ආගම ගැන කතාබහක්

මිත්‍රයෙක් එක්ක කතාබහක්…. මාතෘකාව ආගම !

ආගම කිව්වේ ලෝකෙ පවතින එකම පරම සත්‍යය ආගම හෙවත් එයාගෙ අම්මගෙයි තාත්තාගෙයි ආගම. මේ පුද්ගලයාට අදාලව නම් කතෝලික දහම…

සුපුරුදු පරිදි මෙවන් කතාබහ වලදී ටික වේලාවකින් ආගමික පාර්ශවයෙන් දකින්න ලැබෙන හැසිරීම් වන වියළි කැස්ස ඇතිවීම, ගෙන එන තර්කයෙන් තර්කයට ඉඳගෙන ඉන්නා විදිය මාරු කිරීම, ආසනයේ ඉදිරියටම පැමිණීම.. ආයෙම අගට යාම.., අත තබා ගැනීමට හරි ආකාරයක් නොමැති වීම, ගොත ගැසීම, එතුමාම කියන දේවල් වලට එතුමාටම හිනා යාම… වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව ගොළු වී, තමන්ගේ අදහස් වල විසංවාදී බවත්, ඒවායේ සහ ඔහු ඒවා සාධාරණීයකරනය කරනා ආකාරයන්ගේ අමානුෂික බවත් පෙන්වා දුන් පසු ඉතාම සිත්ගන්නා පොයින්ට්ස් තුනක් මගේ ප්‍රශ්න වලට පිළිතුරු විදියට ඔහු කිව්වා.. (පහත ‘මම’ කියල තියෙන්නේ සටහන ලියන මම නෙමේ, මගේ යාලුවායි)

  1. මම බයිබලය විශ්වාස කරන්නේ ඒකෙන් මගෙ ජීවිතයට meaning එකක් හම්බෙන නිසා.
  2. මට ඒ විශ්වාසය නිසා ලෝකෙ හැමදෙයක්ම ගානට ප්ලේස් වෙලා පැහැදිළි වෙනවා.
  3. මම වැරදි වීමේ සම්භාවිතාවය 0% යි.

ඔය කාරණා තුනම මම ඔහුගෙන් අහපු ප්‍රශ්න වලට අන්තිමටම හිර වුන අවස්ථා තුනකදි ඔහු දුන්න උත්තර…

මේ එක්කම, මීට කලින් අවස්ථාවන් දෙකකදි මගේ වෙනත් මිතුරන් දෙදෙනෙක් එක්ක කෙරුනු කතාබහවල් වලදි ඔවුන් දෙන්නා කිව්ව පොයින්ට්ස් දෙකකුත් මේ කතාවට වැදගත් නිසා පහත සඳහන් කරනවා.

  1. දෙවියන්ගේ නියෝගය පරිදි කෙනෙක් ඇවිත් මගේ ගැබිණි බිරිඳගේ උදරය කඩුවකින් කපා විවෘත කර බිළිඳා එළියට ඇදලා අරන් මැරුවත් ඒ ක්‍රියාව වැරදි නෑ.
  2. ජේසුස් සැබවටම සිටියා හෝ නැතා මම ජේසුස්ව විශ්වාස කරනවා, මොකද මගේ ජීවිතයට ඒ විශ්වාසය අවශ්‍යය නිසා.

ඔය උඩ අංක කරල තියෙන්නෙ මිතුරනි ‘ආගමික starter pack’ එකයි..!

මේ ටික තමයි ආගමිකයෙක්ගේ ඒ ආගමික විශ්වාසය ගොඬනැගෙන අත්තිවාරම විදියට ක්‍රියාත්මක වෙන්නෙ. ඔය උඩ කිව්ව කාරණා ටික ජේසුස් වහන්සේ කියන වචනය අයින් කරල ඕනම ආගමක ශාස්තෲ කෙනෙක්ව රිප්ලේස් කලත්, පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාට මේ විදියටම ලස්සනට වැඩේ වැඩ කරනවා.

