මිනීමස්, නොමිනිස් මස්, ජෙෆ්‍රි ඩාමර් සහ අපි

ජෙෆ්‍රි ඩාමර් කියන්නේ අසූව දශකයේ ඇමරිකාවේ විසූ දාම ඝාතකයෙක්. තමන් විසින් 1978 සිට 1991 දක්වා වසර දහ තුනක කාලයක් පුරා තරුණයන් දහ හත් දෙනෙකු ඝාතනය කලා යැයි පසුව ඔහු පාපොච්චාරණය කරනවා.

මේ තරුණයන්ගෙන් සමහරුන්ව කපා කොටා ඝාතනය කල ඩාමර් ඔවුන්ගේ ශරීර කොටස් – අත, පය, හිස – වෙන් කොට ශීතකරණයක ගබඩා කොට තබාගෙන තිබෙනවා. ඒ අතර සමහර අයගේ හෘදය වස්තූන් ඔහු විසින් ආහාරයට ගෙන ඇත්තේ ඒ අයව ‘තමාගේම කොටසක්’ කර ගැනීමේ අරමුණින්.

ජෙෆ්‍රි ඩාමර් ඉන්ටර්විව් එකක සිත්ගන්නා සුළු කතාවක් කියනවා. ඒ තමා, ඔහුට මේ මිනිස් ඝාතනයන් කරන්නට පහසු වුනේ ඔහු මේ මිනිසුන්ව හැඟීම් දැනීම් තිබෙන පුද්ගලයන් වෙනුවට සංතෘප්තිය ලබා දෙන මෙවලම් (objects of pleasure) ලෙස දකින්නට පුරුදු වුන නිසා කියල. (ඉන්ටර්විව් එකට ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ)


ඩාමර් ගේ ඔය කතාව අහපුවම මට යම් දෙයක් මතක් වුනා. මම මිනීමස් කන කෙනෙක් නෙමෙයි. හැබැයි මම නොමිනිස් මස් කන කෙනෙක්. මට මතක් වුනේ මේකයි.

එළවළු වර්ග තුන හතරකට වඩා නොකන මම දැනට කීපවරක්ම දැඩි උත්සාහයක් අරගෙන තියෙනවා මස් කෑම සම්පූර්ණයෙන් නවත්වන්න (සත්ව කරුණාවක් නිසා නොවේ. හේතුව පැහැදිලි කර තිබෙන සටහනක් දෙවන කමෙන්ටුවේ). සාමාන්‍යයෙන් මාසයක් දෙකක්, උපරිම තුනක් වගේ පුළුවන් වුනාට කන කෑම වර්ග බොහෝම අඩු නිසා නැවතත් පරණ පුරුද්දටම වැටෙන එකයි වුනේ.

කිව්වා වගේ මීට යම් කාලයකට කලින් මට මාස තුනක් විතර සම්පූර්ණයෙන්ම මස් කන එක නවත්තලා ඉන්න පුළුවන් වුනා. ඒ කාල සීමාවෙ මට තේරුම් ගිය දේ තමයි එන්න එන්නම මට කුකුල් මස් දීසියක් දැක්කම, හරක් මස් දීසියක් දැක්කම ඒක ‘කෑමක්’ වෙනුවට ‘සතෙක්’ විදියට/සතෙක්ගෙ මළකුණක් විදියට පේන්න ගත්ත බව. ඔය කාල සීමාවෙ එක දවසක යාලුවො පිරිසක් එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවක බයිට් ඉවර වෙලා ඉස්සෙක් කන්න ගිහිල්ලා ඔක්කාරෙට ඇවිත් වමනෙ යන්නම ගියා අප්පිරියාවට. මොකද පේන්නේ කෑමක් නෙමේ, සතෙක්ව නිසා.

ඕක වෙන්නෙ මෙහෙමයි. උදාහරණයකට චීනයේ යුලින් වල බල්ලො මරද්දි රටවල් ගානක සෑහෙන දෙනෙක්ට ඒක මාර අවුල් නෙ. ඒකට හේතුව අපිට බල්ලා කියන්නෙ සතෙක් මිසක් කෑමක් නොවන නිසා. චීනයේ යුලින් වල මස් වලට බල්ලො මරණ එක ගැන අප්සට් එකේ මූඩ් ගහගෙන කුකුල් මස් කන්න පුළුවන් වෙන්නෙ කුකුල් මස් අපිට කෑමක් නිසා. මේ සියල්ල පදනම් වෙන්නෙ පුරුද්ද සහ ආහාර සංස්කෘතිය අනුව මිසක් වෙනත් මහා ලොකු බක්කවල් මත නෙමෙයි.


ජෙෆ්‍රි ඩාමර්ගේ කතාව අහපුවම මට ඕක මතක් වුනා. මස් කනකල් මම කන්න පුරුදු වෙලා ඉන්න සත්තුන්ව මම කෑම විදියට දකින්නත් ටික දවසක් නවත්තලා ඉන්න ඉන්න ඒ ජීවීන්ව සතෙක්ගෙ මළකුණක් විදියට පේන්න ගන්න සිද්ධියත්.

