ආගම ; මෝඩයන් බෝ කිරීම

ආගම කියන්නේ අතාර්කිකත්වයයි. බුද්ධිමය අවබෝධය වෙනුවට බිය මුල් කරගෙන ක්‍රියාකිරීම යෝජනා කරන ක්‍රමයකටයි. සාක්ෂි සාධක වලට ගරු කිරීම සහ බුද්ධිමය විමසුම වෙනුවට තමා නිවැරදි බව කොන්දේසි විරහිතව විශ්වාස කරන්නට පුහුණු කරන චින්තනයයි. පවතිනවාදැයි නොදත් පරලොව පැවැත්මකට පරම වැදගත්කම ලබාදී මෙලොව ජීවිතය දෙවැනිකොට දැමීමයි. කටුක සත්‍යයන් වලට මුහුණ දීමට හැකි මිනිසෙක් වෙනුවට සහනදායී මිත්‍යාවන් පසුපස දුවනා බුද්ධිමය බයගුල්ලන් නිර්මාණය කරන ඇදහිල්ලයි.

මිනිසුන් ආගමිකයන් බවට පත් වන්නේ කුඩා කල සිට ක්‍රමානුකූලව මොළ ශෝදනයට ලක් කිරීමේ දේශපාලනික ක්‍රියාවලියක ප්‍රතිපලයක් වශයෙනි. ආගමිකයෙකුටම තමන්ගේ ආගම තෝරා ගැනීමේදී ‘තේරීමක්’ තිබුණ බව සිතීමම මුලාවකි.

සාක්ෂි සාධක වලට ගරු නොකරන, තමන්ගේ ඕනෑම මතයක් වැරදි වීමට ඉඩ ඇති බව සිතීමට නොහැකි, අදහස් වෙනස් කරගැනීම නම් මිනිස් ගති ලක්ෂණයේ අගය නොදන්නා, ඒ ඒ විෂයන් වල කාලයත් සමඟ දියුණුවන දැනුම පිළිබඳ හැදෑරූ මිනිසුන්ගේ උපදෙස් වලට වඩා යම් ආගමක භික්ෂූන්ගේ/පූජකයන්ගේ උපදෙස් ඉහටත් උඩින් පිළිගන්නා, තමා නිවැරදි බව සිතමින් මිත්‍යාව පසුපසම දුවමින් පහසුවෙන් රැවටෙනසුළු උද්දච්ච පල් මෝඩයන්ගෙන් පිරුණු සමාජයක් සාමූහික යහපැවැත්මේ ළඟා කරගත හැකි උපරිම තත්වයකට ළඟා වීම කිසිදා කල නොහැක්කකි. මේ වසංගත කාලයේ මිනිස් හැසිරීම් දෙස බලා අපට යම් දෙයක් උගත හැකි නම්, ඒ, සියල්ලටම වඩා ගැටළුව වන්නේ තර්කානුකූලව තමන් ජීවත් වන ලෝකය හා ගැටෙන ජන විඥානයක් නොමැති වීමේ අවුල යන පාඩමයි.

කරුණු මෙසේ තිබියදී ආගම යනු ජනතාව හික්මවීමට අවශ්‍යය දෙයක් කියාද, ආගම පවත්වාගෙන යාමට අවශ්‍යය වන විශ්වාසය ඇත්තේ බුද්ධියට ඉහළින් කියාද, අපේ සමහර අනාගමික මිතුරන් අදහස් පල කර තිබෙනවා දුටුවෙමි.

හික්මීම ලබා ගත හැක්කේ අතාර්කිකත්වය සහ බිය සිය පැවැත්මේ පදනම කරගත් ආගම හරහා පමණක් නොවේ. මිනිසෙක්ව බය කිරීම හරහා හික්මවා තබා ගැනීම භයානක මෝඩ යෝජනාවකි. කුඩා කල බිල්ලෙක් ගැන කියා බය කර පොඩි එකාට බත් කවා ගැනීමේ උපයෝගීතාවයක් ඇති බව සත්‍යයකි. වරදක් නැත. පොඩි එකාට ඉන් එහා දෙයක් වැටහෙන්නේ නැත. එහෙත් එවන් චින්තනයක් වයසින් වැඩෙන වැඩිහිටියෙක් දක්වා නඩත්තු කිරීමෙන් අවසනයේ ඔහු පත් වන්නේ කපටින්ගේ අවස්ථාවාදී උවමනා එපාකම් වලට බිල්ලන් පෙන්වා ඕනෑම වැඩක් කරගත හැකි බූරුවෙක් බවටයි.

