දශකයක් අනාගතයට ගොස් ඔබවම හමුවන්න | The End of History Illusion

මට මතකයි මගේ වයස පහළව-දහසය කාලයේ මට ලොකු Backstreet Boys පිස්සුවක් තිබුනා. ඒ කාලෙ මම බැක් ස්ට්‍රීට් ලව ඔලුව උඩ තියාගෙන ඇදහුවෙ නැති ටික විතරයි. AJ පිස්සුව කොච්චර වැදිල තිබ්බද කියනව නම්, ඌ වගේ කරාබු දාන්න, නියපොතු පාට කරන්න, රැවුල වවන්න බැරි එක ගැන මාර අප්සට් එකක් තිබුනේ. හිටපන්කො ඉස්කෝලෙන් අවුට් වෙලා අම්මලවත් බැලන්ස් කරගෙන කවද හරි ලොකු වුනාම ඒ වගේම කරාබු දාලා, රැවුල වවලා, AJ අතේ කොටල තියෙන පච්චයම කොටලා, නියපොතු පාට කරලා මැක්සා එකට ඉන්නව කියල හිතින් ප්ලෑන් කරනව.

ඒ යුගයේ මම ළඟින් ආශ්‍රය කරපු අපේ නෑදෑ අයියා කෙනෙක් හිටියා. මෑන් ඒ දවස් වල කැම්පස් යන අතරෙ හිටියෙ. ඌ අපේ ගෙදර ආපුවම මගේ මේ බැක් ස්ට්‍රීට් පිස්සුව දැකලා මෙහෙම කිව්වා මතකයි. ‘මල්ලි, කවදා හරි ඔයාට මේගොල්ලන්ව එපා වෙනව දැන් ඔයා මුන්ට ආස තරමටම’ කියල. ‘නෑ නෑ, කවදාවත් එහෙම වෙන්නෙ නෑ’ මම උත්තර දුන්නා. මේ යකා දන්නවයැ මගේ හිතේ තියෙන ආසාවෙ තරම. ඒක කවදාවත් වෙනස් වෙන එකක් නෙමෙයි කියල එයා දන්නෙ නෑනෙ. මම තනියෙම හිතුවා.

‘මල්ලි, ඔයා අපේ වයසට ආවම ඔය බැක් ස්ට්‍රීට් අහන එක නවත්තනවා. අපේ කැම්පස් එකට ඇවිත් බැලුවොත් ඔයාට තේරෙයි. ඔක්කොමල්ලා අහන්නේ කපුගේ, ටී.එම්, අමරදේව. ඔය විකාර ඔය වයසෙදි විතරයි. බලන්නකො ඔයා ලොකු වුනාම’.

අයියා ෆුල් සීරියස් එහෙම කියද්දි මම මේ විදියට කෝචොක් කරනව.

“…තනිවූ එදා..ඔබ මා දෙපා… දෑතින් බදා…සිප ගත් එදා……….මේ යකා රැපර් කෙනෙක්ද අප්පා. එමිනම් වගේනෙ…ගානට රයිම් වෙනව.. මරු ඈ” ඔහොම කියල මම ඒ සින්දුව ඩීප් රැප් වොයිස් එකෙන් අත් එහෙට මෙහෙට දදා වැනි වැනි රැපර් කෙනෙක් වගේ කියනවා. අරූ මා දිහා බලන් ඉන්නව ‘අනේ මූ බත් කන ජීවියෙක්ද බං’ කියල හිත හිත බලන් ඉන්නව වගේ…


අවුරුදු දහයක් ඉස්සරහට එමු.. මට විසි හයයි… තව අවුරුදු අටක්.. ඒ කියන්නෙ අද දවසට ආවොත්.. මට දැන් තිස් හතරයි.

බැක් ස්ට්‍රීට් බෝයිස් ලගේ සින්දුවක් අහපු කාලයක් මතක් කරගන්න අමාරු තරම්. අහම්බෙන් හරි ඇහුනත් එතකොට නොස්ටැල්ජික් හැඟීමකින් එහාට දෙයක් හිතට නොඑන තරම්.

