ආදරය කරන්න බඳින්නෙ මොකටද?

“ආදරය කරන්න කසාද බඳින්නෙ මොකටද…?”

මමයි මගෙ ප්‍රියම්භිකාවියයි කසාදෙ අත්සන් නොකර ලිවින් ටුගෙදර් ඉන්න එක ගැන මුල් කාලෙ අහද්දි මම ලෑස්ති කරගෙන හිටිය කෙටි උත්තරය ඒ. ඒත් ප්‍රායෝගික අවස්ථා වලදි කියන්න අමාරු, ඒ ප්‍රශ්නයට මට දෙන්න තියෙන ඇත්තම උත්තරය කියනව නම් මෙහෙමයි.

“අපි දෙන්නගේ ආදර සම්බන්ධය ගැටගහල තියෙන්නේ අපි අතරෙ මැදිහත්කරුවෙක් විදියට ක්‍රියාකරන රාජ්‍යය (state එක) විසින් ය කියන අදහසට මගේ හිතේ ඇතිවෙන්නෙ නොකැමැත්තක්. මම කැමති අපේ ආදර සම්බන්ධය අපි දෙන්නගෙම එකඟතා, තේරුම් ගැනීම්, මෙහෙය වීම් මත පදනම් වුන අපිටම ගැලපෙනව කියල අපි හිතන අපිම හදාගත්ත හැඩයක් ගන්නවට. එතකොට ඒ ආදරය අපේ. අපි එකතු වෙන්නෙත්, අපේ ආදර සම්බන්ධය පවත්වාගෙන යන්නෙත් කවද හරි වෙන් වෙනව නම් වෙන් වෙන්නෙත් අපේම උවමනා එපාකම් අනුව. පුද්ගලයෙක් හෝ (ඒ කියන්නේ දෙමාපියන්, යාලුවන්, නෑදෑයන්) හෝ වෙන කවුරු හරි හදපු නීතියක් නෙමේ අපේ සම්බන්ධයේ හැඩය තීරණය කරන්නේ. අපිමයි. ඒ නිදහස, අනෙක් අයගෙන් අපි වෙන් වන ඒ ස්වාධීනත්වය ගැන හැඟීම, අපි ගැන අපිටම තියෙන හිමිකම මං හිතනව අපේ ආදර සම්බන්ධයට සමාජයෙන් නියම කරල තියෙන සාම්ප්‍රදායික උදාසීන ආකෘතියට හිරවෙනව වෙනුවට හැමදාම නැවුම් බවක් එක් කරනව කියල. මොකද අපේ ආදරයට වෙන මැදහත් කරුවො නැහැ. අපි දෙන්නා අතරෙ වෙන කවුරුත් නැහැ. කාටවත් උත්තර බැඳිය යුතු නැහැ. අපිව එකිනෙකාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බැඳල තියෙන බාහිර බලවේග නැහැ. අපිව එකට තියන්නෙ අපේ ආදරයම විතරයි. ඉතින් අපිට අපේ ආදර සම්බන්ධය වටිනව නම්, අපිට ඒක පවත්වාගෙන යන්න ඕන නම් අපිම ඒ වෙනුවෙන් දිනපතා වැඩ කරන්න ඕන. Effort එකක් දාන්න ඕන. අපි ගැන අපිටම තියෙන ඒ වගකීමට මම කැමතියි. එතකොට ආදරය කියන්නෙ ඒ වෙනුවෙන් මහන්සි විය යුතු දෙයක් ය කියන හැඟීම දැනෙනව. එක තැන පල් වෙවී තියෙන, ජීවිතයේ නානාප්‍රකාර දේවල් ඉදිරියේ මඟහැරී යන අඹුසැමි සම්බන්ධයක් නෙමේ, මේක පණ ගැහෙන ආදරයක්. ඕනෑම වෙලාවක මියයන්න ඉඩ තියෙන, ජීවත් වෙන ආදරයක්. මං ඒකට මාර ආසයි!”

මම තේරෙන වයසට ආපු කාලෙ ඉඳල මම කැමති වුනේ ආකෘති ගත නොවන සම්බන්ධයකට.(තේරෙන වයස කිව්වේ වයස අවුරුදු 26න් පස්සෙ).

