මගේ මිත්‍රයෙක් එක්ක කතාබහකදී මිත්‍රයා හෙළිකලා ඔහුගේ විශ්වයම ගොඬනැඟෙන්නේ ආදරය මත කියන එක. ඔහු කියන්නේ මිනිස් සංහතියම ආදරය මුල් කරගෙන පැවතිය යුතු බවයි.
ඒ මතය ගැන කල්පනා කරල බැලුවම මට හිතුනේ ඒක ගොඩක් සුන්දර අදහසක් වුනාට අපි එදිනෙදා සමාජයේ හමුවෙන දහසක් නන්නාඳුනන මිනිසුන්ට ආදරයෙන් සලකන එක ප්‍රායෝගික නැහැ වගේ හැඟීමක්. නමුත් මං හිතන විදියට බොහෝ අවස්ථා වලදි අපිට පුළුවන් අනෙකා කෙරේ කාරුණික වෙන්න උත්සාහ කරන්න. මම හිතන විදියට මිනිස්සු විදියට අපි එකිනෙකා අතර සහසම්බන්ධකම් මෙහෙය විය යුතු මූලිකම හැඟීම විය යුත්තේ කාරුණික බවයි (kindness).
මම කාලයක් හිටියා අපි එකිනෙකා හා සමඟ සදාචාරාත්මක (moral) ගණුදෙනු වලදී සහකම්පනය තමයි හොඳම මෙවලම විදියට පාවිච්චි කරන්න පුළුවන් දෙය කියන මතයෙ. නමුත් ඇමරිකානු සයිකෝලොජිස්ට් පෝල් බ්ලූම් ගේ මේ කරුණ සම්බන්ධ මතය අහන්න ලැබුනයින් පස්සෙ මම මගේ ඒ ගැන මම නැවත හිතල බලන්න පෙළඹුනා.
පෝල් බ්ලූම් කියනවා අපි එකිනෙකා අතර ගනුදෙනු වලදී මෙන්ම, අපේ සදාචාර ආකෘතියන් වල (moral frameworks) පදනම විදියට සහකම්පනය යොදා ගැනීම සෑහෙන ප්රශ්නකාරී දෙයක් බව. (මෙතනදි ඔහු සහකම්පනය කියල අදහස් කරන්නේ ‘අනෙකා විඳිමින් ඉන්න හැඟීම ඒ ආකාරයෙන් අත්දකින්න උත්සාහ කරමින් ඊට ප්‍රතිචාර දක්වන්න පෙළඹීම’ කියන අර්ථයෙන්).
මේ විෂය සම්බන්ධයෙන් සිදුකෙරුනු පරීක්ෂණ වලින් හෙළි වුනු වැදගත් කරුණු කිහිපයක්ම තියෙනවා. අපිට දැනෙන ඒ සහකම්පනය නම් හැඟීම අපේ කැමති අකමැතිකම් ඇතුළු බොහෝ දේ මත පදනම් වෙන බවයි මෙහිදී සොයා ගැනුනේ.
උදාහරණ කිහිපයක් කියනව නම්;
අපි ඉදිරියේ ඉන්න කෙනා අපේම ලිංගිකත්වයට සමාන කෙනෙක් නම්, ඒ කෙනා ගැන අපිට දැනෙන සහකම්පනය වැඩියි, අපේ ලිංගිකත්වයට වෙනස් කෙනෙක් කෙරේ අප තුළ ඇති වන සහකම්පනයට වඩා. ඒ වගේම අපේ ජාතියට අයත් අය ගැන අපට දැනෙන සහකම්පනය වැඩියි, වෙනත් ජාතීන් වල අය ගැන අපට ඇති වන සහකම්පනයට වඩා. අපේ සමේ පැහැය ඇතුළු බොහෝ සාධක මත අපි තුළ ඇති වන සහකම්පනය වෙනස් වෙන බවයි තහවුරු වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ සහකම්පනය කියන්නේ මිනිස් මනසේ සාමාන්‍යය අනෙක් හැඟීම් වගේම සෑහෙන මට්ටමකට එක එක පැති වලට අඩුවැඩියෙන් නැඹුරු වීමේ ස්වභාවයක් දක්වන (biased) හැඟීමක්.
ඒ වගේම මේ ගැන කතාකරද්දි අතිශය පුදුම සහගත කරුණක් තියෙනව සඳහන් කරන්න.