අද, ජීවිතය කියන්නෙ නෛසර්ගික අර්ථයක් නැති අරුත් සුන් දෙයක් කියල හිතන මට, මොහොතකට හරි ජීවිතයේ පැවැත්මට අරුතක් තියෙනව කියල හිතෙන්නෙ වැසි දවසක ඇඟ සීතලෙන් වෙළී යන අතරෙ අඳුර උදාවේගෙන හවස් යාමය ගෙවීගෙන යද්දි මිහිරි සංගීතයක් කණට වැටෙද්දියි..

“…භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ
එක්වූ දිනේ සිහිවෙනවා
එක්වූ දිනේ සිහිවෙනවා………….”

මේකට සංවේදී නොවෙන්න පණ ගැහෙන හදවතකට පුළුවන්ද? මේ අකුරු ලියන මොහොතේ මට දැනෙන අවංක හැඟීම ඒ.

හැබැයි, මා ඉදිරියට අර අවුරුදු දාසයේ බැක් ස්ට්‍රීට් පිස්සා දැන් ආවොත්, අපි දෙන්නා එක මනුස්සයෙක් නෙමේ මනුස්සයො දෙන්නෙක් විදියට මේ ගැන කතාබහක් ගියොත් ඌ මට මොනව කියයිද? මම ඌට මොනව කියයිද?


ඇමරිකානු මනෝවිද්‍යාඥයන් තිදෙනෙක් වන ටිමති විල්සන්, ඩැනියෙල් ගිල්බර්ට් සහ ජෝඩි ක්වෝබාහ් විසින් කරන ලද පර්‍යේෂණ මාලාවක් ආශ්‍රයෙන් නිගමනයක් ඉදිරිපත් කරනවා. හත්දහසකට වැඩි පුද්ගලයන් පිරිසක් යොදාගෙන කරපු මේ පරීක්ෂනයෙන්
ඔවුන් පැමිණි නිගමනය නම් කරනවා End of History Illusion නමින්. ඒකෙන් කියන්නේ මෙහෙම දෙයක්. යම් මොහොතක් අරන් සලකල බලපුවම මිනිස්සු තුළ තමන් දැනටමත් නිර්මාණය වෙලා අවසන් වුන ‘ඵලයක්’ විදියට තමන් දිහා බලන ආකාරයේ නැමියාවක් තියෙන බවයි ඔවුන් සොයා ගත්තේ.

ඒ කියන්නේ මම අවුරුදු දහසයෙදි හිතන්නේ මං කියන කෙනා නිර්මාණය වෙලා ඉවරයි කියල. අවුරුදු දහසයෙදි මම උපකල්පනය කරද්දි අනාගත අවුරුදු තිස් හතරෙ මම ගැන, මට මැවිල පේන්නේ වැඩට ගිහින් ඇවිත් ගෙදර උන්දැ එක්ක හවසට බැක් ස්ට්‍රීට් බෝයිස් සින්දු අහන, නියපොතු පාට කරල, කරාබු දාලා, රැවුල වවාගෙන පච්ච කොටාපු ඩයල් එකක්. මොකද අවුරුදු දහසයේ මම හිතනවා, මම කියන කෙනා සහ මගේ අශාවල් සිහින ඔක්කොම දැනටම නිර්මාණය වෙලා ඉවරයි, දැන් තියෙන්නේ සුළු සුළු වෙනස් කම් එක්ක ඉදිරියට යන්න තමයි කියල.

දැන් ඉන්න අවුරුදු තිස්හතරේ මමත් වැඩි වෙනසක් නැහැ. මමත් අවිඥ්ඥානිකව නිගමනය කරල ඉන්නේ දැන් ඉන්න මම තමයි මම, අවුරුදු පනස් පහේ ඉන්නෙත් පොඩි පොඩියට වෙනස්කම් ඇතුව වුනත් මේ ආශාවල්, අදහස්, වැලියු සිස්ටම් එක සහ වටිනාකම්ම තියෙන වයසට ගිය පෙනුමෙන් විතරක් මමම තමයි කියල.