සැමියා.. බිරිඳ.. පෙම්වතා… පෙම්වතිය.. අලුත බැඳපු ජෝඩුව.. ළමයි ඉන්න අම්මා, ළමයි ඉන්න තාත්තා… මැදි වයසේ යුවල.. වයසට ගිය වැඩිහිටියො දෙන්නා..

මේ වචන අස්සෙ තියෙනවා සමාජය විසින් හදපු ආකෘතියක්. අපි වෙනුවෙන් අපේ සම්බන්ධයේ එක් එක් කාලය තුළ හැඩයත් අපි රඟපෑ යුතු භූමිකා ගැන අවිඥ්ඥාණික නියමයන් එකතුවකුත්, සමාජීය අපේක්ෂාවකුත් ඒ එක්කම එනව. ඒ අපේක්ෂිත භූමිකා, හැසිරීම් අනුව අපව ඇගයීමට ලක් වෙනව. එක් එක්කෙනා හැසිරිය යුතු විදිය ගැන කලින් නියම කරන ලද නිර්දේශ මාලාවක්. ඒක ඇත්තටම ආරක්ෂිතයි. තම තමාගේ භූමිකා අනුව වැඩ කලාම ලේසියි.

ඒත් මට ඒ පහසුව ඕන නැහැ. මම කැමතියි මගේ ජීවිතයේ වටිනාකම්, ඒ ඒ කාල වල මගේ භූමිකාව මං විසින්ම හොයාගන්න. වෙන කවුරුත් නිර්දේශ කරල තියෙන උපදෙස් මාලාවක් අනුගමනය කරන්න තරම් මම සමාජීය හර පද්ධතිය විශ්වාස කරන්නෙ නැහැ. මොකද වෙන දේවල් වගේ නෙමෙයි මේක මගේ ජීවිතය. මගේ ජීවිතයේ මට වැදගත්ම දෙය.

මගේම වෙච්චි මටම ආවේණික ඒ පාර හොයාගෙන යාමේ පළමු පියවර තමයි, මගේ ආදර සම්බන්ධය අතරට රාජ්‍යය (state එක) සම්බන්ධ කර ගත යුතුය කියල මට දීලා තියෙන ගයිඩ් ලයින් එක බැහැර කරන එක.


මුල ඉඳලම මම දැනගෙන හිටියෙ නැහැ ඇයව දාන සමාජීය ආකෘතිය මොකක්ද කියල.

ඇය මගේ බිරිඳද? නැහැ. මම කොහේවත් අත්සන් කරල ඇයව අයිති කරගෙන නැහැ. නීතියකින් ඇයට බැඳිල නැහැ. අපව එකට තියාගන්න එකම බන්ධනය අපේ හිත් අතුලෙ තියෙන බැඳීම විතරයි. ඇය මගේ පෙම්වතියද? ඒත් නැහැ. නිකම්ම නිකන් පෙම්වතිය කියන වචනයෙන් ඇය සහ මම දැන් අවුරුදු ගානක් තිස්සෙ ගෙවන ජීවිතයේ ඇය ගැන මා තුළ තියෙන හැඟීම කියවෙන්නෙ නැහැ වගේ. ඒ වචනය මදි වගේ. ඇය මගේ හොඳම යාලුවෙක්ද? පැහැදිළිවම ඔව්. ඇය හොඳම යාලුවෙක් විතරක් නෙමෙයි. ඇය තමා මගේ හොඳම යාලුවා. නමුත්, හොඳම යාලුවා කියන වචන දෙකෙනුත් ඇයව විස්තර කෙරෙන්නෙ නැහැ. ඇත්තටම ඇය මගේ කව්ද?

ඇයට මගේ ජීවිතය තුළ තියෙන තැන විස්තර කරන්න මට වචනයක් එන්නෙ නැහැ. ඒ හැඟීම විස්තර කෙරෙන වචනයක්, නිලයක්, පට්ටමක්, ලේබලයක් මීට කලින් කවුරුත් නිර්මාණය කරල නැහැ. ඒකයි ඒ ගැන කල්පනා කරද්දි මට හිතෙන්නෙ. අනික් අය හදල දීපු කිසිම ආකෘතියකින් ඒක හරියටම කියවෙන්නෙ නෑ කියන එකෙන්ම ඒ හැඟීමට දෙන්නෙ අමුතුම වටිනාකමක්. ඒ වටිනාකමට මම මාරම කැමතියි.

