මේ ලොවට දරුවන් බිහි කිරීම හරි ද?

ජීවිතය කියන්නේ මුළුමනින්ම සතුටුදායක හොඳ අත්දැකීම් වලින් පමණක්වත් මුළුමනින්ම දුක හෙවත් නරක අත්දැකීම් වලින් පමණක්වත් පිරුණු දෙයක් නෙමේ. පොදුවේ සලකපුවම, අති මහත් බහුතරයක් අවස්ථා වලදී ජීවිතය ඇතුලේ ඉහත කිව්ව අත්දැකීම් දෙවර්ගයම අඩංගුයි.

මුලින්ම ඒ කරුණ සඳහන් කලේ, දරුවන් බිහි කිරීම සදාචාරාත්මක නොවන බව කියැවෙන කතිකාවත පදනම් වෙන්නේ ‘ජීවිතයම දුකක්’ කියන පදනම මතය කියල සමහරු වරදවා වටහාගෙන ඉන්න බව පෙනුන නිසා. දරුවන් බිහි කිරීමේ සදාචාරාත්මක බව ප්‍රශ්න කරන්නට ඒ පදනම අවශ්‍යය නොවන බව මේ සටහන කියවගෙන යද්දි ඔබට පැහැදිලි වේවි.

හරි. අපි සටහනට යමු.

අප සාකච්ඡා කරන දරුවන් ඉපදවීමේ හොඳ නරක (morality of procreation) ගැන මාතෘකාවේදී ගොඩක් දෙනෙක් තර්කයක් විදියට ඉදිරිපත් කරනවා මෙවන් අදහසක්.

‘ජීවිතයේ දුක විතරක් නෙමේ. සතුටත් තියෙනවා. අපිට නම් ජීවිතය ආතල්. ඒ නිසා අපි දරුවන් බිහි කිරීමේ යෙදෙනවා. මොකද අපි ලබන සතුට ඒ දරුවන්ටත් ලබා දෙන්න අපි කැමති නිසා’.

ඉහත තර්කයේ අඩුපාඩුව පැහැදිලි කරන්නම්.

ජීවිතයේ යම් ප්‍රමාණයක සතුට, තෘප්තිය දනවන අත්දැකීම් අඩංගු බව සත්‍යයක්. එහෙත් තේරුම් ගන්න ඕන කාරණය තමයි, ‘සතුටු වීම’ කියන්නේම දරුවෙක් මෙලොවට බිහි කරනු ලැබීමෙන් අනතුරුව ඒ දරුවා තුළ හටගන්නා ‘අවශ්‍යයතාවයක්’ කියන එක. ඒ කියන්නේ ජීවිතය තුළයි ‘සතුටු වීම’ කියන උවමනාව තියෙන්නෙ.

දරුවන් බිහි කිරීම සදාචාරාත්මක නොවන බව කියන දාර්ශනික ස්ථාවරයේ තර්කය වෙන්නේම ජීවිතයක් නිර්මාණය කිරීම මඟින් ඒ ජීවිතය තුළ ‘සතුට සොයා යෑමේ අවශ්‍යයතාව’ නිර්මාණය කිරීමට සාධාරණ (justifiable) හේතුවක් නොමැත කියන එකයි.

ඔබේ නොඉපදුන දරුවාට ඔහු/ඇය නොඉපදුනොත් කිසිදාක සතුට සොයා යාමේ අවශ්‍යයතාවයක් ඇති වන්නේ නැහැ. ඒ වගේම සොයා යන ඒ සතුට ළඟා කරගන්න නොහැකි වුනාය කියල ඔහු/ඇය කිසිදා කණස්සල්ලට, දුකට, කරදරයට පත්වෙන්නේත් නැහැ. ඊටත් අමතරව ඔහු/ඇය කිසිමදාක මේ කටුක ලෝකයේ මුහුණ දීමට ඉඩ තිබෙන දුක් වේදනා, අනතුරු, අහිමි වීම්, අපහාස, නින්දා, මානසික මෙන්ම ශාරීරික ලෙඩ රෝග වැනි දහසකුත් එකක් දුකට පත් වීම් වලට මුහුණ දෙන්නටද ඔහුට හෝ ඇයට සිදුවන්නේ නැහැ.

මෙහිදී තේරුම් ගත යුතු කාරණා මේවායි.

