෙන් ඈත් වීමටවත් මම ධනාත්මක චින්තකයෙකු බව අනෙක් අයට හෝ මටම ඔප්පු කරවාගන්නවත් උවමනාවක් නොමැති හෙයිනි.

මගේ චින්තනය ධනාත්මකද, සෘණාත්මකද නැත්නම් වෙන යම් මොකක් හෝ එකක් ද කියා එයට ගැලපෙන ලේබලය ගැන මම මොහොතකටවත් වද නොවෙමි. මම උත්සාහ කරන්නේ මා ජීවත් වන ලෝකයේ යථා ස්වභාවය නොබියව බාර ගැනීමට හා එය හැකි පමණින් තේරුම් ගැනීමටයි. බුද්ධිමය වශයෙන් මගේ අරමුණ එයයි. මා ජීවත් වන යථාර්තය සෘණාත්මක නම්, අනිවාර්‍යයෙන්ම මගේ චින්තනයද සෘණාත්මක වීම වැළැක්විය හැකි නොවේ.


අතහැර දමනු ලැබූ නිවසක ජරාවට ගිය නාන කාමරයක මිනිසුන් කිහිපදෙනෙකු සිරවී සිටියි. තැනින් තැන වැටී සිටින ඔවුන්ගේ කකුල් නාන කාමරයේ එක් එක් උපාංග වලට දම්වැල් දමා ගැටගසා තිබේ. කිසිවෙකුට සොයා ගත නොහැකි ලෙස සිර කර තිබෙන මොවුන්ට යන්තම් ජීවත් වීමට හැකි පමණට ආහාර ලබා දේ. මොවුන්ට කිසිදා ගැලවෙන්නට නොහැක. එකම ගැලවීම යම් දිනක සිදුවන්නට නියමිත මරණය පමණි. (SAW නම් චිත්‍රපටයේ නානකාමරය සිහියට නංවා ගන්න. එතැන් සිට මගේ උදාහරණයේ තොරතුරු ඒ තුළ නිර්මාණය කරගන්න උත්සාහ කරන්න)

ඔවුන් හසුවී තිබෙන උගුලෙන් මරණය හරහා නිදහස ලැබෙන දිනය එනතුරු සිරකරුවන් ලෙස සිය ජීවිත ගත කරනට සිදුව තිබෙන ඒ මිනිසුන් කිහිප දෙනාට, සිය චින්තනය හැඩගස්වා ගත හැක්කේ කෙසේද?

එහිදී තමන්ගේ සිහි විකල් නොවී සිටීමට හැකි පමණින් එක් එක් ක්‍රියාවල නියැලීමත්, එකිනෙකා අතර වාචිකව හෝ හැකි පමණකින් සහසම්න්ධතා ඇති කරගැනීමත් වැදගත් වේ ය යන්න අවිවාදිත ය. තමන්ගේ සිරකුටිය තුළ (නානකාමරය තුළ) ඇති මොනවා හෝ සොයාගෙන කාලය ගත කර ගැනීමේ අරමුණින් යම් යම් ක්‍රීඩා නිර්මාණය කර ගත හැකිය. තමන්ගේ අනන්‍යතා අනුව එක් එක් අය අතර සමීප මිතුරු හෝ හැකි නම් ආදර සබඳතා ඇති කරගත හැකිය. ගතවන කාලය තුළ ළඟාකරගත හැකි හොඳම යහපැවැත්ම උදෙසා යම් යම් සම්මුතීන්, එකඟතා වලට එළඹිය හැකිය. ලැබෙන කෑම ප්‍රමාණයන් අවශ්‍යයතාවය අනුව බෙදාගන්නා අයුරු ගැන සාකච්ඡා වාද විවාද කල හැකිය. හැකි තරම් පිරිසිදුව, සෞඛ්‍යයාරක්ෂිතව සිටීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් හැකි ක්‍රියාමාර්ග ගත හැකිය.

මේ සියල්ලම වැදගත් මෙන්ම ඉතාම තාර්කික ක්‍රියාය.

එසේ නැතුව, තමන් හසුවී සිටින අභාග්‍යය සම්පන්න ඉරණම ගැන මැසිවිලි නඟමින් ඔහේ නාහෙන් අඬ අඬ කල් ගත කිරීමෙන් කිසිදු පලක් නොවන බව පැහැදිලිවම පිළිගත හැකි කාරණයකි.