හරියට මම ඒ විශේෂිත සත්තුන්ව කන කාලයට ඒ සත්තු දිහා හැඟීම් දැනීම් තිබෙන ජීවීන් වෙනුවට සංතෘප්තිය ලබාගත හැකි මෙවලම් (objects of pleasure) විදියට දකිනවා වගේ.

මේක සහ ඩාමර්ගෙ වැඩේ සමානයි කියල නෙමේ කියන්නෙ. අසමානකම් තියෙනවා. ඒත් මොහොතකට නැවතිලා හිතල බලන්න තරම් සමාන කමකුත් තියෙනවා. හොඳට බැලුවොත් පෙනෙයි.


නාසි ජර්මනියේ යුදෙව් සංහාරය සමයේ ඔබ, මම ජීවත් වෙලා හිටියා නම්, ඔබ සහ මම කුමක් කරයිද?

ඔබ, මම ඔස්කා ශ්ලින්ඩර් වගේ යුදෙව්වන් ආරක්ෂා කරන ජර්මානුවෙක් වේවිද? නැත්නම් බහුතරයක් නාසින් මෙන් යුදෙව්වන්ට කෙළ ගහන අයෙක් වේවිද?

ඔබ සහ මම ඉහළින්ම කැමතියි හිතන්න, සැකයක් නැතුව අපි ඉන්නේ යුදෙව්වන් ආරක්ෂා කරන, ඔවුන් දිහා සහකම්පනයෙන් බලන කොටසේ කියල. ඔව්නෙ..? එහෙමනෙ..? එහෙම නොවෙන්න බෑනෙ..?

ඒත් සත්‍යය නම්, දත්ත තියෙන්නේ අපේ වාසියට නෙමෙයි. ඉතා ඉහළ සම්භාවිතාවක් තියෙන්නේ ඔබ, මම යුදෙව්වන්ට කෙළ ගහන කොටසේ ඉන්නයි.

තමා උපත ලබන සමාජීය, සංකෘතික පරිසරය තමාට ඇති කරන බලපෑම ඒ තරම් තදබලයි.

ඔබ, මම නාසි ජර්මනියේ ජීවත් වුනා නම් අපි යුදෙව්වන් දෙස සහකම්පනයෙන් බැලූ සුළුතරයෙන් අයෙකු වීමේ සම්භාවිතාවය ඔබ, මම වර්තමානයේ මස් මාළු නොකන වීගන් අයෙක් වීමේ සම්භාවිතාවයටත් වඩා අඩු අගයක තිබිය හැකියි! පුදුමයි නේද..


මේ සටහන ජෙෆ්‍රි ඩාමර් ඉන්ටර්විව් එකේ කියපු කරුණක් මතක් වෙලා හිතුන දෙයක් නිකමට බෙදාගැනීමක් විතරයි. කාටවත් මස් කන්න එපා කියල ඉල්ලන්න ලියපු එකක් නෙමේ. අපෝ මස් කන්න. මස් කෑම ගැන සාඩම්බරයෙන් ජෝක් කරන එල බුවෙක් වෙන්න. දැන් මස් කෑමත් ආඩම්බර වෙන්න වටින දෙයක් වෙලානෙ. මාත් මස් කනවා, ඕගොල්ලො සමහරු වගේ ඒක ගැන කයිවාරු නොගහැව්වට. (දැන් නම් සෑහෙන අඩු කරලා හාල්මැස්සො සහ කරවල වලට සීමා කරල ඉන්නෙ).

මෙච්චර පරිමානයකින් නොමිනිස් සත්වයා මත දුක් වේදනා සංහාරයක් පතුරුවන අපි.. එතනින් නොනැවතී මෙච්චර පරිමානයකින් අපේම වර්ගයේ මිනිස් සහෝදරයන්ව අපේම පහසුව උදෙසා උපරිම ලෙස exploit කරන සිස්ටම් එකක් ආශාවෙන් කෙළ හළමින් නඩත්තු කරන අපි… මෙච්චරටම අපේ සතුට වෙනුවෙන් මිනිස්-නොමිනිස් සත්වයන්ගේ දුක් වේදනාවල් වලට අසංවේදී වෙන්න සූදානම් අපි… බැරි වෙලාවත්.. බැරි වෙලාවත් හිතන්න ගත්තොත් මිනිස් ළදරු මස් පට්ට රසයි කියල… තව අවුරුදු එකසිය පනහකින් විතර ලෝකය මොන වගේ ලෝකයක් වෙයිද? කියන ප්‍රශ්නයත් නිකමට වගේ ඔලුවට නොඑනවාමත් නෙමෙයි.

මොකද අපි මොකකට හරි රහ වැටුනොත්, ඉන් එහාට අපේ ඒ රසය වෙනුවෙන් අපි කරන්න නොපැකිළෙන දේවල් මොන තරම් ද කියල තේරුම් ගන්න වැඩි දුරක් යන්න ඕන නැහැ. අපි එකිනෙකා තම තමන්ගෙ කණ්ණාඩි ඉස්සරහට විතරක් ගියා නම් ඇති!

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s