පළමුවෙන්, ඔබ දරුවා බිහි කරන්නේ ඔබේ කැමැත්ත හෝ උවමනා එපා කම් මතයි. කිසිම කෙනෙක් ඔවුන්ව මෙලොවට බිහි කරන්නය කියල ඉල්ලීම් කරන්නේ නෑ. එහෙම කරන්න විදියක් නෑ. ඒ නිසා අනිවාර්‍යයෙන්ම ඒ තීරණය ඔබ, ඔබ උදෙසා (your self-interest) ගනු ලබන්නක්. ඒ අර්ථයෙන් ගත්තම ජීවිතය කියන්නේ ඔබ අනිකෙක් මත බලෙන් පටවන්නක් (imposition).
මේ බලෙන් පැටවීම හරහා ඔබ අවශ්‍යතා වලින් යුත් සචේතනික ජීවියෙක් මේ hostile ලොවට බිහි කරනවා. ඔබ බිහි කරන්නේ සතුට හඹා යාමේ අවශ්‍යයතාවයෙන් නිරතුරුව පෙළෙන, ඒ අවශ්‍යයතාවය ඉශ්ඨ කරගැනීමට සමත් වීම හෝ අසමත් වීම තුළ තමන්ගේ මානසික සහ ශාරීරික සුවය පදනම් වෙන, ඒ වගේම නිරතුරුවම අනතුරු ආපදා වලට ලක් වීමට ‘අවධානමක්’ ඇති ජීවියෙක්ව.

ඔය අන්තිම වාක්‍යයේ තියෙන ‘අවධානම’ (risk) කියන වචනය ඉතා වැදගත්. දරුවෙක් බිහි කිරීම මඟින් ඔබ කරන්නේ ඔබගේ අවශ්‍යයතා සහ ආශා මුදුන්පත් කරවාගන්න ඔබෙන් නොඉල්ලූ ජීවිතයක් තව කෙනෙක් මත පටවනවා, අවධානමක් අරගෙන! ඔබ ඒ අවධානම ගන්නේ ඔබේ උවමනාව වෙනුවෙන්.. ඔබ අවධානමට පත් කරන්නේ වෙන කෙනෙක්ව..! ජීවිතය ඔබෙන් නොඉල්ලූ කෙනෙක්ව!

අනතුරු, ලෙඩ රෝග, නින්දා, අපහාස, මානසික ප්‍රශ්න, ප්‍රතික්ශේප වීම්, අසාධාරණයට ලක් වීම්, බලාපොරොත්තු කඩ වීම් මෙන්ම අකමැත්තෙන් වුනත් යථාර්තය නිසා සඳහන් කරන්න වෙනවා ලිංගික අපයෝජන වලට, ඝාතනය වීම් වලට, මංකොල්ලකෑම් වැනි අප්‍රසන්න අත්දැකීම් වලට ලක් වීම්.. මෙවැනි ලක්ෂ සංඛ්‍යාත දේවල් වලට මුහුණ දීමේ මේ මහා උරචක්‍රමාලය මේ ජීවිතය මත පැටවෙන්නේ ඔබ සවිඥ්ඥානිකව ඔහුව/ඇයව මෙලොවට ගෙන ඒමට ගන්නා තීරණය නිසයි.

ඒ තමයි, ඔබ ඔබේ උවමනා සහ ආශා නිසා ඔබ බිහි කරන්න බලාපොරොත්තු වන දරුවා වෙනුවෙන් ගන්නා අවධානම!

ඔබ කරන්නේ සූදුවක්. වෙනෙකෙක්ගේ යහපැවැත්ම හොඳ අතට හැරේවිය කියා අපේක්ෂාවෙන් ඔබේ වාසනාව උරගා බලමින් ඔට්ටු ඇල්ලීමක්.

නමුත් යථාර්තය, මේ ඔට්ටුව කවුරුත් දිනන ඔට්ටුවක් නොවන බවයි. මේ හැම ඔට්ටුවක්ම අවසන් වෙන්නේ එකම විදියකින් බවයි. දරුවෙක් මෙලොවට බිහි වීමට කලින් අපට ඒ දරුවාගේ ජීවිතය ගැන ‘නිශ්චිතවම’ කිව හැක්කේ එකම එක දෙයක් පමණයි. ඒ, ඒ දරුවා කවදා හෝ මරණයට පත් වන බවම පමණයි. ඒ නිශ්චිතයෙන් එහාට බිහි වන කෙනාගේ ජීවිතය පුරාවට ඔහුට/ඇයට සියලූම ආකාරයේ අත්දැකීම් වලට ලක් වීමේ හැකියාව (possibility) අනිවාර්යෙන්ම පිළිගත යුතුයි.