මේ කාරණා, සටහන කියවන ඔබටද මටද අවිවාදයෙන් පිළිගත හැකි බව උපකල්පනය කරමි. කිසිදු ගැටළුවක් නැත.

මිනිසුන් කිහිපදෙනා පත් වී සිටින, ගැලවිය නොහැකි අභාග්‍යය සම්පන්න ඉරණම නිසා යම් ආකාරයක, ධනාත්මක චින්තනයක් ප්‍රයෝජනවත් වන බව මම අවිවාදයෙන් පිළිගනිමි. එහෙත් ඔවුන් ඉන්නා ඒ තත්වයේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට එය බාධාවක් කර නොගත යුතු බවයි, මා ඉදිරිපත් කරන තර්කය.

ගැලවීමක් නැති වන ලෙස මරණයෙන් පමණක් නිදහස් වන දිනයක් එන තෙක් සිර වී සිටීමට සිදුව තිබෙන ඔවුන්ට ධනාත්මක චින්තනයෙන් ප්‍රයෝජනයක් තිබෙන බව පිළිගත හැකි වුවත් ඔවුන් ඉන්නා ඒ තත්වය (ඔවුන් මුහුණ දී ඇති situation එක) ධනාත්මක, හොඳ තත්වයකැයි තර්ක කිරීම ඔවුන්ගේ ජීවිත වල යථා ස්වභාවය දරුණු ලෙස පටලවා ගැනීමක් නොවේද?

පැහැදිලිවම පෙනෙන්නට තිබෙන ඔවුන්ගේ ජීවිත වල සැබෑ තත්වය සෘණාත්මක බව යමෙක් පිළිගැනීම ගැටළුවක් වන්නේ මොන අර්ථයෙන්ද?

ඒ නානකාමරය තුළ දම්වැල් වලින් දෙපය සිර වී මීටර් කිහිපයක් පමණක් එහෙ මෙහෙ යාමට හැකි ඉඩක් තුළ, මිනිස් සබඳතා ගොඬනඟා ගැනීමේ යම් ප්‍රයෝජ්‍යය වටිනාකමක් තිබුන පළියට, ඒ සිරගෙය තුළ දුක් විඳීමට එහිදී එකිනෙකා සංසර්ගය කර තවත් මිනිසුන් බිහි කිරීම සදාචාරාත්මක අර්ථයෙන් සාධා‍රණීයකරණය කල හැකිද?

“අපිට ටයිල් කෑලි වලින් මීටර් තුන හතරෙ බට්ටො පැනල කම්මැලියි. එපා වෙනව අප්පා. පොඩි එකෙක්වත් හිටිය නම් බෝනික්කෙක් වගේ හුරතල් කර කර ඉන්න තිබ්බා. අපේ පැවැත්මට එහෙනම් තාවකාලිකව හරි යම් අරමුණක් ලැබෙනවා. පොඩි එකා කවද හරි ලොකු වෙලා මේ ටයිල් කෑලි වලින් බිත්ති හූරලා ලස්සන චිත්‍ර අඳියි..”

මේ තර්කනය ධනාත්මක චින්තනයද? මෙහි අවුලක් ඇති බව දැකීම සෘණාත්මක චින්තනයද?

දැන්, මා යෝජනා කල උපකල්පිත යථාර්තයෙන් එළියට පැමිණ ඔබ මම ජීවත් වන සැබෑ ලෝකයට එමු.


මගේ උපකල්පිත යථාර්තය සහ අපේ සැබෑ ලොවේ සෑහෙන විශාල වෙනස්කම් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඔබ උත්සාහ කලහොත්, ඔබ සිතනවාට වඩා සමානකම් ද දැකිය හැකි බව යෝජනා කරන්නට කැමැත්තෙමි. නිකමට මෙන් සිතා බලන්න. ඒ සිතා බැලීමේ කාර්‍යයේදී නිකමට මෙන් අවංක වෙන්නද උත්සාහ කරන්න.

