බයි වහලුන් එක්ක දේශපාලනය කතා කරන්න අමාරු ඇයි?

මගේ නගා රාජපක්ෂ දේශපාලනය වන්දනා කරන කෙනෙක්. එයා එක්ක දේශපාලනය කතා කරල මම ඉගෙන ගත්‍ත දෙයක් තියෙනව.

ඒ තමා මම නගා එක්ක කතා කරන්න දන්නෙ නැහැයි කියන කාරණය. එයා එක්ක දේශපාලනය කතා කරද්දි මම ගොළු වෙනව. ගොඩක් වෙලාවට මට කට උත්තර නැති වෙනව.

ඕනම පුද්ගලයො දෙන්නෙක් යමක් ගැන සාකච්ඡා කරනව නම් ඒ සාකච්ඡාව තේරුමක් තියෙන එකක් වෙන්නෙ, ඒ දෙන්නා අතර කොමන් ග්‍රවුන්ඩ් එකක් තියෙනව නම් විතරයි. ඒ කියන්නෙ ඒ දෙන්නා අතර මූලික හරයන් එකතුවක් සම්බන්ධයෙන් එකඟතාවයක් තියෙනව නම් විතරයි.

උදාහරණයක් විදියට ස්ත්‍රීන් සීයකට අධික ගාණක් ලිංගිකව බලහත්කාරකම් කරල මරල දාපු ටෙට් බන්ඩි කියන මිනිසා මා ඉදිරියට ආවොත්, මට බැහැ ඔහු කල දේ වැරදියි කියල ඔහුට ඔප්පු කරන්න. ඒක කරන්න විදියක් නැහැ. මොකද ඔහු සහ මම එකඟ වෙන පොදු තැනක්, හර පද්ධතියක් නැති නිසා. ඔහු මගේ හරයන්ට එකඟ නැති නිසා සහ ඔහු මගේ හරයන් දන්නෙවත් නැති නිසා. කොටින්ම ඒ සාකච්ඡාව සමාන වෙන්නෙ එකිනෙකාගෙ භාෂාවන් නොදන්න දෙන්නෙක්ගෙ කතාබහකට (මෙතන පොහොට්ටු පාක්ෂිකයො ටෙඩ් බන්ඩිට සමාන කලා නෙමෙයි. යම් පොයින්ට් එකක් ගේන්න ගත්ත උදාහරණයක් විතරයි මේක).

ඒ වගේ, මගෙ නගා එක්ක විතරක් නෙමේ මං හිතන්නෙ මේ රටේ බහුතරයක් එක්ක, සුළුතරය නියෝජනය කරන මම සහ මගේ බොහෝමයක් මිත්‍රයො අතර කොමන් ග්‍රවුන්ඩ් එකක් නැහැ.

ලංකාවෙ බහුතරයක් දෙනා ඡන්දය දෙන අරමුණු අපි බලාපොරොත්තු වෙන අරමුණු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ අය තමන් ඡන්දය දෙන අය දිහා බලන විදිය, ඒ අය එක්ක තියෙන ඉමෝෂනල් ගනුදෙනුව අපි විසින් ඡන්දය පාවිච්චි කරන අය දිහා අපි බලන විදියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ අය තමන් පත් කරගන්න පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන දේ අපි බලාපොරොත්තු වෙන දේට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ අය “රට හදනවා” කියන වචන දෙකෙන් අදහස් කරන්නෙ මමයි ඔබයි “රට හදනවා” කියල අදහස් කරන දෙයට ළඟින්වත් තියෙන දෙයක් නෙමෙයි. ඒ අය ගෙ දේශපාලන සංකල්ප සහ අරමුණු සහ අපේ අරමුණු වටිනාකම් සමඟ කිසිම පෑහීමක් නැහැ. ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිතිවාදය, ආගම් වාදය, ජාතිවාදය, පොදු ජන සම්පත් කොල්ල කෑම, දූෂණය, හොඳ නරක, අපරාධ, නීතියේ සාධාරණත්වය, යුද්ධය, සාමය, ලිංගිකත්වය, ගෞරවය, අනාගතය වගෙ වචන ඇහෙද්දි ඒ අයගෙ ඔලුවෙ හටගන්න හැඟීම නෙමේ අපේ ඔලුවෙ ඇති වෙන්නෙ. ඒ අයගෙ වටිනාකම්, ප්‍රමුඛතා නෙමෙයි අපේ වටිනාකම් ප්‍රමුඛතා වෙන්නෙ.

සමහර විට ටෙඩ් බන්ඩි සහ ඔබ අතර තියෙන දුර වගේම දුරක් මමයි සාමාන්‍යය ශ්‍රීලාංකිකයයි (average Srilankan) අතර මේ කාරණයෙදි ඇති. (මේ ඒ දුර ගැන පොයින්ට් එකක් විතරයි. මාව ටෙඩ් බන්ඩිගෙ තැන තියල සාමාන්‍යය ශ්‍රීලාංකිකයාව ඔබේ තැන තියල හිතන්න. මේක කාවවත් demonize කරන්න උත්සාහ කිරීමක් නෙමේ).

මට තේරෙන විදියට මෙතන අවුලක් තියෙනව නම්, අවුල තමයි ඔන්න ඔය දුර. මම සහ ඔබ කතා කරන භාෂාව නෙමෙයි මෙරට බහුතරය කතා කරන්නෙ. ඒ අයගෙ ඔලුවල අහලකවත් නැති වටිනාකම් වලින් ඒ අයව මැනලා ඒ අයට පරිභව කිරීම එක අතකින් ඒ අයට කරන පට්ට අසාධාරණයක්.

