පාසැල්වාදයෙන් ඔබ්බට

මම ගරු කරන මිතුරෙක් පාසැල්වාදය ගැන මගේ අදහස ප්‍රශ්න කරන පණිවිඩයක් එවා තිබුනා. ඔහුට ප්‍රතිචාරයක් ලියාගෙන යද්දි ඒක හිතුවට වඩා දිග වෙන බව පෙනුන නිසා ලියපු දේ පබ්ලික් දාලා ලින්ක් එකම ඔහුට යවන්න තීරණය කලා. පහළ තියෙන්නේ ඒ සංවාදයයි.


සංජය, සාමාන්‍ය පාඨකයෙක් විදිහට ඔයාගේ පෝස්ට් එකක් ගැන මගේ නිකන් අදහස.

අර ඉස්කෝලේ ලාංඡනය පච්ච ගහගෙන ඉන්න පෝස්ට් එකේ මම මෙහෙම අර්බුදයක් දකිනවා. තවත් කවුරු හරි කෙනෙක් ඒක එතන පහල නිවරදිව දාලා තිබුණා විදිහට, එවැනි පුද්ගලික රුචි අරුචිකම් වලින් කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නැති නිසා අපි වඩා සමාජය දිරිමත් කළ යුත්තේ ඒ විදිහට තමන්ට කැමති විදිහකට ජීවත් වෙන්න කියන එකයි.

ඒ වගේම මිනිසා සාමාන්‍යයෙන් පවුලට ගමට පාසලට හෝ වෙනත් කවර හෝ යාළු කණ්ඩායමකට ආත්මීයව බැඳී ඉදීම මම දකින්නේ හොඳ දෙයක් විදිහටයි. නරක දේ වෙන්නේ ඒක බලයක් විදිහට යොදා ගෙන අනිකුත් කණ්ඩායම් වලට එරහිව ක්‍රියාත්මක වීම විතරයි.

ඒ නිසා මිනිසා හැමතිස්සෙම කිසියම් තැනකට සාමූහිකව ආත්මීයව බැඳී ඉන්න තරමට මානුෂික හුවමාරුව ඉහළ යනවා. පාසල් වලට බැදී ඉදීම මම නරක දෙයක් විදිහට දකින්නෑ.

මම ඒකෙ දකින ප්‍රශ්නය වෙනත් පාසල් සහ කණ්ඩායමවලට එරෙහිව ඒක යොදා ගැනීම විතරයි.

අර වගේ පෝස්ට් එකක් දැම්මාම ඒකෙන් ගොඩක්ම ආතල් ගන්නේ ඉහළ පාසල් සහ ඉහල පන්න්තීන් වලට ගහන්ඩ ඕනේ කියලා හිතාගෙන ඉන්න මධ්‍යම පංතියේන් පහළ ගැමි පසුබිම් ඇති කොටස්. ඒ අය තමයි විවිධ විදිහට ජීවත් වීම පවා අප්සෙට් දෙයක් විදිහට සලකලා අනිත් අයට ගරහන්නේ. එනිසා පහරදියුත්තේ ඔය විදියට ඉදීම ප්‍රශ්නයක් කියලා හිතන ආකල්ප තියෙන පන්තියට බවයි මගේ යෝජනාව. ජය.

**

අදහසට ස්තූතියි. මම එතන ටැටූ ගැහීමේ නිදහස අභියෝගයට ලක් කලේ නැහැ. ඕනෙම කෙනෙකුට ඕනෙම ටැටූ එකක් ගහන්න නිදහසක් තියෙනවා සහ ඒ නිදහස වෙනුවෙන් මම පෙනී ඉන්නව. මම එතනදි ප්‍රශ්න කරන්නේ ටැටූ එකෙන් නිරූපනය වෙන අයිඩියලොජිය/අදහස සම්බන්ධවයි.

