දරුවන්ට සම-නො-සැලකිල්ල

තමන්ගේ දරුවන් සියල්ලන්ට තමා එක හා සමානව ආදරය කරන බව අනෙක් අයට කීමටත් තමන්ටම තහවුරු කර ගැනීමටත් අප සැම කැමැත්තෙමු.

නමුත් එහි සත්‍යයතාවයක් නොමැති බවත් එය අප විසින් අපවම රවටා ගැනීමට අපටම කියාගන්නා ලස්සන බොරුවක් බවත් අවංකව සිතා බලන්නට සූදානම් කෙනෙකුට තරමක් අපහසුවෙන් වුවද තේරුම් ගැනීමට හැකි යැයි සිතමි.

“මම මගේ දරුවො ඔක්කොටම එක වගේ ආදරෙයි. මං කාටවත් කවදාවත් වෙනස් කමක් කරලත් නැහැ කරන්නෙත් නැහැ” බොහෝ දෙමාපියන් එසේ කියනු ඇත.

නමුත් සමාජයේ ජීවත් වන දෙමාපියන් තම දරුවන් සමඟ කටයුතු කරන ආකාරයන් දෙස කල්පනාකාරීව බැලූ විට ඔවුන්ගේ කීම එසේ වුවත් ක්‍රියාවන් නම් එසේ නොවන බව ඕනෑම කෙනෙකුට දක්නට හැකිය.

මේ සටහන ලියන මට දරුවන් නැත. මම කිසිදා පියෙකු වීමට අදහසක් ද නැත. එහෙත් මට දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටියා නම් මගේ කැමති අකමැතිකම් වලට ආසන්න ආකාරයට හැසිරෙන දරුවෙක්ට අන් දරුවන්ට වඩා වැඩි ලෙන්ගතු බවක් මා තුළ හට ගැනීමට තිබෙන අතිශය සාමාන්‍යය මානුෂීය යථාර්තය මා නොබියව පිළිගනිමි.

මට අනුව එක් දරුවෙක් ගැන අනෙක් දරුවන්ට වඩා තම සිතේ තිබෙන ලෙන්ගතු බව සිත තුළම තබා ගන්න තාක් ගැටළුවක් නැත. නමුත් ප්‍රශ්නය නම් බොහෝ දෙමාපියන් තමන් දරුවන් ඔක්කොටම ‘එක වගේ ආදරෙයි, එක වගේ සලකනවා’ කියා කටින් කීවද ක්‍රියාවෙන් අර ලෙන්ගතු බවක් තමන් තුළ ඇති දරුවාට වැඩියෙන් සැලකිල්ලක්, ආදරයක් දැක්වීමයි. ඒ මඟින් අනෙක් දරුවන්ට අසාධාරණයකට ලක් කිරීමයි.

මෙය දෙමාපියන් වශයෙන් තම දරුවන්ට කල හැකි අතිශය බරපතල වැරදි රාශියෙන් එකකි.

තමන්ගේ උවමනාවට තමන් විසින් මෙලොවට දරුවන් බිහි කලා නම්, ඔවුන්ට එක හා සමානව සැලකීම තමන්ගේ වගකීමකි. එසේ කිරීමට තමන් ඔවුන්ට සදාචාරාත්මකව බැඳී සිටියි.

කුඩා කාලයේ සෙල්ලම් බඩු අරන් දීමෙන් පටන්ගෙන ඉගෙනීම, බාහිර ක්‍රියාකාරකම් වලට අවධානය දීම හරහා කවදා හෝ තමන්ට අයත් වත්කම්/දේපළ බෙදාදීම වැනි වැදගත් තීරණ දක්වා මේ ‘සමාන සැලකීම’ අනිවාර්‍යෙන්ම කල යුතු බව මම තරයේ විශ්වාස කරමි.