මේ දේශපාලනික වටිනාකම් ගැන තියෙන උග්‍ර දිළිඳු බව මේ අවුලට හේතුව කියල මට හිතෙන්නෙ. දීර්ඝ කාලීන ස්ථාවර සමාජයක් වෙනුවෙන් ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවට කෙටිකාලීන වාසි වෙනුවෙන් පුද්ගල දේශපාලනයක් උදෙසා සමාජයේ ඉන්න “නරකම” මිනිස්සු ටිකට බලය අතට දීම තේරුම් ගන්නෙ වෙන කොහොමද?

අද උදේ නගා මට මැසේජ් කල වෙලේ මම දාපු රිප්ලයි එක තමයි “ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නිසා බුද්ධිමත් තීරණයක් අරන් තියෙනව” කියල. එතකොට නගාගෙ උත්තරේ “එතකොට 2015 ජනතාව බුද්ධිමත් නැද්ද?” කියන එක.

ඉතාම සාධාරණ ප්‍රතිචාරයක් ඒ. කල්පනා කරල බැලුවම පේනව 2015 දිත්, මෙරටේ මිනිස්සු ඡන්දෙ දුන්නෙ පෙරේදා ඡන්දෙ දුන්නු ඔලු වලින්ම තමයි කියල.

මේ කිසි දෙයක් ඇත්ත විසඳුම් නෙමෙයි. ජනතාව අන්දලා, ඒ ඒ මොහොතේ ආවේගයන් සහ situations අපිට ඕන විදියට මෙහෙයවලා අපි කැමති ප්‍රතිපලය දන්න සෙල්ලම් දාලා ගත්තත්, ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ.

මේ සියල්ලටම විසඳුම දේශපාලන වටිනාකම් පිළිබඳ සවිඤ්ඤානිකත්වයයි. මිනිසුන්ට මතවාද සහ හරයන් පිළිබඳ දැනුවත් කිරීමයි. මට තේරෙන විදියට විසඳුම් තියෙන්නෙ “අධ්‍යාපනයෙ”.

ඒ වගේම කියන්න ඕන, මේක ලංකාවට විතරක් අනන්‍යය ප්‍රශ්නයක් නෙමේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ලෝකයේ බොහෝ රටවල් වල මූලිකම අවුලක් තමා ජනතාව තුල දේශපාලන වටිනාකම් ගැන දැනුම නැති වීම.

කොමන් ග්‍රවුන්ඩ් එකක් නැතුව මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. තමාට බනින්නෙ ඇයි කියලවත් තේරෙන්නැති මනුස්සයෙක්ට බනින එක තේරුමක් තියෙනවද?

මේ අදහස ප්‍රායෝගික නැති තරම් කියන එක මම නොදන්නව නෙමේ. ඒත් පේන විසඳුම තමා ඕක. ඒ විසඳුම පේන තෙක් මානෙක නැති එක වෙනම කතාවක්.

දේශපාලන වටිනාකම් ගැන නොදැනුම සහ මිනිස් වටිනාකම් වල දිළිඳු බාවයට විසඳුම් හොයන්න වෙලා තියෙන්නෙ “දේශපාලන විද්‍යාව ඉගෙනගෙන වැඩක් නෑනෙ. ප්‍රැක්ටිකල් වෙන්න” කියන කතාව ඇත්තම ඇත්ත කතාවක් වුන සමාජ ක්‍රමයක වීම මේ ප්‍රශ්නය විසඳන්න බැරි තරම් සංකීර්ණ කරනවා.

අන්ත සුළුතරය බවට පත් වෙලා ඉන්න අපි වගේ අය හොයාගන්න ඕන මේ භාෂා දෙකක් අස්සෙ අතරමං වෙලා අඩුම ගානේ සන්නිවේදනය කරන්නවත් බැරි තැනක ඉන්න අපි සහ බහුතර මිනිස්සු එක්ක කතා කරන්න විදියක්. අපි ඒ අයගෙ භාෂාව ඉගෙනගන්න ගියොත් වැඩේ එතනින්ම ඉවරයි. ඇත්තටම හැමෝම කතා කරන භාෂාව අමුතුවෙන් අපිට ඉගෙනගන්න දෙයක් නැහැනෙ.

අපි කියන දේ ඒ අයට අඩුම ගානෙ තේරෙනවත් තැනකට එන්න ඕනනෙ ඔක්කොටම කලින්. අපේ භාෂාවෙ වචනයක් දෙකක්වත් නොවැටහෙන එක ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙමෙයි.

මේ වෙලේ බලාපොරොත්තු නැති කර නොගැනීමයි වැදගත් වෙන්නෙ. මට අනුව නම් මූලිකම ප්‍රශ්නය මේ ඡන්ද ප්‍රතිපලයම නෙමේ.

ඒ නැතුව මේ ප්‍රශ්නය එක තැනකින් අල්ලල ‘මෙන්න මෙතනයි අවුල. මේක හැදුවම හරි’ කියල පයිප්ප ලීක් එකක් හදනව වගේ හදන්න බැරි විදියට එකිනෙක ඉතා සංකීර්ණ විඳියට බැඳිලයි තියෙන්නෙ. ඒක මේ රටට වඩා ලොකු පැටළුනු මහා නූල් බෝලයක්. මුලක් හොයන්න හිතන්නවත් බෑ නෙමේ, මුලක් නෑ.

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s