“ජීවිතයේ වටිනාම දේවල් වචනයෙන් විස්තර කරන්න බැහැ” මම විශ්වාස කරන දෙයක්.

මේ මගේ කැමැත්ත. හැමෝම මේ දේවල් වලට එකඟ වෙන්න ඕනය කියල මම කියන්නෙ නැහැ. මගේ කැමැත්ත, මගේ පුද්ගලික අදහස් බෙදා ගැනීමක් විතරයි මේ.


“බඳින්නෙ නැති එකෙන් පස්සෙ කාලයක ප්‍රශ්න ඇතිවෙන්නෙ නැද්ද?” ඊළඟට එන ප්‍රශ්නය.

ඔව්. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බැන්දත්, නොබැන්දත්. ඒත් මම ආදරය කරන, ආදරය කරපු කෙනෙක් එක්ක, බැරි වෙලාවත් කවද හරි අපි වෙන් වෙන දවසක් ආවත්, කතා කරල විසඳගන්න බැරි ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. අපි මිනිස්සු. තිරිසන්නු නෙමෙයි..!

මම පුද්ගලිකව ආදරය ගැන විශ්වාස කරන තව අදහසක් බෙදාගන්නම්.

“ආදරය කරපු දෙන්නෙක්ට කවද හරි ආදරයෙන් වෙන් වෙන්න බැරි නම්, ඒ දෙන්නා අතර තිබිල තියෙන්නෙ මනුෂ්‍යයන් විදියට එකිනෙකාගේ ආශාවල්, ස්වාධීනත්වය, නිදහස කෙරේ ගරුත්වයෙන් පිරි ආදරයක් නෙමෙයි. එකිනෙකා අයිති කරගැනීමේ මෙහෙයුමක්. තමාගේ සැප සතුට මුල් කරගෙන ඒ වෙනුවෙන් තවත් මනුස්සයෙක්ව මෙවලමක් විදියට පාවිච්චි කරපු මොකක්දෝ කැත සම්බන්ධයක්. එකිනෙකාව බාහිර ලෝකයෙන් ඈත් කරල, ඒ කෙනාගෙ කැමැත්ත ඇතුව හෝ නැතුව එයාව හැමදාම තමාගෙම කරගන්න උත්සාහ කරපු බල අරගලයක්. ඒක මට ආදරය කියල මම අදහස් කරන, මට දැනෙන හැඟීමට සමාන කරන්න බැහැ. ඒ විදියට හිමිකමක හැඟීමකින් අයිති කරගන්න උත්සාහ කරගන්න පුළුවන් වාහන, ඉඩම්, දේපල වගේ දේවල්. මනුස්සයෙක්ව එහෙම අයිතිකරගන්නෙ කොහොමද? එහෙම දෙයකට කියන්න වෙන්නෙ වෙන මොකක් හරි කුණුහරපයක් මිසක් ආදරය කියල නෙමෙයි”

කෙටියෙන්ම, එකිනෙකා කෙරේ ගෞරවයෙන් අනෙකාගේ හොඳම ප්‍රාර්ථනා කරමින් වෙන් වෙන්න බැයි නම් ඔබ ආදරය කරල නැහැ. මේ මට ආදරය දැනෙන හැටි.

“බැන්දෙ නැත්නම් පස්සෙ තේරෙයි” වගේ කතා වලින් නොකියා කියවෙන දේ අපි හැමෝම නොදන්නව නෙමේ. වෙන් වෙන දවසට දේපල බෙදාගැනීමේ ප්‍රශ්න, ළමයි බෙදා ගැනීමේ ප්‍රශ්න!

මාව අදාල කරගෙන කතා කරනව නම්, අපි ළමයි බිහි කරන්නෙ නැති නිසා ඒ ප්‍රශ්නය අපිට අදාල වෙන්නෙ නැහැ. (මීට කලින් මගේ මේ අදහස ගැන නොදන්න කෙනෙක්ට ඒකට හේතුව එක වාක්‍යයකින් සාරාංශගත කරනව නම්, “මෙවන් ලෝකයකට දරුවෙක් නොගෙනෙන්න තරම් අපි නූපන් දරුවන්ට කරුණාවන්තයි”. ඔබ එකඟ වෙන්න එපා. ප්‍රශ්නයක් නැහැ).