නමුත් පුද්ගලිකව මා දන්නා හඳුනන බොහෝ පවුල් තුල දෙමාපියන් බහුතරයක් මේ මූලික වගකීම ඉටු කිරීමට පවා අසමත්ව තමන්ගේ එක් දරුවෙක්ට පක්ශග්‍රාහී වීම නිසා අනෙක් දරුවන් මහත් අසාධාරණ වලට ලක් වනවාත් තැවුලට පත් වී සිතින් දුක් විඳිනවාත් මම දැක ඇත්තෙමි.

බොහෝ පවුල් වල දෙමව්පියන් හෝ පවුලේ සියල්ලන් වැඩියෙන් ආදරය කරන එක දරුවෙක්, සහෝදරයෙක්/සහෝදරියක් සිටින්නටත් පවුලේ සියල්ලන් ඒ බව හොඳින්ම දැනගෙන ඉන්නටත් පවුලේ කිසිම කෙනෙකුට එය ප්‍රශ්නයක් නොවෙන්නටත් ලොකු ඉඩක් ඇති බව මගේ අදහසයි. කාලාන්තරයක් එකට ජීවත් වෙන මිනිසුන් කිහිපදෙනෙක් අතරේ එකිනෙකාගේ හැඟීම් එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වසන් කිරීම කල නොහැක්කකි. මේවා ස්වභාවිකය. ගැටළුවක් නැත. නමුත් කලින් කීවා සේ ගැටුම් සහ සිත් රිදීම් පටන් ගන්නේ ඒ හැඟීම් වෙනස් සැලකිලි බවට පත් වන්නට පටන් ගන්නා මොහොතවල් වලදී ය.

ඇමරිකන් රචක විලියම් ස්ටයිරන් විසින් ලියූ නවකතාවක එන ප්‍රසිද්ධ සිදුවීමක් ගැන මේ සටහන කියවනා බොහෝ අය දැනුවත් යයි මා සිතමි. නවකථාවේ නම Shopie’s Choice ය.

නාසීන් විසින් සිදුකල යුදෙව් සංහාරය මූලික කරගෙන ඇදී යන නවකතාවේ ප්‍රධානම සිදුවීම වන්නේ කථා නායිකා සොෆීට, තමන් හසුවී සිටින සිර කඳවුරේ වෛද්‍යයවරයෙකු විසින් දෙන ලද නියෝගයකි.

වෛද්‍යයවරයා සොෆී වෙත පැමිණ මෙසේ කියයි.

“උඹේ දරුවො දෙන්නගෙන් එක්කෙනෙක් තෝරලා දීපන් මට, ගෑස් කාමරයට යවන්න. හැබැයි උඹ එක්කෙනෙක් තෝරලා දුන්නේ නැත්නම් මම දරුවො දෙන්නවම ගෑස් කාමරයට යවනව”

සොෆීට ගන්නට සිදුවන අවාසාවන්ත තීරණය මෙයයි. එක්කෝ තමන් දැඩි සේ ආදරය කරන දරුවෙන් දෙදෙනාම ඒ මොහොතේ ගෑස් කුටියට යැවීමද, නැත්නම් එයින් එක්කෙනෙක් ගෑස් කුටියට යවා අනෙකා ඒ මොහොතට හෝ ජීවත් කරවීමද?

ගෑස් කුටියට යැවීමට තම අට හැවිරිදි දියණිය ඊවා ව තෝරන සොෆී පසුව තමා කල දේ දරා ගත නොහැකිව සියදිවි නසා ගනියි.

මා මේ සටහන මැද්දට සොෆීගේ තේරීම ගැන සඳහන් කලේ හේතුවක් ඇතිව ය.

මගේ වැටහීමට අනුව, සොෆීගේ තැනට පත් වුවහොත් ඕනෑම දෙමාපියෙක්ගේ සිතේ මුලින්ම ගෑස් කාමරයට යවනා දරුවෙකුත් නොයවා තබා ගන්නා දරුවෙකුත් සිටියි. මේවා තිත්ත බව මම පිළිගනිමි. අවාසනාවට තිත්ත වුනත් මේවා ඇත්ත ය.

