සෙබළා රණවිරුවාට ඇන්දවීම

‘සෙබළා’ නම් වචනය ලංකීය ජනවහරින් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කෙරෙමින් පවතියි. ඒ වෙනුවට ‘රණවිරුවා’ නම් වචනය පාවිච්චි කිරීමට පුහුණු කෙරෙමින් තිබේ.

සෙබලාව රණවිරුවා කිරීම දේශපාලන ප්‍රොජෙක්ට් එකකි. එයින් ඉලක්ක කෙරෙන්නේ ‘සෙබලා’ නම් වචනය පසුපස ජීවත් වෙන මනුස්සයාට වඩා යම් පිරිසකගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සහ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගැනීමයි.

මේ දිනවල දිනපතාම වාගේ රූපවාහිනියේ පෙනී සිටින යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් තමා යටතේ සිටින සෙබළුන් ගැන කතා කරන විට “වීරෝධාර රණවිරුවන්” වචන දෙක යොදා ගනු දක්නට පුළුවන. මෙය අනෙක් අය විසින් තමාට පිදිය යුතු ගරුනම්බු නාමයකින් තමන්ම තමන්වම හඳුන්වා දීමකි. මේවා ඉබේ සිදුවන දේවල් නොව සවිංඥ්ඥානිකව ගන්නා තීරණ වලට අනුව සිදුවන දේවල් ය. ජනතා මනසකට සූක්ෂම ලෙස මතවාද ඇතුළත් කරන්නේ මෙසේයි. මෙහි නොගැලපීම සහ අවලස්සන බව තේරුම් ගැනීමට වෛද්‍යයවරයෙක් වන GMOA එකේ සභාපති පැමිණ වෛද්‍යයවරුන්ට දිගින් දිගටම ‘සුවවිරුවන්’ කියා කියාගන්නා අන්දමක් උපකල්පනය කරගන්න.

මේ එක සිදුවීමක් පමණි. මේ දිනවල මාධ්‍යය මඟින් සෙබළා උත්කර්ශවත් කිරීම ජයටම කරගෙන යයි. අර්බුදකාරී ආපදාවන් (crisis) ජනතාවට අවදානම් තත්වයක් ඇති කරන අතරම බලයට ඉව අල්ලන පාලකයන්ගේ අරමුණු ඉටු කරගැන්මට මහඟු පසුබිමක් නිර්මාණය කරන බව වටහා ගැන්ම ඉතා වැදගත් ය (ඇමරිකාවේ සැප්. 11 ප්‍රහාර වලින් පසුව සිදුවූ දේවල් සිහි කරගන්න).

දින කිහිපයකට පෙර සෙබළෙකු විසින් සිවිල් වැසියෙකුට මුඛ ආවරණයක් පළඳවන දර්ශනයක් “මිහිපිට බෝධිසත්ව වරුන්” නම් කැප්ෂන් එක යටතේ ශෙයාර් වනු දුටුවෙමි. සෙබලා දැන් ඉන්නේ බුදුවෙන්න ඔන්න මෙන්න තත්වයකය. ජනමනස එතැනට ක්‍රමානුකූලව හැඩ ගැසෙමින් තිබේ.

ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කෙරෙමින් උත්කර්ෂවත් කෙරෙන ඔපමට්ටම් දැමූ වචන මඟින්, පිරිසකගේ ෆැන්ටසිකමය මානසික ආශාවන් ඉෂ්ඨ කිරීමත් තවත් පිරිසකගේ බල අරමුණු ළඟා කරගැනීම සඳහා සමාජ චින්තනය හැඩ ගැස්වීමත් විනා, ඒ වචන තුළ මහ පොළවේ සැබවින් ක්‍රියාත්මක වන යථාර්තයක් තිබීම ඉහත දෙපිරිසටම අදාල වන්නේ නැත.

රට ජාතියට සංස්කෘතියට ආදරයෙන් පපුවට ගහගන්නා පාලකයාගේ දරුවන් ඉන්නේ පිටරටවල් වලය. උදේ හවා බුදුබණ, පිරිත් ප්‍රචාරය කරනා ටීවී චැනල් වල කෝටිපති හිමිකරුවන් පන්සිල් රකිනා බෞද්ධයන් නොවේ. කැමරාවක් ඉදිරිපිට ස්ටේජ් එකකට නැඟ අත්පොළසන් මැද දුප්පත් ගැහැණියකට බේසමක් පිදීම යටි අර්ථයක් නැති හිස් ප්‍රදර්ශනාත්මක මුලාවක් පමණි. සිංහල බෞද්ධ අපේ කමක් ගැන කියමින් විසිහතර පැයේම සුද්දාට බනිනා ඈයෝ ජීවත් වෙන්නේ වික්ටෝරියානු සදාචාරයට අනුවය. ගෙදර බුදුන් අම්මලා විවාපත් වූ දරුවන්ගේ ජීවිත වලට ඇඟිලි ගසා පවුල් කඩාකප්පල් කරනා ආත්මාර්ථකාමී උද්දච්ච ගැහැණුය. ගුරුදෙවිවරුන් ලෙස වන්දනාවට ලක් කෙරෙන වෘතිකයන් පිරිසගෙන් බහුතරයක් දෙනා සිසුන් හරහා තම සමාජ පීඩනය පිට කරන හීනමානකාරයන්‍ ය. රටම ගුණවත් කිරීමේ නාමයෙන් පවත්වාගෙන යන පල්ලි, පන්සල් වල තරම් දරුවන් අපචාරයට පත් කරන තවත් තැන් මෙ රට නැත.

ෆැන්ටසිකමය ආශාවන් තෘප්තිමත් කරන ලස්සන වචන සහ යථාර්තය අතර වෙනස ඒ තරම් දුර ය.

එමෙන්ම සෙබළාව රණවිරුවා තත්වයට ඔසවා තැබීමේ දේශපාලන ප්‍රොජෙක්ට් එකට ‘සෙබලා කියන තැන ඉන්න මනුස්සයා’ ඔය කියන තරම් අදාල නැත.

හරියට සිංහලබුද්ධාගම සමඟ බුදුන්වහන්සේට සම්බන්ධයක් නැතුවා වාගේය.

2 Comments

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s