ඊලඟට දේපළ ගැන කියනවා නම්, තමාට හිමි යමක් තමාගේ මරණින් පස්සෙ කාට හරි අයිතිවෙනවට කැමති නම් මරණයට කලින් ඒ අදාල ලියකියවිලි සකස් කරන්න පුළුවන්. කොටින්ම කසාද බැඳපු කෙනෙක්ට පුළුවන් තමන්ගේ බිරිඳට හෝ දරුවන්‍ට හැර වෙනම මනුස්සයෙක්‍ට හැමදේම ලියල මැරිල යන්න.

මේකෙන් හෙළි වන දේ තමයි මේ අයගෙ සම්බන්ධකම් වල මුල් තැන දීල තියෙන්නෙ දේපළ, ඉඩම්කඩම් ගෙවල් දොරවල් යාන වාහන වලටනෙ කියන දේ. ආදරය එන්නෙ දෙවනුවට කියන දේ. එහෙම වීමේ වරදක් කියනව නෙමෙයි. ඒත් මතුපිටින් කියද්දි කියන්නෙ එහෙම කතාවක් නෙමේනෙ.

ගෑණියෙකුයි මිනිහෙකුයි ගැන ඕනම දෙයක් අරන් බලන්න. සින්දු, චිත්‍රපටි, කවි, නවකථා.. ආදරයෙ පැණි බේරෙනව. උතුරා පිටාර ගලනව. කාවද මේ රවට්ටගන්නෙ? පිට මිනිස්සුන්වද තමාවමද නැත්තන් දෙගොල්ලන්වමද? හරි නම් සින්දු හදන්න ඕන ආදරය ගැන ලියල නෙමේ. ඉඩම් දේපළ ගැන ලියලා.


කසාද සහතිකය අත්සන් නොකලාම ජීවිතයේ යම් යම් අවස්ථාවල ප්‍රායෝගික ගැටළු එන්න පුලුවන්. ඇත්ත. මොකද සමාජීය ජීවන රටා සම්මතයන් එකිනෙකින් අනික බැඳිල තියෙන විදියට සකස්වෙන නිසා. (උදාහරණයකට දැන් කැබ් එකක් දාගන්න එකේ ඉඳල ඊමේල් එකක් යවාගන්න දක්වා ෆෝන් නම්බරයක් හැමෝටම තියෙන්න ඕන. එතනින්ම ෆෝන් එකක් නොගැනීම කියන එක සෑහෙන අමාරු දෙයක් බවට පත් කරනව. ඒ වගේ). ඒ වගේ හදිසි ශල්‍යයකර්මයකට වුනත් කසාද අයිතිය හිමි වෙන්න ඕන කල යුතුදේ තීරණය කරන්න.

නමුත්, ඒ වගේ සමහර විට එන්න පුළුවන් ප්‍රශ්න එවෙලාවට මූණ දීලා වෙන ක්‍රම වලින් විසඳගන්න තමාට හැකි නම්, ඒ ආත්ම විශ්වාසය තියෙනව නම් ලිවින් ටුගෙදර් ඉන්න එක ප්‍රශ්නයක්ම නෑ. කිසිදා නොඑන්න පුළුවන් ශල්‍යකර්මයක් වෙනුවෙන් අවධානමක් ගන්න අකමැති නිසා බඳින්න ඕන කියන මිනිස්සු තමාගේ නූපන් දරුවාගේ අනාගතය ගැන කතා කරද්දි සුභවාදී දේශනා තියන හැටි උත්ප්‍රාසජනකයි. අවධානම තමාගෙ වෙද්දි සිද්ධ වෙන්න ඉඩ අඩුම දෙයට පවා සූදානම් වෙනව.. ඒත් අවධානම වෙනත් ජීවිතයක වෙද්දි??

කසාද බඳින්න කැමති අය ඒ දෙයට වගේම නොබැඳ ඉන්න කැමති අය තමාට ලේසි දේ කරන්න හේතු හොයාගන්නව. ඒ වගේ බඳින්නත්, නොබැඳ ඉන්නත් හේතු හදාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. තම තමාගෙ වටිනාකම් අනුවයි ඔය දේවල් තීරණය වෙන්නෙ.

තව ලොකුම හේතුවක් තියෙනවා කසාද බැඳීම ගැන ආයෙ හිතල බලන එක සුදුසුයි කියල මම යෝජනා කරන්න හේතු වෙන.