මීට වසර අටකට පෙර මම ආගම අතහැරියයින් පස්සෙ මුල් කාලයේ ‘ආගම’ නැමති විශය ගැන මට සෑහෙන දැනුමක් ලබා ගන්න මුල් වුන, ඒ කාලයේ නැගල ගිය New Atheist Movement එකේ මම දැකපු ප්‍රධානම අඩුපාඩුවක් තමයි ඔය ඉහත කාරණා ගැන ඔවුන් යොමු කරන උනන්දුවේ අඩු කම (ප්‍රධාන වශයෙන්ම Richard Dawkins, Sam Harris, Christopher Hitches, Neil Degrasse Tyson, Lawrence Krauss යන අය).

ඔවුන් ඔවුන්ගේ ගොඩක් අදහස් ඉදිරිපත් කරන්නේ එක්තරා පූර්ව මතයක ඉඳගෙන. ඒ තමා ලෝකයේ මනුෂ්‍යයන් සියල්ලන් ඔවුන් තරම්ම “සත්‍යය යනු කුමක්ද?” කියන දේ තේරුම් ගන්න මාර ලොකු ඇම්මකින් ඉන්නවාය කියන පූර්ව මතය.

ඒ කාරණය සම්පූර්ණයෙන්ම වැරදියි කියන එක මේ වගේ අන්ධ ආගමිකයෙක් එක්ක කරන එක සාකච්ඡාවකදි ලේසියෙන්ම පැහැදිළි කරගන්න පුළුවන්.

මම දරන අදහස අනුව නම්, ආගම් අදහන්නන්ගෙන් අතිමහත් බහුතරයක් ආගම් අදහන්නේ ඒකේ තියෙන “සත්‍යයවාදී බව” මුල් කරගෙන නොවෙයි. ඒ අය ආගම් අදහන්නේ එයින් තමන්ගේ පැවැත්මට, අරුත්සුන් ජීවිත වලට ලබා දෙන තේරුම (meaning එක) නිසා.. (කවුරුත් මෝඩයො වෙන්න අකමැති නිසා ආගම් ගැන ප්‍රශ්න කලාම ඒවා ඇත්ත කියල ඔප්පු කරන්න කරුණු ගේන එක ඇත්ත.. ඒ ඔප්පු කරන්න ගේන්න කරුණු නිසාම උන් මෝඩයො කියල ඔප්පු වෙන බවත් ඇත්ත.. 😛 )

ඒ ඒ ආගම් වල මෝඩ තකතීරු විශ්වාස වෙනුවෙන්, එදිනෙදා ජීවිතයේදී තර්කානුකූලව හැසිරෙන, උගත් මිනිස්සු අම්බ හරක් වගේ අදහස් ඉදිරිපත් කරන්නේ අපි විහිලුවට කිව්වට ඒ අය මෝඩයෝ නිසාම නෙමෙයි. ඒ, ඒ අය එතනදි තර්ක කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නිසා. තමන්ගේ ජීවිතයේ වටිනාකම වෙනුවෙන් නිසා..

ඒ අය තර්ක කරන්නේ ආගම (බුදුදහම/කතෝලික දහම/ඉස්ලාම්) වෙනුවෙන් වගේ පෙනුනට, එතනදි ඇත්තටම ඒ අය තර්ක කරන්නේ තමා වෙනුවෙන්. තමාගේ පැවැත්ම වෙනුවෙන්…!

තමාගේ ජීවිතයට අර්ථයක් එකතු කරන ආගම නැමති දේ එකපාරම නැති වුනොත් මේ අයගෙ ජීවිත වල ලොකු අතරමං වීමක් වෙන්නෙ. (මේ සටහනින් ආගම ගැන විශේෂයෙන් කතා කලත්, මේක ආගම විතරක් නෙමේ, රට.. ජාතිය… ආගම.. සැමියා.. බිරිඳ.. දරුවා.. රස්සාව.. වගේ ඒ ඒ පුද්ගලයාට වටිනාකම ලැබෙන ඕනෑම දෙයක් වෙන්න පුළුවන්).

මනුස්සයෙක් වැඩියෙන්ම බුද්ධිහීනයෙක් වගේ හැසිරෙන්නෙ (irrational වෙන්නෙ) ඔහුගෙ පැවැත්මට වැඩියෙන්ම වටිනාකමක් දෙන කාරණා ඉදිරියෙ…!

