දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති; අපි!

දින කිහිපයකට කලින් නිවසට ආපු මිතුරියක් ඇගේ රාජකාරී ස්ථානයේදී ඇයට මුහුණ දෙන්න වෙලා තියෙන අපහසුතාවයක් ගැන විස්තරයක් අප එක්ක බෙදා ගත්තා.

ඇය අපත් සමඟ කිව්වේ ඇය වාර්තාකරන ඉහළ නිළධාරිනිය (බොස්/බොසී?) ඇයව කැඳවා ඇගේ ගවුම් වල දිග කොට ගැනත්, විවේක කාලයන් වලදී ඇය පිරිමි ළමුන් හා තේ බීමට යාම ගැනත් ඇයට උපදෙස් දීමට පටන් ගත් බවයි. ඉන් නොනැවතී ඇය ඇවිදින ආකාරය හොඳ මදි බව කියමින් පිරිමින්ගේ අවධානයට ලක් නොවී ඇවිදින ආකාරය ගැන ද කියා තිබෙනවා.

මගේ මිතුරිය කීවේ ඇය අඳින ඇඳුම් ඈ රැකියාව කරන ආයතනයෙන් ලබා දී ඇති රෙගුලාසි වලට අනුකූලව තිබියදීත් මේ විදියට ඇගේ පුද්ගල අනන්‍යතාවය නිවැරදි කිරීමට ඒම නිසා ඇය මහත් අපහසුතාවයකට පත් වී සිටින බවයි.


ඉහත සිදුවීම වැනි අත්දැකීම් ඇයට පමණක් සීමා වුන එකක් නෙමෙයි. එවන් සිදුවීම් වලට මුල් වෙන්නේ දෙන ලද සන්ධර්භයක තමන් ඉටු කරන්නට බැඳී ඉන්න, තමන්ගෙන් අපේක්ෂිත භූමිකාව හරි හැටි තේරුම් ගන්න කෙනෙකුට තිබෙන නොහැකියාවයි.

මේ හා සමාන හැසිරීම් පෙන්වන අය, ඒ කිව්වේ තැන නොතැන නොබලා සදාචාරයෙ, සංස්කෘතියෙ ඉඳල හැම ඉලව්වම ගැන අනෙක් අයට උපදෙස් දෙන්න හදන අය සම්බන්ධව පොදුවේ ගත්තම නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක් තියෙනව.

ඒ තමා, ගොඩක් වෙලාවට මේ දේ වෙන්නේ සමාජ නිර්ණායක අනුව ‘ඉහළට ගිය’ හෝ ගරු කටයුතු තැන් වලට ළඟා වෙලා ඉන්න හෝ (උදා – ගුරු, වෛද්‍යය, පූජක, ආයතන වල ඉහළ නිලතල දරන අය.. etc) හෝ තමන් දැනටම ‘ජීවිතය දිනලා ඉවරයි’ කියල හිතන් ඉන්න (උපාධි අරගෙන, උසස් රැකියාවන් කරන, තට්ටු දෙකේ ගෙවල් හදල වටින වාහනයක් ගත්ත, දරුවො රට ගිය etc) අය හෝ වීම.

මේ අයගේ හැසිරීම් දැක්කම වැටහෙන දෙය තමයි “දැන් මම හරි, දැන් මට තියෙන්නේ (මට වඩා පහළින් ඉන්න) අනිත් අයට උපදෙස් දෙන්නයි” කියන චින්තනයකින් මෙහෙය වෙන බවක් ප්‍රදර්ශනය වීමයි.


අපි හැමෝටම ගොඩක් දේවල් ගැන මතයන් තියෙනව. යහපත් ජීවිතය යනු කුමක්ද, ජාතියේ ඉතිහාසය යනු කුමක්ද වගේ කාරණා වල ඉඳල හදාගෙන යන නිවසක දොර තිබිය යුත්තේ මොන දිශාවෙන්ද වගේ කරුණු දක්වා අපිට අනේකවිද නානාප්‍රකාර අදහස් තියෙනව.

තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්නට තරාතිරම භූමිකාව මොනව වුනත් ඕනෑ කෙනෙකුට අයිතිය තියෙන බව ඇත්ත. (මෙතන මම කරන්නෙත් ඒ විදියට මගේ අදහස ප්‍රකාශ කිරීමක්). නමුත් තමන් අදහස් ප්‍රකාශ කරන්නේ කොතනදීද, මොන සන්ධර්භයකදීද කියල තේරුම් ගැනීම වැදගත්.

තමන්ගේ අදහස් අනෙක් අයත් එක්ක බෙදාගන්න සන්ධර්භය නොසලකා ක්‍රියාකලොත් එතනදි වෙන්නෙ බලහත්කාරයක්. අදාල සන්ධර්භය තුළ තමන්ගේ වගකීම පැහැර හැරීමක්. සමාජයෙන් තමන්ට ලබා දී තියෙන ගරුත්වය අවභාවිත කිරීමක්.