කවුරු මොනව කිව්වත්, මොන සුරංගනා කථාවක් දෙඩුවත්, බැන්දයින් පස්සෙ අවුරුදු තුන හතර යද්දි ඕනම සම්බන්ධයක් ඒකෙ ස්වභාවය වෙනස් වෙලා නිරස වෙනවා වෙනවාමයි. ලිවින් ටුගෙදර් හිටියත්, බැන්දත්, ඉනා කැව්වත් ඔය ඇත්ත වෙනස් වෙන්නෙ නම් නැහැ. ඉතින්, ඔතනදි ආදරයෙන් ඉන්න දෙන්නෙක්ට ලිවුන් ටුගෙදර් සංකල්පය නොදැනුවත්වම හරි පොසිටිව් විදියට වැඩ කරනව කියල මම හිතනව.

හිතන්න මෙහෙම.

ඔයා ජොබ් එකක් කරනවා. ඔයා දන්නවා ඔයා කරන ජොබ් එකේ ඔයා අතින් වැරැද්දක්, අතපසුවීමක් වුනොත්, ඒ වැරැද්ද තරමක් විශාල වැරැද්දක් වුනත් ඔයාගෙ ජොබ් එක ඔයාට නැති වෙන්නෙ නැහැ කියල. ඔයාගෙ ජොබ් සෙකියුරිටි එක උපරිමයි කියල හිතන්න.

එහෙම තැනක ඔයා වැඩ කරද්දි ඔයා ඔයාගෙ වැඩ ගැන පොඩ්ඩක් හරි දක්වන අවධානයේ අඩුවීමක් වෙයිද වැඩිවීමක් වෙයිද ?කල් යද්දි යද්දි? මොනව වුනත් මේ ජොබ් එක තියෙනවනෙ කියල හිතෙද්දි?

අනිත් පැත්තට, ඔයා කරන ජොබ් එක කොයි වෙලේ ගහල යයිද කියල ඔයා දන්නෙ නැත්නම්. ඔයා කරන වැරදි ෆයිල් එකකට ගිහින්, එකතු වෙලා, එකපාරම බකස් ගාලා ඔයාගෙ ජොබ් එක ගහලා යන්න චාන්ස් එකක් තියෙනවා කියල දන්නවා නම්, කොච්චර කල් ගියත් අලුත් දවසක වැඩ කරද්දි ඒ ජොබ් එක ඔයාට ඕන නිසා, ජොබ් එක නැති වෙයි කියන බය නිසා ඒ ගැන තමා තුළ වැඩි අවධානයක්.. වැරදි කරන්න බයක් තියෙනවා නේද??

මට හිතෙනව ඒ වගේම තමයි ලිවින් ටුගෙදර් ඉන්න එකයි, කසාද බඳින එකෙයි ප්‍රදානම, වැදගත්ම වෙනස කියල. මොකද ලිවින් ටුගෙදර් සම්බන්ධයකදි දෙන්නාට දෙන්නා මඟ හැරී යන්න තියෙන ඉඩ අඩුයි, කසාද සම්බන්ධයකට සාපේක්ෂව.

මෙතනදි තවත් කරුණක් කියන්න ඕන. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නව ආදර සම්බන්ධයක් විනාශ වෙලා යන්නෙ තමන් හෝ තමන්ගෙ සහකාරියා/සහකාරිය වෙන ගෑණියෙක් එක්ක, මිනිහෙක් එක්ක නිදියගත්ත දවසට කියල. රණ්ඩු කරල රණ්ඩු කරල ඉන්නම බැරි තැනට ආවම දික්කසාද වෙන දවසයි ආදර සම්බන්ධය අවසන් වෙන දවස කියල.

ඒත් මම හිතන්නෙ ඊට වඩා වෙනස් විදියට.

කා එක්කවත් නිදාගන්න ඕන නැහැ, දවසෙන් දවස සිද්ධ වෙන පොඩි පොඩි දේවල්, නොසලකා හැරීම්, සිත් රිදවීම්ම ඇති සම්බන්ධයක් විනාශ වෙලා යන්න. එකට අවුරුදු දහය විස්ස ඉන්න යුවලවල් ඉන්නවා සම්බන්ධය විනාසම වෙලා ගිහින් අවුරුදු ගාණක් වෙලත් වෙනත් බාහිර හේතු නිසා එකට ඔහේ ‘කාලය ගෙවන’!

