මරඋගුල

ටික දවසකට කලින් අපේ මහම්මා කෙනෙක් ඇවිත් මා එක්ක කතාවට වැටිලා මූණ ඇඹුල් කරගෙන සුසුම් හෙළමින් කියනවා ‘රේස් එක තමයි ඉතින් දුවන්නෙ. ප්‍රශ්න නිමක් නැහැ’ කියලා.

එයා විතරක් නෙමේ, හැමෝම මතුරන මන්තරේනෙ. මේ අයගෙ කතාව හරියට ඒගොල්ලො ගෙවන ජීවන රටාව ගැන ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ වගේ. මොකද කවුරුත් ඇවිත් තුවක්කුවක් පෙන්නලා බල කරලයැ ඔය රේස් එකට කාවවත් දාන්නෙ. ‘දුවපියව් රේස් එක, නැත්නම් කොටනවා ඔලුවට’ කිය කිය කවුරුත් කඩුවක් තියන් දවස පුරාම පස්සෙන් එන්නෙ නැහැනෙ.

‘ජීවත් වෙන්නනෙ මේ ඔක්කොම’ කියල කිව්වට මේ හති දාගෙන උදේ නැගිට්ට වෙලේ ඉඳන් දුවන්නෙ ජීවත් වෙන්න නෙමේ. ජීවන අරගලයක් නෙමේ මේක. මේක අනික් අයට වඩා ජයග්‍රාහකයෙක් වීමේ අරගලයක්. ධනවතෙක් වීමේ ආශාවක්. ජීවිතය දින්නා කියල ප්‍රදර්ශනය කිරීමේ අමාරුවක්. නමුත් කියන්නෙ අරෙහෙමයි. තමාම කරන දේට වගකීම ගන්නැතුව තමාවම victimized කරගන්නවා.

මිනිස්සු හිනා වෙවී කියන ඔය වගේම තව කතාවක් තියෙනව.

“පඩිය කී‍යකින් වැඩි උනත් වැඩක් නෑ. මදි. මොකද එතකොට ඒකට හරියන්න වියදම් සෙට් වෙනවා” (මේ කතා කියන්නේ සිනාසෙමින්, ඇඹරෙමින්).

මොනවද ඉතින් කියන්නෙ මේවට?

දවසක් මම නෑදෑ නංගි කෙනෙක් එක්ක කතාවට වැටිල හිටිය. නංගි කරන් ඉන්න රස්සාවෙන් අස් වෙන්නලු හදන්නෙ. පඩිය මදිලු. මං ඇහැව්වා ‘ඔයාට ඇති කියල හිතෙන මාසික පඩිය කීයද?’ කියල. නංගි කල්පනා කරල උත්තර දුන්නා ‘රුපියල් ලක්ෂයක් තිබ්බ නම් හොඳටම ඇති’ කියල.

දැන් ඔය කතාව ගමු. හැමෝටම ඔලුවෙ ඇති ඔය වගේ ඉලක්කමක්. ඒත් ඛේදජනකම සිද්ධිය තමයි ඒ නංගි අද හිතුවට එයාට ලක්ෂයක් ඇති කියල, නැහැ, එයාට ලක්ෂයක් මදි. ලක්ෂයක් නෙමේ කීය හම්බුනත් මදි. මදි.. මදි.. මදි..

මගේ මිත්‍රයෙක්. පඩිය මාසෙකට ලක්ෂ දහයකට වැඩියි. එහෙ ගිය වෙලාවක එයාගෙ වයිෆ් මට කියනවා ඒ ගොල්ලො හිර වෙලාලු ඉන්නෙ. අමාරුවෙන්ලු ඉන්නෙ. රෝලලු ගහන්නෙ. Evil කියන සංකල්පය වැලිඩ් නම් මට අනුව මෙන්න මේවා තමා evil කතා කියන්නෙ.

