මහවිරුවා සහ රණවිරුවා

-මහවිරුවා වගේම රණවිරුවා කියන්නේත් තක්කඩි වචන-

සෙබළු කියන්නෙ කවුද?

යුද්ධයට අදාලව ගත්තොත්, මට හිතෙන විදියට සෙබළු කියන්නෙ අපේම පව් කරගහන්න වෙච්චි අසරණයො. නැති බැරි කමට. අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ පවුල් වල ඉපදිච්ච අසරණ කොල්ලො. මම වගේම ආශාවල්, බලාපොරොත්තු, හීන තිබ්බ උන්.

මගෙයි උන්ගෙයි වෙනස මොකක්ද?

මට ජීවිතයක් තිබ්බා. අනාගතයක් තිබ්බා. අහිමි වෙන්න දේවල් තිබ්බා. වාසනාවට ජීවත් වෙන්න අවශ්‍ය සල්ලි බාගෙ පවුල් පසුබිමෙන් හම්බුනා. මම මගේ හීන එක්ක ඔට්ටු වෙද්දි උන් අසරණ කමට උන්ගෙ හීන අත ඇරියා. ඒක කරන්න ඇත්තේ කැමැත්තෙන් කියනව නම් ඒක මහා නරුම කතාවක්. අමන කතාවක්.

මම යුද්ධෙට ගියෙ නැහැ. ඒත් උන් ගියා. උන්ට යන්න වුනා. ගිහින් මැරෙන්න වුනා. දහ දුක් විඳලා අන්තිමට කුඩු වෙලා චප්ප වෙලා ලේ විලක් මැද සත්තු වගේ මැරෙන්න ඇති. ඒත් මම අදත් අදත් හොඳින් ඉන්නවා. උන් මැරුනා. මම වෙනුවෙන් මැරුනා. මම නිසා මැරුනා. මම උන්ව මැරුවා. අපි උන්ව මැරුවා.

ඒ අසරණ කොල්ලන්ට තමාගේ ජීවිත අත ඇරලා දාලා, හීන වලට පයින් ගහලා, බලාපොරොත්තු හැඟීම් පැත්තකින් තියලා තුවක්කුවක් අතට ගත්ත එකට මම උන්ව රණවිරුවො කලා.

මම උන්ව වීරයාට ඇන්දුවා.

වීරයාට අන්දලා තුවක්කුවක් දීලා කිව්වා ‘දැන් පල. ගිහින් අපේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මැරිය. අපිම නිර්මාණය කරලා වන කරගත්තු ප්‍රශ්නය වෙනුවෙන් මැරිය.ඒ වෙනුවෙන් අපි උඹට දෙනවා වීර පදක්කමක්’ කියලා.

එහෙම යවලා මැරුනු උගේ ජීවිතය අපි පිළිරුවකට හිලව් කලා. පිළිමය ගැන ආඩම්බර වුනා. එහෙම කරල අත පිහ දාහත්තම ඔක්කොම හරිද?

සිංහල මිනිස්සුන්ගේ පැත්තෙන් මේ කතාව වගේම දෙමළ මිනිස්සු පැත්තෙනුත් මෙහෙමම කතාවක් ඇති.

අසරණයො ඔක්කොම මැරුනා. මේක ලියන මමත්, මේක කියවන උඹත් යුද්ධෙට ගියේ නැහැ. ගියේ උන්. යන්න වුනේ උන්ට. මැරෙන්න වුනේ උන්ට. ඉතින් යුද්ධෙට නොගිය අපි දිනුම්ද? ජීවිතය ගැටගහගන්න විදියක් නැති අසරණයෙක්ව අපේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න ‘වීරයෙක්’ට අන්දලා මැරෙන්න ඇරිය අපි දිනුම්ද?

මේ ප්‍රශ්නය හැදුවෙත් අපි. මේක ලේ වලින් පමණක් විසඳන්න පුළුවන් තැනට පත් කලෙත් අපි. අපි එක්කම ජීවත් වෙන අපි වගේම කොල්ලන්ව අපි වෙනුවෙන් මැරෙන්න ඇරියෙත් අපි. උන්ව වීරයන්ට අන්දලා පිළිම හදලා ඒවාට මල්මාලා දාන්නෙත් අපි.