කසාද බැන්දයින් පස්සෙ නොදැනුවත්වම දෙන්නෙක් ඒ දෙන්නාගෙ සම්බන්ධය ගැන දාන effort එක අඩු වෙනවා.ඇයි? කොහොමත් එයා ඉන්නවනෙ. ගෙදර තියෙන තවත් බඩුවක් ගාණට හිත ඇතුලෙ අනිකාව පරිවර්තනය වෙනව.

අපි හැමෝම ආදරය කරල තියෙනව. ඒ ආදරය කරපු යුගයන් වල අත්දැකීම් මතක් කරගෙන බලන්න. ඒ කාලෙ එකිනෙකාගෙ වැරදි ඉවසනවා, අනෙකාගෙ හිත රිද්දන්න බයයි. තමාගෙ වැරදි පුළුවන් තරම් අඩු කරනවා. ඇයි? යාලුවො, දෙමාපියො වගේ බාහිර සාධක වලට එච්චරම තමන්ගෙ සම්බන්ධෙට ඇඟිලි ගහන්න දෙන්නෙ නැහැ. හැමදාම අංක එක තමාගේ පෙම්වතායි/පෙම්වතියයි.

ආදරය කරන කාලෙ, සාමාන්‍යය භාෂාවට අනුව කසාද බඳින්න කලින් කාලෙ සම්බන්ධයේ ස්ථීරත්වය අඩුයි. කොයි වෙලේ කැඩෙයිද දන්නෙ නෑ. ඉතින් ඉවසීම, අනෙකා කෙරේ අවධානය, අනෙකාගේ හැඟීම් ගැන සංවේදීබව වැඩියි.

ඒත් බැන්දයින් පස්සෙ…?


කසාද බඳින දවස කියන්නෙ පෙම්වතුන් දෙන්නෙක් තමාගෙ ආදරය නැමති සුන්දර රෝගය හොඳ කරගන්න පළමු බෙහෙත් මාත්‍රාව ගන්න දවසට.

අනික, ලිවින් ටුගෙදර් ඉන්න දෙන්නෙක්ට කවදා හරි සම්බන්ධය නිරස වෙලා හරි, වෙන යම් හේතුවක් නිසා හරි, එකිනෙකාට එකිනෙකා එපා වෙලා හරි, වෙන් වෙන්න ඕන වුනොත් ලේසියෙන්ම කතා කරලම ඒක කරගන්න පුළුවන්. සරලවම කියනවා නම් දෙන්නා එකට ඉන්න මූලික වෙන්නෙ දෙන්නා දෙන්නා ගැනම තියෙන ආදරය, හැඟීම විතරමයි.

ඒත් කසාද බැඳලා ඒක ලෙහා ගන්න උසාවි ගානේ රස්තියාදු වෙවී, තුන්වන පාර්ශවයකට ඒ ආදර මතකයන් විනිශ්චය කරන්න බාර දීලා දෙන්නා දෙපැත්තට වෙලා බලන් ඉන්න එක…. මට නම් ඒ හැඟීම ගේන්නේ අප්පිරියාවක්.

තමා ආදරය කරන කෙනාව අත්සන් කරල තමාව දාලා යන්න බැරි විදියට ලියා නොගත්තොත් එයා කවද හරි තමාව දාලා යයි කියල හිතන් ආදරය කරන මිනිස්සුන්ගෙ මානුෂීය සම්බන්ධතා ගැන නම් මට හිතාගන්නවත් බැහැ.

“කසාද බඳිනව කියන දේ ගො-න්*ක$ම අතින් දෙවෙනි වෙන්නේ ළමයි හදන එකට විතරයි” කියල මම කීපවතාවක්ම බුකියෙ ලියල තියෙනව. ඒකට හේතුව, මෙච්චර තමා ඇසුරු කරන ජීවිත වල කසාදය කියන සම්බන්ධයේ ප්‍රායෝගික කටුක ඇත්ත දකින ගමන්.. “නෑ නෑ මට එහෙම වෙන්නෑ මං තමා මේ කසාද ජීවිතේ කියන ප්‍රශ්නය විසඳගෙන මැරෙනකල් ආදරෙන් ඉන්නෙ”.. කියල හිතල බැඳගත්තොත් ලෙහා ගන්න හතර අතේ ගාගන්න ඕන හිරකූඩුවක් වගේ ඒ නීතිමය බැඳීමට කැමැත්තෙන් ඇතුල් වෙන්න මනුස්සයෙක්ට තියෙන්න ඕනේ එසේ මෙසේ ගො-න්ක-මක් නෙමේ කියන අර්ථයෙන්.