ඒ අදහස ගැන මගේ විවේචනය එක්ක කවුරුන් හෝ එකඟ නොවීම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ගැන අපට වෙනම කතා කරන්න පුළුවන්. නමුත් ගොඩ දෙනෙක් මේක අරන් තිබුනා, මම කියන විදියට මීට පස්සේ තමාට ඕන ටැටූ එක ගහගන්න කාගෙන් හරි අවසර ගන්න ඕනෙ කියලද මේ කියන්නෙ, වගේ තැනකින්. ඒක නෙමේ මම මගේ පෝස්ට් එකෙන් අදහස් කලේ. (උදාහරණයක් විදියට ස්වස්ථිකය ටැටූ ගහන්න තියෙන නිදහසට පෙනී ඉන්න ගමන්, ඒ ස්වස්ථිකයෙන් ප්‍රමෝට් කරන්නේ නාසි අයිඩියලොජිය නම්, අපට පුළුවන් ඒ අයිඩියලොජිය නෝම් එක වීමේ හොඳ නරක ගැන කතා කරන්න).

ඊළඟට, පාසැල්වාදය ගැන මට තියෙන්නේ ඔබට වඩා වෙනස් අදහසක්. මම පාසැල්වාදයේ අඩුපාඩු/ගැටළු කිහිපයක් දකිනවා. මම හිතනව පාසැල්වාදය ආක්ෘතිගතව ගෝත්‍රවාදී කියල (a form of tribalism).

අපි මේ කතා කරන පාසැල්වාදය ගත්තම, ඒ තුළ ගෝත්‍රවාදයේ මූලික ලක්ෂණ පෙන්නුම් කරනව. තමා පෙනී සිටින කණ්ඩායම කෙරේ තර්කයට යටත් නොවන පක්ෂපාතීත්වයකුත්, පිට කණ්ඩායම් කෙරේ තර්කයට යටත් නොවන එදිරිවාදීකමකුත්, දෙන ලද අවස්ථාවල් වලදී පෙන්නුම් කරන ස්වභාවයක් (in group loyalty and out group hostility) සෑම ගෝත්‍රවාදී චින්තනයකදී වගේම මෙතනදීත් දකින්න පුළුවන් කියල මම හිතනවා.

ඒ වගේම මම හිතනවා මේ චින්තන ක්‍රමය කුඩා කාලයේ සිටම දරුවන් තුළට කැවීමෙන් පාසැල් වලින් කරන්නේ සමාජයේ තියෙන අනෙක් ගෝත්‍රවාදී, ආගම්වාදී කාරණා නඩත්තු කරන්න අවශ්‍යය ආක්ෘතිය පිළිගන්න මනසක් නිර්මාණය කරන්න මුල් වීමක් කියල.

ඒ වගේම මෙතන මම දකින තවත් පැත්තක් තියෙනව. මිනිසුන් තුළ අධිකාරීමය ස්වරූප වලට යටහත් පහත් ලෙන්ගතු බව පුහුණු කිරීමක් පාසැල විසින් උගන්වන පාසැලටම වන්දනාමාන කිරීමේ ක්‍රියාව තුළින් සිද්ධ වෙනවා. විකාර සහගත, සාධාරණ හේතු සාධක නොමැති, ඉහළින් එන නිසාම අනුගමනය කල යුතු නීති රීති වලට ප්‍රශ්න කිරීමෙන් තොරව අනුගත වෙන්න පුහුණු කරන තැන පාසැලයි (අඩුම ගානේ මෑත මිනිස් ඉතිහාසය සහ වර්තමාන තත්වය සලකපුවම).

සමස්ථය ඇතුළෙ තියෙන සුපිරි පාසැල් කියල සමාජයේ පිළිගැනෙන පාසැල් වන්දනාව ගැන මාත්ෘකාවට ආවම කතාව මීටත් වඩා අමිහිරි වෙනව කියල මම හිතනව.

සුපිරි පාසල් කියල දෙයක් පවතිනව කියන්නෙම සම්පත් හා පහසුකම් බෙදී යාමේ විෂමතාවය පිළිබඳ ඇස් පනාපිට පේන්න තියන සාක්ෂියක්. එහෙම වෙන්න මුල් වෙන හේතු සාධක මොනවද එහෙම වෙන්නෙ ඇයි කියන එක වෙනම කතා කරන්න ඕන දෙයක්.