යම් අවස්ථා වල – ඉහත මගේ උදාහරණයේදී මෙන් – සෘණාත්මක චින්තනයෙන් මිනිස් යහපැවැත්මට බාධාවක් වන බව පැහැදිළිය.

එහෙත් යම් සන්ධර්භයකට අදාලව යථාර්තයේ අවංක නිරූපනයම සෘණාත්මක නම්, ඒ චින්තනය පැහැදිලි කිරීමට වඩාත් සුදුසු වචනය වෙන්නේ ‘සෘණාත්මක’ බව නොව ‘යථාර්තවාදී’ බව (realist) නොවේද?

ජෝර්ජ් ඕවෙල්ගේ 1984 ලෝකය සෘණාත්මක බව කීම අවුල් ද? හක්ස්ලිගේ Brave New World හි ලෝකය සෘණාත්මක බව කීම වැරදිද? මාග්‍රට් ඇට්වුඩ්ගේ Handmaids Tale ලෝකයට ගැහැණු දරුවෙක් බිහි කිරීම සදාචාරාත්මකව වැරදි බව කීම හෙණම අප්සට් ද?

යම් ජීවීන් පිරිසක් ජීවත් වන ලෝකය සෘණාත්මක නම් එය සෘණාත්මක බව කීම මහා අප්සට් එකක් නොවේ. එය යථාර්තවාදී වීමකි.


මගේ ආකල්ප පදනම් වෙන්නේ ඕවෙල් ගේ 1984 මෙන් අප ජීවත් වන ලෝකය සහ අපේ ජීවිත සැබවින්ම සෘණාත්මක ය කියන උපකල්පනය මත බව මම පිළිගනිමි.

අපගේ යථාර්තය සෘණාත්මකය කියා මා කියන්නේ ඇයි?

ඊළඟ සටහනින් මම ඒ ගැන ලියන්නට අදහස් කරමි.
.
.
.
— ජේමිස් බණ්ඩා

#antinatalismlk

මැචින්ම කපල් එක

සිංහල බෞද්ධයා :- “විවාහයට කලින් ලිංගික සබඳතා පැවැත්වීම වරදකි. එසේ කරන්නන්ට නිගරු කිරීම, ලේබල් ගැසීම, කොන් කිරීම, කටකථා ආදිය මඟින් ‘චරිතය ඝාතනය’ කල යුතුය (කාන්තාවන්ට විශේෂයි)”.

ඉස්ලාම් මූලධර්මවාදියා :- “විවාහයට කලින් ලිංගික සබඳතා පැවැත්වීම අපරාධයකි. ගල් ගසා ඝාතනය කල යුතුය (කාන්තාවන්ට විශේෂයි).”


සිංහල බෞද්ධයා :- “කන්‍යාභාවය යනු මංගල රාත්‍රිය තෙක් රැකගෙන තම පුරුෂයාට පූජා කල යුතු උතුම් දෙයකි”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “කන්‍යාභාවය යනු මංගල රාත්‍රිය තෙක් රැකගෙන තම පුරුෂයාට පූජා කල යුතු උතුම් දෙයකි”


සිංහල බෞද්ධයා :- “කාන්තාවන්ගේ කන්‍යාභාවය පිළිබඳ මහා උන්මාදයක් අපට ඇත. කන්‍යාභාවය නොමැති කාන්තාවන් ‘පාවිච්චි කල බඩු’ ලෙස ඉවත දැමිය යුතුය. ප්‍රතික්ෂේප කල යුතුය. මංගල රාත්‍රියේදී තම බිරිඳට කන්‍යාභාවය නොමැතිය කියා දැන ගත්තොත් එදා සිට ඇයට බැල්ලියක සේ සැලකිය යුතුය”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “කාන්තාවන්ගේ කන්‍යාභාවය පිළිබඳ මහා උන්මාදයක් අපට ඇත. කන්‍යාභාවය නොමැති කාන්තාවන් ‘පාවිච්චි කල බඩු’ ලෙස ඉවත දැමිය යුතුය. ප්‍රතික්ෂේප කල යුතුය. මංගල රාත්‍රියේදී තම බිරිඳට කන්‍යාභාවය නොමැතිය කියා දැනගතහොත් ඇයව ගල් ගසා මරා දැමිය යුතුය (දැඩි අන්තවාදී සමහරු).