මේක තමයි End of History Illusion එක. අපි අපේ අනාගතය ගැන හිතද්දි සිදුවන වෙනස් කම් උපකල්පනය කරන්නේ මේ මොහොතේ සිදුවෙලා අවසන් දේවල් එහෙමම තියෙන විදියටයි. අපි තුළ කාවැදිලා තියෙනවා සිදුවෙන්න තියෙන දේවල් ඔක්කොම සිද්ධ වෙලා ‘මම කියන එකා’ මේ වෙද්දි හැදිලා ඉවරයි කියන හැඟීම. අපිට අනාගතයේදී සිදුවන වෙනස්කම් උපකල්පනය කිරිමේ ස්වභාවයක් අපි තුළ නැහැ.


මීට අවුරුදු දහයක් හෝ පහළවක් හෝ ආපස්සට ගිහින් ඔබ ඔබවම හමුවෙන්න. ඒ කතාබහ මොන වගේ වෙයිද කියල පොඩ්ඩක් උපකල්පනය කරල බලන්න.

කතා බහ අතරතුර කෑම ඕඩර් කලොත් අවුරුදු දහයකට කලින් හිටිය අතීත ඔබ සහ දැන් ඔබගේ ආසම කෑම වර්ගය එක සමාන වෙයිද? ප්‍රියතම කෑම වලින් එහාට ගිහින් කැමති අකමැති කම්, ජීවිතය ගැන, සමාජය ගැන, ආදරය ගැන, දේශපාලනය ගැන ඔබලා දෙන්නගේ ආකල්ප සහ වටිනාකම් කොච්චර දුරකට සමාන වෙයිද, කොච්චර දුරකට වෙනස් වෙලා තියෙනවද?

පැහැදිළි වෙනස් වීම් තියෙන්න නියමිත බව ඕනෑම කෙනෙක්ට වැටහෙන දෙයක්. නමුත් ප්‍රශ්නෙ තමයි, අතීත ඔබ ඔහුගේ/ඇයගේ ආකල්ප, ආශා සහ වටිනාකම් ‘වර්තමාන ඔබ’ තුළත් තියේවිය කියල උපකල්පනයක ඉන්න බව දැන් ඔබට පොඩ්ඩ පොඩ්ඩ පේන්න ගන්න එක.

නිකන් විහිලුවට වගේ මෙහෙම හිතමු.

අතීත ඔබ ආසම කෑම අලිගැටපේර කියල. දැන් ඉන්න ඔබ කියන එකා අලිගැටපේර කටේ තියන්නෑ කියල හිතමු. (අලි ගැටපේර දකිද්දි පලවෙනි බුට් එක කාපු කෙල්ල එක්ක අලිගැටපේර බිව්ව හැටි මතක් වෙන නිසා හරි මොකක් හරි ඉලව්වක් නිසා කියල හිතමු). දැන් හිතමු, පරණ එකා දැන් ඉන්න උඹට කරන උදව්වක් විදියට අනාගතයේ එන්න නියමිත රසම රස අලිගැටපේර ලොරි සීයක් ඕඩර් කරලා අනිවාර්‍යෙන් බිල උඹටම ගෙවන්න විදියට සෙට් කරලම කියල (ඇයි ඉතින් පරණ එකා හිතන්නෙ අවුරුදු දහයකට පස්සෙත් ඉන්නෙ අලිගැටපේර වෙනුවෙන් පණ වුනත් දෙන්න සූදානම් ඌම කියලනෙ).

අලි ගැට පේර ලොරි සීයයි, අතේ තියෙන බිලයි දකිද්දි කොහොමද දැනෙන්න නියමිත ආතල් එක?


මේ කියන End of History Illision එකේ අවුල දැන් පැහැදිලි ඇති. අපේ ජීවිතයේ ගමනට ලොකු බලපෑමක් නැති දේවල්, ඒ කියන්නේ තමන් ආසම ගායකයා, ආසම කෑම ජාතිය, මගේ හොඳම යාළුවා වගේ දේවල් වෙනස් වෙන එකේ මහ බලපෑමක් නැති වුනාට යම් මොහොතක අපි අපිව ‘නිර්මාණය වෙලා ඉවර වුන අවසන් ප්‍රතිපල’ විදියට හිතල ගන්න වැදගත් තීරණ වලට අපිට නොහිතන විදියට වන්දි ගෙවන්න සිද්ධ වීමට නියමිතයි.

