සිරිමල් වගේ වෙන්න

සිරිමල් කියන්නෙ යහපත් පුරවැසියෙක්.

සිරිමල් මහන්සි වෙලා වැඩ කරනවා. රස්සාව කරන තැන බොස් ඉස්සරහට හම්බුනාම අහිංසක විදියට ‘Good Morning’ කියනවා. බොස්ගේ විහිලු වලට හයියෙන් හිනා වෙනවා. බොස් තමාට සැර කරලා බනිද්දි බිම බලාගෙන ඉවසගෙන ඉන්නවා. අසනීපයකට වුනත් නිවාඩුවක් දෙන්න බෑ කියද්දි මුකුත් නොකියා හැරිලා ගිහින් වැඩ කරනවා. රස්සාවෙන් හැකි තරම් ඉහළට යන්න අධිෂ්ඨානයෙන් කැපවෙලා තමන්ගෙ උපරිම ශක්තිය ඒ වෙනුවෙන් යොදවනවා.

සිරිමල් රස්සාව නොකරන වෙලාවට සහ සති අන්තයන් වලදී තමන් මහන්සි වෙලා හම්බ කරන මුදලින් උපරිම ලෙස පාරිබෝජනය කරනවා. හැකි තරම් වටිනා බඩු භාණ්ඩ මිලදී ගන්නවා. අලුතෙන්ම නිකුත් වුන ඇපල් හෝ සැම්සුන්ග් වර්ගයේ මිල අධික ජංගම දුරකථනයක් සිරිමල් පාවිච්චි කරන්නෙ. සිරිමල් ලෝන් එකක් දාලා ගත්ත වාහනයෙන් තමාගෙ පවුල එක්ක කෑම කන්න ලොකු ලොකු රෙස්ටූරන්ට් වලට යනවා. සිරිමල් තමන්ට මාස් පතා ගෙවන්න තියෙන ණය වාරික ගෙව්වයින් පස්සෙ කරන්නෙ ඉතිරි මුදල වියදම් කරන එක. සිරිමල්ට රස්සාව කරන තැන අහිමි වෙන ආත්මාභිමානය සිරිමල් ලබා ගන්නේ බඩුභාණ්ඩ අත්පත් කරගැනීමෙන් සහ විනෝද වීමෙනුයි.

සිරිමල්ගේ ජීවිතයේ මූලික අරමුණු තමා විනෝද වීම, මුදල් හම්බ කිරීම සහ වත්කම් ගොඩගහ ගැනීම. මේ දේවල් මඟින් ඉහළ සමාජ පිළිගැනීමක් ලබා ගැනීම. සිරිමල් මේ ඉලක්කය වෙනුවෙන් මුළු ජීවිත කාලයම වෙහෙසෙනවා. සිරිමල්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තූරයේ තිබෙන්නේ ඔහු ලක්ෂ ගණනක් වියදම් කර ගන්නා ලද ඔහුගේ විවාහ මංගල උත්සවය දින ඔහු හා ඔහුගේ බිරිඳගේ ඡායාරූපයක්. සිරිමල්ගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක නිවාඩු වලට ගොස් සුපිරි හෝටල් වලදී ගන්නා ලද ඡායාරූප සහ මිල අධික කෑම වේලවල් ලං කොට ගන්නා ලද ඡායාරූප වලින් පිරී ඉතිරිලයි තියෙන්නෙ.

