ජනතාවගේ ටීවී චැනල්

මාධ්‍යය ආයතන විසින් තමන්ව හඳුන්වා ගන්නෙ මහ ජනතාවගේ හඬ විදියට. ඔවුන් කියාගන්නා පරිදි ඔවුන් ජනතාවගේ සුභ සිද්ධිය අරමුණු කරගෙන ජනතාවට සේවය කරනවා ජනතාවට තොරතුරු ලබා දීම සහ ජනතාව දැනුවත් කිරීම හරහා.

“ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වසනීයම ප්‍රවෘත්ති විකාශය”
“People’s channel”
“සත්‍යයයේ සටහන බුද්ධියේ විමසුමට”

සාමාන්‍යයෙන් රටක ජනතාව දේශපාලන දැනුමෙන් සම්බුද්ධික වෙන්නෙත්, නව තොරතුරු සොයාගෙන යන්න උනන්දු වෙන්නේත් (උදා – පුස්තකාල වලට යාම, නොයෙකුත් විෂයන් ගැන සම්මේලන හා විවාද වලට සහභාගි වීම වගේ දේවල් හරහා) ඒ සඳහා වැය කරන්න කාලයක්, විවේකයක් තියෙන සුවපහසු බවින් වැඩි ජීවිත ගත කරන විට. නමුත් අවාසනාවට අපේ වගේ රටක බහුතරයක් මිනිසුන් දිනපතා නොනිමි ජීවන අරගලයක යෙදිලා ඉන්න නිසා ඔවුන්ගෙන් සෑහෙන අඩු පිරිසකට තමයි ඒ වගේ දැනුම සහ තොරතුරු සොයාගෙන යන්න අඩුම ගානෙ ඉඩක් හරි තියෙන්නෙ. ඉතින් බහුතරයක් ජනතාවගේ චින්තනය හැදෙන්නෙත්, චින්තනය හදාගන්න තොරතුරු ලබා දෙන්නෙත් මාධ්‍යය ආයතනයි. අපේ රටේ ජනතාව තොරතුරු ලබා ගැනීමේ එකම ක්‍රමය විදියට භාවිතා කරන්නේ ජනමාධ්‍යයයි.

අපේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් තිබෙන රටවල් වල, ජනතාවගේ චින්තනයන්ගේ හැඩය නිර්මාණය කිරීමේ අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරන මාධ්‍යය ආයතන කටයුතු කරන්නේ ඔවුන් කියනවා වගේ ජනතාව ගේ සුභසිද්ධිය අරමුණු කරගෙනද?

ඇමරිකාවේ වෙසෙන බුද්ධිමතුන් දෙදෙනෙක් වන නෝම් චොම්ස්කි සහ එඩ්වර්ඩ් හර්මන් මේ ගැන දීර්ඝ කාලයක් කරන ලද පර්‍යේෂණ මත පදනම් වෙලා 1988 වසරේදී පොතක් එළිදක්වනවා Manufacturing Consent (කැමැත්ත නිෂ්පාදනය කරනු ලැබේ) නමින්. ඒ පොතෙන් ජනමාධ්‍යය මඟින් තමන් ගැන හඳුන්වා දෙන කරුණු ගැන අදහස් වල සත්‍යයතාවන් වල පදනම් දෙදරා යන තරමට අභියෝග කරන්න සමත් වෙනවා.

තමන් සැමවිටම බලය ඉදිරියේ ජනතාවගේ පැත්තම අරන් ජනතාවට සේවය කරනවාය කියන අදහස වෙනුවට සැබවින්ම ජනමාධ්‍යය ආයතන කරන්නේ බලය තිබෙන අයට හඬක් වෙමින් බලය තිබෙන අය ජනතාවට කියන්න බලාපොරොත්තු වෙන දේවල්, ඒ කියන්න බලාපොරොත්තු වෙන විදියට ඉදිරිපත් කිරීමයි කියන අදහස “කැමැත්ත නිෂ්පාදනය කරනු ලැබේ” පොත හරහා කරුණු සාධක සාක්ෂි සහිතව පැහැදිලි කරනු ලබනවා.