ඒ කාරණා ඒ පුද්ගලයාගේ පැවැත්මේම අරුත දරාගෙන ඉන්න නිසා ඔහු දිවිහිමියෙන් ඒවා වෙනුවෙන් පෙනී ඉන්නවා, තර්ක කරනවා, වාද කරනවා, නැති කැස්සවල් ඇති කරගෙන අමාරුවෙන් තමන්ගේ ලජ්ජාව පැත්තකින් තියලා අමු බූරු කතා කියනවා. තමන්වම රවට්ට ගන්නවා.

ඒ ඔක්කොම මේ අරුත්සුන් පැවැත්ම වෙනුවෙන්…!

ඒ දේවල් මනුස්සයෙක්ට අතහරින්න වුනොත්, විශේෂයෙන්ම දැඩි ආගමික විශ්වාසයක් වගේ දෙයක් අතහරින්න වුනොත්, ඒ මනුස්සයා එකපාරම තමන්ගේ පැවැත්ම තුළ අතරමං වෙලා අර existential crisis කියන දෙයට මුහුණ දීලා සෑහෙන කාලයක් මාර පරිප්පුවක් කන්න වෙනවා.

ඒ වගේ අමාරු ප්‍රෝසෙස් එකකට ගිහින් ඔලුව විකාර කරගන්නවට වඩා කොච්චර ලේසිද, තමාගේ ෆැන්ටසිය කුඩු කරන එකාට බැනලා, ඌ ඉස්සරහ කටට එන මෝඩ කතාවක් දෙසාබාලා අවුල තියෙන්නේ තමාගේ නෙමේ ඌගෙ කියල තමන්ටම තහවුරුකරගන්න එක…..?

උසස් අධ්‍යාපනය ලබලා, කසාද බැඳලා, ළමයි ඉන්න, ලොකු කම්පැනි වල මැනේජර්කම් කරන මිනිස්සු මං ඉස්සරහා…

“නෝවාගේ නැවට ලෝකෙ ඉන්න හැම සතාම ජෝඩු ජෝඩු ආවා නම් උත්තර ද්‍රැවයෙ ඉඳන් පෙන්ගුයින්ස්ලයි, ඕස්ට්‍රේලියාවෙ ඉඳල කැන්ගරුවොයි පලස්තීනෙ තිබ්බ ඒ නැවට උඩ පැන පැන ආවද බන්? ලෝකෙ දැනට කෘමි වර්ගම මිලියන පහකට වඩා ඉන්නව.. ඒ ඔක්කොටමයි අනෙක් ගනන් කල නොහැකි සත්ව වර්ග ඔක්කොටමයි ඔය නැවේ ඉඩ තිබ්බද බන්?”

වගේ ප්‍රශ්න වලට ගොත ගගහා ඔව් කියල උත්තර දෙනවා.

“ලෝකයේ වයස අවුරුදු හයදාහයි නම් පොළව යට බොර තෙල් තියෙන්නෙ කොහොමද? ඩයිනෝසිරස්ලයි මිනිස්සුයි එකට හිටියද මචන්..?”

වගේ අටේ පන්තියෙ ළමයෙක්ට වුනත් තේරෙන ප්‍රශ්න හමුවේ ගොළු වෙනවා.

ඇයි මේ……?


මම සටහන පටන් ගද්දි කිව්ව කාරණා පහට යමු.

  1. මම බයිබලය විශ්වාස කරන්නේ ඒකෙන් මගෙ ජීවිතයට meaning එකක් හම්බෙන නිසා :—

ඕනම ඇදහිල්ලක මූලය විශ්වාසයයි (ශ්‍රද්ධාව ). එහෙම වෙද්දි, ඇයි කෙනෙක් ඔහු අදහන ආගමටම ඒ සැකයේ වාසිය ලබා දී, ඒකම විශ්වාස කරන්න පෙළඹුනේ කියන ප්‍රශ්නයට තියෙන්නේ සරල පිළිතුරක්. එක, එය ඔහුගේ පවුලෙන්/සංස්කෘතියෙන් ඔහුට උරුම වීම. දෙක, ඒ දේ විශ්වාස කිරීම හරහා ඔහුගේ ජීවිතයට අර්ථයක් ලැබීම.

