කම්පා වීම් සහ සිස්ටමැටික් ක්‍රයිම්ස්

දිනක් මට අපගේ ගමට එහා ගමේ සිදුවූ අනතුරක් ගැන ආරංචියක් අසන්න ලැබිණි. ඒ සිදුවීම මෙසේයි.

අවුරුදු දහයක් වයසැති දියණියක් පාසැල් නිමවී පයින් පැමිණෙන අතරතුර ඇගේ නිවස පේන මානයේදී අනතුරකට පත්ව තිබේ. ඇයව යට කරගෙන ඇගේ හිස උඩින් ගිය වාහනය නතර වී තිබෙන්නේ අසල කඩයක් කඩාගෙන ගොසිනි. වාහනයේ රෝදය ඇයගේ හිස යටකරගෙන ඇයව හඳුනාගත නොහැකි තැනට පත් කරමින් ගමන් කර තිබිණි.

අවට සියල්ලන් අනතුර වටා එක්‍ රොක් වෙද්දී තම නිවස අසල අනතුරක් වී ඇති බව දැනගත් ඇගේ මව ‘අනේ මට නම් ඇක්සිඩන්ට් බලන්න බැහැ’ කියමින් ඒ අසලට නොයා සිටියේ අනතුරට පත්වී තිබෙන්නේ තමාගේම දියණිය බව හාංකවිසියක් නොදැනයි.

ඒ පමණක් නොවේ, අනතුරට පත් වාහනයේ ගමන් කරමින් සිටියේ දොස්තර යුවලකි. ඔවුන් යාපනයේ (මගේ මතකය වැරදි නම් එවන් වෙනත් දුර ප්‍රදේශයක) දිළිඳු ජනතාව වෙනුවෙන් නොමිලේ සායන/ප්‍රතිකාර ලබාදී නිවසට පැමිණෙන අතර තුර විඩාව නිසා මොහොතකට ඇස් පියවුන විටකදීය, මේ අනතුර සිදුවී තිබෙන්නේ.

දින ගණනාවක් පුරාවට අප ගම් ප්‍රදේශය කණගාටුවෙනුත් තිගැස්මෙනුත් වෙළා ගත් මෙම අනතුර පිළිබඳව අභාග්‍යය සම්පන්න සිදුවීම් ගැන සිහිකරන විට නිතැතින්ම කල්පනාවට එයි.

මොන තරම් නම් අවාසනාවන්ත සිද්ධි පෙළ ගැස්මක්ද?!


මෙවන් හදිසි අනතුරු හැකි තාක් අවම කරගැනීමට කල හැකි සෑම දෙයක්ම සමාජයක් වශයෙන් කල යුතු බව අවිවාදිතය. එහෙත්, මෙවන් අවාසනාවන්ත සිදුවීම් අවම කිරීමට උත්සාහ කරන අතරවාරයේ අපට පලා යා නොහැකි අමිහිරි සත්‍යයක් මෙවන් සිදුවීම් තුළ තිබෙන බව කිව යුතුය.

එනම්, අතිශය වැඩි ඉඩක් ඇත්තේ, මිනිස් සමාජය පවතින තාක් මෙවන් සිදුවීම් අවම කිරීමට උත්සාහ කිරීම මිසක මෙවැනි දේ සිදුවීම සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අපට කිසිදා නොහැකි වීමට බවයි.

මිනිස් සමාජය පවතින තාක් මෙවන් අවාසනාවන්ත අනතුරු යම් ප්‍රමාණයක් අනිවාර්‍යෙන් සිදුවනු ඇත. එපමණක් නොවේ. හදිසි අනතුරු පමණක් නොව, අපට ‘බිංදුව’ දක්වා අඩු කර නැත්තටම නැති කල නොහැකි අමිහිරි තවත් බොහෝ දේ කිනම් මොහොතක හෝ සිදුවීමට ඇති ඉඩ සමඟ අපට ජීවත් වීමට සිදුවීමද අනිවාර්‍යකි.