පොඩ්ඩක් මේ සිදුවීම ගැන හිතල බලමු. ඒ යාළුවා ඕලෙවල් කාලෙ ඉඳල පශ්චාත්බාගය ඉරාගෙන පාඩම් කරන්න ඇති. ටාගට් එක ඒලෙවල්. එවෙලෙ හිතනව “මං ඒලෙවල් ගොඩදාගන්නව. කමක් නෑ එතකන් කට්ට කනව. මොකද ඒක පැනගත්තොත් ජීවිතේ ගොඩ” කියල. ඉතින් පුක්ඛය කාගෙන පාඩම් කරනව. හරි. ඒලෙවල් ගොඩ කියමු. ඊළඟට කැම්පස් සිලෙක්ට්. හිතනව ඩිග්‍රිය හරි මොක හරි ඒ දෙන එක ගන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ගොඩ කියල. ඒකත් ගන්නව. ඊට පස්සෙ හිතනව පයිලටින් කෝස් එක කරන්න ඕන. ඒක කලා නම් මං ගොඩ කියල. තියෙන ඉඩමක් කඩමක්, වාහනයක් විකුණල හරි උකස් කරල හරි ණය වෙලා හරි ඒක කරනව. ඒත් නෑ. ගොඩ නැහැ. ඊට පස්සෙ තියරි ප්‍රැක්ටිකල් එක්සෑම් කරල ඒකත් පාස් වෙනව. ෆ්ලයිට් එකේ ෆස්ට් ඔෆිසර් වෙනව. ම්හු. ඒත් බෑ. මදි. ගොඩ නැහැ. ඇයි ඒ වෙද්දි පයිලටින් කෝස් එකට අම්මලා වියදම් කරපු ගාන ගෙවන අස්සෙ ලක්ෂ ගාණක් වියදම් කරල රටේ මිල අධිකම හොටෙල් එකක වෙඩිම අරන්. ඉතින් ෆස්ට් ඔෆිසර් වෙලා මදි. කැප්ටන්ම වෙන්න ඕන. ඒ විතරක් නම් බැරියැ, ගෙදර තියෙන ටොයොටා විට්ස් එක දැන් පදින්න බෑ. අනිත් කැපාලා කිංඩි දානව. ඒ නිසා ගන්න වෙනව මිට්ශුබිෂී වාහනයක්. ඒකත් ලීස් දාලා. ඇයි රෝල යන්නෙ ඉතින්. ඊට පස්සෙ කැප්ටන් වුනා කියමු. දැන් ගෙයක් හදන්න ඕන. නිකන් ගෙයක් නෙමේ කැපෙක්ට ගැලපෙන ගෙයක්. කෝටි දෙකහමාරක තුනකවත් ලෝන් එකක් දාන්න ඕන. හොඳම විදියේනෙ. ඒක අස්සෙ පොඩි එකා ඉස්කෝලෙ යන වයස. ඌව ඉන්ටර්නැෂනල් ස්කූල් දාන්න ඕන. ඔය ඔක්කොම අස්සෙ ජීවන රටාව. අයිෆෝන්, මිල අධික හෝටල් වල නිවාඩු, හයි ක්ලාස් රෙඩ්ටූරන්ට් වල ඩිනර් අවුට්. බර්ත්ඩේ පාටි අර පාටි, ක්‍රෙඩිට් කාඩ් බිල්……

ඉතින් රෝල. ආදායම ලක්ෂ දහයට වැඩියි. ගොඩද? නැහැ. ගොඩ නැහැ. හැමදාම මඩ!

කවුද මේ රේස් එක දුවල ගොඩ ගිහින් දැන් සැනසීමෙ ඉන්න එකෙක්‍ට ඉන්නෙ? ස්ටේෂන් එක ගාව කමියුනිකේෂන් එක කරන අයියාගෙ ඉඳන් මාර්ක් සකර්බර්ග් දක්වා හැම එකාම තාම දුවනව. හඳ අල්ලන්න වෙන්න ඕන මං හිතන්නෙ. (නෑ අඟහරු ලෝකෙ අල්ලන්නනෙ. සොරි වෙන්න ඕන ඉලාන් මස්ක් මහතාණෙනි)

කෙනෙක්ට හිතන්න පුලුවන් “අපෝ පිස්සු! මට ලක්ෂ දහයක් හම්බුනා නම් කරන සැටි මම පෙන්නන්නම්. මම තමයි හොඳටම කරන්නෙ. මම කාලා බීලා ඇඳලා, අම්මලටත් මාසෙට ගානක් දීලා, දරුවගේ පොතටත් ගාණක් දාල, වයසට ගියාම ගන්න ගාණක් ඉතුරුත් කරලා, දුප්පත් පවුලක ළමයි දෙතුන් දෙනෙක්ට උගන්නන්නත් වියදම් කරනවා” කියල.