මම වගේ අය සෝෂල් මීඩියා හරහා අපේ අදහස් බෙදාගද්දි (විය යුතු විදියටම) ඒ අදහස් දැඩි ප්‍රශ්න කිරීම්, විවේචන වලට ලක් වුනත් සමාජ ධූරාවලි වල ඉහළට නැග්ග පලියට අධිකාරීමය තැනක ඉඳන් ඉදිරිපත් කෙරෙන මතයන් ඒ විදියට විවේචනයට, ප්‍රශ්න කිරීමට ලක් වෙන්නෙ නැති තරම්.

මෙතනදි තවත් කරුණක් එකතු කරන්න ඕනෙ. ඒ තමා, අදහස් ප්‍රකාශ කරන්නන් තරමටම සමහර විට ඊටත් වඩා අදහස් බාරගන්නන්ගේත් වැරැද්දක් තියෙනව කියල කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මොකද, මොන තැනක මොන සන්ධර්භයක ඉන්න මොකා මොනව කිව්වත්; ඒ කියන දේ විමර්ෂණශීලී ඇසකින් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම අසන්නාගේ වගකීම නිසා.

නමුත් ඉතින් නොවෙන්නේත් ඒක.

ගිරව් වගේ තැන නොතැන නොබලා කියවන පිරිස වගේම තමයි, මෝඩයො වගේ අහන් ඉන්න අයත් ‘ලොකු තැන්’ වල ඉන්න මොකා හරි මොක ගැන හරි කියන දෙයක් වැඳගෙන ‘එහෙයි’ කියල බාරගන්නම බලාගෙනම තමයි ඉන්නෙ.

නොයෙකුත් සමාජීය, සංස්කෘතික, දේශපාලනික කාරණා ගැන ඕනැම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න තියෙන නිදහස සහ අයිතිය සුරකින අතරේ යම් සමාජයක් තුළ ඒ ඒ විෂයන් ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන මිනිසුන් (උගතුන්? බුද්ධිමතුන්?) කොටසක් ඉන්න එක අතිශය වැදගත්. මොකද ඒ ඒ විෂය ගැන සමාජයකට තීරණ ගැනීමේ, අදහස් හදාගැනීමේ ක්‍රියාවලියට ඒ විෂය ගැන කාලාන්තරයක් පුරා හදාරපු දැනුමැත්තන්ගේ අදහස් උදව් කරගත හැකි නිසා.

උදාහරණයකට; පාසැල් සිසුන්ට ශාරීරිකව දඬුවම් දීමෙන් යහපත් මිනිසෙක් ගොඩනැඟිය හැකිද කියන මාතෘකාව ගැන ඕනම කෙනෙක්ට අදහසක් තියාගන්න පුළුවන් වුනාට, ඒ ගැන හදාරපු මනෝවිද්‍යාඥ්ඥයන්, විෂයේ දැනුමැත්තන්ගේ හඬ ඒ ගැන හදාරපු නැති පඬියන්ගේ ශබ්දයන්ගෙන් මැකී යනව නම්, ඒක සමාජීය අර්ථයෙන් මහා භයානක දෙයක්. මේ කරුණ මේ දුන්නු උදාහරණයට පමණක් නෙමේ හැම විශයකටම මාතෘකාවකටම සමාජීය කාරණයකටම අදාලයි.

නමුත් අවාසනාවකට අපි අනෙක් හැම දෙයකින්ම වගේ මේ මාතෘකාවත් සුපුරුදු පරිදි අච්චාරු කරගෙන අනාගෙනයි ඉන්නෙ.


දෙමාපියෝ අහස උසට බලාපොරොත්තු ගොඩගහගෙන දුක් විඳගෙන තමන්ගෙ දරුවන්ව ඉස්කෝලෙ යවනව, ක්ලාස් යවනව.

“පුතේ, දුවේ. ඔයාට අපි මහන්සි වෙලා කොහොම හරි සල්ලි හම්බ කරල දෙන්නම්. වියදම් කරන්නම්. ඔයා කොහොම හරි ඉගෙනගන්න. ඉස්කෝලෙ යනවට අමතරව ක්ලාස් යන්නත් සල්ලි ගෙවන්නම්. ක්ලාස් ගිහින් නිදා වැටෙන්නෙ නැතුව, වෙන වෙන කල්පනා ලෝක වල ඉන්නෙ නැතුව සර් උගන්නන දේවල් හොඳට අහගෙන ඉඳල මොළයට දාගෙන පාඩම් කරල විභාගේ පාස් කරල ඉහළට යන්න මගෙ පුතේ, දුවේ…” කියල.

දරුවා පන්තියට ගියාම පන්තියේ උගන්නන සර් මොකද කරන්නෙ?