සිංහල බෞද්ධයා :- “කාන්තාව දරුවන් සැදීමට සිටිනා මැෂිමකි. දරුවන් බිහි කිරීමට නොහැකි කාන්තාවන්ට නිගරු කල යුතුය. අවමන් කල යුතුය. ඔවුන් දැකීම පවා අසුභ ලකුණකි. කාන්තාව මවක් වීමට පෙර සිටම “කවද හරි අම්මා කෙනෙක් වෙන්න ඉන්න අය නේද” කියා ඔවුන්ගේ ‘වැරදි’, මව් කෙනෙකුට අනුචිත හැසිරීම් නිවැරදි කල යුතුය. කාන්තාවක් ගැන ‘මව’ නැමති භූමිකාවෙන් පිට සිතීමට නොහැකිය.

ඉස්ලාම් මූලධර්මවාදියා :- “කාන්තාව දරුවන් සැදීමට සිටිනා මැෂිමකි. පිරිමියා කැමති කැමති වෙලාවට දරුවන් හැදීම උදෙසා ඔහු හා එක්වීමට සූදානමින් සිටිය යුතුය.”


සිංහල බෞද්ධයා :- “සමලිංගික හැසිරීම වැරදිය. සමලිංගිකයන් පිළිගැනීමෙන්, ඔවුන්ගේ අයිතීන් පිළිගැනීමෙන් සමාජය විනාශ වේ. සමලිංගිකත්වය අස්වාභාවිකය. මිනිසුන් දෙදෙනෙකු එක් විය යුත්තේ දරුවන් බිහි කිරීමටම පමණි. එසේ කල නොහැකි නම් ඔවුන්ට ආදරය කිරීමට, එකට ජීවත් වීමට අයිතියක් නැත. ඔවුන්ව ප්‍රතිෂේප කල යුතුය. අපහාස කල යුතුය. කොන් කල යුතුය”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “සමලිංගික හැසිරීම වැරදිය. සමලිංගිකයන් පිළිගැනීමෙන්, ඔවුන්ගේ අයිතීන් පිළිගැනීමෙන් සමාජය විනාශ වේ. සමලිංගිකත්වය අස්වාභාවිකය. මිනිසුන් දෙදෙනෙකු එක් විය යුත්තේ දරුවන් බිහි කිරීමටම පමණි. එසේ කල නොහැකි නම් ඔවුන්ට ආදරය කිරීමට, එකට ජීවත් වීමට අයිතියක් නැත. ඔවුන්ව ගල් ගසා ඝාතනය කල යුතුය”


සිංහල බෞද්ධයා :- දරුවන්ව අයිති දෙමාපියන්ටය. කන්න බොන්න දී, උගන්වා ලොකු මහත් කල නිසා ඔවුන්ගේ ජීවිත වල සියලූම වැදගත් තීරණ ගත යුත්තේ අපට ඕනෑ විදියටය. එසේ නැති නම් ඔවුන්ව ගෙදරින් දොට්ට දැමිය යුතුය. එලවිය යුතුය. දරු කමින් නෙරපා දැමිය යුතුය.

ඉස්ලාම් මූලධර්මවාදියා :- දරුවන්ව අයිති දෙමාපියන්ටය. කන්න බොන්න දී, උගන්වා ලොකු මහත් කල නිසා ඔවුන්ගේ ජීවිත වල සියලූම වැදගත් තීරණ ගත යුත්තේ අපට ඕනෑ විදියටය. එසේ නැති නම් ඔවුන්ව ගෙදරින් දොට්ට දැමිය යුතුය. එලවිය යුතුය. දරු කමින් නෙරපා දැමිය යුතුය (දැඩි අන්තවාදීන් නම් දෙමාපියන්ට අකීකරු වී පවුල මත අගෞරවය දැමූ දරුවන් මැරිය යුතුය – honor killing)