දවසක් මගේ යාලුවෙක් ඉන්බොක්ස් එකට මැසේජ් කරල ඇහැව්වා “මචං අපිත් ලිවින් ටුගෙදර් ඉන්න ට්‍රයි කලා. ඒත් මාර ප්‍රෙශර් එකක් ආවා බං නෑදෑයන්ගෙන්. අන්තිමට බඳින්න වුනා බං. උඹට එහෙම වුනේ නැද්ද? උඹ කොහොමද ඒක හැන්ඩ්ල් කලේ?” කියල.

මං ඕකට උත්තරේ කල්පනා කලා. ඒ කරන අතරෙ මට එහා පැත්තෙ හිටිය මගේ හාමිනේ මහත්මියගෙන් (ඔය, ගැලපෙන හරි වචනයක් නෑ ඇයව හඳුන්වන්න) ඇහැව්වා ඒ ප්‍රශ්නය. මෙහෙම යාලුවෙක් මගෙන් අහනවය කියල.

“අපිට ප්‍රශ්න ආවනෙ. මතක නැද්ද? යාලුවො, නෑදෑයො එහෙම කොච්චර ප්‍රශ්න කලාද?” ඇය කිව්වා.

“යාලුවා අහන්නෙ අපි ඒක හැන්ඩ්ල් කල හැටි ගැන” මම ඇයට කිව්වා. අවුරුදු හත අටකට කලින් සිදුවීම්නෙ. මගේ මතකය කොහොමත් බිංදුවයි. මං මොකක් හරි මහප්‍රාණ උත්තරයක් ඇති කියල ඒක මොකක්ද කියල කල්පනා කර කර හිටියේ යාලුවගෙ ප්‍රශ්නයට උත්තරය විදියට.

“අපි ගණං ගත්තෙ නෑ ඒ කිසිදෙයක්” ඇය කිව්වා.

ඔව්නෙ. අපි ගණන් ගත්තෙ නෑනෙ. සතපහකට ගනන් ගත්තෙ නෑ.

කොච්චර සරල උත්තරයක්ද? ඒ එක්කම ප්‍රායෝගික ජීවිතයේ ක්‍රියාත්මක කරන්න සාමාන්‍යය මනුස්සයෙක්ට කොච්චර නම් අමාරු, සංකීර්ණ උත්තරයක්ද??


සටහන ටිකක් නෙමේ හොඳටම දිග වුනා. නමුත් මේ ගැන උනන්දු අය කියවයි කියල දිග වුනත් කමක් නෑ කියල ලියල දැම්මා. මේ අදහස් හැමෝටම සෙට් වෙන්නෙ නැහැ. හැමෝටම සෙට් විය යුතුත් නැහැ.

මම ගොඩක් වෙලාවට ලියන සටහන් වලින් බහුතරයක් සටහන් ලියන්නේ තමාගේ ජීවිතයේ හැඩය හැකි තරම් තමාම නිර්මාණය කරන්න බලන, නිදහස්ව හිතන්න, ජීවත් වෙන්න බය නැති මිනිස්සුන්ට. එහෙම අය මං හිතන්නෙ ලක්ෂයකට එක්කෙනෙක් වගේ ප්‍රමාණයක් ඉන්නෙ. සමහර විට ඊටත් අඩුවෙන්.

ඒ අය එක්ක අදහස් බෙදාගැනීමක් විතරයි මේ. තමන්ම තමන්ගෙ ජීවිතයේ හැඩය තමන්ට ඕන විදියට කස්ටමයිස් කරගන්න. සමාජය විසින් හැමෝටම හදපු ආකෘති අස්සට තමා ඇඹරිලා නැමිලා හිර වෙන්න හදනවට වඩා මට අනුව නම් ඒක වටිනවා. හැමෝටම මේ ජීවන රටාව ගැලපෙනවය කියල මම කියන්නෙ නැහැ. නමුත් ඒ ගැලපීම නොගැලපීම තමාම තීරණය කරන්න ඕන දෙයක්. මේ වගේ අදහස් තමාට ගැලපෙනව කියල දැනෙනව නම්, මේ ගැන ආයෙම පොඩ්ඩක් හිතල බලන්න.