නැහැ මිතුරනි නැහැ. කවුරු වුනත්, රෝලම තමා මං නම් කියන්නෙ (පවුල් පසුබිම මධ්‍යම පාන්තික නම්). ව්‍යතිරේක ඇති, නමුත් ඉතාම සුළු වශයෙන්.

මේක තමා අපේ රටේ මධ්‍යම පාන්තිකයාගේ ඛේදජනක ඉරණම. ඔවුන්ට ජැක් පොට් එක ඇදුනු, ඔවුන්ගේ සුපිරිම හීනය සැබෑ වුන ලෝකෙක පවා ඔවුන් ඉන්නේ අසහනයෙන්. රෝල ගගහ. සැනසීමක් නැහැ. මානසික සුවයක් ලබන්න නියමිත නැහැ. නිදහස් සිතින් නින්දට යාමක් නැහැ.

ඕක ඊළඟ ලෙවල් එකට ගෙනියමු.

දවසක් ටීවී එකේ මම දැක්කා ශාරුක් කාන්, රත්තරන් මාල අතේ තියන් හතර අතේ තාලයට ඇවිදලා ඇවිදලා අන්තිමට අර සුන්දර ආදරබර හිනාව දාලා බලන් ඉන්න ප්‍රේක්ෂකයන්‍ට කියනව “ඔයාගෙ කෙල්ලටත් මේ කඩෙන් රත්තරන් බඩු අරන් දෙන්න” කියල.

ශාරුක්ට ඒක කරන්න තියෙන නිදහස මම එකෙන්ම පිළිගන්නවා. නිදහසනෙ වැදගත්ම දේ. පිළිගන්නම්. ඒක පිළිගන්න ගමන් ඒ මානසිකත්වය ගැන කුතුහලයෙන් විමසල බලන එකෙන් හොඳක් මිසක නරකක් වෙන්නෙ නැහැනෙ.

මං කල්පනා කලා, දැන් මූට තියෙන සල්ලි කන්දරාවෙ හැටියට, තවත් ටීවී එකට ඇවිත්, ඌ තරම් සල්ලි නැති උන්ට තව තව පරිබෝජනය කරන්න (consume කරන්න) කියලා තව සල්ලි කීයක් හරි ඒ ඇඩ් එකෙන් හම්බ කරගන්න හිතෙන ඒ ‘චින්තනය’ කොහොම එකක්ද කියලා.

ඒ කියන්නෙ ඒ ඇඩ් එක නොකලා නම් ශාරුක්ට කරන්න බැරි, දැන් ඒ ඇඩ් එක කරපු නිසා කරන්න පුළුවන් වෙන දේ මොකක්ද?

සල්ලි කීයක් හම්බුනොත් ද “දැන් මේ ඇති මට මම මේ ලෝකෙ ඉන්න අවුරුදු හැට හැත්තෑව ජීවත් වෙන්න. මගෙ දරුවන්ටත් එක්ක මේ ඇති. දැන් සැනසීමෙ ඉන්න ඕන” කියල හිතෙන්නෙ? මොකක්ද ඒ ගාන?? ඒ ඉලක්කම කීයද?

ජෙෆ් බෙසෝස්ගේ වත්කම බිලියන තුන්සීයට ආසන්න වෙමින් තියෙන්නෙ. මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න පීරියඩ් එකේ තමන්ගේ ධනය මිලියන බිලියන ගණනකින් තවත් වැඩි කරගෙන, පසුගිය දවසක ආතල් එකට කියල අභ්‍යවකාශයේ විනාඩි දහ පහළොවක් පිනුම් ගහල ආපු බව හැමෝම දන්නව ඇති.

මට දැනෙන විදියට Evil කියන්නෙ මේකට. Evil කියන සංකල්පය වැලිඩ් නම්, ඒ වචනයෙන් යමක් අදහස් කරනව නම් මීට වඩා ගැලපෙන තැනක් නැතුව ඇති.

හිතන්න මුළු ගමේම මිනිස්සු බඩිගින්නේ මැරි මැරි ඉද්දි මම ගෙදර ගොඩගහල තියෙන සල්ලි වලින් “මේක මගේ ආතල් එකනෙ” කියල ආප්ප විසි ලක්ෂයක් අරන් දවස් පතා මූදට විසි කරනව කියල. ඒක Evil නැද්ද? නපුර කියන්නෙ ඒකට නෙමේ නම් වෙන මොකකටද?