හදිසි අනතුරු, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනීමැරුම්, හිංසාකාරී ගැටුම් (යුද්ධ?) වැනි (ස්වභාවික ආපදා වලට අමතර) දේවල් සමඟ මිනිස් සංහතිය පවතින තාක් අපට ජීවත් විය යුතුය නම් යථාර්තය ඒ අයුරින්ම පවතිනු ඇත.


මා මේ සටහන ලියන්නේ සමාජය තුළ තනි තනිව සිදුවන එවන් සිදුවීම් ගැන මට හැඟෙන යම් කරුණක් ඔබ සමඟ බෙදා ගැනීමටයි.

මෙවන් සිදුවීම් කණවැකුනු විට වෙනත් අයට දැනෙනවා යැයි පෙනන ආකාරයේ කම්පනයක් මා තුළ ඇති වන්නේ නැත. එය සමහර විට මගේ කුමක් හෝ වරදක්, අඩුපාඩුවක් යැයි කෙනෙක්ට සිතිය හැක. මගේ ජීවිතය පුරා මේ කරුණ මෙසේ වූවා නොවේ. මා සිතන්නේ, මේ වෙනස ඇති වුනේ කාලයක් පුරා මෙවන් දේ ගැන සිතා බැලීමෙන් ලැබුනු අවබෝධයක් නිසා කියායි.

මෙවන් සිදුවීම් අසන්න දකින්න ලැබුනු විට මා තුළ ඒ තනි සිදුවීම ගැන කම්පාවක් ඇති වීම වෙනුවට, මා එය බාරගන්නේ ජීවිතයේ සමස්ථ ස්වභාවය පිළිබඳ ප්‍රකාශනයක් වශයෙනුයි. අපට ලැබී ඇති ජීවිතයේ ස්වභාවයේ අවධානම් සහගත අමිහිරි යථාර්ථය පිළිබඳ කියවීමක් වශයෙන් මා එය බාරගනිමි.

අතිශය අහඹු ලෙස පෙළගැසෙන සිදුවීම් පෙළක් නිසා අවාසනාවන්ත ප්‍රතිපල‍යක් හටගත් විට එහි යථාර්තය වටහාගෙන ඒ හේතුවෙන් ඇති වීමට නියමිත කම්පනය සමස්ථ ජීවිතය පිළිබඳ මගේ අවබෝධයට බැර කරන්නට මම උත්සාහ කරමි.

නමුත් මා නිරීක්ෂණය කර ඇති විදියට, බොහෝමයක් දෙනා මෙවන් සිදුවීම් දකින්නේ ජීවිතයේ සමස්ථයෙන් පිට, අවාසනාවන්ත ව්‍යතිරේකයන් (exceptions) විලසින් යයි සිතේ. ඔවුන් සිතන්නේ ජීවිතය කියන්නේ සාමාන්‍යයෙන් මහා ලොකු අවාසනාවන්ත සිදුවීම් වලින් තොරව ඔහේ ගලායන යමකුත්, මෙවන් සිදුවීම් ඒ සාමාන්‍යය ගලා යාමින් පිට පිහිටන සිදුවීමුත් ලෙසිනුයි. වියුක්ත අදහස් ලෙස (abstract ideas) ජීවිතය පිළිබඳ ඔවුන් කුමන මතිමතාන්තර දරනවා යැයි කීවද, ප්‍රායෝගික තලයේදී ඔවුන් ජීවිතය පිළිබඳ කියවීමට මෙවන් සිදුවීම් සම්බන්ධ කර නොගන්නා බව මට සිතෙයි. ඕනෑම වෙලාවක ජීවිතයේ කටුක බව ගැන කියවෙන විට එය ප්‍රතික්ෂේප කරමින් ජීවිතයේ සුභදායක ධනාත්මක බව කීමට ඔවුන් පෙළඹෙන්නේ ඒ නිසා විය යුතුය.

එවන් මිනිසුන් මෙන් ජීවිතයේ අනපේක්ෂිත අවධානම්කාරී අවස්ථාවන් ජීවිතයේ සමස්ථයෙන් එළියේ තබා ජීවිතය ගැන සුභදායී ව්‍යාජ මායාවක් මවාගෙන සැනසීම මා ප්‍රතික්ශේප කරමි.