සිරිමල් ඕනවට වඩා දේවල් ගැන හිතන්න යන්නෙ නෑ. කුඩා කාලෙ ඉඳලම වැඩිහිටියො කියන දේ පිළිපැද්ද කීකරු දරුවෙක් මිසක් සිරිමල් කවදාවත් අනෙක් අය ඉස්සරහා පණ්ඩිතයෙක් වෙන්න ගියේ නැහැ. සිරිමල් අකමැතිම පිරිසක් තමයි හැම දේ ගැනම ඕනවට වඩා හිතන මිනිස්සු, යන යන තැන පණ්ඩිතයො වගේ කතා කරන මිනිස්සු. සිරිමල් කොහේ ගියත් කතා බහ කරන්නේ ප්‍රයෝජනවත් දෙයක් ගැන විතරයි. ඒ කියන්නෙ, සිරිමල් හොඳට දන්නවා ඒ ඒ රැකියාවෙන් ඉහළට යන්න කරන්න ඕන දේවල්, හදාරන්න ඕන පාඨමාලා ආදිය ගැන. සිරිමල් දන්නවා වාහන අලුත්වැඩියා කරනවා නම් යන්න ඕන තැන්, බැංකු ගිණුම් කටයුතු, අලුත්ම මාදිලියේ විදුලි උපාංග, ටීවී සෙටප් ෆෝන් ගැන. කොහේ ගියත් සිරිමල් කතා කලොත් කතා කරන්නේ එක්කෝ බඩු භාණ්ඩ ගැන. නැත්නම් ක්‍රීඩා තරඟයක් හෝ යම් සිදුවීමක් ගැන. එහෙමත් නැත්නම් ආදායම තව කීයකින් හරි වැඩි කරගන්න ක්‍රමයක් ගැන. ඉන් එහාට කවුරු හරි පණ්ඩිත කතා කිව්වොත්, සිරිමල් එකඟ නැති දෙයක් කිව්වොත් සිරිමල් කරන්නේ හිනා වෙලා කටපියාගන්න එක. සිරිමල් කා එක්කවත් වාද වලට පැටලෙන්න කැමති නැහැ.

සිරිමල් ධනාත්මකව හිතන කෙනෙක්. සිරිමල් ඔහුට කවුරුන් හෝ විසින් කරන්න කියන ඕනම දෙයක් භාරගන්නේ චැලේන්ජ් එකක් විදියට. සිරිමල් විශ්වාස කරනවා සිරිමල්ට මහන්සි වුනොත් ඕනම දෙයක් කරන්න පුළුවන් බව. සිරිමල් කියවන්න තෝරගන්නෙත් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වගේ ජයග්‍රාහකයෝ ලියපු පොත්. සිරිමලුත් ඔවුන් වගේම ජයග්‍රාහකයෙක්. ඕනම අභියෝගයක් බාරගන්න winner කෙනෙක්.

අසුභ දේ වලට, සෘණාත්මක දේවල් වලට සිරිමල්ගේ ලෝකයේ ඉඩ නැහැ. පරිසර විනාශය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වගෙ දේවල් ගැන හිතන්න වදවෙන්න සිරිමල්ට කාලයක්වත් උවමනාවක්වත් නැහැ. සිරිමල් ධනාත්මකව හිතන නිසා සිරිමල් හිතනවා වෙන කවුරු හරි ඒ ප්‍රශ්න වලට උත්තර හොයයි කියල. සියල්ල හොඳින් විසඳෙයි කියල. මෙච්චර කල් එහෙම වුනා නම් ඉස්සරහටත් එහෙම නොවෙන්න විදියක් නෑනෙ කියල. ඒ නිසා ඔය වගේ පේන්නවත් නැති තරම් දුර ඈත තියෙන ප්‍රශ්න ගැන සිරිමල්ට වදවෙන්න වෙලාවක් නෑ. සිරිමල් ඉන්නේ වෙනම ගේමක. කොටින්ම ‘සමාජීය ප්‍රශ්න’ කියන්නේම සිරිමල් අකමැතිම වචන දෙකක්.

සිරිමල්ගෙ ජාතිය කියන එක සිරිමල්ගෙ පුද්ගල අනන්‍යතාවයෙ ප්‍රධාන කොටසක්. සිරිමල් තමන්ගෙ ජාතිය ගැන ආඩම්බරයි. සිරිමල් තමන්ගෙ ජාතියෙ ඉතිහාසය ගැන ආඩම්බරයි. සිරිමල් යම් පමණකට ජාතිවාදියි. හැබැයි ඔහු ජාතිවාදයේ අන්තයට ගිහින් නැහැ. ඒ දේවල් වෙනුවෙන් සිරිමල් ඕනාවට වඩා කාලය වැය කරන්නෙ නෑ. සිරිමල් තමන්ගෙ ජාතිවාදයට තමන්ගෙ දියුණුවට බාධාවක් වෙන්න දෙන්නෙ නෑ. වචනයෙන්, අදහස් වලින් සහ ඡන්දයෙන් තමයි සිරිමල් තමාගෙ ජාතිවාදය ප්‍රකාශ කරන්නෙ. සිරිමල් තුළ තියෙන්නෙ මඳ පමණක ජාතිවාදයක්. අඩුත් නෑ වැඩිත් නෑ.