“පිරිමි හිත් වසඟ කරවන කාන්තා ගති”
“ආදරේ කරන්න ඕන විදිය”
“සල්ලි වලට ආගම් මාරු කරනවද”
“නිදහස් උරුමයේ අරගලය”
“පිළිම කඩන අන්තවාදය”
“හින්දි චිත්‍රපට සහ අපේ වලි”
“දෙවියන්ගේ රැකවරණය ලබන විදිය”
“කෙල්ලන්ට වැරදුනොත් වරදින තැන”
“කොන්දොස්තරට සල්ලි දුන්නම වෙන දේ”
“සි*හල ජාතියේ අභිමානය කෙළෙසන අයට පිළිතුරක්”
“ආදරෙන් පැරදුනාම හිතන්න ඕන විදිය”

මෙතන අවුලක් ඇත්තෙම නැද්ද?


මේ සටහනට අදාල, මීට අවුරුදු කිහිපයකට කලින් මගේ මිතුරෙක් කිව්ව කතාවක් මට මතක් වෙනව;

ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි, තමන් කරන රැකියාවට අදාල නිවැරදි “ජොබ් ඩිස්ක්‍රිප්ෂන්” එකක් නැති කම.

ඒක නිසා එක එකා තමන්ට අදාල නැති විකාර දේවල් තැන නොතැන නොබලා කරන්නන් වාලේ ඔහේ කරනව.

අපේ රටේ ටියුෂන් මාස්ටර්ලා ආණ්ඩු හදන හැටි උගන්නනවා, දොස්තර සංගම් විදෙස් ගිවිසුම් ගැන උගන්නවා, ළමා ලිංගික අධ්‍යාපනයේ සීමා ගැන ඉඳල එකී මෙකී නොකී හැම දේ ගැනම බුද්ධ ධර්මයෙන් පිට කිසිම විෂයක් ගැන හැදෑරීමක් තියා හාංකවිසියක දැනුමක් නැති භික්ෂූන් වහන්සේලා උපදෙස් දෙද්දි දොස්තරවරු දුම් අල්ලන්න කියනව, හාමුදුරුවරු දේශපාලනය කරද්දි දේශපාලකයො බණ කියනව.

හැමෝම තමන්ගේ ඔලුවට එන දේවල් අතොරක් නැතුව ඔහේ කෑගහනව. ලොකුම සද්දෙන් කෑගහන්න පුළුවන් ලොකුම තරාතිරමයි සමාජ පිළිගැනීමයි තියෙන අය කියන මොක හෝ කමක් නැහැ අහන් ඉන්න මිනිස්සු එහෙයි කියාගෙන හරිම ආසාවෙන් හිස් මුදුනින් පිළිගන්නව.

මෙහෙම සමාජයක් ලෙහෙසියෙන් පෙළඹවෙනසුළු ජනතාවකුත්, ඒ ජනතාව තමන්ට ඕන විදියට දක්කන මෝඩයන් පිරිසකුත් එක්ක හැදුනු විකෘතියක් වීම අහන්නත් දෙයක්ද?
.
.

jamisbanda

4 Comments

  1. ඇත්ත තමයි. ඕකේ ප්‍තව පැත්තක් තමයි අපි වගේ බ්ලොග් ලියන අයගෙන් ඇවිල්ල අහනව රට ගියානම් ගිය විධිහට ඉන්නේ නැතිව අපට උගන්වන්න් එන්නේ ඇයි කියල අහන එක. අපි කරන්නේ අදහස් ප්‍ප්‍රකාශ කරන එක විතරයි. කාවවත් හදා ගන්න නෙමේ කියන එක තේරුම් ගන්නේ නැහැ. අනික් එක තමා ඔය කීව විධිහට තමන්ගේ තත්වය ගැන හිතල ඔලුව උදුම්මා ගැනීම. ඒකට බෙහෙත් නැහැ.

    Liked by 1 person

  2. ඒ ගුරුවරු එහෙම දේශණ තියන්නේ උඹලා වගේ අසහන කාරයෝ ඒවා බලලා භූමිතෙල් ගෑවිච්ච ගැරඬියෝ වගේ දඟලනවා බලලා ආතල් ගන්න.

    Liked by 1 person

  3. යම් කිසි සීමාවකට යටත් විය යුතුයි කියලා හිතනවා එවැනි දේවල්.(ටියුෂන් ගුරුවරු උගන්වන විෂයට අදාල නොවන දෑ)

    නමුත් ලමයින්ගෙ ජීවිතේට වටින දේවල් උගන්නන එක ගැන විරුද්ධ වෙන්න බෑ නෙද?

    මොකද ඉගෙන ගන්නවා කියන්නෙ සිලබස් එක ඉගෙන ගන්න එකම නෙමෙ නිසා…

    සහ වර්තමාන අධ්‍යාපන ක්‍රම අනුව ලමයින්ගේ යොවුන් වියේ ගැටලු වලට හොඳ අධ්‍යාපනයක් නැති වෙලාවක ඔවුන් කියන සමහර දේවල් ඇත්තටම වටිනවා මගේ අදහස හැටියට නම්

    Like

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s