ඉහත කී ආකාරයේ හදිසි අනතුර වැනි සිදුවීම් ගැන අනෙක් අය තුළ හටගන්නවා යැයි පෙනෙන තරම් කම්පනයක් ඇති නොවුනද, අනෙක් අයට වඩා මා තුළ සංවේදී බවක් ඇති වෙන අවස්ථා බොහෝමයක් තිබේ.

ඉහත සිදුවීමම උදාහරණයට ගෙන එහි යම් වෙනසක් කොට පැහැදිලි කරන්නම්.

ඉහත අනතුර සිදුවූයේ යම් ප්‍රදේශයක පිහිටා තිබෙන දැඩි අවධානම් කාරී වංගුවක් වැනි ස්ථානයකැයි උපකල්පනය කරමු. ඒ වංගුව අසළ විටින් විට භයානක අනතුරු වෙන බවත් එම වංගුව අසළ මාර්ගයේ වෙනස්කමක් සිදු කිරීමෙන් නිතිපතා සිදුවන අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකට අඩු කර ගත හැකි (නැති කල හැකි?) බවත් සිතමු.

කරුණු මෙසේ තිබියදී මා ජීවත් වෙන සමාජය විසින් ඒ වංගුව පිළිසකර කිරීම ප්‍රතික්ෂේප කරනවා නම්, හෝ නොසලකා හරිනවා නම් එය මා සංවේදී කරවන ගැටළුවකි. මිනිස් යහපැවැත්ම හැකි තරම් වැඩිකිරීම පදනම කරගත් සදාචාරමය ආකෘතියකින් ලෝකය දෙස බලන මා වැන්නෙකුට ඒ ආකාරයට වංගුව පිළිසකර නොකිරීම තේරුම් ගත නොහැකි කුණුහරපයක් හා සමාන දෙයකි.

භයානක අනතුරු සිදුවන වංගුවක වෙනසක් කොට මිනිස් ජීවින තත්වය උසස් කල හැකිව තිබියදී එසේ නොකරන්න හේතු සමාජයේ තිබෙනවාද? කෙනෙක් අසනු ඇත.

උදාහරණ දෙන්නම්.

ඉහත වංගුව පිහිටා තිබෙන්නේ පරම්පරා ගණනක් පැරණි බෝගසක් අසළ කියා උපකල්පනය කරමු. ඉහත වංගුව අසල මහා බලවත් හාස්කම් කරන රුක් දේවතාවෙක් වෙසෙනා ගසක්/ගලක් තිබෙනවා යැයි සිතමු. ඉහත වංගුව අසල බලුකිස්තානයෙන් ගෙනා කුරුසයක් හෝ අහසින් වැටුනු ගල් කැටයක් වටකොට තැනූ වන්දනා ස්ථානයක් හෝ මේ ආකාරයේ කුමක් හෝ වන්දනීය පූජනීය ඉබිකට්ටක් ඇතැයි සිතමු.

ඉහත වංගුව වෙනස් කිරීමට, පෙර කී බෝ ගහ/වෘක්ෂ දේවතාවා ඉන්නා ගහ, කුරුසෙ, ගල හෝ ඉබිකට්ට කඩා දැමීමට හෝ කපා දැමීමට හෝ සිදුවනවාය කියා, වංගුව වෙනස් කිරීමට මා ජීවත් වන ජනසමාජයේ එවුන් අකමැති වී එම වංගුවේ අලුත්ම ගොදුර අර පුංචි දියණිය වූවා නම්, එසේ නම් ඉහත කී හදිසි අනතුර මාව අසීමිත කම්පනයකට ලක් කරනු ඇත.

ඒ, එවිට එය වැළැක්විය නොහැකි අවාසනාවන්ත අහඹු සිදුවීමක් නොව, වැලැක්විය හැකි, මම ඇතුළු මා ජීවත් වන මිනිස් සමාජයම වගකිව යුතු මරණයක් බවට පරිවර්තනය වන නිසාය. අපගේ පාලනය තුළ තිබෙන සිදුවීම් සමුදායක් අරඹයා ඇති වන දේ ගැන මම කම්පා වෙමි.