සිරිමල් තමන්ට උපතින් උරුම වුන ආගම අදහනවා. ඒකත් ජාතිවාදය වගේමයි. අඩුත් නෑ, වැඩිත් නෑ. මඳ පමණට. සිරිමල් ඉඳලා හිටලා පින් දහම් කරනවා. ඒ කටයුතු වෙනුවෙන් මිලමුදල් වියදම් කරනවා. ගමේ පන්සල තුල තමන්ගෙන් අපේක්ශිත භූමිකාව ඉටු කරනවා. සිරිමල් ආගමික නායකයන් කියන දේවල් සෑහෙන බරක් දීලා විශ්වාස කරන හොඳ ආගමිකයෙක්.

ඒ වගේමයි සිරිමල් රෑට ටීවී එක දාපුවම ඒකේ ඉන්න අය කියන දේ දෙපාරක් නොහිතා පිළිගන්නවා. ඒ අය ඒවා කියන්නේ වගකීමෙන් කියල සිරිමල් දන්නවා. ටීවී එකේ කියනවා නම් ඒවා බොරු වෙන්න බැරි බවයි සිරිමල්ගේ පිළිගැනීම.

ඉතින්, සිරිමල් තමයි සර්වසම්පූර්ණ පුරවැසියා. සිරිමල් තමයි ‍රටේ අධ්‍යාපන ක්‍රමයෙන් සහ සිස්ටම් එකෙන් නිර්මාණය කරන්න අපේක්ෂිත අයිඩියල් ප්‍රඩක්ට් එක.

ඔබ සැමත් සිරිමල් වගේ සර්වසම්පූර්ණ අයිඩියල් පුරවැසියෙක් වෙන්න අදිටන් කරගන්න. සිරිමල් කරනවා වගේ මේ කාර්‍යය චැලේන්ජ් එකක් කරගන්න.

ඔබත් සිරිමල් වගේ,

මහන්සි වී වැඩ කරන්න. දියුණු වෙන්න හීන දකින්න, ඒ වෙනුවෙන් ඇප කැප වෙන්න. හම්බ කරන මුදල් හැකි උපරිමයෙන් වියදම් කරන්න. පාරිබෝජනය කිරීම හරහා හොඳ පාරිබෝගිකයෙක් වෙන්න. තමන්ගෙ ජාතියේ ඉතිහාසය ගැන ආඩම්බර වන්න. රාජ්‍යය විසින් ඔබට සෙතක්ම කරන බව අදහන්න. හමුදාවට ආදරය කරන්න. ආගමික නායකයන් ගේ දේශනා විශ්වාස කරන්න. රූපවාහිනී තිරයෙන් කියන දේ පිළිගන්න. වඩා යහපත් හෙට දිනක් වෙනුවෙන් අද මහන්සි වී වැඩ කරන්න. ධනාත්මකව සිතන්න. ඡන්දය දාන්න. සතුටින් ඉන්න.

මේ දේවල් මේ විදියට කලොත් ඔබටත් පුළුවන් සිරිමල් කෙනෙක් වෙන්න. හොඳ පුරවැසියෙක් බවට පරිවර්තනය වෙන්න.

බලන් නොසිට අදම පටන් ගන්න.

විශ්වාස කරන්න, අනුගත වෙන්න, පරිබෝජනය කරන්න, දියුණු වෙන්න.

ජීවිතය දිනන්න💪

4 Comments

  1. සිරිමල්ගේ ගතිගුණ ලැයිස්තුවෙන් එකක් දෙකක් අඩු වුනොත් මොකද වෙන්නේ.

    Like

  2. සිරිමල් වගේ වෙන්නේ නැතුව ඉරාජ් වික්‍රමරත්න වගේ වුනොත් නරකද?

    Like

  3. ඇයි මචං විමල් විරවංශට හොරා,හොරා,හොරා,හොරා,හොරා,හොරා කියලා බනින තරමට
    අරුමුගම් තොන්ඩමන්ට බැනුම් ඇහුනේ නැත්තෙ.

    තොන්ඩා හොඳ නිසාද? විමල් සිංහල නිසාද?

    Like

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s