නෝම් චොම්ස්කි සහ එඩ්වර්ඩ් හර්මන්ට අනුව ජනමාධ්‍යය ක්‍රියාත්මක වෙන්නේ කාරණා පහක් මූලික කරගෙනයි.

  1. හිමිකාරීත්වය.

ජනමාධ්‍යය ආයතන ක්‍රියා කරන්නේ විශාල සමාගම් (Corporations) ලෙසයි. සමාගමක අරමුණ වන්නේ ලාභයයි. එය ක්‍රියා කරන්නේ තමන්ට ලබා ගත හැකි උපරිම ලාභය අරමුණු කරගෙන, එයට ළඟා වන්නේ කෙසේද කියන කරුණ පදනම් කරගෙනයි.

මේ ලාභය අරමුණු කරගෙන යන ගමනේදී විමර්ෂණශීලී සමබර මාධ්‍යයභාවිතය (Critical Journalism) වැටෙන්නේ දෙවෙනි තැනටයි.

  1. වෙළඳ ප්‍රචාරණය (Advertising)

ජනතාව ගෙන් අය කර ගැනීමට නොහැකි තරම් ප්‍රමාණයක වියදම් ජනමාධ්‍යය ආයතන විසින් දරනවා. ඒ පරතරය පියවන්නේ ප්‍රචාරක දැන්වීම් පළ කරන්නන් විසින්. මේ අයට පහසුව සඳහා අපි ඇඩ්වර්ටයිසර්ස් කියල කියමු.

ඇඩ්වර්ටයිසර්ස් ලා මාධ්‍යය ආයතන වලට මුදල් ගෙවන්නේ ප්‍රේක්ෂකයන් උදෙසායි.

ඔබ රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටින විට ඔබට පෙනෙනවා මාධ්‍යය ආයතන විසින් ඔබට දේවල් විකුණන බව. ඒත් ඔබට නොපෙනෙන දෙය තමයි මාධ්‍යය ආයතන විසින් ඇඩ්වර්ටයිසර්ස් ලාට ත් දෙයක් විකුණන බව. ඒ දෙය තමා ඔබ!

  1. මාධ්‍යය ආයතන හිමිකාරීත්වය දරන ප්‍රභූ පිරිස (Media Elite).

ජනමාධ්‍යයට බලයට අභියෝග කරමින් ක්‍රියා කල නොහැකියි. ඔවුන්ගේ පැවැත්ම තීරණය වන්නේ පවතින බල ව්‍යුහයන් හෝ ඉන් තෝරාගත් ඒවාට පක්ෂපාතීත්වය දැක්වීම මතයි.

ආණ්ඩු, සමාගම් සහ සංස්ථා වලට මාධ්‍යය සමඟ සහසම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයන් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මාධ්‍යය හරහා ඉදිරිපත් කෙරෙන මතවාදයන් වල ආඛ්‍යානයට (narrative) බලපෑම් කරන්නේ කොහොමද කියල ඔවුන්‍ දන්නවා.

බලය ඇති පුද්ගලයන් සහ බලය ඇති පුද්ගලයන් ගැන වාර්තා කරන පුද්ගලයන් (මාධ්‍යය) ඉන්නේ එකිනෙකාව වැළඳගෙනයි.

ඔබ බලයට අභියෝග කලොත්, ඔබව කපා දැමීමට ලක් වෙනවා. ඔබට තිරය ඉදිරියේ ඉඩක් නොලැබී යනවා. පවතින බල ව්‍යුහය විසින් දියත් කරන දේශපාලන ආඛ්‍යානයට (political narrative) එකෙන් පිට යන ඔබේ විශ්ලේෂණාත්මක වාර්තාකරණයට හිමි වන්නේ කුණු බක්කියයි. මේ සෙල්ලම ඇතුළේ අවංක සමබර මාධ්‍යයකරණය විහිලුවට හා සමච්චලයට ලක් වෙන්නේ ගේම් එක ප්ලේ වන හැටි අවබෝධ කරනොගත් ප්‍රැක්ටිකල් නැති මෝඩයන් විදියටයි.