ඒ වගේම මම කියන්නෙ නැහැ එහෙම වෙලා තියෙන එකට සුපිරි පාසැල් කියන ඒවට ඉගෙනගන්න යන සිසුන්ට ඇඟිල්ල දික් කල යුතුයි කියල. හැබැයි ඔය ලොකු ඉස්කෝල කතාවම privilege ගැන කියන එක සරල සත්‍යයක් නෙ. ඒක ගැන ආඩම්බර වෙනව කියන්නෙම අනිත් අයට හම්බුන්නැති චාන්ස් එකක් මට හම්බුනාය කියන එක. මම හිතන විදියට එහෙම ලීඩ් එකක් තියල අචීව් කරන දේවල් සහ මහ ලොකු පාසල ගැන කයිවාරු ගහන්න ලැජ්ජ වෙන්නයි ඕනෙ හරිනම්, ආඩම්බර වෙන්න නෙමේ.

උසස් කියන තැනම ඊට එහා පැත්තෙන් පහත් කියන සංකල්පය තියෙනවා. උසස් තැන භුක්ති විඳින්න නම් ඊට සාපේක්ෂ පහත් තැන නඩත්තු වෙන්නම ඕන. අඩුම ගානේ ඒ දෙක අතර පරතරය පවත්වාගන්න ඕන. එක්තරා Elite එකක් මේන්ටේන් කරන්න හදන කේස් එකක්. Elite එකක් පවත්වාගන්නව කියන්නෙම ඊට වඩා පහළ වැඩි පිරිසක් ඉන්නව/ඉන්න ඕන කියන එක. මේ කාරණා ටැටූ එකකට, කොඩිය වනලා ගන්න ආතල් එකකට සීමා වෙනව කියල මං හිතන්නෙ නැහැ.

ඒ එක්කම, මගේ පෝස්ට් එක දැකලා මගේ මිත්‍රයෙක් දාපු තවත් පෝස්ට් එකක තවත් ඉතාම වැදගත් පොයින්ට් එකක් මතු කරල තිබුනා.

ඒ තමා, අනෙක් හැම වෙලාවෙම සමාජ සුභ සිද්ධිය, සමාජ ප්‍රගමනය, සමානාත්මතාවය ගැන කතා කරන නිදහස් මතධාරී සමහර පිරිස් පවා පාසැල් වාදය කියන තැනදි කොච්චර ගොබ්බ වෙනවද කියන එකට හොඳම සාක්ෂිය විදියට මගේ මිත්‍රයා යෝජනා කරල තිබුනා, ඒ අයගෙන් අහන්න තමා වන්දනා කරන පිරිමි පාසැලේ සිසුන් ප්‍රමාණය සමාන ලෙස බෙදී යන විදියට පිරිමි ගැහැණු මිශ්‍ර පාසැල් කරන්න කැමතිද? නැත්නම් ඒ අය වන්දනා කරන පාසැල් වල ජාතීන් වල සාධාරණ අනුපාතයකට බෙදී යන ලෙස සිසුන් බඳව ගන්න එකඟද? කියල. එහෙම නැත්නම් තම තමන්ගේ සුපිරි පාසල් තුළ තියෙන ඒවාට අනන්‍ය වුන ආගමික අනන්‍යතා වෙනුවට ‘ආගම් ගැන’ පමණක් උගන්වන තැනට වෙනස් කරනවට කැමතිද එකඟද කියල?

වෙන තැන් වලදි සෑහෙන ප්‍රගතශීලී මතදාරීන් පවා මෙතැනදි ගොත ගැහෙන බවයි පෙනෙන්න තියෙන්නෙ.

තමා යාලු වෙන පෙම්වතාගේ ජාතිය, කුලය ගාවට පාසැල (සුපිරි පාසැලක්ද) කියන එක සලකා බලන අය ඕනෑ තරම් ඉන්නව. ඒ වගේම සමාජයේ, රැකියා ස්ථානයේ, එදිනෙදා මානුෂීය සබඳතා වලදි පවා මේ Elite මානසිකත්වය මේ පිරිස් විසින් දරුණු විදියට මේන්ටේන් කරනව. මේක කාලයක් මේ රටේ ක්‍රිකට් කණ්ඩායම ඇතුළෙ පවා වෙනස් ස්ථර බෙදන්න හේතු වුන බව ප්‍රසිද්ධ රහසක්.