සිංහල බෞද්ධයා :- “මානව හිමිකම් කියන වචනය පවා අරහංය. ආගමින් සියලූම සමාජ ගැටළු විසඳිය හැකිය. සමාජයේ පිරිහීමට හේතුව මිනිසුන් ආගමින් ඈත් වීමය. එනිසා ආගමට මිනිස්සුන්ව තව තවත් පෙළඹිය යුතුය. මානව හිමිකම් නම් අපට එපාය”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “මානව හිමිකම් කියන වචනය පවා අපට අරහංය. ආගමින් සියලූම සමාජ ගැටළු විසඳිය හැකිය. සමාජයේ පිරිහීමට හේතුව මිනිසුන් ආගමින් ඈත් වීමය. එනිසා ආගමට මිනිස්සුන්ව තව තවත් පෙළඹිය යුතුය. මානව හිමිකම් නම් අපට එපාය”


සිංහල බෞද්ධයා :- “ආගමක් නැතිව මිනිසෙක්ට ශිෂ්ඨ සම්පන්නව ජීවත් විය නොහැකිය. ආගම් නොමැති නම් මිනිස්සු තිරසනුන් වගේ වෙනවාය. කර්මය නැති නම් අදම අපි මිනීමරනවාය, ගෑණු දූෂණය කරනවාය, සත්තු එක්ක සෙක්ස් කරනවාය. අපි මේ සියල්ල නොකරන්නේ ආගමට ඇති බය නිසාය”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “ආගමක් නැතිව මිනිසෙක්ට ශිෂ්ඨ සම්පන්නව ජීවත් විය නොහැකිය. ආගම් නොමැති නම් මිනිස්සු තිරසනුන් වගේ වෙනවාය. අල්ලා නැති නම් අදම අපි මිනීමරනවාය, ගෑණු දූෂණය කරනවාය, සත්තු එක්ක සෙක්ස් කරනවාය. අපි මේ සියල්ල නොකරන්නේ ‘අල්ලාට’ ඇති බය නිසාය”


සිංහල බෞද්ධයා :- “අන්‍යාගමීකරණය තහනම් කල යුතුය. ගෙවල් ගෙවල් වලට ගොස් වෙනත් ආගම් ප්‍රචාරය කරන උන්ව කනට ගසා එළවිය යුතුය. අපේ ආගමේ ඔලු ගෙඩි ගණන හැකි තරම් වැඩි කල යුතුය.”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “අන්‍යාගමීකරණය තහනම් කල යුතුය. ගෙවල් ගෙවල් වලට ගොස් වෙනත් ආගම් ප්‍රචාරය කරන උන්ව කනට ගසා එළවිය යුතුය. අපේ ආගමේ ඔලු ගෙඩි ගණන හැකි තරම් වැඩි කල යුතුය.”


සිංහල බෞද්ධයා :- “ගෑණු උනාම හැදිච්ච විදියට අඳින්න ඕනෑය. වැදගත් තැන් වලට යද්දි සාරිය වැනි සංවර ඇඳුමක් ඇඳිය යුතුය. නැති නම් ඔවුන්ව එළවිය යුතුය. හැදිච්ච ඇඳුම් ඇන්දවිය යුතුය.”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “ගෑණු උනාම හැදිච්ච විදියට අඳින්න ඕනෑය. වැදගත් තැන් වලට යද්දි බුර්කාව වැනි සංවර ඇඳුමක් ඇඳිය යුතුය. නැති නම් ඔවුන්ව එළවිය යුතුය. හැදිච්ච ඇඳුම් ඇන්දවිය යුතුය.”


සිංහල බෞද්ධයා :- “සමාජය පිරිහී ඇත්තේ නීති මදි කම නිසාය. වරදකරුවන්ට රජ කාලේ දඬුවම් දිය යුතුය. වරදකරුවන්ට දඬුවම් දීමෙන් සියල්ල විසඳේ. ඔවුන් ඒ තත්වයට පත් වන්නෙ ඇයි, ඒ තත්වයට පත් වූයේ කෙසේද වැනි සමාජිය, ආර්ථික, සංස්කෘතික සාධක අපට වැඩක් නැත. මරණ දණ්ඩනය අනිවාර්යෙන් අද සිටම ක්‍රියාත්මක කල යුතුය.”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “සමාජය පිරිහී ඇත්තේ නීති මදි කම නිසාය. වරදකරුවන්ට ශරියා නීතියෙන් දඬුවම් කල යුතුය. වරදකරුවන්ට දඬුවම් දීමෙන් සියල්ල විසඳේ. ඔවුන් ඒ තත්වයට පත් වන්නෙ ඇයි, ඒ තත්වයට පත් වූයේ කෙසේද වැනි සමාජිය, ආර්ථික, සංස්කෘතික සාධක අපට වැඩක් නැත. මරණ දණ්ඩනය අනිවාර්යෙන් අද සිටම ක්‍රියාත්මක කල යුතුය.”