ඉහත මා සඳහන් කල උපකල්පිත වංගුවේ කතාව උපකල්පනයක් පමණකැයි කවුරුන්ට හෝ කීමට පුළුවන. එහෙත්, ඉහත වංගුවේ ආකෘතිය අරගෙන අපේ සැබෑ ජීවිතයේ දකින දේවල් වලට ආදේශ කරන්නැයි යෝජනා කිරීමට කැමැත්තෙමි.


මා සිතන ආකාරයට, නපුර සුවකල හැකි යම් පෙත්තක් හෝ, ස්ටීවන් ස්පීල්බර්ග් ගේ Minotory Report චිත්‍රපටයේ ආකාරයේ අපරාධයන් සිදුවීමට පෙර එය නැවැත්විය හැකි තරමට තාක්ෂණය දියුණු වූවොතින් හැර, ඉහත සඳහන් කල ආකාරයේ සිදුවීම් මේ සමාජයෙන් කිසිදාක තුරන් කල හැකිවීමට නොහැකි බව අප බාරගත යුතු යථාර්තයයි.

ගත වුන මාසයේ ඉපදුනු බිළිඳන් සැලකුවොත්, ඔවුන්ගෙන් යම් පිරිසක් අවාසනාවන්ත අනතුරු වලට ගොදුරු වී මියයාමද, අත පය අහිමි වීමද, ඒ බිළිඳන්ගෙන් වැඩිහිටියන් වූ යුගයක ඔවුන් යම් පිරිසක් අතින් තව පිරිසක් අපයෝජනයට ලක් වීමද අනිවාර්‍යයකි. එසේම ඒ බිළිඳන්ගෙන් යම් ප්‍රමාණයක් ළමා අපචාරකයන් වීමද අනිවාර්‍යයක් නොවේද?

කොහේ හෝ ගමක සිදුවන තනි ළමා අපචාරයක් ඉදිරියේ කම්පා වී ජීවිතයේ සමස්ථයෙන් එය බැහැර කරන අපි නැවත අපගේ එදිනෙදා ජීවිත තුළ අතරමං වෙමු. එහෙත් සිස්ටමැටික් වශයෙන් දිනපතා කතෝලික පල්ලි වල, පන්සල් වල ළමා අපචාර වෙද්දී ඒ ඉදිරියේ මුනිවත රකින්නෙමු. දිගින් දිගටම අපේ ආගමික ෆැන්ටසි මුදුන් පත් කරගැනීමේ ගනුදෙනුවට හිලව් ලෙස ඒ ආයතන නඩත්තු කරන්නෙමු.

මොහොතක් සිතන්න..

වඩාත්ම විශාල අපරාධය යුද්ධයක් අතරතුර සෙබළකු විසින් අවුරුදු අටක කුඩා දරුවෙකු ඇතුළු සිවිල් වැසියන් පවුලක් ගෙල සිඳ මරා දැමීමද? නැත්නම් මුළු මහත් ශිෂ්ඨ සමාජයක් විසින් ඒ ගෙල සිඳ මරා දැමීම හේතු කාරණා ඉදිරිපත් කරමින් දේශපාලන උවමනා මුදුන්පත් කරගැනීමේ අරමුණින් සාධාරණීයකරණය කිරීමද? එරටේ ජනපති විසින් අදාල සෙබළාව සමාව දී නිදහස් කරන තැනට පත් වීමද?

වඩාත්ම විශාල අපරාධය අනියම් සබඳතාවක් නිසා පිරිමියෙක් විසින් ගැහැණියක් ඝාතනය කිරීමද? නැත්නම් මුළු සමාජයක් රටක් එකතු වී ඒ ඝාතනය තළු මර මර නාට්‍යයක් සේ රසවිඳිමින් ඒ මිනිසුන්ගේ පුද්ගලිකත්වය විනාශ කරමින් මිනී ගඳට කෙළ හළනා ගිජුළිහිණියන් සේ හැසිරීමද?