ඒ වෙනුවට ඔබේ ආලින්දයට සිනාමුසු මුහුණෙන් ප්‍රවෘත්ති ගෙන එන්නේ ගේම් එක අවබෝධ කරගෙන ඒක ලස්සනට ප්ලේ කරන්න දන්න වැඩ්ඩන් (නරුමයන්/තක්කඩින්) විසිනුයි.

  1. කපා දැමීම්/වාරණයට ලක් වීම්.

ඔබට කීමට ඇති දේ ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගන්නට උපකාර නොවන දෙයක් නම්, ඔබ කවුරු වුනත් ඔබව ජනමාධ්‍යය ආයතන විසින් ජනතාව ඉදිරියට යාමට ඇති ඉඩ අහුරා කපා දමනු ලබනවා.

වොයිස් කට් ලබා දෙන්නේ කාටද, ඒ වොයිස් කට් එකේ මොන කොටස්ද ජනතාව වෙත ඉදිරිපත් කරන්නේ, කුමන ආඛ්‍යාණයක් පසුබිම් කරගෙනද, දේශපාලන සාකච්ඡා වලට ආරාධනය කරන්නේ කුමන පක්ෂ වල කුමන චරිත වලටද කියන දේවල් තීරණය කිරීමේදී මූලික වෙන්නේ ඔවුන් ඉදිරිපත් කරන ආඛ්‍යාණය සමඟ ඔබ කෙතරම් සමපාත වනවාද කියන එක මතයි.

මේ ආඛ්‍යාණයට ඔවුන්ගේ මතයට විපක්ෂ අදහස් පවා ඇතුළත් බව අමතක කරන්න එපා. ජනමාධ්‍යය විසින් යොදා ගන්නා තවත් සූක්ෂම ක්‍රමයක් තමයි ඔවුන්ට රිසි තේරීම් ඔබට ඇති එකම තේරීම් විදියට හඳුන්වා දීලා ඒ තේරීම් අතර ගැටුමකින් ඔවුන්ට අවශ්‍යය තේරීම කරා ඔබ මෙහෙයවීම.

  1. භය (fear)

“කැමැත්ත නිෂ්පාදනය කිරීමට” ඔවුන්ට අවශ්‍යය දෙයක් තමයි ‘සතුරෙක්’ කියන්නෙ.

ජනතාව ඉදිරියේ සම්පූර්ණයෙන්ම මවාපාන හෝ විශාල කරල පෙන්නන මේ පොදු සතුරා තමයි ජනමාධ්‍යය ක්‍රියාකරන ආකාරයේ පස්වෙනි බලවේගය විදියට යොදා ගැනෙන්නෙ.

මේ පොදු සතුරා ත්‍රස්තවාදය, විජාතික බලවේග, වෙනත් ජාතීන් වැනි තමන්ගේ පැවැත්ම තුළට අවිනිශ්චිත බවක් සහ ‘බියක්’ ඇතුළු කරවන ‘බිල්ලෙක්’ වශයෙන් ජනමාධ්‍යය හරහා නිර්මාණය කොට නඩත්තු කරනු ලබනවා.


මේ කරුණු කියවූ ඔබට පැහැදිලි ඇති ඔබ ඉදිරියේ මෙතරම් ආදරබර වෙස් මූණක් දමාගෙන “මනුසත්” මූණවල් වලින් පෙනී ඉන්න මේ බිස්නස්කාරයන් ඇත්තටම ක්‍රියාකරන්නේ මහ ජනතාවගේ ‘සිතුවිලි සහ අදහස්’ තමන්ට රිසි පරිදි හැසිරවීම අරමුණු කරගත් මහා පරිමානයේ ප්‍රොපගැන්ඩා මැෂීන්ස් (propeganda machines) වශයෙන් කියන එක.

ප්‍රොපගැන්ඩා කියල අදහස් කරන්නේ පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසක් විසින් තවත් පිරිසක්ව ඔවුන්ට රිසි පරිදි මෙහෙයවීමේ අරමුණින් යම් හැසිරීම් හෝ ආකල්ප පිළිගන්නා තැනට පෙළඹවීමයි (manipulate).