සිංහල බෞද්ධයා :- “විනෝද වීම අවුල්ය. වසරේ වැදගත් මොහොතවල් හෝටල් වල සාද දමමින්, මස් කමින්, මත්පැන් බොමින් ගත කරන්නේ නැහැදිච්ච අවලම්මුය. එදාට ආගමානුකූලව ගත කිරීම යහපති.”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “විනෝද වීම අවුල්ය. වසරේ වැදගත් මොහොතවල් හෝටල් වල සාද දමමින්, මස් කමින්, මත්පැන් බොමින් ගත කරන්නේ නැහැදිච්ච අවලම්මුය. හැමදාම ආගමානුකූලව ගත කිරීම යහපති.”


සිංහල බෞද්ධයා :- “අපේ ආගම විවේචනය කලොත් බලාගෙනය. හිනා වුනොත් බලාගෙනය. අපේ ආගමේ ශුද්ධ වූ වචන, සංකේත, අපේ ආගමේ නායකයාව අප අකමැති විදියට කුමන ආකාරයේ දෙයක් උදෙසාවත් යොදාගත්තොත් බලමුය. එහෙම කරන උන්ගේ අඬු කැඩිය යුතුය. හිරේ දැමිය යුතුය. ඒ දේවල් තහනම් කල යුතුය”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “අපේ ආගම විවේචනය කලොත් බලාගෙනය. හිනා වුනොත් බලාගෙනය. අපේ ආගමේ ශුද්ධ වූ වචන, සංකේත, අපේ ආගමේ නායකයාව අප අකමැති විදියට කුමන ආකාරයේ දෙයක් උදෙසාවත් යොදාගත්තොත් බලමුය. ඒ දේවල් තහනම් කල යුතුය. එහෙම කරන උන්ව මැරිය යුතුය.”


සිංහල බෞද්ධයා :- “අදහස් ප්‍රකාශනයේ අයිතිය අපට එපාය. එය හොඳ නැත.”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “අදහස් ප්‍රකාශනයේ අයිතිය අපට එපාය. එය හොඳ නැත.”


සිංහල බෞද්ධයා :- “අපේ ආගමික නායකයා සියලු දේ දත්තෙකි. ඔහු කී දෙයින් පිට කිසිවක් සත්‍යය නොවේ. ඔහු කී දේ විශ්වාස නොකරන්නන් මෝඩයෝය”

ඉස්ලාම් මූලධර්මවාදියා :- “අපේ අල්ලා සියලු දේ දත්තෙකි. ඔහු කී දෙයින් පිට කිසිවක් සත්‍යය නොවේ. ඔහු කී දේ විශ්වාස නොකරන්නන් මෝඩයෝය.”


දැන් ඇති. පෝස්ට් එක තවත් දිග වෙන නිසා මෙතනින් නවත්තනවා. නැත්නම් සමාන කම් තවත් ලියන්න පුලුවන්.

මට තියෙන ප්‍රශ්නය මේකයි. මුන් දෙගොල්ලන්ට මෙච්චරම ගැලපෙන, එකම වගේ අදහස් තිබිලත්, ඇයි මෙච්චර නයි පොළොං තරහක්? මගේ යාලුවෙක් දවසක් කිව්ව කතාවක් තමයි, මුන් දෙගොල්ලන්ගෙ අදහස් ව්‍යුහයෙන් සමානයි, ගැඹුරින් විතරයි වෙනස් වෙන්නෙ කියල. ඒ කියන්නෙ දෙගොල්ලන්ගෙම අදහස් ගොඩනැඟෙන්නෙ එක හා සමාන ආකෘතියකින්. ආකෘතියේ ගැඹුර විතරයි වෙනස්. එකම දේවල් හරි, වැරදි විදියට දකින්නෙ. වෙනස වෙන්නෙ, ඒ වැරදි එක්ක කටයුතු කරන්නෙ කොහොමද කියන තැනදි විතරයි.