අපි රැකියාව කරන්න තෝරගන්න විෂයපථය, වසර විස්සක් විසිපහක් තිස්සේ ගෙවන්න බලාගෙන ගන්න නිවාස ණය, විවාහය, ළමයි බිහි කිරීම ඇතුළු තව බොහෝ උදාහරණ මේ යටතට ගන්න පුළුවන්.

නැති සල්ලි වියදම් කරල වෙඩින් අරන් හැමදාම පෙමින් වෙළිලා ඉන්න හිතාගෙන කසාද බැඳල පඩිපෙළ වගේ ළමයි දෙන්නා තුන්දෙනා හදාගෙන ඉන්න ගොඩක් අය මේ කියන කාරණයේ ප්‍රායෝගික සත්‍යය දිනපතාම වගේ අත් විඳිනව ඇති.

මොකද මම දැන් මගේ කෙල්ල එක්ක දිවට දිව ගාගෙන ඉන්න තරම් ආදරෙන් ශුවර් එකෙන් ඉඳගෙන මගේ හැම දේම, හැම බලාපොරොත්තුවක්ම ඒකට ඉන්වෙස්ට් කරන්නෙ තව අවුරුදු පහකින් ඉන්න මම සහ තව අවුරුදු පහකින් ඉන්න ඒකි කියන අර සෑහෙන වෙනස් දෙන්නත් මේ මොහොතේ ඉන්න දෙන්න වගේම එකිනෙකාට හෙණම ආදරෙන් වෙළිල ඉඳියි, අඩුම ගානේ එකට ඉඳගෙන ප්‍රශ්නයක් කතා කරන්න, එකිනෙකාව තේරුම් ගන්න පුළුවන් තැනක ඉඳියි කියල උපකල්පනය කරලනෙ. (අවුලක් ගන්න එපා, එහෙම බැඳල ඉන්න දීප්තට දැන් මොකද හිතෙන්නෙ සනීපද කියල කිංඩියට අහන්නෑ. ඒ තරම සාහසික වෙන්නෙ නැහැ. මොකද මේක අපි ඔක්කොටම පොදු යථාර්තයක්.)

මේ End of History illusion කියන නැමියාව (bias) හෝ මායාව අපව මෙහෙයවන්නේ ඒ විදියටයි.


මේ Illusion එක ගැන කතිකාවෙදි ඉදිරිපත් වෙන තවත් මතයක් තමයි, මිනිස්සු විදියට අපි අපේ ජීවිත ගැන විතරක් නෙමෙයි, අපි අහම්බෙන් ඉපදිලා ජීවත් වෙන සමාජ ක්‍රමය ගැනත් අර විදියටම ‘නිර්මාණය වෙලා අවසන් වුන’ දෙයක් විදියට හිතන විදියේ නැඹුරුවක් තියෙනවාය කියන මතය.

කොටින්ම මේ නැඹුරුවට End of History Illusion කියන නම වැටිලා තියෙන්නෙත් දේශපාලන විද්‍යාඥයෙක් වන ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ අදහසක් නිසයි. ඔහු කියනව ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය’ මිනිස් ඉතිහාසයේ අවසන් පාලන ක්‍රමයයි කියල. මිනිස් ඉතිහාසයේ මෙච්චර කාලයක් පුරාවට වෙනස් වෙමින්, එකිනෙක පරයමින්, පරිනාමය වෙමින් නොයෙක් පාලන ක්‍රම පැවතුනත් ඔහු කියනවා වර්තමානයේ තියෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තමයි අවසන් එක, මින් එහාට එකක් නැහැ කියල.

මේ හා එක කුලකයේ සලකන්න පුළුවන් “ධනවාදයේ අවසානයට වඩා ලෝක අවසානය ගැන හිතීම ලේසියි” කියන ස්ලොවේනියානු දාර්ශනික ස්ලැවෝජ් ජිජැක්ගේ ප්‍රකාශය.

