බඩු සහ කුණු

මම කවදාවත් පිළිවෙලකට හිටිය කෙනෙක් නෙමෙයි. Order එකකට ජීවත් වීම කියන දේ මට කොහොමත් කරන්න ටිකක් අමාරු දෙයක්. මම හිතන්නෙ මේක මගෙ ජීවිතයෙ හැම පැත්තකම වගේ පැතිරිලා තියෙනව. මට දැනගන්න උවමනා යම් දෙයක් ගැන ඉගෙන ගැනීම ගත්තත් මා තුළ කැමැත්තක් නැහැ කවුරු හරි හදපු සිලබස් එකක් තවත් කවුරු හරි මට උගන්නනව ඉඳගෙන අහන් ඉඳල ඒ ආකෘතිය ඔලුවට දාගන්න. ඒ වෙනුවට තනියෙම පොතක් පතක් කියවීම මඟින් හරි ඉන්ටර්නෙට් එක මඟින් හරි මම ම ඒ මට දැනගන්න ඕන දේවල් හොයාගෙන මට ඕන කොටස් ඔලුවට දාගෙන මට ඕන්නැති කොටස් හලලා දාන එකයි මට සෙට් වෙන්නෙ.

මම කලින් රැකියාව කල තැන හැමදාම උදේ 8 වෙද්දි scanner එකට ඇඟිල්ල තියන්න ඕන. අපි වැඩට ආපු වෙලාව හරියටම රෙකෝඩ් වෙනව. හැමෝම දන්නවනෙ, ගොඩක් තැන් වල තියෙන දෙයක්. ඒ කාලෙ මට ඕක හෙණම අවුල්! රස්සාව කරපු තැන මට සෙට් නොවුන දහසක් දේවල් වලින් එකක් ඕක. උදේට මීයෝ රැළක් වගේ මිනිස්සු දහස් ගණනක් අඩි හයියෙන් තිය තිය දුවගෙන එනවා හරියට වෙලාවට ඇඟිල්ල ගහන්න. මේක පුදුම ආකෘතිගත ජීවිතයක්නෙ කියලයි මම ඒක දැක්කම කල්පනා කලේ. මට ඒක දැනුනේ මාව රොබෝ කෙනෙක් කරල වගේ. පුදුම මෙහෙයවීමක්. පුදුම මෙහෙයවීමට ලක් වීමක්. පුදුම පිළිවෙලක්. (ඔන් වෙන වෙලාව ආයතනය විසින් හරි පිළිවෙලට හදල තිබ්බට කෑම ගන්න වෙලාව, ඕෆ් වෙන වෙලාව වගේ දේවල් වලදි එහෙම කිසිම පිළිවෙලක් තිබ්බෙ නැති එක වෙනම කතාවක්)

සමාජයෙ ජීවත් වෙද්දි හැම කෙනාම හරිම පිළිවෙලකට ඉඳීමම මම දැක්කේ ඒ අය මත යම් දෙයක් බලෙන් පැටවීමක් විදියට සහ ඒ අය ඒ පැටවීම බාරගෙන තිබීමක් විදියට. මලගෙදරකට වුනත් යද්දි (ඒ මලගෙවල් වල යන කාලෙ) මට හිතෙන්නෙම සුදු වෙනුවට වෙන පාටක් අඳින්න. වෙඩින් එකකට යනව නම් ටයි එක නොදා යන්න… ගොඩක් අවස්ථා වලදි මගෙ වටේ ඉන්න පිරිස් විසින් ඉල්ලා හිටිය ඒ පිළිවෙලට අනුගත වුනේ සෑහෙන ආයාසයක ප්‍රතිඵලයක් විදියට. ආකෘතිගත ජීවිතය කියන්නෙම හිර ගෙයක් වගේ හැඟීමක් තියෙන මනසකිනුයි මම මෙහෙය වෙන්නෙ, මට හිතෙන විදියට.

තව දෙයක් තමයි පොඩි කාලෙ ඉඳලම කාමරේ ගත්තත්, ඇඳුම් අල්මාරිය ගත්තත් පිස්සාගේ පලා මල්ල වගේ පිළිවෙලක, පිරිසිදුකමක නාමයක් නැති විදියට ඉන්න පුරුදු වෙලා තිබීම. කොටින්ම ඒ දවස් වල අම්මා බැරිවෙලාවත් කාමරේ අස් කරල තිබ්බොත් ඒ අස් කරපු කාමරේ දැක්කම හිතට එන්නෙ පොඩි කේන්තියක්. මේක නම් මට විතරක් නෙමේ ඒ වයසෙ ගොඩක් කොල්ලන්ට තියෙන දෙයක් මම හිතන්නෙ. කොටින්ම අම්මාගෙ බාසාවෙන් කියනව නම් ඌරෙක් වගේ තමා කාමරේ තියාගත්තෙ. මට ඒ කාලෙ අපිළිවෙල පිළිවෙලයි පිළිවෙලට වඩා. කාමරේ පිළිවෙලට අස් කරලා ඇඳ එහෙම හදලා තියෙද්දි නිකන් මොකක්ද මොකක්ද වගේ. අල්මාරියෙ ඇඳුම් ඔහේ පොඩි කරල ඔබලා ඔබලා තියෙනවට වඩා පිළිවෙලට නමලා තියෙද්දි අවුල් අවුල් වගේ. එක ටීෂර්ට් එකක් එළියට ගද්දිම හැඩිවෙනවා. හැඩිවෙන්නෙ නමල තිබ්බොත්නෙ! මේවා තේරෙනවයැ අම්මලාට.