අඩි හයක් උස, කිලෝ හැට හැත්තෑවක් බර, අවුරුදු හැත්තෑවක් වැඩිම වුනොත් අසූවක් අසූපහක් මේ මහ පොළවෙ ජීවත් වෙලා මැරිල යන්න නියමිත මනුස්සයෙක්, රුපියල් බිලියන තුන්සීයකින් මොකක්ද බං කරන්නෙ? මොකටද ඒ හොයන්නෙ? ඒ චින්තනය උඹට තේරෙනවද?

ජෙෆ් බෙසෝස් තමන්ගෙ බිලියන සීයෙ දෙසීයෙ වත්කමින් අභ්‍යවකාශයේ පිනුම් ගහද්දි ඇමසන් කම්පැනියේ ගබඩා වල වැඩ කරන මිනිස්සුන්ට ටොයිලට් එකටවත් යන්න වෙලාවක් නැති නිසා තැනින් තැන මුත්‍රා කරපු කෝක් බෝතල් හම්බවෙනව. වැඩ කරන උන්ට බ්‍රේක් ගත්තොත් වැඩ හිර වෙන නිසා උන් ටොයිලට් යන්න බැරි නිසා කෝක් බෝතල් වල මුත්‍රා කරල.

බලය කේන්ද්‍රගත වෙන එක නරකයි කියලනෙ කියන්නෙ. ඇයි? අපි ප්‍රජාතන්ත්‍රවාදීනෙ. ඒකයි අපේ වැලියු සිස්ටම් එක. ඩිමොක්‍රිසි. ඒත් ධනය එක තැනකට කේන්ද්‍ර ගත වුනාට කමක් නැහැ පේන විදියට. බලය කේන්ද්‍රගත වීම දැඩි හානිකර ප්‍රතිඵල ගෙනදෙන බව දන්න නිසා පුළුවන් තරම් බලය බෙදිල යන්න ඕන කියන පදනමින් පොලිටික්ස් කලාට රාජාණ්ඩුවක ආකෘතියට සමාන ආකෘතියකින් හැදිල තියෙන ඉහළ ඉඳල පහළට බලධූරාවලිය හැදුනු, පහළ ඉන්න අයට වගනොවී ප්‍රශ්න කල නොහැකි නියෝග දෙන ආකෘතියකින් යුත්, ප්‍රජාතන්ත්‍ර විරෝධීම ආකාරයකට හැඩගැහුනු, මුලු ලොව පුරා පැතිරුනු මිනිස්සුන්ගේ ජීවිත වල හැඩය තීරණය කරන්න ඇලෙක්සැන්ඩර්ටවත් නොතිබුණු තරමක බලයක් දරන, දේශපාලකයන්වත් රූකඩ ගානට දාලා අල්ලේ නටවන, සමාගම් (corporations) පවත්වාගෙන යන සිස්ටම් එකක් ‘එහෙයි’ කියල ආදරයෙන් බදාගෙන පිළිගන්නව. එහෙම සිස්ටම් එකක් ගලේ කොටපු වෙනස් කල නොහැකි දේව වචනයක් වගේ රකිනව.

තමන්ගෙ ජීවිතේ බඩු භාණ්ඩ පාට පාට සෙල්ලම්බඩු ලොසිංජර් එකතු කරල කරල කුණු කන්දක් වගේ ගොඩගහගෙන නොලැබෙන සතුටක් හම්බෙනකන් හති දාගෙන දුවනව.

ලාභය සහ මුදල මුල් කරගෙන මිනිස්, නොමිනිස් ජීවිත චප්ප කරල දාන ගමන් යන මේ ගමනේ අවසන් ප්‍රතිඵලය විදියට පෘථිවි පරිසර පද්ධතිය විනාස වෙලා තමන් අයිති මුළු මිනිස් සංහතියෙම පැවැත්ම අන්තිම අඩියටම තර්ජනයට ලක් වෙලා තියෙන මට්ටමකට වැටිල තියෙද්දිත්, ඒත් අන්ධයො වගේ තව තව දේවල් අත්පත් කරගෙන තණ්හාවෙන් සැනසීම හොය හොය ඉව අල්ලමින් දුවනව.

මිනිස් ආත්ම වලින් හැදුනු මනුස්සයො වගේ නෙමේ. ලේ පිපාසිත පිශාචයො රංචුවක් වගේ.

මේක තමා අපි ජීවත් වෙන ලෝකය. මේක තමා අපේ ජීවිතය.