නමුත් අතීතයේ තිබ්බ පාලන ක්‍රම ගැන ඒ ඒ යුග වල මිනිස්සු ලියපු කියපු දේවල් බැලුවම දකින්න තියෙන පොදු කාරණා දෙකක් තමයි, 1. ඒ හැමෝම හිතල තියෙනව තමා ජීවත් වෙන යුගය මිනිස් ඉතිහාසයේ විශේෂිතම යුගය කියලත්, 2. තමා ජීවත් වෙන සමාජ ක්‍රමය මිනිස් ඉතිහාසයේ අවසන් සමාජ ක්‍රමය කියලත්.

ඉතින් අද අපිත් හිතන්නේ අපිට කලින් ජීවත් වුන අයියලා අක්කලා අන්කල්ලා ඇන්ටිලා හිතපු විදියටම තමයි.

උදේට නැගෙනහිරින් ඉර නගිනවා, අඹ ගස් වලින් අඹ එනවා, කෙහෙල් ගස් වලින් කෙහෙල් ගෙඩි එනවා, ජොබ් එකක් කලොත් පඩි ලැබෙනවා, උසාවිය කියන දේ තමයි අවසන් වදන, ජනාධිපති එක්ක කතා කරද්දි ඇඟ ගැහෙනවා, කාර් වෑන් ඕනෙ නැති ලෝකයක් කියල එකක් ආයෙ නැහැ. පීසා ඩිලිවරි කරන ඩයල් එක වැඩි ටිප් එකක් දුන්නාම ලෙන්ගතු විදියට ‘ගුඩ් නයිට්’ කියන එක අඹ ගහෙන් අඹ එනවා වගේ හැමදාටම එහෙම වෙන වෙනස් නොවෙන දෙයක්….

ඔහොම තමයි අපි හිතන්නෙ. මේක තමා අවසන් ආකෘතිය කියල.

ඔය චින්තනය වචනයේ අර්ථයෙන්ම මායාවක් කියන කතන්දරෙයි අර මුලින් කිව්ව උන්දැලා තුන්දෙනා යෝජනා කරන්නෙ.


මේක තමයි අපේ මනස වැඩ කරන හැටි. මේ කරුණ ගැන තේරුම් ගැනීම එක්ක අපි කොහොමද වැඩ කරන්න තියෙන හොඳම විදි මොනවද කියල අපි එකිනෙකාට කතාබහ කරන්න පුළුවන්. මේ ගැන මම හිතන දේ සටහන් කරන්නම් (මම කිව්වෙ මේ දැන් ඉන්න මම).

සමාජ ක්‍රමය ගැන කිව්වොත්. මං හිතනවා පවතින සමාජ ක්‍රමය 100%ක්ම මිනිස්සු විසින් හදාගත්ත එකඟතා එකතුවක් මිසක් අඹ ගහෙන් අඹ එනවා වගේ වෙනස් කල නොහැකි ‘ඒ තමා හැටි.. ඒ තමා ලෝක ස්වභාවය’ වගේ තැනකින් බාර අරන් අහක බලාගන්න දෙයක් නෙමෙයි කියල.

ජොබ් එක (පඩියට ශ්‍රමය විකිණීම) ගැන අද කතා කරද්දි ජොබ් නැති ලෝකයක් ගැන හිතන්නවත් දන්නැති මිනිස්සු කීයෙන් කීදෙනෙක් දන්නවද මුලින්ම පඩියට වැඩ කරන්න (wage labour) සමාජ පරිවර්තනයට යෝජනාව ආපු කාලයෙදි මිනිස්සු ඒ විදියට තමාව විකුණන එක මොන තරම් අකමැත්තෙන් ප්‍රතික්ශේප කලාද කියල?

ලිංගික සදාචාරය ගැන සමාජ සම්මුතීන් ලෝක ස්වභාවයන් වගේ බාරගන්න කීදෙනෙක් දන්නවද වික්ටෝරියානු යුගයේ පිරිමියෙක් ඉඳගෙන හිටිය පුටුවකින් පිරිමියා නැගිටලා ගිහින් අවම පැය තුනක්වත් යන්න කලින් ගෑණියෙක් ඒ පුටුවේ ඉඳගත්තොත් ඇයව ඒ සමාජය සැලකුවේ වනචර ගෑණියෙක් විදියටය කියල? (පිරිමියාගේ පස්සට පුටුව රත් වුන එක පස්සෙ ඉඳගත්ත ගෑණිගේ පස්සට දැනෙනවාලු. ඒක වනචරයිලු)

අද ඒ නෝම්ස් උඩු යටිකුරු වෙලා තියෙනව වගේ අපි දැන් කරේ තියාගෙන ඉන්න නෝම්ස් ගැනත් අනාගත පරපුර බඩ අල්ලන් හිනා වෙවී නොබලයි කියල කියන්න පුළුවන්ද?