  1. මට ඒ විශ්වාසය නිසා ලෝකෙ හැමදෙයක්ම ගානට ප්ලේස් වෙලා පැහැදිළි වෙනවා:—

ආගමික විශ්වාස ඇති වීමේ ප්‍රධානම හේතුවක් තමයි තමන් ජීවත් වන ලෝකය/යථාර්තය තේරුම් ගැනීම කියන්නෙ. සහ ඒ යථාර්තය තුළ තමාගේ ස්ථානගත වීම තමාට වැටහෙන විදියට පැහැදිලි කිරීම කියන්නෙ. ඒ දේ ආගම් වලින් කරනවා. තමා ජීවත් වන ලෝකයේ ස්වභාවය සහ එහි තමාගේ තැන ගැන අදහසක් මිනිස්සුන්ට ආගම් විසින් දෙනවා.

මේක මගේ මිත්‍රයා මට කිව්ව වෙලේ මම ඔහුට කිව්ව දේ තමයි”.. ඔව්, ඔය විශ්වාසයෙන් ගානට හැමදේම ප්ලෙස් වෙනවා. ඒ කතාව මරු. මගෙ මතයන්ගෙන් අපිව මේකෙ ගානට ප්ලෙස් කරන්නෑ. ඒක ඔලුවට හරි අමාරුයි. මේකෙ අරුත්සුන් බව, අර්ථවිරහිත බව, විකාරරූපීබව තමයි මට පේන්නේ. ඉතින් ඔයා ඒ ප්ලේස් වෙලා පේන එක ආතල් කියල මම පිළිගන්නවා” කියන එක.

  1. දෙවියන්ගේ නියෝගය පරිදි කෙනෙක් ඇවිත් තමන්ගේ ගැබිණි බිරිඳගේ උදරය කඩුවකින් කපා විවෘත කර බිළිඳා එළියට ඇදලා අරන් මැරුවත් ඒ ක්‍රියාව වැරදි නෑ:—

මේක තමයි සදාචාරය (morality) ගැන ආගමික කතිකාවත. ආගම මඟින් මිනිස්සුන්ට හදලා දෙනවා මොරල් ෆ්‍රේම් එකක් (දැන් ඒක අම්බානට අවුට් ඩේටඩ් කියන එක වෙනම කතාවක් ). උදාහරණයකට බලන්න, බෞද්ධයො මස් කෑමේ හොඳ නරක ගැන කරන සාකච්ඡා දැකල තියෙනවද..? ඒ අයගෙ සම්පුර්ණ වාදයම පදනම් වෙන්නෙ අර බුදුන්වහන්සේ කියල තියෙනවයි කියන ‘සතෙක් මැරීමේදී සැපිරිය යුතු කාරණා’ හතරද පහද ගැන. එච්චරයි. සදාචාරය හෙවත් හරි වැරැද්ද ගැන කතිකාවත තියෙන්නෙම ඒ ආගම විසින් යෝජනා කරන මොරල් ෆ්‍රේම් එක ඇතුලෙ විතරමයි.

ඒක ඇතුලෙ කතාබහ කිරීමෙන් පිට, බුදුන්වහන්සේ මෙහෙම කිව්වට, මම කඩෙන් ගිහින් ගන්න නිසා ඒකට අනුව සැපයුම ලැබෙන්න මම නිසා ඉල්ලුමක් නිර්මාණය කෙරෙනවනෙ, වගේ හරිම සරල ඇස්පනාපිට පේන්න තියෙන කාරණයක් වුනත්, ඒ සංවාදයට අදාල වෙන්නෙ නෑ. මොකද බයි ඩිෆෝල්ට්, ආගමෙන් යෝජනා කරන ආකෘතිය “නිවැරදිම එක නිසා”. ඒකයි සහරාන්ලා ඉස්ලාම් ආගමේ තමාගේ අර්ථ දැක්වීම මත පදනම් වෙලා මිනීමරන්නේ, කතෝලිකයො බයිබල් පාඨ උස්සන් සමලිංගිකයො පන්නමු කියන්නෙ..