හැබැයි එහෙම කියල බැහැ. තව තව බඩු ගොඩගහගන්න ඕන. පැරිස් වලින් උදේ කෑමට අප්‍රිකාවේ ඉබි මස් කන ගමන් අඟහරු ලෝකෙන් ගෙනාපු ජිල් බෝලයක් අල්ලපු මුද්දකින් තමාගේ පෙම්වතියට ප්‍රපෝස් කරල සප්‍රයිස් කරන්න පුළුවන් වෙන්න හැම නිවසකම හෙලිකොප්ටරයක් තියෙන අනාගතයක් ගොඬනැඟෙන කල් රෝල ගහල ගහල බඩු බාණ්ඩ මිලදී ගෙන තණ්හාව මූලික මිනිස් ආවේගය කරගෙන දේවල් අත්පත් කරගන්න ඕන.

කොහොම හරි දත කාගෙන එතනට යන්න ඕන. එතකොට අර පයිලට් යාළුවා ගොඩ ගියා වගේ ගොඩ යන්න පුළුවන්.

මොකද නැත්නම් අපි දැනටම හදාගෙන ඉන්න අපි හොයාගත්ත හොඳම සිස්ටම් එක කඩන් වැටෙනව!

මේ ඔක්කොම අස්සෙ බැරි වෙලාවත් එකෙක් හරි “මේක අවුල් නැද්ද මචං” කියල අහපු ගමන් ගිජු ලිහිණියො රැළක් වගේ එකතු වෙලා මුළු ලෝකෙම ඒ ප්‍රශ්නෙන් විනාස වෙන්න යනව වගේ ඌව මරන් කන්න හදන්න ඕන.

ඒ අස්සෙ මේක පවත්වාගන්න ඕන කියන ගමන් මේ කට්ටම කන්න මේක අස්සට තව තව පැටව් ගහන්නත් ඕන. මොකද අපිට මොළයෙන් හිතන්න බෑනෙ. හෙලිකොට්ටෝරුවේ ගියාට වැඩ කරන්නේ අර පපුවට ගහගෙන “උජු බුගු බුජංගා” කියල කෑගහන වානරයා වගේනෙ. කල්පනා කරන්නෙ මොළයෙන් නෙමේ. කකුල් දෙක මැද්දෙ තියෙන අහවල් එකෙන් නෙ. තමන්ගෙ seed එක ගෑණු යෝනියක තැන්පත් කරල කැස්බෑවා බිත්තර දානව වගේ හිටු කියල හැමඑකාම මේ ලෝකෙට පැටව් නොගැහැව්වොත් රෑට නින්ද යන්නෙ නැහැ ඉන්නම බෑ කසනව කසනව වගේනෙ. මේක තමා අපිට පුළුවන් හොඳම ක්‍රමේ, වෙන ක්‍රම නෑ කිය කිය මේ පරිප්පුව තොපිත් කාපන් කියල තව එවුන් මේ ලෝකෙට බෝ කරන්නම ඕන. ඔව් ඒක තමයි හොඳම දේ.

ආයෙ ඉතින් පිස්සු කොර මැක්සා සුපිරි ප්ලෑන් එකක්. එළ බං එළ. නියමයි!
.
.

jamisbanda

3 Comments

  1. //ජෙෆ් බෙසෝස්ගේ වත්කම බිලියන තුන්සීයට ආසන්න වෙමින් තියෙන්නෙ. මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න පීරියඩ් එකේ තමන්ගේ ධනය මිලියන බිලියන ගණනකින් තවත් වැඩි කරගෙන, පසුගිය දවසක ආතල් එකට කියල අභ්‍යවකාශයේ විනාඩි දහ පහළොවක් පිනුම් ගහල ආපු බව හැමෝම දන්නව ඇති.//කේනිසියානු පොලිටික්ස් කියල කියන්න උනත් පුළුවන්. මගේ වාමාංශික යාලුවෝ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂේ වුන් එහෙමෙ විරුදැයි. මමනම් එකෙන්ම පක්ෂයි, බෙස්සෝ ගේ වැඩේ නිසා රස්සා ගොඩක් හැදෙනවා. කර්මන්ටැහැ වඩිවේල් ඒ පැත්තෙන්. මගේ යාලුවෝතොගේකට රස්සා හම්බ වෙලා 9astrophysics කරපු එවුන් කැමතියි මේ වැඩ වලට. පුළුවන් තරම් බෙසෝ අපෙන් ගත්ත ලාභය ඌ ලව්වම වියදම් කරවන්න ඕනේ.