දෙවියන්ගෙන්, ගස් ගල් වලින් තමාගේ ජීවිතයට ලැබෙන සැනසීම නිසා තම ඇස් පනා පිට ඇති සාක්ෂි සාධක දිහා බැලීම ප්‍රතික්ශේප කරන මනසම නොවේද තමාගේ ෆැන්ටසියට ආමන්ත්‍රණය කරන තමාගේ දෙවි-දේශපාලකයාගෙන් ලැබෙන ආතල් එක වෙනුවෙන් ඔහුගේ වැරදි වලට සමාව දී ඔහුව තම ගැලවුම්කාරයා කරගෙන නැවත නැවතත් ඔහුවම පත් කරගන්නේ?

මේ සියල්ල දම්වැලක් සේ එකට බැඳී තිබෙන බව මගේ අදහසයි. සිරීපාදේ යාම, අනතුරු වේයැයි බයේ වාහන වල දෙහි මිරිස් එල්ල්ලීම, සුළඟෙන් ඒඩ්ස් බෝ වේය කියා අහිංසක දරුවන් පාසලින් දොට්ට දැමීම, වතිකානුවේ අනුදැනුම ඇතුව ළමා අපචාර වන විට දෙවියන්ගෙන් ලැබෙන සැනසීමට හිලව් කර අහක බලා ගැනීම, පරිනාමවාදය මිත්‍යාවක් කියමින් ලෝකයේ වයස අවුරුදු හයදහසයි කීම… බොටම් ලයින් එක තමා ඇවරේජ් ශ්‍රී ලාංකිකයා (ඇවරේජ් මනුස්සයා) කියන්නෙ අමු මැට්ටෙක් වීම.

පුරවැසි වගකීම වැනි සංකල්පයක් ගැන, සමාජය නම් අනෙකා වෙනුවෙන් තමාගේ යුතුකම ගැන, තමා ක්‍රියාවක් කිරීම හෝ නොකිරීම නිසා අනිකාට වෙන නොවෙන දේ ගැන වගවීම වැනි චින්තනයක් නොතිබීම, පිං කිරීමේ සිට, තඩි නිවසක් සාදා වාහනයක් ගෙන දරුවෝ ඩොක්ටර්ස්ලා කිරීම දක්වා “තනියෙම ගොඩ යමන්” කියන ආත්මාර්ථකාමී ලෝක දැක්මෙන් යුත් මිනිසුන් වීම නොවේද ගැටළුව.

පිං පව් අර්ථයෙන් නිර්මාණය වන, අහසේ ඉන්න දෙවිකෙනෙකුගෙන් ලකුණු දමා ගැනීමේ අර්ථයෙන් නිර්මාණය වන චින්තනයක පදනමම ආත්මාර්ථයයි.

මේ සටහන ලියනා මේ මොහොතේද මට ගමේ පන්සලේ ලවුඩ්පීකරයෙන් පිරිත් හඬ ඇසේ. ඒ මිනිස් ආධ්‍යාත්මයේ හඬ නොවේ. ඒ සිංහලබෞද්ධ අධිකාරී බලයේ හඬයි. අනෙකාගේ ජීවිත වලට බලෙන් හොට දැමීමට තමන්ට ඇති බලය ආඩම්බරෙන් ප්‍රදර්ශනය කරනා අශිෂ්ඨත්වයේ හඬයි.

ආගම විසින් යෝජනා කරන ශිෂ්ඨත්වයම අශිෂ්ඨත්වයකි. ශිෂ්ඨ වීමට හොඳ හේතු වෙනුවට නරක හේතු ඉදිරිපත් කිරීමය ආගම.

මිනිස් ආධ්‍යාත්මයට ඇමතිය හැකි එකම ක්‍රමය ආගම නොවේ. ආගම විසින් සදාචාරයේ පේටන්ට් බලපත්‍රය කොල්ලකා ඇත්තා සේ මිනිස් අධ්‍යාත්මයට ඇමතිය හැකි එකම සහ හොඳම ක්‍රමය ආගම කියා කීම ආගම විසින්ම නිර්මාණය කර ඇති අටෝරාසියක් මිත්‍යා වලින් තවත් එකක් පමණි.