මෙහිදී කිසිම ආකාරයකින් ගැටළුව හෝ අදාල තොරතුරු පැහැදිලිවත් සමබරවත් (unbiased) ඉදිරිපත් කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට කෙරෙන්නේ අදාල ගැටළුවේ එක් පැත්තක් පමණක් (ඔවුන්ගේ වාසියට හේතු වන පැත්ත) ඒ ප්‍රශ්නය දෙස බැලිය හැකි එකම සහ පරම ආකාරයට ඉදිරිපත් කිරීමයි. ඒ වගේම මේ අය (propagandists) ජනතාවගේ හැඟීම් සහ ජනතාව තුළ ඇති පූර්ව නිගමන (prejudices) විශාල ලෙස යොදාගන්නවා ඔවුන්ව මෙහෙයවීමට. (උදා – ජනතාව තුළ තියෙන සංස්කෘතික මතවාද, ආගමික ඇදහිලි, මිත්‍යයා මත, ජාතිවාදී ජාතිකවාදී අදහස්)

මේ සියල්ල සිදුවන්නේ ජනතාව විසින් හදාගන්නා මතයන් (opinions) තමන් විසින්ම හදාගත් තමන් විසින්ම තීරණය කරන ලද තමන්ගේම මතයන් කියල තහවුරු වෙන ආකාරයටයි.

කෙටි අමතර කරුණක් සඳහන් කරනවා නම් :- අධ්‍යාපනය සහ ප්‍රොපගැන්ඩා අතර වෙනසක් තිබෙනවාද? කියල සාධාරණ ප්‍රශ්නයක් මෙතනදි ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපනය විසින් මිනිසුන්ට ‘හිතන්නේ කොහොමද?’ කියන එක උගන්වද්දි ප්‍රොපගැන්ඩා විසින් කරන්නේ සිතිය යුත්තේ කුමක්ද කියා ජනතාවට කීමයි (Propeganda tells what to think while Education teaches people how to think).

මේ ආකාරයට සිතන්නේ කොහොමද? කියන එක වෙනුවට සිතිය යුත්තේ කුමක්ද කියා උගන්වන අධ්‍යාපන ක්‍රමයන් පවා ප්‍රොපගැන්ඩා විදියට හැඳින්වීමේ වරදක් නැහැ. එය සැලකෙන්නේ State propeganda වශයෙනුයි. (රාජ්‍යය විසින් ජනතාවගේ මොළ ශෝදනයට ලක් කිරීමේ අරමුණින් භාවිතා කරන ‘පාසැල්’ කියන ආයතන වලට ආදරයෙන් බැඳිලා හැට පැනලත් තවම ඒ ආයතන වලට හැඟීම් බරව බැඳුණු මානසික වහලුන් විදියට හැසිරෙන බුද්ධිමතුන්ට හිමි විය යුත්තේ අනුකම්පාව පමණයි).

නැවත මාතෘකාවට ආවොත්,

මම යෝජනා කරනවා මෙහෙම ප්‍රශ්නයක්. සමාජයේ ඔබ දන්නා කොටස් වලින් තමන්ට විවේචනයක් ආවාම වැඩියෙන්ම භූමිතෙල් වැදුනු ගැරඬි වගේ දඟලන්නේ කුමන කොටසද කියල කල්පනා කරල බලන්න.

මගේ නිරීක්ෂණය අනුව නම් ඒ හැසිරීම වැඩියෙන්ම පෙන්වන්නේ දේශපාලකයින්වත්, ආගමික නායකයින්වත් නෙමේ, ටීවී චැනල් වල නිවේදකයො කියල හඳුන්වන පිරිසයි.

යම් දේශපාලන සාකච්ඡාවකදි හරි ඕනෑම අවස්ථාවකදි හරි තමන්ට පඩි ගෙවන ටීවී චැනල් එකට විරුද්ධව එක වචනයක්…. එකම එක වචනයක් කිව්වොත් උඩ ගිහින් කෑගහන්නේ සුපිරිසිදු සුදු රෙද්දකට චූටි කළු පැල්ලමක් ගෑව්වා වගේ කෝපාවිෂ්ඨ වෙලයි.