හැබැයි ඔබ අයිති බහුතරයක් දෙනා ඉන්න ගොඩට නම්, ඒ කියන්නෙ කසාද බඳිනවද නැද්ද කියන එක නෙමේ.. කසාද බඳින දවස, බඳින විදිය, අඳින ඇඳුම, නැකත, විවාහ උත්සවේ ස්වභාවයෙ ඉඳල දරුවට නම තියන මුල් අකුර පවා දෙමාපියන්ගේ වචන වලටයි නෑදෑයන්ගේ ඇස් වලටයි යට වෙලා තීරණය කරන කෙනෙක් නම්…. දෙමාපියන්ගේ වචන හින්දා තමන්ගේ ප්‍රියයා එක්ක ගැටුම් ඇති කරගන්න ජාතියේ එක්කෙනෙක් නම්…

මේ සටහන සම්පූර්ණයෙන්ම අමතක කරල ඒ ජීවන රටාව ගෙනියන්න.

මම ඒවගේ සම්බන්ධකම් හඳුන්වන්නෙ “සාමූහික පවුල් කෑම්” කියල. මොකද කසාද ජීවිතේ ගෙනියන්නෙ දෙන්නෙක් නෙමේ. මිනිහගේ අම්මයි, ගෑණිගේ නැන්දයි, අල්ලපු ගෙදර අංකල් පවුල් කෑම ගැන දෙන චරිත සහතිකයයි, යාලුවෝ දාන කිංඩි ප්‍රමාණයයි, නෑදෑයන්ගේ අදහසුයි එකී මෙකී නොකී අටෝරාසියක් දෙනාගේ සිතුම් පැතුම් වලට අනුව ජීවත් වෙන කෙනෙක් නම්, කොල්ලෙක් නම් තමන්ගෙ මූණේ රැවුලෙත් කෙල්ලෙක් නම් තමන්ගෙ කොණ්ඩෙත් දිග පවා තීරණය කරන්නේත් අම්මා තාත්තා නම්, මේ සටහන ඔබට නෙමෙයි.


අවසාන වශයෙන්,

කසාද බැන්දත් නැතත්, ලිවින් ටුගෙදර් හිටියත් නැතත්, ආදරය කලත්, තනිකඩව හිටියත් ජීවිතයේ අවධානමක් තියෙනවා. තියන පියවර වරදින්නත් හොඳම එකෙන් කෙළවෙන්නත් ඉඩ තියෙනවා.

ඒ ජීවිතයේ හැටි.

ඒක ඉතින් දෙමාපියන් අපිව මේ ලෝකයට ගෙනාපු දවසෙ ඉඳන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට මූණ දෙන්න වෙලා තියෙන කටුක ඇත්ත.

මෙතනදි මට ෆ්‍රාන්ස් කෆ්කාගේ කතාවක් මතක් වෙනවා.

“මම නිදහස් වුනෙමි. ඒ නිසාම මම අතරමං වී ඇත” (I am free, that is why I am lost.)

අතරමං වෙන්නත් ඔක්කොටම කලින් නිදහස් වෙලා ඉන්න ඕන.

මේ සටහන නිදහස් වෙලා ජීවිතය ගවේෂණය කරන්න කැමති අයටයි. තමාගේ ජීවිතයේ හැඩය තමාම හදාගන්න උත්සාහ කරන අයටයි. ඒ අයට හිතන්න යමක් බෙදාගන්න එකයි මේ සටහනේ අරමුණ.

ඔක්කොමල්ලා කරන දේ ඒ විදියටම කරන්න ගියොත් වරදින එකත් ඒ ඔක්කොටම වෙන විදියටම වෙයි.

හැබැයි පොඩ්ඩක් ඇස් ඇරල බලන්න. එතකොට පෙනෙයි එකිනෙකාගෙන් වෙනස් මිනිස්සු එකම දේ කරන්න ගිහින් ඒ හැම දෙනාටම එකම විදියට නහුතෙටම වැරදිලා තියෙන බව.
.
.

jamisbanda

1 Comment

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය “2. WordPress” කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

    Liked by 1 person

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s