කොහොම හරි ඔහොම හිටිය ඌරු පුතාට දැන් පිළිවෙලකට ඉන්න සිද්ධවෙලා තියෙන්නෙ අපිළිවෙලකට ඉන්න අකමැති උන්දෑ කෙනෙක් එක්ක එකට ජීවත් වෙන නිසා. ඒ උන්දෑ මාසයක් දෙකක් යද්දිම ඉල්ලීමක් කලා ඌරෙක් වගේ නොමැතිව මනුස්සයෙක් වගේ ඉන්න ට්‍රයි කරනා ලෙස. අහක දාන්න පුළුවන් ඉල්ලීමක් නෙමේනෙ. සාධාරණ, මානුෂික ඉල්ලීමක්නෙ. මනුස්ස ඇහැකට දරාගන්න බැරිබව හිතාගන්න පුළුවන්නෙ. (මං හිතන්නෙ මං විතරක් නෙමේ ගොඩක් කොල්ලන්ට මේක මේ විදියටම වෙලා ඇති). ඉතින් ඕකෙ ප්‍රතිපලයක් විදියට, ටිකක් කල් යද්දි මට දැනගන්න හම්බුන දේ තමා මම ගේ අස් කලාම ආයෙ කාන්තා පාර්ශවයෙ ගේ අස් කිරීම කැලේ බව. ඒ කියන්නේ මා තුල අස් පස් කිරීමේ සහ අපිළිවෙල දේ පිළිවෙල කිරීමේ සැඟවුණු දක්ෂතාවයක් තිබිලා තියෙන බව. කවුදෑ දන්නෙ කියහංකො.

කොහොමෙන් කොහොම හරි, මේ ඌරා මනුස්සයා වීමේ කාල සීමාව තුළ මා විසින් අවබෝධ කරගත්ත රහසක් එළි කරන්නයි මේ යන්නෙ (සමහරුන්ට නම් මේක රහසක් නොවෙන්න පුළුවන්. ඒත් මට මේක අලුත්නෙ. ඒ නිසා ලෝකෙන් මේක මුලින්ම හොයාගත්තෙ මම වගේ ඔහෙ ලියල දානවා).

මේ රහස තමා, ගෙවල් දොරවල් අස් පස් කරල පිළිවෙල කරන්න නම් බඩු විසි කිරීමේ හැකියාව තියෙන්න ඕනෑය කියන එක. හරි. මේ වෙද්දිත් උඹල දන්න මේක මම ආයෙම කිව්වා වුනත් කමක් නෑ කතාව මෙහෙමයි.

මම ගිහින් තියෙන ලාංකික මධ්‍යමපාන්තික ගෙවල් වල මම දැකල තියෙන ලක්ෂණයක් තමයි ඒ හැම ගෙදරකම අම්බානට බඩු ගොඩගහගෙන තිබීම. සමහර ගෙවල් වල සාලයෙ පුටු සැටිම දෙකක්, පැත්තෙන් තවත් පුටු, තව පැත්තකින් විශාල කැබිනෙට් එකක්, ඒක ඇතුලෙ වීදුරු අරවා මේවා ඔක්කොම (දැන් නම් මේ කැබිනට් වීදුරු සීන් එක අඩුයි), ඒ වගේම කාමර වලත් අලි අල්මාරි, පැත්තක පෙට්ටගම් වගේ බඩුදාන ඒවා.. කුස්සි වල පිඟන් එක්දාස් පන්සීයක් විතර.. කුස්සියේ තව කබඩ් තුන හතරක ලාච්චු වල බඩු පිරිලා තියෙනවා ඒ ඔක්කොම එකතු කරල තුන් වෙනි ලෝක යුද්දෙට මුලු රටක හමුදාවකට යුද්ධ ටැංකි හදන්න පුළුවන්. හැඳි තිස්තුන් කෝටියයි. ඇල්පෙනිති, බොත්තම්, කතුරු, යතුරු, පරණ පත්තර, පෑන්, පැන්සල්, පරණ සීඩී තැටි, අයින් කරපු අයන් බෝඩ්, බාගෙට ඉවර වුන සෙන්ට් බෝතල් අරවා මේවා ලට පට එක ගෙදරක ලාච්චු අස්සේ මුලු අස්සේ හිර වෙලා.