ඒ වගේම මේ චින්තනය අපි අනුමත කරනවා, ඉවසනවා හෝ දිරිමත් කරනවා කියන්නෙම මේක දිගටම නඩත්තු කිරීමක් කියල මම හිතනවා.

මෙතනදි අන්තිමට ඔය කිව්ව සියල්ලටම වැඩිය පුද්ගලිකව මට වැදගත් පොයින්ට් එක මේකයි. රාජ්‍යය අධ්‍යාපනය ලබා දෙන පාසැල් වල (history of compulsory schooling) ඉතිහාසයත් වර්තමාන පාසැල් ක්‍රමය දක්වා එය පරිනාමය වූ හැටිත් අධ්‍යනය කරද්දි අපිට පේනවා, පාසැල් කියන්නේ රාජ්‍යය විසින් එහි පුරවැසියන්ගේ කුතුහලය, ප්‍රශ්න කිරීමේ ස්වභාවය මොට කරලා දෙන ලද නීති පද්ධතියකට අවනතව ජීවත් වෙන, දෙන ලද ආක්ෘතිය ප්‍රශ්න නොකර ඒ ආක්ෘතිය තුළ ව්ෘතියම සුදුසුකමක් ලබා ගන්න මූලික අඩිතාලම දාන රාජ්‍යය ආයතනයක් පමණයි කියන දෙය. (මේ ගැන ඉදිරියේදී විස්තරාත්මකව ලියන්නම්).

ඒ අර්ථයෙන් ගත්තම, මම මුලින් කිව්ව සියලු කාරණා නොතිබුනත්, ඒ කරුණම ඇති කියල මම හිතනවා පාසැල් පිළිබඳ දැඩි විමර්ෂනකාරී, සැකසහිත ඇසකින් බැලීම කියන චින්තනය වඩාත් සුදුසු ප්‍රවේෂය කියල රෙකමදාරු කරන්නම. කරුණු කාරණා එහෙම වෙද්දි පාසැල කියන ආයතනය දිහා ස්කෙප්ටිකලි බලනව වෙනුවට හැට පැනලත් ඒකට වැඳගෙන, ඒ ආයතන ආක්ෘතියම නඩත්තු කරගෙන, එහෙම කරන එක මාර ආඩම්බරයක් කියල හිතන එක නම් මට වැටහෙන විදියට විකාරයක්.

ඔබ කියල තියෙනව වගේම, මිනිසා යම් දේවල් වලට ආත්මීයව බැඳී සිටීම හොඳ දෙයක් කියල මමත් හිතනව. හැබැයි ප්‍රශ්නය බැඳෙන ‘විදිය’ මොකක්ද, මොන කොන්දේසි වලට යටත්වද කොන්දේසි රහිතවද, අතාර්කික අන්ධ හැඟීම් බර ප්‍රවේශයකින්ද කියන දේවලුයි. මං හිතන්නේ මං මේ ලියල තියෙන කරුණු වලින් බාගයකටත් වඩා කොහොමත් ඔබ එකඟ දේවල් වෙන්න ඇති. නමුත් එහෙම බව දැනගෙනත් මම ඒවා අමුතුවෙන් සඳහන් කලේ අනිත් අයටත් කියවල හිතල බලන්න පුළුවන් වෙන්නයි.

ඔබේ විවේචනයට/අදහසට බොහෝම ස්තූතියි. මේ වගේ සංවාද ඇති වීම වැදගත් කියල මම හිතනව. එකඟ නොවෙන දේවල් ගැන මිත්‍රත්වයෙන් කතාබහ කරන්න පුළුවන් කියන එක ගොඩක් වටින දෙයක්. ඉදිරියේදීත් මේ විදියට වෙනත් දේ ගැනත් කතාබහ කරමු. ඔබටත් ජය! ❤
.
.
.
#jamisbanda

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s