ආගමික මොරල් ෆ්‍රේම් එකට අනුව සතෙක් මැරුවත්, තමන්ගෙ ගෑණි දරුවා මැරුනත්, ජීවිත කාලයම මහණ වෙලා හිටිය භික්ෂුණියක් අද උපසම්පදා ලබපු භික්ෂුවකට වඳින්න ඕන.. භික්ෂුණියන් භික්ෂූන්ට අවවාද නොදිය යුතුය, භික්ෂූන් භික්ෂූනියන්ට අවවාද දිය යුතුය වගේ අමු sexist කතා වුනත්… අවුලක්ම නැති වෙන්නෙ ඒ නිසයි.

එතනින් එහාට සදාචාරය ගැන හරි වැරැද්ද ගැන ප්‍රශ්නය ඉවරයි. හරිම සරලයි. සිම්පල් ප්ලෑන් එකක්.

  1. ජේසුස් සැබවටම සිටියා හෝ නැතා මම ජේසුස්ව විශ්වාස කරනවා, මොකද මගේ ජීවිතයට ඒ විශ්වාසය අවශ්‍යය නිසා:—

මේකත් මම මුලින්ම කිව්ව කාරණය එක්ක ළඟින් යන එකක්. මේ කාරණය සටහන පුරා පැහැදිළි කල නිසා ආයෙ ඒ ගැන ලියන්න උවමනා නෑ.

අවසාන වශයෙන්..

  1. තමා වැරදි වීමේ සම්භාවිතාවය 0% යි.

මේක නම් මාරම ඉන්ට්‍රස්ටින්ග් කතාවක්. බෞද්ධයන් කොහොමද දන්නෑ. මම දන්න කතෝලිකයන් නම් එකෙක් නෑර මේ කතාව කියනව (දෙවියො අහන් ඉන්නව කියල හිතන නිසා බයද දන්නෑ ). තමාගේ මේ නිවැරදිභාවය ගැන තියෙන අධිතක්සේරුව නිසයි මේ ගොඩක් අය කුමන තර්කයක්, සාක්ෂියක් ඉදිරියේවත් නොසැලී ගොනා සේ තමන්ගේ ඒ ආගමික විශ්වාසයේම එල්බගෙන ඉන්නෙ.

කිසිම කාරණයක් ගැන, කිසිම කාරණයක් ගැන 100%ක තහවුරුවීමෙන් ඉන්න එක නුවණට හුරු නෑ. කොටින්ම අපි දකින ලෝකය සැබවින්ම පවතිනවා, කියන එකවත් 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාරණා එහෙම තියෙද්දි, ඔය වගේ අධිමාන්නික කතා කියන එක නම් මේ වගේ මාතෘකා සම්බන්ධව ගන්න පුළුවන් බුද්ධිමත් ප්‍රවේශයක් නෙමෙයි.

ඔය ගැන මම මගේ මිත්‍රයාට කිව්වේ මේ කතාව.

“හිතපන් උඹ කම්පැනියක වගකීමක් දරන තනතුරක ඉන්න එකෙක් කියල. මොකක් හරි වැදගත් තීරණයක් ගැනීමේ අරමුණින් උඹලගෙ බොර්ඩ් මීටිමක් තියෙනවා කියල හිතපන්. එතනදි කට්ටියම සාක්ෂි, දත්ත, වාර්තා අරගෙන ඒ ඒ කෙනා තමන්ගෙ මතය, හොඳම අදහස කියන්න බලාගෙන මීටිමට ඇවිල්ල ඉද්දි, උඹ මීටිම පටන් ගද්දිම කියනවා නම් “මම මේ ගැන හිතන්නෙ මේකයි.. ඕගොල්ලො ගේන කිසිම දත්ත වාර්තාවකට, කිසිම තර්කයකට, කිසිම සාක්ෂියකට මගෙ අදහස වෙනස් කරන්න බෑ..මම හරි කියල මට 100%ක් ෂුවර්”

.. කියල.. උඹව මොන විදියට අනෙක් අයට පෙනෙයිද කියල හිතපන්.. දැන් මේ මොහොතෙ මට උඹව පේන්නෙත් ඒ විදියටමයි..” කියල.

