පොත් වලට ගරු කිරීම ගැන

පොත් වලට ආදරය කරන්න කියල පොඩි කාලෙ අපිට කියල දෙනව. පොත් වලට පොත් පොත් වීම නිසාම ගරු කරන්න කියන එකයි අදහස.

පොත් වලට පොත් වීම නිසාම ගරු කරන්න කියන අදහස එනව වෙන්න පුළුවන් සමහර පොත් ‘ජීවිතේ ගොඩයන්න’ උදව් කරන නිසා. අධ්‍යාපනය කියන්නේ බුදුඅම්මෝ ලෙවල් එකේ යමක් කියන අදහස. අපි හැමෝම දන්න පරිදි අධ්‍යාපනයෙන් (ඊට අදාල පොත් වලින්) කරන්නෙ යම් වෘතියක් කරන්න අවශ්‍යය දැනුම ලබා ගන්න පදනම දාන දෙයක් විතරයිනෙ. තමන් ඉන්න සමාජ මට්ටමින් අඩි දෙක තුනක් උඩට යෑම තම ජීවන පැවැත්මේ අර්ථය (meaning of life) කරගත්ත අයට ඒ හේතුව මත පොත් මාර වෙන්න පුළුවන්. (මාව ගොඩගන්න ඉන්න/මාව ගොඩ ගත්ත පොත් තැනන්වහන්සේලා එකතුව. උම්මා!). තමන් ජීවිතය ජයගත්තා කියල හිතන් ඉන්න මම දන්න වැඩිහිටියො ඉන්නව තමන් කුඩා කාලෙ ඉගෙනගත්ත පොත් ආරක්ෂා කරගෙන ඒවා ආසාවෙන් තමන්ගෙ දරු මුණුපුරන්ට පෙන්නන. ගැටළුවක් නැහැ එහෙම තමයි, අපි ඔක්කොම මිනිස්සුනෙ. ඔය වගේ විකාර මොනව හරි අපි හැමෝම හදාගන්න ඕන මේ ජීවිතේ මැරෙනකල් ගෙවාගන්න. ශේප්.

මම වගේ මොළේ කුරුවල් වුන කෙනෙක් හිතන්නෙ කොහොමත් ඒ අපිට හිතන්න කියල දුන්නු විදියට නෙමෙයිනෙ. ඒ අනුව මං හිතන්නෙ පොතක් එක්ක යම් බැඳීමක් ඇතිවෙන්න ඕන ඒක පොතක් වීම නිසාම නෙමෙයි, ඒකෙ අඩංගුව මොකක්ද කියන එක සැලකීම මත කියලයි.

මේ සටහන ලියන්න හේතු වුනේ අද පොත් කාමරය අස් කරන අතරතුරේ මම බිම තිබුන පොත් කිහිපයක් කකුලෙන් පැත්තකට කරනව දැකපු මේ දවස් වල අපේ ගෙදර නැවතිල ඉන්න නෑදෑ කෙනෙක් මගෙන් “ඔයා පොත් වලට මාර ආසයිනෙ. ඇයි ඔය කකුලෙන් පොත් පාගන්නෙ” වගේ ප්‍රශ්නයක් අහපු නිසයි.

ඒකෙන්ම මම පොත් ගැන තියෙන අදහස කියවෙනව කියලයි මට හිතෙන්නෙ. මොකද මම කකුලෙන් එහාට කලේ මම කියවපු, අඩංගුව හොඳ නැහැ කියල මම හිතන පොත් දෙක තුනක්. මම ඒ පොත් කිහිපය කකුලෙන් තල්ලු කලාට Crime and Punishment වගේ පොතක් පෙරලන්නෙත් හිමීට. මගේ හාමිනේ මහත්මිය කියන දෙයක් තමයි මම කියවල ඉවර කරපු සමහර පොත් තාම කඩෙන් ගත්ත වගේ, පිටු පෙරළල කියලවත් පේන්නෙ නැහැ කියන කතාව. ඒ අන්තර්ගතය ඉහළයි කියල මම හිතන පොත් වලට මම සලකන හැටි.

අපි හිතන විදිය අනුව ජීවිතේ දේවල් බලන විදිය සෑහෙන වෙනස් වෙනව කියන එක සාමාන්‍යය දැනීමනෙ. ඒ වගේ පහුගිය අවුරුදු නමය ඇතුළෙ මගෙ සිතීමේ සිද්ධ වුන වෙනසට පස්සෙ ඊට කලින් මම ආසාවෙන් තියන් හිටිය ඉස්කෝලෙ කාලෙ පොත්, රිපෝට් පොත් එහෙම විසි කරල දැම්මා. ඉස්කෝලෙන් මාව හොඳ මිනිහෙක් (හොඳ මිනිහෙක්!) කලා කියල හිතන් හිටිය කාලෙ – ඒ කියන්නෙ මගෙ වයස අවුරුදු 26ට කලින් – ඒ පොත් පත්, රිපෝට් කාඩ් මාර දේවල් කියල පෙනුනට ඉස්කෝලය කියන ආයතනයෙන් ඇත්තටම මනුස්සයෙක්ට කරන්නෙ මොකක්ද කියන දැනුම ලැබුනට පස්සේ ඒ පොත් පත් වල වටිනාකම බිංදුවටම නැතුව ගියා.

මම හිතන විදියට පොත් වලට ආදරය කරන්න නෙමේ ඕන. පොත් වලට බය වෙන්නයි ඕන. පොත් විතරක් නෙමෙයි, තමන්ගේ මනසට ඇතුල් කරන මාර්ගයට විවෘත වෙන ඕනම දෘෂ්ඨිවාදී යමකට ආදරය කරනව වෙනුවට බය වෙන එකයි වඩාත්ම ඇඟට ගුණ. (පොත්, පත්තර, ටීවී, පාලකයො, පූජකයො, කලාව, ඇඟට දැනෙන පසුබිම් සංගීතයක් දාලා හදපු වීඩියෝ ක්ලිප්… මේ ඔක්කොටම). ඒක තමා මං හිතන්නෙ හොඳම ඩීෆෝල්ට් පොසිෂන් එක. මොකද තමන් හිතන විදිය හදන්න, ඒකෙ හැඩයට බලපෑම් කරන්න එන යමකට ආදරය කරනව කියන එක මූලිකම ප්‍රවේශය විදියට ගන්නව කියන්නෙ එතනම තමන්ට බඩු බනිස් කියන එකයි.

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s