සරලවම කියනවා නම් දෙගොල්ලොම අමු පිස්සො.. එක සෙට් එකකට පිස්සු ඩබල්, අනිත් සෙට් එකට පිස්සු ට්‍රිබල් 😀

මේ දෙගොල්ලොම, විශේෂයෙන් සිංහල බෞද්ධයො මොහොතකට නැවතිල බලල හිතුවොත් හොඳයි.. තමා අච්චර ප්‍රතික්ෂේප කරන ආගමක්, සංස්කෘතියක් තියෙන පිරිසකට මෙච්චර සමාන අදහස් නේද අපිටත් තියෙන්නෙ කියල. එහෙම හිතල තමන්ගෙ අදහස් දිහාත්, අර සෙට් එක දිහා බලන්න පාවිච්චි කරන අන්වීක්ෂය යොදල බැලුවොත්, අමු අමුවේ පේන්න තියෙන ඒවායේ අවුල පෙනෙයි.

මීටත් වඩා තේරෙන්න කියන්න ක්‍රමයක් ඉතින්, මට නම් හිතාගන්න බෑ. මෙහෙම පෙන්නලත් බැයි නම්.. කණගාටුයි කියන්න, සොරිම තමා.

උඹල ඔය මෝඩ අදහස් ඔලුවේ තියාගෙන, ඒවා එක්ක ජීවත් වෙලා, ඒවා එක්කම මැරිලා පලයල්ලා.
.
.
.
– Jamis Banda

ප/ලි-

  1. සිංහල කතෝලිකයන්ද/ක්‍රිස්තියානින්ද මීට වැඩි වෙනසක් නැත. ඒ ඔවුන්ගේද සංස්කෘතිය සිංහල බෞද්ධ නිසාය. එකම සංස්කෘතියක හැදී වැඩී එකම අදහස් දරන සිංහල කතෝලිකයන්ද මේ ජාතියේම අමන මෝඩයන් බව මතක් කරමි. නැත්නම් මේ පෝස්ටුවේ ඔවුන්ගේ නම සඳහන් නොකිරීම ගැන ඔවුන් අමනාප විය හැක.

  2. මෙහි සිංහල බෞද්ධයා යනුවෙන් සියලූම බෞද්ධයන් මෙසේ කියා අදහස් නොකරමි. නමුත් බහුතරයක් දෙනාගේ චින්තනය මේ හා සමාන නිසා සිංහල බෞද්ධයා යන නාමය භාවිතා කලෙමි. මීට හාත්පස විරුද්ධ අදහස් දරණ සිංහල බෞද්ධ මිතුරු මිතුරියන් ඉතා සුළු පිරිසක් ඇති බව දනිමි. ඔවුන් මීට අදාල නොමැති බව සඳහන් කරමි

දෙමළාගේ ප්‍රශ්නය

දෙමළ වීම නිසාම දෙමළ ජනතාවට ඇති ප්‍රශ්නයෙන් උපන් දර්ශනවාදයන්

නොදන්න මඟුල් කථා කරමු..

එහෙමත් පුලුවන්ද?

කොළඹ ගමයා

A blog by Sanjaya Srikanth

පිටස්තරයා-2

A blog by Sanjaya Srikanth

Chandima Gomes

A blog by Sanjaya Srikanth

Sri Lankan Atheists| ශ්‍රී ලාංකික නිර්ආගමිකයෝ

Site dedicated for atheists, agnostics, secularists, humanists, free thinkers, rationalists, and skeptics of Sri Lankan origin.

වියරුව

සිර වී සිටි සිතුවිලි එළි බසින්නට වෙර අදිති!!! උහු රිසිසේ මනස් පවුරු බිඳ දමති!!! වියරුවෙන් කැරලි ගසති!!!

Notorious Journal

The explicit journal of an outcast...!

The null device

A blog by Sanjaya Srikanth

RearGate

A blog by Sanjaya Srikanth

නිදහස්...

A blog by Sanjaya Srikanth

සමනළ විප්ලවය The Butterfly Revolution

(දේශපාලන නවකථාවකි - A political novel)