(නිකමට වගේ ඔබ බිහි කරන්න බලාපොරොත්තු වෙන දරුවා මරණයට පත් වීමට ඉඩ තිබෙන ආකාර මෙනෙහි කර බලන්න. පිළිකාව වැනි රෝගයකින් දුක් විඳීමෙන්? දීර්ඝ කාලයක් මහළු වියේ ඇඳක – අවුරුදු පහක් දහයක් – ගත කිරීමෙන්? හදිසි අනතුරකට ලක්ව වාහනයේ යකඩ කෑලි මත සිර වී මස් කෑලි එල්ලී අත පය කැඩී ලේ යාමෙන්? තමාගේ ආදරණීයයන්ව තියා තමන්ගේ නමවත් මතක නැති තැනකට පත් වී එවකට තරුණ පරපුරටම බරක් වෙන තත්වයකට පත් වීමෙන්? සිතා බලන්න. ඔබට කරුණු කාරණා එසේ නොවී ඔබේ දරුවා සුව නින්දකදී සැපසේ සුභ මරණයක් අත් කරගනීවි කියා සහතික විය හැකිද? මේ සියල්ල ඔබ ඔබේ උවමනාවට ඒ අසරණයාව මෙලොවට ගේන්න යන නිසා නොවේද? මේ වෙනකෙකු වෙනුවෙන් ඇල්ලීමට සාධාරණ ඔට්ටුවක්ද?)

ඉපදුන කෙනෙක් සතුට ළඟා කරගැනීම හරහා යම් තෘප්තියක් ලබන බව කලින් කිව්වා වගේම සත්‍යයක්. නමුත් සතුට විඳින්නම කෙනෙක් ඉපදවීම සමාන වෙන්නේ බෙහෙත් දැමූ විට සහනයක් ලැබෙන නිසා ඒ සහනය ලබා ගන්න තුවාලයක් නිර්මාණය කිරීමකටයි.

තුවාලය නිර්මාණය කල නිසා එයට අවශ්‍යය බෙහෙත් දැමීමෙන් සහනයකුත් ඒ බෙහෙත් නොලැබීමෙන් වේදනාවකුත් ලැබෙනවා තමයි, නමුත් තුවාලයක් නිර්මාණය නොකලා නම් ඔය දෙකම නැහැ.


ඔබ හෙට දරුවෙක් බිහි කලොත් ඒ දරුවා උපදින්නේම පැවැත්ම හෙවත් ජීවිතයට ආශා කරමින්. ඒක තමා default පොසිෂන් එක. ඔබ මේ බලෙන් පටවන ජීවිතයට ඇබ්බැහිවීම හැර ඒ උපදින දරුවාට අඩුම ගානේ වෙන විකල්පයක්වත් නැහැ.

උපන් දවසේ සිටම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙක් මෙන් ජීවිතයටත්, ජීවිතය මඟින් නිර්මාණය කෙරෙන ආශාවල්, උවමනා එපාකම් වලටත් ඇබ්බැහි වෙනවා. කුඩු ලබා ගැනීම නොගැනීම අනුව තෘප්තිය හෝ අසහනය තීරණය වන්නා සේම, ඔබ බිහි කිරීමට දායක වන ඒ ජීවිතය මඟින් නිර්මාණය කෙරෙන අවශ්‍යතා සහ උවමනා ළඟා කර ගැනීම නොගැනීම මත සතුට සහ දුක තීරණය කෙරෙනවා. මෙය නොවේද යථාර්තය?

තේරුම් ගත යුතු කාරණය මෙයයි. කෙනෙක් නොඉපදුනාය කියල ඒ කෙනාට යම් සැපක් අහිමි වීම ප්‍රශ්නයක් නැහැ.

ඉන්න, ඒක මම ආයෙම පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.

මේක ගැන හිතන්න ඕන “මම නොඉපදුනා නම්” කියන තැනින් නෙමේ. මොකද තමා හෝ තමාගේ සහෝදරයෙක් හෝ තමාගේ දරුවෙක් නොඉපදුනා නම් කියල හිතද්දිම, දැනට ජීවත් වෙන ඔවුන් හිතින් ඉවත් කර උපකල්පනය කිරීමක් වෙන්නෙ. එතකොට කොහොමත් ඉතුරුවෙන්නේ අපි අකමැති හිස් තැනක්.