හිතන්න අපි ඉදිරියේ තියෙනවාය කියල ඡායාරූපයක්. ඒ ඡායාරූපයේ ඉන්නේ දුප්පත් රටක සාගින්නෙන් පෙළෙන අවාසනාවන්ත ජීවිතයක් උරුම කුඩා දියණියක් කියල. ඔතනදි ඒ ඡායාරූපය පෙන්නපුවම මිනිස්සු පෙන්වන සහකම්පන ප්‍රමාණයක් තියෙනවනෙ (ඒ දරුවා වෙනුවෙන් යවන්න සූදානම් මුදල් ප්‍රමාණය, ඒ ඡායාරූපය දැක්කම ඇති වන කම්පනය, ඒ ඡායාරූපයට ලැබෙන අවධානය, ඒ ඡායාරූපය මතකයේ කොතරම් වෙලා පවතිනවද etc).
ඊළඟට අපිට පෙන්නනවා වෙනත් ඡායාරූපයක්. ඒ ඡායාරූපයෙත් ඉන්නෙ අර දියණියමයි. හැබැයි මේ ඡායාරූපයේ අර දියණියට අමතරව එයාට එහා පැත්තෙන් තවත් ඒ වගේම දරුවෙක් ඉන්නව. මෙන්න මේ අවස්ථාවේදී පුදුම මට්ටමකින් කලින් ඡායාරූපය දැක්කාම අපිට දැනෙන සහකම්පනය අඩුවෙන බවයි සොයාගෙන තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි, ඒ ඡායාරූපයට තව එවන්ම දරුවන් වැඩි ගණනක් එක් වෙන්න වෙන්න අපි තුළ හට ගන්න සහකම්පනය වැඩි වෙනවා වෙනුවට වෙන්නේ අඩු වෙන එකයි!
මේක තමා අපේ මිනිස් මනසේ අතිශය අතාර්කික පුදුම සහගත ස්වභාවය කියල පෝල් බ්ලූම් කියනව. මොකද, හරි නම් එකම දරුවා ගැන අපිට දැනුන හැඟීම ඒ දරුවා එක්කම තවත් දරුවෙක් දැක්කම තවත් වැඩි වෙන්නනෙ ඕන. නමුත් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. (මතකද අර මුහුදේ ගිලිල වෙරළට ගසාගෙන ආපු කුඩා දරුවාගේ මළසිරුර ඉදිරියේ ඔබ, මම ඇතුළු ලෝකයක් කම්පා වුන හැටි. ඒ ලෝකයේම ඒ වගේ දහස් ගණනක් දරුවන් ‘වැළකිය හැකි ඒත් අපි නොසලකා හරින හේතු’ නිසා දිනපතා මියයද්දි).
මේ ගැන පෝල් බ්ලූම් ඔහුගේ Against Empathy කෘතියේ ගැඹුරින් සාකච්ඡා කරනව. මම මෙතන ලිව්වේ කෙටි සාරාංශයක් විතරයි.
මේ අදහස් කියවන්න ලැබුනයින් පස්සෙ තමයි මම සහකම්පනය කියන හැඟීම අපේ සදාචාරාත්මක ආකෘතියේ මූලික මෙහෙයවීමේ බලවේගය විය යුතුය කියල මම දරපු මතය ගැන ආයෙ හිතල බලන්න තීරණය කලේ.
පෝල් බ්ලූම් යෝජනා කරන්නේ ඒ සඳහා සහකම්පනය වෙනුවට දයාව, කාරුණිකත්වය (compassion) කියන හැඟීමයි. ඔහු කියන්නේ compassion guided by cold blooded rationality කියන ප්රවේශයයි. ඒ කියන්නේ තාර්කික බුද්ධිය මඟින් මෙහෙයවෙන දයාවන්ත බව, කාරුණිකත්වය වඩාත් සුදුසු බවයි.
මේ මොහොත වන විට මගේ ලෝක දැක්ම මෙහෙය වෙන ප්‍රධානම ගයිඩ් ලයින්ස් දෙක විදියට පළමුව, කාරුණිකත්වය සහ දෙවනුව තාර්කිකත්වයත් යොදාගන්නයි මම උත්සාහ කරන්නේ.
මං හිතන්නේ කෙනෙක්ගේ ලෝක දැක්ම ගොඬනඟාගන්න හොඳම පදනම වැටෙන්නේ ඔය දෙකෙන්.
.
.
.
#jamisbanda
ප/ලි –
මගේ සමහර මිතුරන් මම මගේ චින්තනය තුළ rationality කියන දෙයට දීලා තියෙන අතිශය වැදගත්කම ගැන සමහර වෙලාවල් වල විවේචනාත්මකව පවා කතා කරනවා. නමුත් අද වෙනකල් මට වැටහෙන විදියට මිනිස් පැවැත්මේ මොන මාතෘකාවට ආවත් අපට තියෙන හොඳම ටූල් එක අවංක බුද්ධිමය තාර්කිකත්වයයි.
අප සතුව තියෙන හොඳම මෙවලම මිනිස් බුද්ධිය හැර වෙන කුමක්ද? 🙂