මා මතු කරන්න උත්සාහ කරන කරුණ මෙයයි. පෙර කී ලෙසට සොෆීගේ තැනදී ඔබ මුලින්ම ගෑස් කුටියට යවනා දරුවෙක් සිටියි, බේරාගන්නා දරුවෙක් සිටියි. ප්‍රශ්නයක් නැත.

නමුත් ඒ අවාසනාවන්ත මොහොත උදා නොවෙනතාක්, තමන්ගේ සිත ඇතුළාන්තයේ කාට වැඩියෙන් ලෙන්ගතු බවක් තිබුනද, තම දරුවන් එකෙක් පරයා අනෙකාව තෝරා ගෙන කාට හෝ වෙනස් කමක් නොකිරීමට ඔබට විශාල වගකීමක් ඇත.

මා හැමදාම කියනා දේ මෙහිදී ද කියන්නට සිදුවෙයි.

ඔබේ දරුවන් ඔබෙන් ජීවිතය ඉල්ලුවේ නැත. මෙලොවට ඔවුන්ව ගෙන ආවේ ඔබේ උවමනාවට ඔබය. ඔබ එසේ කලා නම් ඔවුන්ව කුඩා කාලයේ මූලික අවශ්‍යයතා ලබා දී රැකබලා ගැනීමටත් ඔවුන්ට වෙනස් කම් නොකර සමානයෝ සේ සලකන්නටත් ඔබ මිනිසත් බවේ නාමයෙන් බැඳී සිටින බව සෑම මොහොතකම මතක තියා ගන්න.

ගෑස් කාමරය ඉදිරියේ සිටගෙන ඒ තීරණය ගැනීමේ මොහොතට මුහුණ නොදී ඉන්නට තරම් වාසනාවන්ත ඔබ, ඒ අතිශය ශෝකජනක තීරණය ගැනීමට, ඒ වෙනස් කම කිරීමට ඒ ගෑස් කාමරයේ එළියේ මොහොත පමණක් වෙන් කරන්න.

එතැනට පත් නොවන තාක්, කරුණාකර, කිසිදාක තමන්ගේ දරුවන්ට සොෆී ඉදිරියේ ඊවාට දැනුන ඒ හැඟීම දැනෙන්න ඉඩ තියන්න එපා!

මන්ද,

‘අම්මේ, තාත්තේ, මමත් ඔයාලගෙම දරුවෙක් නේද?’ කියා දරුවෙක්ට තමන්ව බිහි කල දෙමාපියන්ගෙන්ම අසන්නට වීම තරම් අවාසනාවන්ත මොහොතක් තවත් නැත.

1 Comment

  1. මේක මම ලංකාවේ නිතර දැකපු තත්වයක් ඒ විතරක් නෙමේ. පිරිමි පුතාට තිබෙන වැඩි සැලකිල්ල. මගේ යුරෝපිය බිරිඳ අකමැතිම දෙයක් ශ්‍රී ලාංකිකයන් එහෙම කියන එකත්. අපි දුලා දෙන්නටම එක හා සමානව සලකන කොට ලාංකික එක යහළුවෙක් එක දුවෙක් මටත් අනිත් දුව බිරිඳට ආදරය කරන බවත් පවසල හරිම ජංජාලයක් වුනා. මගේ මව් පවා සමහර වෙලාවට මල්ලිගේ පුතා ඉන්න ලොකු දෙයක් කියා කියනවා. පවුලට එක පිරිමියෙක් ඉන්නවා කියල. එක දවසක් මම ඕකට සෑහෙන විවේචනයක් කළා. අන්තිමට කීවේ මොකක්ද? එයාට පුතෙක් නැති එකට ඉරිසියයි ලු. ඕව හදන්න බැහැ

    Like

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s