යක්ෂයාට ආත්මය විකුණපු මේ තක්කඩින්ගේ සැබෑ ස්වරූපය මෙයයි. ‘ජනතාව බුද්ධිමත්, ජනතාව තීරණය කරයි’ කිය කිය හැම මොහොතකම මන්තරේ වගේ දොඩවන්නේ ජනතාව බුද්ධිමත් නැති බව කාටත් වඩා දන්නේ ජනතාවව මෝඩයන් කිරීම තම ජීවිකාව කරගත් ඔවුන්ම වීම නිසයි.

ඔබ ප්‍රවෘති බලන විට, ඔබේ මනසට යන්නේ යම් සිදුවීමක් ගැන තොරතුරු පමණක් නොවේ. ඒ අතරේ අදාල මාධ්‍යය හිමිකරුට රිසි දේශපාලන ආඛ්‍යාණයත් ඔබේ මනසේ සූක්ෂම ලෙස පැළපදියම් කරනු ලබනවා.

ඔබ දෙවෙනි ඉනිම හෝ වෙනත් වැඩසටහනක් නරඹා නින්දට යද්දි, මතක තියාගන්න.. ඔබ ඇත්තටම බලන්නේ දෙවෙනි ඉනිම නෙමේ. ඔබ ඇත්තටම බලන්නේ දෙවෙනි ඉනිම මැදින් යන වෙළඳ දැන්වීම් ටිකයි. ඔවුන් ඔබට පෙන්වන්නේ එයයි. දෙවෙනි ඉනිම කියන්නේ ඒ දැන්වීම් බලන්න ඔබව ටීවී එක ඉස්සරහා ඉන්දන්න ඔවුන් පාවිච්චි කරන ක්‍රමයට කියන නමයි.

දවසම රස්සාව කරල කරල මහන්සි වෙලා ඇවිත් ටීවි එක දාගෙන නිවුස් බලල, ඊට පස්සෙ දෙවෙනි ඉනිම බලල නින්දට යද්දි, ඔබ දැරිය යුතු දේශපාලන මතය මොකක්ද, රටේ තත්වය ගැන ඔබ සිතිය යුත්තේ කොහොමද, ඔබ ඉන්නේ අනාරක්ශිතවද ආරක්ශිතවද, ඔබ උපන්දින සැමරිය යුත්තේ කොහොමද,ඔබ සල්ලි වියදම් කල යුත්තේ කොහොමද, ඔබ ආශා විය යුත්තේ මොනවටද, ඔබ ඔබේ පෙම්වතාට/පෙම්වතියට ආදරය ප්‍රකාශ කල යුත්තේ කොහොමද, ඔබ විවේක ගත යුත්තේ කොහොමද ඒ සඳහා යායුත්තේ කොහෙටද, ඔබ කෑම ගත යුත්තේ, ඇඳුම් පැළඳුම් ඇඳිය යුත්තේ කොහොමද වගේ ඔබේ ජීවිතයේ සියලූම දේ ගැන බලය අරමුණු කරගත් පාලකයනුත්, ලාභය අරමුණු කරගත් මාධ්‍යය ආයතන සහ වෙළඳ ආයතනත් ඔබේ සිතේ තැන්පත් කිරීමේ සූක්ෂම ප්‍රොජෙක්‍ට් එකට ඔබ ගොදුරක් වී අවසන්….!
.
.
.
— ජේමිස් බණ්ඩා

One thought on “ජනතාවගේ ටීවී චැනල්

  1. එකෙන්ම එකඟයි. මම හිතන්නෙ ‘ෆැශන් එකට ශොපින් යාම’ කියන ලිපියෙත් ඔබ මීට සමාන අදහසක් ඉදිරිපත් කරල තිබුනා.
    මාධ්‍ය ආයතන වගේම අද බොහෝ දෙනා තමන්ගෙ ජීවිතයෙ කෑල්ලක් කරගෙන තියෙන ‘social media’ කාරයොත් මේ ගොඩටම දමන්න පුලුවන් නේද? මේවයෙ වැඩ කිඩ අපි දැක්කනේ 2016 US election වගේ අවස්තාවල. මේක හැබැයි දෙපැත්ත කැපෙන කඩුවක් වගේ තමයි. මාධ්‍ය propaganda වලට උත්තරයක් හැටියට මේක පාවිච්චි කරන්නත් පුලුවන්.

    Liked by 1 person

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s