මිනිස් යහපැවැත්මට බලපාන, මෙලොව මිනිස් පාලනයේ ඇති දේවල් වලට බලපෑම් කිරීමට අප සතු එකම අවිය මිනිස් බුද්ධියයි. සාමූහික මිනිස් යහපැවැත්ම කියන මාතෘකාවේදී අපට හැකි සාදා ගත හැකි හොඳම ලෝකය කරා යන ගමනට අප ජීවත් වන යථාර්තයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගැනීම අත්‍යාවශ්‍යය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අවබෝධය කරා යන ගමනේදී දැනට අප දරාගෙන සිටින වැරදි අදහස් අතහැර දැමීමේ වැදගත්කම ගැන අමුතුවෙන් පැහැදිලි කල යුතුද?

ආගම් පමණක් නොවේ, සියලුම වැරදි අදහස් කොන්දේසි විරහිතව දැඩි විවේචනයට ලක් කල යුත්තේ ඒ නිසාවෙනි. ආගම පමණක් නොව සියලුම වැරදි අදහස් දුටු තැන අතහැර දැමිය යුත්තේ ඒ නිසාවෙනි.

අප හමුවේ ඇත්තේ සත්‍යය සහ අසත්‍යය පිළිබඳ තේරීමකුයි. ආයතනගත ආගම් වල සංවිධානාත්මක බල දේශපාලනය විසින් ක්‍රමානුකූලව මිනිසුන්ව මැට්ටන් කිරීම අප සිතන තරම් ස්වභාවික ඉබේ සිදුවන ක්‍රියාවලියක් නොවේ.

අනාගමික යමෙක් සිතනවා නම්, පොදු ජනයාගේ හික්මීම සඳහා ආගම අවශ්‍යයයි කියා, එය ඔහුගේ ඊගෝව පිළිබඳ ප්‍රකාශනයකි. ආගම රහිතව ඔහු අවබෝධකරගත් දේ තව කෙනෙකුට ආගම රහිතව අවබෝධ කරගත නොහැකිය කියා සිතීමම මහන්තත්තකමකි. අනාගමිකයෙක් එසේ සිතීම සමාජීය අර්ථයෙන් ඛේදයකි.
.
.
.

jamisbanda

2 thoughts on “ආගම ; මෝඩයන් බෝ කිරීම”

  1. //මේ සටහන ලියනා මේ මොහොතේද මට ගමේ පන්සලේ ලවුඩ්පීකරයෙන් පිරිත් හඬ ඇසේ. ඒ මිනිස් ආධ්‍යාත්මයේ හඬ නොවේ. ඒ සිංහලබෞද්ධ අධිකාරී බලයේ හඬයි. අනෙකාගේ ජීවිත වලට බලෙන් හොට දැමීමට තමන්ට ඇති බලය ආඩම්බරෙන් ප්‍රදර්ශනය කරනා අශිෂ්ඨත්වයේ හඬයි.// මේ පාර ලංකාවට ගියහම තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. මම ෆේස්බුක් එකෙත් මේක දැම්ම. හාමුදුරුවරු විතරක් නෙමේ මුස්ලිම් පල්ලියත් , මම හිටි පත්ටෙහ් මෙහෙණින් ඉන්න ආරමයකින් සහ ටයර් කදෙකිනුත් පිරිත් බන, දෙවියන්ට අඬ ගැහීම දැම්මා .

    Liked by 1 person

    1. දැන් හැමදාම පාන්දර පහට ලවුඩ්ස්පීකර් වලින් පිරිත් දානවා. අපේ ගෙදරට ඇහෙන්නේ ලාවට වගේ. පන්සල අවට මිනිස්සු කොහොම ඔය කරදරය ඉවසනවද මංදා. (ගමේ ගොඩ දෙනෙක්ට ඔය සද්දෙ දැන් කරදරයක් බවයි ආරංචිය. ඒත් කාටවත් මුකුත් කරන්න බැහැ. ඒක තමා ඉතින් මේ රටේ සි.බෞ අධිකාරියේ බලය)

      Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s