**

ආගම් අදහන්නෝ ආගම් වල සත්‍යයතාව/ප්‍රයෝජ්‍යයත්වයට හේතු සාධක ඉදිරිපත් කරන එක හැබෑව. ඒ, ඒ අය හේතුවක් රහිතව යමක් පිළිගන්න මෝඩයෝ බව පිළිගත්තොත් ඒ අයට සැනසිල්ලෙ රෑට නින්දට යන්න බැරි නිසා. ඒ අය ඒ නිසා ඒ විශ්වාස වලට හේතු දෙනවා. ඒ හේතු ගොඩක් වෙලාවට make sense නැති එක වෙනම කතාවක්.

අපේ පැවැත්ම, අපේ ජීවිත වල යථාර්තය කොච්චර ඛේදජනක තිත්ත යථාර්තයක්ද කියන එකට මනුස්ස සංහතියෙන් අතිමහත් බහුතරයක් ඒ යථාර්තයට මූණ දීගන්න ශක්තියක් නැතුව එක එක විකාර ෆැන්ටසි හදාගෙන ඉන්න එක තරම් තවත් සාක්ෂියක් උවමනා නෑ.

කොහොම හරි මේ පෝස්ට් එකත් එක්ක දාන්න ෆොටෝ එකක් හොයද්දි කාලෙකට කලින් ෆෝන් එකේ සේව් කරගත්ත ෆොටෝ එකක් හම්බුනා.

මෙච්චර දිගට ලිව්ව සටහන එක මොහොතෙන් ඒ ෆොටෝ එකෙන් නිරූපනය වෙනවා.

ඔය ෆොටෝ එක තමයි තමයි මම මෙච්චර අමාරුවෙන් කියන්න හදපු ආගමිකයාගේ ඇදහිල්ලේ සාරාංශය.. ! 😀
.
.
.
— ජේමිස් බණ්ඩා

ප/ලි –

  1. ආගම් ඇතිවිමට සහ මෙපමණ කල් පැවතීමට මෙහි සඳහන් කරුණු වලට අමතරව පරිනාමික, සමාජීය, දේශපාලනික, මනෝමූලික කාරණා සහ හේතු අටෝරාසියක් ඇත. ඒ සියල්ල ගැන එක සටහනකින් කතා කිරීම කල නොහැක්කකි. මේ සටහනින් කතා කලේ මේ මාතෘකාවේ තෝරාගත් කාරණා කිහිපයක් පමණි.

  2. සටහනේ සඳහන් ගැබිණි මවකගේ උදරය කඩුවෙක් කැපීම වැනි ම්ලේච්ඡ උදාහරනයක් ගෙන ඒ ප්‍රශ්න මම මගේ මිතුරාගෙන් ඇසුවේ ඇයිදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. මා ඒ ප්‍රශ්නය ඇසුවේ බයිබලයේ පැරණි ගිවිසුමේ එවන් පාඨයක් ඇති නිසාවෙනි. එපමණක් නොව ඊටත් වඩා ම්ලේච්ඡ දේ බයිබලයේ සහ කුරානයේ ඇත. මුන් මුන්ගේ ශුද්ධවූ ග්‍රන්ථ කියවන්නේ නැත්තේ හොඳ වෙලාවටය.

  3. බයිබලයට අනුව අතීතයේ එක්තරා දිනයකදී මුළු ලොවම ජලයෙන් යට වී එක පවුලක් හැර මිනිසුන් සියල්ල දෙවියන්වහන්සේ විසින් ඝාතනය කල බවත්, ඒ නැවට ලොව ජීවත් වූ සියලුම සතුන් වර්ග ජෝඩුව බැගින් ගොඩ වූ නිසා සතුන් බේරුනු බවත් සඳහන්ය.

  4. එසේම බයිබලයට අනුව විශ්වයේ වයස අවුරුදු 6000ත් 10,000ත් අතර වේ.