ඕක හිතන්න ඕන, මගේ දාහතර වෙනි සහෝදරයා නොඉපදුන එක ඔහුට අවුල්ද? වගේ තැනකින්. මොකද එතකොට දැනට ජීවත් වන අපට ඒක තේරුම්ගන්න ලේසියි, ඒ නොපැවැත්ම කියන සංකල්පය.

කිසිදා නොඉපදුන මගේ නමවෙනි නංගිට අයිස්ක්‍රීම් කෑමේ සතුට භුක්තිවිඳින්න බැරි එක ගැන මටවත් නොඉපදුන ඒ නමවෙනි නංගිටවත් අවුලක් තියෙනවද..?
ඒ වගේ තමා. කෙනෙක් නොඉපදුනොත්, යමක් අහිමි වීම ප්‍රශ්නයක් වෙන්න ‘කෙනෙක්’ නෑ.

අහිමි වීම ප්‍රශ්නයක් වෙන්නෙ දැනට ජීවත්වෙන අයගෙ ඇහින් විතරයි.
නූපන් අයට ප්‍රශ්න නෑ. ප්‍රශ්න තියෙන්නෙ ඉපදීමේ සහ ජීවිතයේ බර දරාගෙන ඉන්න අපිටයි!

තම දරුවන් මත පැටවෙන්නට නියමිත ඕනෑම දුකකින් වේදනාවකින් ඔවුන් ආරක්ෂා කිරීම තම එකම සහ ලොකුම අරමුණ බව බොහෝ දෙමාපියන් පවසනවා. එහෙත්, තමන්ගේ දරුවන් මත දුක සහ වේදනාව පැටනොවෙන බවට සම්පූර්ණයෙන්ම සහතික විය හැකි එකම ක්‍රමය ඔවුන්ව බිහි කිරීමෙන් වැළකීම බව ඔවුන් කිසිවෙකුට නොවැටහෙන තරම්!

“මිනිසුන් අවංක බුද්ධිමය ගවේෂණයකින් පසුව පමණක් දරුවන් මෙලොවට බිහි කිරීමේ යෙදුනහොත්, මිනිස් සංහතිය තව දුරටත් පවතීවිද? මිනිසෙක්ට, දරුවෙක් බිහි කිරීමේ අවධානම තමා විසින් ගන්නවා වෙනුවට, ජීවිතයේ බර දරුවා මත නොපැටවීමට තරම් දරුවා කෙරේ කාරුණික විය නොහැකිද?”


අද සටහන මෙතනින් නවත්වනවා. ඊලඟ සටහන් වලින් මේ මාතෘකාව ගැන වැඩිදුරට කතා කරමු.
.
.
.
— ජේමිස් බණ්ඩා

ප/ලි –

  1. කෙනෙක් සිතන්න පුළුවන්, ‘මම මගේ දරුවාට සැපෙන් ඉන්න ලොකු ධනයක් හම්බ කරලා දෙනවා’ කියා. නමුත් ඒ තර්කය ගැන සාකච්ඡා කිරීමටවත් වටින්නේ, දරුවාගේ ජීවිතය තුළ දුක ඇති වීමට ඇති එකම ක්‍රමය ‘ධනය අහිමි වීම’ වුනා නම් පමණයි.

2 . මේ මාතෘකාව ගැන විවේචන තිබේ නම් කමෙන්ට් වල ඉදිරිපත් කරන්න. මේ ගැන සාකච්ඡා කෙරෙන ඉදිරි සටහන් වල ඒවාට පිළිතුරු ලැබෙන අයුරින් ලියන්නම්.

#antinatalismlk

2 Comments

  1. වසයට ගියාම අපිව බලාගන්න කෙනෙක් ඕනෙ idea එකෙන් බැහැර වෙන්න නම් පුලුවන් වැඩිහිටිපුරවැසියන්ට ජීවිතේ අගභාගය යහපත්ව ගත කරන්න හැකියාව හදලා දුන්නම. ඉන් පස්සේ දරුවන් හැදීමේ definition එක අපි අපිම වෙනස් කරගන්නවා

    Liked by 1 person

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s