ගේ අස් කරන්න ගියාම වැඩේ මේකයි. ෆුල් සුද්දයක් දානවා කියල වැඩේ පටන් ගත්තත් අතට ගන්න ගන්න හැම ඉලව්වම, ඇහැට වැටෙන හැම දෙයක්ම දැක්කම හිතෙන්නේ “මේක කවදා හරි ඕන වෙයි…”, “මේකෙන් කවමදාක හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි” කියල.

මේක තමා කොස්ස. කොස්ස කිව්වෙ ඒ කොස්ස නෙමේ මේ කොස්ස. ගෙදරක තියෙන ඕනම බඩුවක්, දෙයක් කියන්නෙම මොකක් හරි වැඩක් තියෙන දෙයක් තමයි. නැතුව කාටවත් වැඩක් නැති දෙයක් ගෙදර ගේන්න ගෙවල් වල උන්ට පිස්සු නෑනෙ. හැබැයි මේ කවදා හරි, තව අවුරුදු විස්සකින් මට ඕන වෙයි කියල හිතලා පෙරේත කමට අහුමුළු වල ඔබන දේවල් බඩු නෙමේ.. කුණු! මේවා ගොඩගැහිලා නිසා තමා කොච්චර අස් කලත් ගෙයක් හැඩි වෙලාම වගේ පේන්නෙ. එහෙට මෙහෙට හැරෙන්නවත් බැරි විදියට භූතයො වගේ එක තැන ලැගලා ඉන්න මහා කබඩ්, ඒ කබඩ් වල ලාච්චු පිරිලා තියෙන්නෙ ලෝභ කමට අයින් නොකර තියාගෙන ඉන්න මේ කුණු වලින්.

මට තේරෙන විදියට නම් සීන්ස් එක මේකයි. දැන් මේක කියවන එක්කෙක්වත් මිනිස්සු නෙමේනෙ. මේක කියවන හැමෝම පාරිබෝගිකයො. සිංහලෙන් කියනවා නම් consumers ලා. ඒකනෙ ඇත්ත. ඉතින් අපේ ගෙවල් වල අවශ්‍යය අනවශ්‍යය ඕනෑ එපා බඩු ගොඩගැහිලා නැත්නම් ඒක වෙනම අවුලක්නෙ. වෙන්න බෑනෙ. බඩු ගන්නම ජීවත් වෙන නැහෙන පාරිබෝගිකයොනෙ අපි. ඉතින් බඩු ගොඩ ගැහිල තියෙනව තමා මීතොටමුල්ල කුණු කන්ද වගේ.

මෙතනදි වෙන්න ඕන මේ ගෙවෙන දවස් කීපයේ සහ පේන ළඟ අනාගතයෙ තමා පාවිච්චියට නොගන්නවා කියල හිතෙන හැම දේම, ඒ කාල සීමාව තුල තමාට අවශ්‍යය නොවේය ප්‍රයෝජනවත් නොවේය කියල හිතෙන හැම ඉලව්වම අයින් කරන එක. ඇල්පෙනිත්තෙ ඉඳලම!

මේ කිව්ව දේ ගැනම නොවුනත් මීට ළඟින් යන අදහසක් ගැන මෑතකදි ඩොකියුමෙන්ට්‍රියක් බලන්න හම්බුනා, Minimalism කියල හොයල බලන්න. යම් වටිනාකමක් තියෙයි. ඒ සංකල්පයෙන් කරන්නෙ තමන්ට අයිති හැම බඩුවක්ම.. මේස පුටුවෙ ඉඳන් ඇඳුම් ගණන සහ පෑන දක්වා.. ඒ අයිති බඩු ගාන ගනන් කරල, තමන්ට අත්‍යාවශ්‍යය බඩු ප්‍රමාණය කීයද කියල යම් අවම අගයක් තීරණය කරල, එතනින් එහාට සියලු බඩුභාණ්ඩ ඉවත් කරන එක. ඒක බලන්න. සමහර විට ප්‍රයෝජනවත් වෙයි.

මම මේ සටහනින් කිව්වෙ ඊට වඩා සරල දෙයක්. Minimalism වගේ එච්චර වෙනස් දෙයක් නෙමෙයි, සරලවම මේ සටහනින් කියන්නෙ මෙච්චරයි…..

පෙරේතයාට අන්නාසි කපන්න බෑ වගේම තමා ලෝභයාට ගෙවල් අසපස් කරන්නත් බැහැ.

1 Comment

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s