    //හිතන්න මුළු ගමේම මිනිස්සු බඩිගින්නේ මැරි මැරි ඉද්දි මම ගෙදර ගොඩගහල තියෙන සල්ලි වලින් “මේක මගේ ආතල් එකනෙ” කියල ආප්ප විසි ලක්ෂයක් අරන් දවස් පතා මූදට විසි කරනව කියල. ඒක Evil නැද්ද? නපුර කියන්නෙ ඒකට නෙමේ නම් වෙන මොකකටද?// නියම වැඩක්නේ. විසිලක්‍ෂ අරගෙන මුදට විසි කරාම – අපට මොකද උගේ සල්ලි.
    ආප්ප හදපු එකට සල්ලි ලැබෙනවා, ඩිලිවරි එකට, තෙල් කාරයට, ගෑස් කාරයට. පිටි විකුණන එකාට , පිටි හදන්න යන එකට, ඒ කම්හලට, ඒකෙ වැඩ කරන උන්ට. මේ බුරුව ආප්ප විසි කලාම අපට ලපන්ද?
    මේ වගේ නිවන් යන ප්[ඔස්ට් කලිනුත් කියෙව්වා. මගේ එක අත්දැකීමක් තියනව. ඔයව් අමං පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් ගොඩක් පෙරටුගාමී සමාජවාදී, ජවිපෙ, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂේ යාලුවෝ ඉන්නව මේ වගේම අදහස් තියන. හැබැයි උන්ගේ පෞද්ගලික ජිවත ඔක්කොම, මම කියන්නේ ඔක්කොම වගේ අරිට එහා.
    දෙබිඩ්ඩන් ගේ අදහස් අවශයෙන් තමා හිතෙන්නේ . .
    මේකේ ලියපු උඩ හරියට නම් මම කැමතියි. ලොකු ගණන් දීල විවාහ මංගල්ල ගන්න, ණයවෙලා කරන වැඩ, මම ඒවා කරන්නේ නෑ . කරලත් නැහැ. ලන්ඩන් වල හොඳ පඩියක් ලැබෙනවා. ඒකෙන් සතුටෙන් ජිවත් එනවා. හොඳ සංස්කෘතික වින්දනයක් සහිත ජිවිතයක් තියෙනවා කියල හිය්නවා .

    Liked by 1 person

  2. මේ වගේ කතා කියන්නෙ ගොඩක් සල්ලි නැති නම්. උදා:~ මමත් එකගයි. සහ මමත් ඔය කතා කියනවා.

    අවුල තියෙන්නෙ අපි ඒවගේ තැනක හිටියා නම් අපිත් ඒකමයි කරන්නෙ.

    අනික steve jobs අන්තිමට කීවෙත් ඔය වගේ කතාවක්. අලිබබා එකේ ජැක් මා නම් ඒක දාලා ගියාලු.

    එහෙම අයත් ඉන්නවා.

    පෘතග්ජනයො හැටියට ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ මගේ අදහස නම්.

    තමන්ට දරන්න පුලුවන් විදියට ජීවත් උනා නම් හරි.

    ඇමසන් සමාගමේ සේවකයන්ට චූ කරන්න අර වගේ තත්වයක් ඇති කියන එක ගැන නම් මට විශ්වාස කරන්න අමාරුයි. ඒත් වෙන්න ඇති. ඒවා එහෙම වෙන්නත් පුලුවන්. ඒක වැරදි. සහ එයාලට උනත් ජොබ් එකෙන් අයින් වෙන්න පුලුවන් එහෙම නම්…..

    අනික මේ සිස්ටම් එකේ දුවන්නෙ මුලදි ඔබතුමා කිව්වා වගේ අනිත් අය කියනවට නෙමෙ නෙහ්.

    තමන්ගෙ ම වුවමනවට. ඉතින් අපි මොනවා කරන්නද😹

    තම තමන් සිස්ටම් එකේ දුවන්න අකමැති නම් අයින් වෙලා හිටියම ඉවරයි.
    බොරුවට සිස්ටම් එකට බැනලා වැඩක් නෑ. ඒකෙ ඉන්න උන්ට බැනලත් වැඩක් නෑ

    Like

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s