සිංහල අපි.. දෙමළ අපි… අපි !

මේකෙ මොන ආඩම්බරයක්ද? මොන අභිමානයක්ද? ලැජ්ජාවක් මිසක.

මේ අමනුස්ස ක්‍රියාවලියෙ අවසානය සිහිකරද්දි ඒක දැනෙන්නෙ හරියට කාලයක් පුරා මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ කරගෙන ගිය මහා කුණාටුවක අවසන් දවස මතක් වෙද්දි හිතට එන හැඟීමක් වගේ දෙයක්. හිතෙන් පිටවෙන්නේ ජයග්‍රහණයක ප්‍රීතියක් නෙමේ. හිස්කමක් කණගාටුවක් පිරුණු වේදනාත්මක හුස්මක්.

වෙන ජීවිත යුද්ධයකට තල්ලු කරල ගෙදර ඉඳන් ආඩම්බර වෙන ශිෂ්ඨය කියන සමාජය ඒ අහිමි වුන ජීවිත ගැන දක්වන ආදරයම කපටිකමක්. ඒ ආඩම්බරයම තක්කඩිකමක්.

මිලිටරිය කියන රාජ්‍යය මඟින් මෙහෙයවෙන ආයතනය සැලකුවම ඒකට තියෙනව යම් භූමිකාවක් ඉටු කරන්න. ඒ තමා රාජ්‍යයට අභියෝගයක් වෙන ඕනම කෙනෙක්, අදහසක්, දෙයක් රාජ්‍යයේ නියෝගය මත විනාශ කරල දැමීමේ මර්ධනය කරල දැමීමේ භූමිකාව. ඒ කෙනා, අදහස, දෙය උතුරින් දෙමළ බසින් ආවත් දකුණින් සිහළ බසින් ආවත්!

නමුත් යුද්ධයට අදාලව ගත්තොත්, මිලිටරිය නම් ආයතනය නියෝජනය කල තනි පුද්ගල මිනිස් ජීවිත ගැන කතාව දිහා අපිට මානුෂීයව බලන්න පුලුවන් වෙන්න ඕනෙ කියලයි මම හිතන්නෙ.

ඒ තුවක්කුව දරාගෙන හිටිය අත පිටුපස්සෙ සැඟව ගිය ජීවිතය මොන වගේ දෙයක්ද කියල නොහිත, ඒ වෙනුවට ගෙදර ෆෑන් එක ඉස්සරහ සැපට ඉඳගෙන රාජ්‍යය ප්‍රොපගැන්ඩාවේ ලණු කාපු මෝඩයෙක් වෙලා ‘ආඩම්බර වීම’ වගේ මෝඩ තැනකින් මේ දේ අවසන් කිරීමම මිනිස් කමට කරන නිගරුවක්.

ඔබ රටට ආදරේ ඇති. ඒත් ඔබෙන්ම අහල බලන්න;

“රටට ආදරය කරන මම යුද්ධයට නොගියේ ඇයි?”

ඒ ප්‍රශ්නයට ඔබට තියෙන උත්තරය ඇතුලෙ ගොඩක් දේවල් හැංගිලා තියෙයි.

හැම දෙයක් ගැනම හැමෝටම එකම විදියට නෙමෙයි දැනෙන්නෙ. අපි හැමෝම එකිනෙකාගෙන් වෙනස් මිනිස්සු. මේ සිදුවීම් දිහා මීට වඩා වෙනස් හැඟීම් තියෙනව නම් ඔබට, කමක් නැහැ.

සමහර විට මේ ලිව්ව මට දැනෙන විදිය, ඔබට මේ ගැන දැනෙන විදියට වඩා වෙනස් ඇති. ඒත් පොඩ්ඩක් මේ දැක්ම ගැනත් මොහොතකට හිතල බලන්න.

රාජ්‍යය විසින් මේ ගැන ඔබට හිතන්න ‘උගන්නන’ විදියට වඩා මට අනුව නම්, මේ දැක්ම යථාර්තයට ළඟයි.
.
.

jamisbanda

2 Comments

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s