මේ ගැන කරන්න තියෙන්නේ අපි ජීවත් වෙන යුගයේ සමාජ, සංස්කෘතික වටිනාකම් හා සම්මුතීන් ගොඬනැගිල තියෙන පදනම් වල පූර්ව නිගමනයක් බිංදුවෙ ඉඳල ප්‍රශ්න කරන එක විතරයි..

End of History Illusion සහ සමාජ ක්‍රමය ගැන ගනුදෙනු කල යුතු විදිය ගැන මගේ අදහස ඉතාම කෙටියෙන් ඒ. ඊළඟට සමාජ ක්‍රමයෙන් අපේ ජීවිතයට එමු..

ජීවිතය ගත්තාම අනාගතයට බලපෑමක් ඇතිවෙන තීරණ ගන්න සිද්ධ වෙන අවස්ථා බොහෝමයක් එනව. ඒක අනිවාර්‍යයක්.

ඒත් මං හිතනව මේ කරුණ එක්ක අපි සෑහෙන උත්සාහ කල යුතුයි ආපසු හැරවිය නොහැකි තීරණ ගද්දි හැකි තරම් පරිස්සම් වෙන්න. උපරිමයෙන් හිතල බලන්න. පුළුවන් තරම් අද මම ගන්න තීරණයෙන් අනාගත මම කියන එකාට ගැලවෙන්න හෝ ඒක වෙනස් කරන්න පුළුවන් වෙන විදියට ඒ තීරණය ගන්න. ඌව දැඩි ලෙස හිර නොකර ඉන්න උත්සාහ කරන්න.

අපි හැමෝම අපේ අනාගත ස්වභාවයන්‍ට (මම මගේ අනාගත මමට, උඹ උඹේ අනාගත උඹට) හොඳ යාළුවන් නෙමේ කියල කතාවක් තියෙනව. ඒ බව කල්පනාවේ තියාගෙන අනාගත මම කියන එකාට හැකි තරම් හොඳම යාළුවෙක් වෙන්න උත්සාහ කරන එක තමයි කරන්න තියෙන්නෙ කියල මට හිතෙන්නෙ.

“මේ ගෑණිව බැන්දෙ මොකද යකෝ.. තොට මොළේ කළඳක් තිබ්බෙ නැද්ද? ඔක්කොම දේවල් හොඳට සිද්ධ වෙන්න ජීවිතේ කියන හින්දි ෆිල්ම් එකේ ඒකි කාජල්, තෝ ෂාරුක් කියලද හිතන් ඉන්නෙ බූරුවො” කියල වසර පහළවක් අනාගතයෙ ඉන්න එකාට දැන් තමාව හම්බුනොත් තමාගෙ කණ පලන්න හිතෙන්නැති විදියට වැඩ කරන්න ට්‍රයි කරන එකයි කරන්න තියෙන්නෙ.

අර සූරපප්පා එකේ පසුබිම් කටහඬ කියනව වගේ තමයි. ඇත්තම කතාව,

අපි ඉවරයි කියල හිතුවට, ඉවරම නෑ. තව තියෙනව. තව ගොඩාක් තියෙනව.
.
.
.
#jamisbanda

ඡායාරූපය 1 – එක යුගයක ඇමරිකානු පොලිසියේ පිරිමින් විසින් කාන්තාවන්ගේ කකුල් ඕනෑවට වඩා නිරාවරණය වී තිබෙනවා දැයි මැන බලමින් පරීක්ෂා කරන ඡායාරූපයක්.

ඡායාරූපය 2 – බැක් ස්ට්‍රීට් බෝයිස් ගායන කණ්ඩායමේ AJ Mclean

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s