“හිස උඩින් වාහන යන්නේ, දූෂණයට අපචාර වීම් වලට ලක් වන්නේ, මා නොවේ. ඒවා මට සිදු වීමට නියමිත නැත. මගේ නූපන් දරුවාට සිදුවීමට කොහෙත්ම ඉඩක් නැත. ජීවිතය කටුක බව සත්‍යයකි. එහෙත් මට සහ මගේ දරුවාට වැඩිම වුනොත් හෙම්බිරිස්සාවක්, උණක්, හිසරදයක්, පෝලිමක හෝ බස් එකක රස්තියාදුවීමක්, ඊර්ශ්‍යාවට හෝ පහත් කිරීමට ලක් කිරීමක් වැනි දේවලින් එහාට මහත් අභාග්‍යය සම්පන්න දේවල් සිදු නොවේ. මහා අභාග්‍යය සම්පන්න දේවල් සිදුවන්නේ මා හා මගේ ප්‍රියයන් නොවන අනෙක් මිනිසුන්ටයි. මට තිබෙන්නේ ඔලුව කැක්කුම පැනඩෝල් බීමෙන් ඉවසා, පෝලිමේ රස්තියාදු වීම දත්මිටි කමින් ඉවසා, පහත් කිරීමට ලක් වීම් අනාගතයේදී දෙන්නම් බැටේ කියා ඉවසා, අනෙක් මිනිසුන්ට සිදුවන මහා අභාග්‍යය සම්පන්න සිදුවීම් ‘අනේ අපොයි’ කියමින් ටීවී එකේ බලා රසවිඳ, මගේ ආගමික දේශපාලනික ෆැන්ටසි උදෙසා සිස්ටමැටික් අපරාධ ඉදිරියේ මුනිවත රැක, නිවී සැනසිල්ලේ පාඩුවේ වත්කම් සහ මුදල් ගොඩගසාගෙන පොරක් වීමේ ක්‍රියාවලියේ යෙදීමයි. ජීවිතය එන්ජෝයි කිරීමයි”

මේ කිනම් නම් බුද්ධිමය තක්කඩි කමක්ද?

කල යුත්තේ අහඹු ලෙස සිදුවන වැළැක්වීමට නොහැකි මට්ටමේ ඇති හුදෙකලා සිදුවීම් ‘අනේ අපොයි’ කියමින් රසවිඳීම නොව (මෙවන් සිදුවීම් වලට අදාලව සැලකූ විට දුක් වීමද එක්තරා ආකාරයක රසවිඳීමකි), කල යුත්තේ ඒ වැළැක්විය නොහැකි සිදුවීම් වලින් හෙළිවන ජීවිතයේ භයානක යථා ස්වභාවය නොබියව වටහා ගැනීමයි. සුභදායී ධනාත්මක අයිසින් තැවරීමෙන් වසා නොදැමීමයි.

කල යුත්තේ වැළැක්වීමට නොහැකි මට්ටමක තිබෙන අවාසනාවන්ත සිදුවීම් ගැන තළු මැරීම නොව, අප විසින් නඩත්තු කරනා සමාජ ක්‍රමය තුළ ක්‍රමිකව සිදුවන අපරාධ, අසාධාරණකම් නොබියව තේරුම්ගෙන ඒ ගැන යමක් කිරීමයි.

අපගේ පාලනයෙන් තොර අහඹු අවාසනාවන්ත සිදුවීම් ඉදිරියේ උඩ පැන පැන හොටු පෙර පෙර දුක් වෙමින් අපට වෙනසක් කල හැකි, අපම අපේ සුව පිණිස නඩත්තු කරන අපරාධ ඉදිරියේ ඇටි කෙහෙල් කෑ රිලව් මෙන් ඉඳගෙන ඒවා සාධාරණීයකරණය කිරීමේ දෙපිටකාට්ටු නෝන්ජල් චින්තනය සමාජයක් වශයෙන් අපි බැහැර කල යුතු බව මා තදින්ම විශ්වාස කරමි.
.
.
.
#jamisbanda

ප්‍රතිචාර සඳහා: