දරු කට්ට කෑම සහ දරුවන්ට කට්ට දීම

පාසැල් කාලයේ යාලු මිත්‍රයන් යුවලක් කාලයකට පසු අහම්බෙන් මුණගැසුනි.

කතාබහ අරඹා සුළු මොහොතකින්ම අනෙක් හැම අලුත් දෙමාපියන් යුවලක් වාගේම ඔවුන්ද කතා කිරීමට පටන් ගත්තේ තම දරුවන් ගැනයි.

පළමු දරුවාට අවුරුදු තුනයිලු. දෙවන දරුවාට මාස ගාණක්ලු. සතියේ දවස් හතට අමතරව තව දවසක් තිබ්බා නම් හොඳයි කියා හිතෙනවාලු. ජීවිතේ හරිම කාර්යබහුලයිලු. අපිට අපි ගැන බලන්න වෙලාවක් නැහැලු.

මෑතකදී දෙමාපියන් බවට පත් වුන මගේ මිතුරු මිතුරියන් සමඟ කතා බහ කරන විට, තමන්ගේ කුඩා දරුවන් රැකබලා ගැනීමට වීම නිසා ඔවුන්ගේ ජීවිත කෙතරම් දුෂ්කර වෙලාද කියාත් නිවසට ගිය විට කරන්නට ඇති වැඩ කන්දරාව ගැන විස්තරාත්මකව විග්‍රහ කිරීමටත් ඔවුන් මහත් කැමැත්තක් දක්වන බව දැක ඇත්තෙමි.

මා සමඟ පමණක් නොව, එකිනෙකා සමඟ සාමාන්‍යය සතුටු සාමිචියේ යෙදීමේදීද මේ “දරු කට්ට” ගැන ඔවුන් කතාබහ කරනු මම අසා ඇත්තෙමි.

ඔවුන් ඒ කතා කියන්නේ හරියට, කවුරුන් හෝ මහ රාත්‍රියක ඔවුන්ගේ නිවසට පැමිණ, තුවක්කුවක් පෙන්වා තර්ජනය කොට, දරුවෙක් බලෙන් ඔවුන්ගේ අතේ තබා ගිහින්, දැන් ඒ දරුවා ගැන ඔවුන් හරියට කටයුතු කරනවාදැයි හොරෙන් හොරෙන් ඔත්තු බලනවා වාගේය කියා විටෙක මට සිතේ. කතාව හරියට දරුවා බිහිකිරීමේ නොකිරීමේ කාර්‍යේදී ඔවුන්ට කිසිම තේරීමක් තිබුනේ නැත්තා සේය.

මේ කතාබහ අස්සේ මා දකිනා අමුතුම දේ නම්, ඔවුන් මේ කතා කියන්නේ හරිම උනන්දුවෙන් වීමය. හරිම ආඩම්බරෙන් වීමය. හරියට ඔවුන් තමන් පිට තමන්ම පටවාගත් මේ ප්‍රශ්න කන්ද ගැන සතුටු වනවා වාගේය. සමහර විට ඔවුන්, ඔවුන්ගේ ජීවිතයේ අනෙක් සෑම අංශයක්ම ගැන මවාපානවා මෙන්, ඒ සතුටද මවාපානවා විය හැක. නැත්නම් තමා ඒ බර දැරීම ගැන සතුටු වනවාය කියා ඔවුන් ඔවුන්වම රවටා ගනිමින්, අනෙක් අයවද රවටනවා විය හැක. එක්කෝ, දරුවන් උස් මහත් කිරීමේ මේ මහා අපහසු කරත්ව්‍යයට අත ගසා සිටින බව අනෙක් අයට කීමෙන්, ඔවුන් වඩා වගකිවයුතු පුද්ගලයන් බවට පත් වී ඇති බව අන් අයට හඟවා තෘප්තියක් ලබනවා වන්නටත් බැරි නැත.

එවැනි කතාබහ අතරතුරේදී, “තමා ගැන බලාකියා ගත නොහැකි දරුවෙක් මෙලොවට ගේන්න තීරණය කල වේලේ ඔබලා බලාපොරොත්තු වුනේ මොකක්ද එහෙනම්? මීට වඩා වෙනස් තත්වයක්ද? ” වැනි ප්‍රශ්න ඇසිය නොහැක. ඒ වෙනුවට ඔබට කිරීමට සිදුවන්නේ මෝඩයෙකු සේ සිනාසිසී ඔවුන්ගේ කතා වලට ඔලුව වනමින් පහත ආකාරයේ ප්‍රතිචාර දැක්වීමය.

“හා ඇත්තම ද?”

“හානේ…”

“ඇත්තටම?”

“ඉහි..හිහි..හිහි”

මිනිසුන් තම ජීවිතය කෙතරම් දුෂ්කරද කියා අන් අයට පැවසීමෙන්
මහත් සතුටක් ලබයි. ඔවුන් ඒ සියලු දුෂ්කරතා කරදර කාගෙන තමන් පරිපූර්ණ ආදරණීය පවුල් ජීවිතයක් ගෙවනා අයුරු අන් අයට දැන්වීමට මහත් ප්‍රියතාවයක් දක්වයි.

නමුත් එතරම් පට්ටපල් කෙබරයක් තවත් නැත!

ඔවුන් කියනා ඒ ආදරණීය සදාදරණිය සතුටුදායක පවුල් ජීවිත ගැන කතා පට්ටපල් බොරු බව ඒ කතා කියන ඔවුනුත් දනියි. ඒ කතා අහන් ඉන්න අපත් දනියි. ඒ කතා අහන් ඉන්නා අප ඒ කතා බොරු බව දන්නා බව ඒ කතා කියන ඔවුනුත් දනියි.

කාරණා එසේ වුවත් බාගයක් දෙනා මුග්ධ නරුමයන් සේ බොරු කියති. අනෙක් බාගය මුග්ධ නරුමයන් සේ විරිත්තමින් ඒ බොරු අසා සිටිති.

ජීවත් වීම යනු එයලු. තමන් අම්බානට සතුටින් ඉන්න බව අනෙක් අයට පෙන්වීමට අම්බානට දුක්විඳීමලු.

අපි එකිනෙකා අප කොතරම් සතුටින් ඉන්නවාද කියා එකිනෙකාට ප්‍රදර්ශනය කරන්නට කොච්චර දතකනවාද කියනවා නම්, අපේ සතුටු දායක බවේ ඒ ව්‍යාජ මායාවම අපේ ජීවිත වල ලොකුම ඛේදය බවට පත් වී තිබේ.


ජීවිතය දඬුවමකි. ජීවිතය අරගලයකි. කොහොමත් කට්ටක් වූ ජීවිතයට විහින් තවත් බර පටවා ගැනීමේ වගකීම ඔබ සතුය. මෙහිදී තව කාරණයක් කිව යුතුය. මෙපමණ දඬුවමක් වූ ජීවිතය තවත් කෙනෙක් මත පැටවීම නම් මමත්වයෙන් පිරි ආත්මාර්ථකාමී ක්‍රියාව ඔබ කරන්නේ නම්, එය ඒ බිහිවන කෙනාට දිය හැකි ලොකුම දඬුවම බව දැනගෙන ඒ දේ කරන්න.

මේ ගැන ලියාගෙන යන විට තවත් අත්දැකීමක් සිහිවේ.

පවුලේ මිතුරියකට දරුවෙක් ඉපදුන වෙලාවේ දරුවා බලන්නට යන්න සිදුවුනි. එදා අප එහි ගිය වෙලේ, ඇයව බැලීමට ඇගේ තව මිතුරියක් පැමිණ සිටියාය. ඇය දරුවා සුරතල් කල ආකාරය ඒ අයුරින්ම මගේ මතකයේ තවම සටහන්ව ඇත.

“අනේ පුතේ.. තලහද මා එක්ක පුතාව බලන්න එන්න පරක්කු වුනාට… වැඩනෙ පුතේ.. උදේ ඉඳන් වැඩ පුතේ.. හවස් වෙනකල්ම වැඩ.. කරුමයක් පුතේ ජීවිතේ.. පුතා ඉක්මනට ලොකු වෙන්න එපා පුතේ… ඔහොමම ඉන්න පුතේ.. ඔහොමම ඉන්න…”

මේවා ගැන කුමක් කියන්නටද කියා මම නොදනිමි.

මම මගේ නූපන් දරුවාට, කිසිදා නොඉපදෙන දරුවාට මහත් සේ ආදරය කරමි. ඔහුව මෙලොවට ගෙන නො එන්නට තරම් මම ඔහුට ආදරය කරමි.

ඒ වගේම දැනටමත් ඉපදුන අහිංසක බිළිඳන්ට අනුකම්පා කරමි. ඔවුන් මත එළඹෙන්නට නියමිත ඒ සතුට සොයා යාමේ අරගලයත්, දුක මඟහරවා ගැනීමේ සටනත් සිහිවන විට ඔවුන් ගැන අවංකවම කණගාටු වෙමි. ඔවුන්ගේ මුග්ධ දෙමව්පියන් ඔවුන්ව මෙලොවට බිහි කිරීමට ගත් ඒ ආත්මාර්ථකාමී තීරණයට සිතින් ද්වේෂ කරමි.

තමන්ගේ දරුවන් මත එළඹෙන්නට නියමිත ඕනෑම දුකකින් ඔවුන්ව ආරක්ෂා කිරීම තම එකම සහ ලොකුම අභිප්‍රාය බව ඕනෑම දෙමාපියෙකු කියයි. එහෙත්, තම දරුවා කිසිම දුකකට පත් නොවන බවටද කිසිම වදවේදනාවකට පත් නොවන බවටද සහතික වීමට කල හැකි එකම සහ ලොකුම දේ ඒ දරුවාව බිහි කිරීමෙන් වැළකීම බව මේ ආත්මාර්ථකාමීන් එකෙක්ටවත් නොතේරෙන හැටි !

ජිවිතය නම් මහා ඇබ්බැහිය.. අවසන් අරමුණක් රහිතව අන්ධකාරයට අතුරුදන් වන දවසක් එනතුරු ඔහේ ගෙවනවාට ගෙවා දුක මඟහරවාගැනීමේ සටනක නියැලෙමින්, සතුට සොයා යාමේ තරඟයක යෙදෙමින් ගත කල යුතු අරගලයක් වන මේ ජීවිතය.. තවත් කෙනෙකු මත පටවන්නේ කුමනාකාරයේ ආත්මාර්ථකාමීත්වයක් නිසාද, කුමනාකාරයේ මමත්වයක් නිසාද, කුමනාකාරයේ හිස්කමක් පුරවා ගැනීමටද කියා මට නම් වැටහෙන්නේ නැත.
.
.
.
— ජේමිස් බණ්ඩා

23 thoughts on “දරු කට්ට කෑම සහ දරුවන්ට කට්ට දීම

  1. හැමෝම ඔහොම හිටහ්න්නේ නැත්නම් හොඳයි. නැත්නම් ඉතින් එතනින්ම ලෝකය ඉවරයිනේ. බුදුහාමුදුරුවෝ කියන්නෙත් එහෙම කතාවක් නේ තමන්ගේ ප්‍රශ්න කෙනෙකුට කියා වින්ද ගැනීම අහිංසක මිනිසුන් කරනා දෙයකි. ඔවුන් එසේ කරමින් ලෝකය ගොඩ අනාගන්නට තැත් කරයි. ගින්දර සොයා තම දරුවන්ට මස් පලහා දුන් පියා හා මව ලෝකය දියුහ් කළෝ වෙති. ඔබ වන්නෙක් සිටියා නම් මස් පලහා නොකා මියය යනු නිසැකය. .

    Like

    • ලෝකය කෙසේ වෙතත් මිනිස් සංහතියේ පැවැත්ම අවසන් විය යුතුයි කියන එකයි මගේ අදහස. ඒක ගොඩක් අය කැමතිවෙන අදහසක් නොවන බව මම නොදන්නවා නෙමේ.

      Like

    • අජිත්, ලෝකය නම් ඉවර වෙන එකක් නැහැ, මනුශ්‍ය සංහතිය නම් ඉවරවෙයි. සමහරවිට ලෝකයට වෙන්න පුලුවන් හොඳම දේ එය විය හැකියි 🙂 නමුත් ඒව හිතලු විතරයි කියා අපි දන්නවනේ.
      නමුත් බන්ඩෙගෙ අදහසේ මෙහෙම පැත්තකුත් තියෙනව නේද? දැන් වැඩිපුර දරුවො හදන්නේ බන්ඩලා වගේ අදහස් තියෙන මිනිස්සු නොවේ. තමන්ගේ ජාතිය, ආගම .. අහවල් එක රැක ගන්න ඔලුගෙඩි වැඩිකරපල්ලා, අනිත් උන්ගේ බෙලි කපපල්ලා කියන ටයිප් එකේ ගෝත්‍රවාදීන් නේ. එතකොට තත්වය ඊටත් වඩා භයානකයි නේද?

      Liked by 1 person

  2. මම ලෝකය ඉවරයි කීවේ භෞතික ලෝකයේ අවසානය නොවේ. මනුෂ්‍ය ,ලෝකයේ අවසානය. (එහෙම හිතුවොත්) හැබැයි පරිණාමය විසින් ආයේ තවත් ඒ වගේ ජිවියෙක්ව නිපදවයි. හැබැයි දරුවෙකු හැදීම බණ්ඩා කියන විධිහේ ආත්මාර්ථකාමී ක්‍රියාවක් නොවේ. එය ලෝකයේ අතිශයින්ම පරාර්ථකාමී ක්‍රියාවයි. හමන්ට සෙක්ස් කරල් සනසේනන් තියෙන වෙලාව ඇරලා , හොලිඩේ යන්න තියන ඒවා නැති කරලා, වැඩිපුර වැඩ කරල් කරන දෙයක් ඕක. සමාජවාදී සමාජයක නම් ඊට වැඩිය ටිකක් ලෙහෙසියි. සමාජවාදී සමාජයක ළමයි හදන එකේ පුදුම ලෙහෙසියක් තියෙන්නේ දැන් කල්පනා කරලා බැලුවහම. මොන හේතුවෙන් හරි බණ්ඩා කියන්නේ අමුම ආත්මාර්ථකාමී අදහසක්. ළමයි නැති මගේ යහළුවෝ හුඟක් අය එහෙම කරන්නේ තව සැප විඳින්න තියන ආසාවට. මම පරක්කු වෙලා බැන්දෙත් එනිසා. හැබැයි ළමයි දෙන්න මම ලබපු හොඳම වටිනාම දෙයක්. මට ඒ ළමයි දෙන්න එඡාර අමාරුවෙන් බිහි කරාට ලෝකෙට මම මගේ බිරිඳට පුදුම ආදරෙයි.

    Like

    • අජිත්ගේ විවේචනයේ අඩුපාඩු වලට වගකිව යුත්තේ අජිත් නොවේ, මමයි. මොකද මම මගේ මේ සටහනින් මේ ගැන මගේ අදහස හරිහැටි ඉදිරිපත් කරලා නැහැ. මම මේක මුහුණු පොතේ පළකිරීමේ අරමුණින් ලියූ සටහනක්. මුහුණු පොතේ කාලයක් පුරා මම මේ ගැන ලියා තිබෙන නිසා මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්නා අයට මේ මාතෘකාව ගැන මගේ මතය පිළිබඳව අදහසක් තිබෙනවා. ඒ අය ඉලක්ක කරලා ලියූ මේ ලිපිය අජිත් කියෙව්වාම මගේ මතය ගැන වෙනස් තේරුමක් ගෙන විවේචනය කිරීම සාධාරණයි. ඒ ගැන කණගාටුව පළකරමින් හැකි තරම් කෙටියෙන් මම මේ සටහනෙන් නොකිව්ව, මේ මාතෘකාව ගැන මගේ අදහස කෙටියෙන් කියන්නම්.

      ඊට කලින් එක කාරණයක් සඳහන් කරන්න ඕන. මේ සටහනේ මුල් කොටසින් මම කරල තියෙන්නේ, සිය කැමැත්තෙන් තමන්ගේ උවමනාවට දරුවන් මෙලොවට බිහි කර, ඉන්පසු ඒ බිහිවූ දරුවන් නිසා තමන්ගේ ජීවිත වල ඇති වූ වෙනස්කම් ගැන complain කරන අය පිළිබඳව අදහසක්. “මෙහෙම වෙනසක් වෙන බව නොදැනද උඹලා ළමයි හැදුවේ?” වගේ ප්‍රශ්නයකුයි මම සටහනෙ මුල් කොටසින් නඟන්නේ. ඒක දැන් පැහැදිලි නම් සටහනේ දෙවන කොටසින් කතා කරන දේ විස්තර කරන්නම්.


      දරුවන් බිහිකිරීම සදාචාත්මකද නැද්ද? කියන ප්‍රශ්නය ගැනයි මම සෑහෙන කාලයක් පුරා කතා කරන්නේ ලියන්නේ. එතනදි දරුවන් බිහි කිරීම ආත්මාර්ථකාමී ක්‍රියාවක් කියන්නේ මේ පහත අර්ථයෙන්.

      දරුවෙක් බිහි කිරීමට හේතු වන ඕනෑම හේතුවක් ගැන ඕනෑම කෙනෙක්ගෙන් අහන්න. ලැබෙන්නේ මොන වගේ උත්තරද? ඒ හැම උත්තරයක්ම පටන් ගන්නේ “මට ඕනෙ මගෙ දරුවා.. මම ආසයි මගෙ දරුවා.. මගෙ හීනෙ මගෙ දරුවා..” වගේ “මම” ගැන කතාවකින්. එතනදි පැහැදිළි වෙනවා ඕනම කෙනෙක් දරුවෙක් බිහි කරන්න මුල් වෙන්නේ තමන්ගේ self interest එක උදෙසා කියන කාරණය. ඒ පොයින්ට් එක හරිනෙ..?

      ඒ විදියට ‘තමන්ගේ උවමනාවක් ඉටුකරගැනීම උදෙසා’ ජීවිතයක් නිර්මාණය කිරීමෙන් දහසකුත් එකක් දුක් වේදනා විඳීමට ඉඩක්, අවධානමක් ඇති ලොවකට දරුවෙක් ගේනවා. එතනදි ඒ බිහි කරනා ජීවිතයේ well being එක ගැන අවධානමක් ගැනීමක් දෙමාපියන් කරන්නේ.

      “මේ දරුවා උපදිද්දිම ලෙඩක්, අතක් පයක් අහිමිව උපදියිද?”
      “තමන්ට ජානමය වශයෙන් උරුම වූ ලෙඩක් මේ දරුවාටත් හිමි වෙයිද?”
      “මේ දරුවා කවදා හෝ මොන අනතුරට, මොන අභාග්‍යයට මූණ දෙයිද”

      වගේ කාරණා ගැන, සියල්ල හොඳින් වේවි, කියා උපකල්පනය කරමින් සූදු කෙළීමක් දෙමාපියන් කරන්නේ.

      බිහි නොවූ දරුවා කිසිම ආකාරයක දුකකට, වේදනාවකට, අනතුරුකට උරුමකම් කියන්නෙ නෑ. ඒ ගැන සහතිකයි. බිහි වන දරුවා ගැන එහෙම සහතිකයක් නෑ. ඇත්තම කියනවා නම් තියෙන එකම සහතිකය, නැවත කියන්නම් ‘එකම’ සහතිකය තමා, ඒ දරුවා කවදා හෝ මියයනවා කියන එක. ඒ මියයන්නේ ලෙඩ ඇඳක දවසක්, දෙකක්, සතියක්, අවුරුද්දක්, අවුරුදු දහයක් ඉඳලද? මහ පාන්දර හදිසි අනතුරකට මුහුණ දී අතපය හතර කැඩී කාණුවක වැටී ලේ ගොස්ද? ක්ෂණයකින් මියයාමක්ද? නින්දේදී මියයාමක්ද..? ඔය කිසි දෙයක් අපි දන්නේ නෑ. ඔන්න ඕකයි “ජීවිතයේ” තත්වය. ජීවිතයේ යථාර්තය.

      එතනටයි මෙලොවට බිහි කරන දරුවන්ව අපි තල්ලු කරන්නේ. ඒකයි මම ප්‍රශ්න කරන්නේ. තමන්ගේ ‘උවමනාවකට’ දුක විඳිය හැකි තැනක නැති, පැවැත්ම විසින් නිර්මාණය කිරීම සතුට සොයායෑමේ ‘අවශ්‍යයතාවය’ නැති දරුවෙක් එතනට තල්ලු කිරීමයි මම ප්‍රශ්න කරන්නේ.


      කෙනෙක්ට දරුවන් බිහි නොකිරීමට හේතු ඕන තරම් තියෙන්න පුළුවන්. කඳු නැගීම, ට්‍රිප් යන්න තියෙන ආසාව, ජොලි කරන්න තියෙන ආසාව, ආර්ථික ප්‍රශ්න වගේ. ඒවා සියල්ල වෙනම කතාවක්. ඒ ප්‍රායෝගික කැමති අකමැතිකම් ගැන නෙමේ මම කතා කරන්නේ. දරුවන් බිහි කිරීම කියන ක්‍රියාව ගැන දාර්ශනික කතිකාවතකුයි මම ඇති කරන්න උත්සාහ කරන්නේ

      ප/ලි – මෙය ගොඩක් සංවේදී වෙන්න පුළුවන් ගොඩක් අයට. එනිසා මේ ගැන කතාකරද්දි ඒ හැඟීම් පොඩ්ඩක් පැත්තක තියලා, පුද්ගලිකව මේක නොගෙන, බුද්ධිමය සංවාදයක් විදියට මේක ගෙනියන්න පුළුවන් නම් මේ කතාබහ වඩා සාර්ථක වෙයි.

      (ප්‍රතිචාරය පමා වීම ගැන සමාවෙන්න 🙂 )

      Like

  3. කාලෙකට පස්සේ interesting ලිපියක්. මේ ලිපිය සහ දැනට ලියා ඇති කොමෙන්ටු දැක්කහම මට මෙහෙම හිතෙනවා. මේ බණ්ඩා කියන දෙය “දරැ කට්ටෙන්” එහාට ගිය කාරණයක් සහ ලoකාවට ආවේණික හැසිරීමක්. ලoකාවේ බොහෝ මිනිස්සු පෙලෙන පෞරැෂහීන තත්වය මත (කුඩා කල සිට සිදුවන කායික, මානසික, වාචික abuses නිසා, remember many abusive behaviors are normalized in Sri Lanka) තම පාසැල, රැකියාව, විවාහය, වාහනය, දරැවන් ආදිය අනිත් අය සමඟ සන්සන්දනය කොට තමන්ම ලකුණු දමාගෙන අනිකාට වඩා ලකුණු වැඩිනම් (නමුත් ජීවිතයේ සතුටක් සැනසීමක් නැත, එයට ලකුණු හිමි නොවේ, මොකද එය tangible නෑනෙ, ලoකාවේ බොහෝ මිනිස්සු ජීවත් වන්නේ අනිත් අයට පේන්න නිසා non-tangible things වැදගත් නැත) යම් මානසික වින්දනයක් ලබති. අනිකාට වඩා ලකුණු අඩුනම් අනිකාට ඉරිසියා කර කෙලවීමට බලති. දරැවන් මෙම mental game එකේ එක තුරැම්පුවක් පමණි. බණ්ඩා කියා ඇති පරිදි තම දරැවන් අනුන්ගේ (විශේෂයෙන් කසාදය පරක්කු වූ හෝ දරැවන් නැතිව දුක්වන අයගේ) “මූණේ අතුල්ලා” මාර ෆන් එකක් මෙම අය ගනී. මම ඉන්න ඇමරිකාවේ බොහෝ දෙමාපියන් (මමද ඇතුලු) දරැවන් ගැන අනවශ්‍ය විස්තර අනවශ්‍ය වේලාවල අනවශ්‍ය අය සමඟ කියන්නට යන්නේ නැත. දරැවන් නොහදන්නන්/කසාද නොබඳින්නන් judge කරන්නේද නැත. අජිත් කියන ලෙස දරැවන් නොහදන්නන් ආත්මාර්ථකාමීන් නොවේ, ලෝකයට ඉතාම පරාරථකාමීව සේවය කල කොතරම් මිනිසුන් ගණනක් ඒ අතර වෙත්ද, අබ්දුල් කලාම්, mother තෙරේසා, නිකොලා ටෙස්ලා වගේ ප්‍රසිද්ධ අය වගේම අප අතර ඉන්න යහපත් මිනිස්සු කොපමණ දෙනෙක් ඒ අතර වෙත්ද. අනිත් අතට දරැවෙකු හැදීම ලෝකයේ පරාර්ථකාමීම වැඩේ නොවේ,particularly දරැවා තමන්ගේ biological child නම්, මොකද එතන තියෙන්නෙ මගේ ජාන ඉදිරියට ගෙනියනවා කියන අමුම අමු ආත්මාර්ථකාමී ස්වභාවික නැමියාව. මේ ලිපිය කියවද්දි idiocracy චිත්‍රපටය මතක් උනා 🙂

    Like

    • මම කිව්වේ ආත්මාර්ථකාමී ලෙස අදරුවන නොහදන අය ගැන මිසක් මදර් තෙරේසල ගැන නොවේ. මම කිවේ එහම් මගේ යහළුවෝ සිටිනවා. අබ්දුල කලාම් ට හෝ මදර් තෙරෙසාට එහෙම වෙන්න හේතු තියනවා. එක්කෝ ආගම නැත්නම් වෙනයම් හේතුවක්. බටහිර ගොඩක් මිනිස්සු ළමයි හදන්නේ නැත්තේ ආත්මාර්ථකාමී කම් නිසා හෝ මුදල් පිලිබඳ හිතල. අපි ළමයි දෙන්නෙක් හැදුවේ මුදල් පිළිබඳවත් හිතල. එතනත් පොඩි ආත්මාර්ථකාමී බවක් තියනවා. අනික අපි මෙහෙ (ඔයා ඉන්නේ මෙරිකාවේ නම් ) මම ඉන්නේ එංගලන්තේ දරුවෝ හදන්නේ පරම්පරාව ගෙනි යන්න වත් (මට දූලා දෙන්නෙක් ඉන්නේ) නාකි වුනහම බලන්න වත් නෙමේ. නමුත් ලංකාවේ සුභ සාධන සමාජයක් නැති නිසා දෙමාපියෝ එහෙම අපේක්ෂා කරන එක සාධාරණයි. මගේ අම්මට මම තවම් සලකනවා. මාව මේ ලෝකෙට ගෙනාවට , හැදුවට මේ ජිවිත වීමේ සිට මට දුන්නට . බණ්ඩා සමහරවිට අම්මට බනිනවා ඇති මොකට මේ ලෝකෙට ගේනවද කියල? ඔයත් බනිනවද

      Like

    • Sri lankan-African Angel – අජිත්ගේ උඩ කමෙන්ටුවට මම රිප්ලයි කලා. ඒක කියෙව්වොත් මේ ගැන මගේ මතය ගැන යම් අදහසක් ගත හැකි වේවි.

      අජිත් – මම මාව බිහි කිරීම ගැන මගේ අම්මාට බනින්නේ නැහැ. දැන් ඉපදිලා ඉන්න, ජීවිතය කියන ඇබ්බැහියට ඇබ්බැහි වෙලා ඉන්න මට, මම නැති තත්වයක් ගැන ඉමැජින් කරන්න බෑ. ඒක කිසි කෙනෙකුට කල නොහැකි දෙයක්. මේක දැනට ඉපදුන අය ගැන කතාවක් නෙමේ. දැනටමත් ඉපදිලා ඉන්න අය දැනට නූපන් දරුවන් මෙලොවට ගෙන ඒම ගැන කතාවක්.

      Like

  4. තවත් එකක්. සාමාන්‍යයෙන් කියන්න අකමැති වුනත් තර්කය සඳහා ගන්නේ. අපි චැරිටි කරන්නේ ඇයි ළමයි වෙනුවෙන් . පොත් අරන් දෙන්නේ , අධ්‍යාපනයට උදව් කරන්නේ , ජිවත් වෙන්න සල්ලි දෙන්නේ ඇයි ? අපේ ළමයි පමණක් ගැන සිතන නිසාද ? තව කෙනෙක් ගේ ළමයි නුත් හැදිලා ලෝකයට වැඩක් වෙයි කියන බල පොරොත්තුවෙන්. මම බුද්ධාගමේ හැම දේම අත හැරලා තපසට යන ධර්මය පිලි ගන්න කෙනෙක් නෙමේ.

    Like

    • අජිත් ඔබට ස්තූතියි පිළිතුරට. ඔබේ පිළිතුරේ වාක්‍ය එක එක අරන් බලමු.

      //මම කිව්වේ ආත්මාර්ථකාමී ලෙස අදරුවන නොහදන අය ගැන මිසක් මදර් තෙරේසල ගැන නොවේ.මම කිවේ එහම් මගේ යහළුවෝ සිටිනවා. //- බොහොම හොඳයි. එකඟයි. සමාවෙන්න.

      //අබ්දුල කලාම් ට හෝ මදර් තෙරෙසාට එහෙම වෙන්න හේතු තියනවා. එක්කෝ ආගම නැත්නම් වෙනයම් හේතුවක්.//- ඔව්, වෙන්න ඇති, ඉතින් ඒක මේ කතාවට අදාළ වෙන්නෙ කොහොමද?

      //බටහිර ගොඩක් මිනිස්සු ළමයි හදන්නේ නැත්තේ ආත්මාර්ථකාමී කම් නිසා හෝ මුදල් පිලිබඳ හිතල.//- මේක ඔයාගෙ පෞද්ගලික අදහසක්. මගේ අදහස ඊට වෙනස්. මුදල් පිළිබඳ හිතල තියෙන මුදල් ප්‍රමානයෙන් ළමයෙක්ට සුවපහසුවට ජීවත් කරවන්න බැරි නිසා ළමයෙක් නොසෑදීම ආත්මාර්ථකාමීද? කිසිම සුවපහසුවක් දෙන්න බැරිව ළමයි හද හද යාම පරාර්ථකාමීද?

      //අනික අපි මෙහෙ (ඔයා ඉන්නේ මෙරිකාවේ නම් ) මම ඉන්නේ එංගලන්තේ //- මම ඇමරිකාවේ ඉන්න බව කිව්වේ මම කියන දේ (බොහෝ දෙමාපියන් (මමද ඇතුලු) දරැවන් ගැන අනවශ්‍ය විස්තර අනවශ්‍ය වේලාවල අනවශ්‍ය අය සමඟ කියන්නට යන්නේ නැත. දරැවන් නොහදන්නන්/කසාද නොබඳින්නන් judge කරන්නේද නැත.) මොන රටක සිදුවන දෙයක්ද යන්න කියන්නටයි.

      //දරුවෝ හදන්නේ පරම්පරාව ගෙනි යන්න වත් (මට දූලා දෙන්නෙක් ඉන්නේ) නාකි වුනහම බලන්න වත් නෙමේ. නමුත් ලංකාවේ සුභ සාධන සමාජයක් නැති නිසා දෙමාපියෝ එහෙම අපේක්ෂා කරන එක සාධාරණයි. මගේ අම්මට මම තවම් සලකනවා. මාව මේ ලෝකෙට ගෙනාවට , හැදුවට මේ ජිවිත වීමේ සිට මට දුන්නට //-සමාවෙන්න, මේ විස්තර අපගේ මූලික සoවාදයට ඒ තරම් අදාළ නෑ.

      //බණ්ඩා සමහරවිට අම්මට බනිනවා ඇති මොකට මේ ලෝකෙට ගේනවද කියල? ඔයත් බනිනවද//- බොහොම කණගාටුයි බුද්ධිමය සoවාදයක් මඩ ගැසීමට යොදා ගැනීම ගැන.

      //අපි චැරිටි කරන්නේ ඇයි ළමයි වෙනුවෙන් . පොත් අරන් දෙන්නේ , අධ්‍යාපනයට උදව් කරන්නේ , ජිවත් වෙන්න සල්ලි දෙන්නේ ඇයි ? අපේ ළමයි පමණක් ගැන සිතන නිසාද ? තව කෙනෙක් ගේ ළමයි නුත් හැදිලා ලෝකයට වැඩක් වෙයි කියන බල පොරොත්තුවෙන්.//-අපිත් චැරිටි කරන්නේ එහෙමයි. ඒ චැරිටි වලදී අපි කරන කැපකිරීම් සහ තම biological ළමයි වෙනුවෙන් අපි කරන කැපකිරීම් අතර ලොකු වෙනසක් තියනවනේ. ඔයාගෙම වචන වලින් “හමන්ට සෙක්ස් කරල් සනසේනන් තියෙන වෙලාව ඇරලා , හොලිඩේ යන්න තියන ඒවා නැති කරලා, වැඩිපුර වැඩ කරල් කරන දෙයක් ඕක.” (ඕක=biological ළමයි සෑදීම) අනුන්ගේ ළමයින්ට පොත් අරන් දුන්නාට, අධ්‍යාපනයට උදව් කලාට , ජිවත් වෙන්න සල්ලි දුන්නාට තමන්ගෙ ළමයින්ට කරන කැපකිරීම් වලට සාපේක්‍ෂව මේවා නොගිනියහැකි තරම් පොඩියි. ඒකයි මම කිව්වේ එතන තියෙන්නෙ මගේ ජාන ඉදිරියට ගෙනියනවා කියන අමුම අමු ආත්මාර්ථකාමී ස්වභාවික නැමියාව කියලා .

      Like

    • Ajith – දැනට ඉපදුන ළමයින්ගේ යහපැවැත්ම ගැන සිතීම හොඳක් කියන කාරණයෙන් මගේ තර්කයට කිසිම අභියෝගයක් එල්ල වෙන්නේ නෑ. කොටින්ම මම කියන හේතූන් නිසා දරුවන් බිහි නොකරන සමහරුන්, දැනට බිහි වෙලා ඉන්න අනාථ දරුවන් ගන්නවා හදාගන්න. ඒ අයගේ යහපැවැත්ම ගැන තියෙන උවමනාව නිසා.

      Like

  5. බොහොම කණගාටුයි ඒ වගේ කතාවක් මඩක් ලෙස ගැනීම ගැන . ජාන ඉදිරියට ගෙනියාම වේවා හෝ නොවේවා ළමයි හැදීම සමාජය හා ලෝකය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දෙයක්. ඒක ආත්මාර්ථකාමී කියල ගන්න අය මේ ලෝකේ ජිඔවත් වන්නේ ඇයි කියන එක මට නම් ප්‍රශ්නයක්. හුඟක් වෙලාවට තපසට යන්නේ එහෙම අය වෙන්න ඇති. මම නම් ඔයවගේ කියන පවුල් ගැන අනුකම්පා අක්රනවා. ඒ ගොල්ලන්ට අමාරුනම් උපදේශයක් වත් දෙනවා වෙලාව හදා ගන්න හැටි ගැන හෙම. මෙහම් ලොකු කතා කියන ගොඩක් අය සැබෑ ලෝකෙදි හරිම වෙනස්. අත්දැකීමෙන් ඉගෙන ගත්ත දෙයක් ඒක . විශේෂන්යෙන්ම ලංකාවේ අය . විවේචන බොහොමයි. සමාජවාදය ගැන වෙළදාම ගැන, හියුමන් රයිට්ස් ගැන. නමුත් හමු වෙලා බලනකොට මොකක් හරි වැඩකදී ඔය මුකුත් නැහැ. බණ්ඩා ගේ හුඟක් ලිපි වලට මම කැමතියි. හැබැයි මේ ලිපියේ තියනවා කිසියම් ආත්මාර්ථකාමී විවේචනයක්.

    Like

    • //ඒක ආත්මාර්ථකාමී කියල ගන්න අය මේ ලෝකේ ජිඔවත් වන්නේ ඇයි කියන එක මට නම් ප්‍රශ්නයක්//

      මේ ගැන කතා කරද්දි මට වැඩියෙන්ම එල්ල වෙන ප්‍රශ්නය මේක. මේ ගැන හරියට පැහැදිලි කරන්න නම් වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඉතා කෙටියෙන් කරුණු වශයෙන් කියන්නම් දැනට

      • මේ මාතෘකාවෙන් කරන්නේ නූපන් අය ඉපදවීමේ හොඳ නරක ගැන කතා කිරීම ගැන මිසක දැනට ඉපදුන අය ගැන කතා කිරීම නෙමේ. – ජීවිතය අවසන් කිරීම අජිත් කියන විදියට, ගෙදර ලයිට් බල්බ් එකක ස්විච් එකක් ඕෆ් කරනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජීවිතය අවසන් කරගැනීම ඒ වගේ සරල තැනකට දාලා කතා කරන එකම තේරුමක් නැති දෙයක්. ජීවිතය එන්නේම ජීවිතයට (පැවැත්මට ) තදබල ඇබ්බැහියකුත්, ඒ ජීවිතයේ තියෙන ලොකුම ආවේගය/හැඟීම විදියට මරණ භය වෙන වන විදියටත්. එහෙම ස්වභාවයකින් යුක්ත වූ ජීවිතයක් මෙලොවට නිර්මාණය කරල, “දැන් අකමැති නම් මැරිල පලයන්කො!” වගේ ප්‍රකාශ කරන එකම විකාරයක්.

      අපි ගොඩක් වෙලාවට හිතුවට ජීවිතය සහ මරණය අපට තියෙන චොයිස් එකක් කියල, ගොඩක් වෙලාවට ඒක අපි හිතන ආකාරයට අපේ පාලනයේ තියෙන චොයිස් එකක් නෙමේ. ඒක ඊට එහා ගිය, අපේ පාලනයෙන් එහා තියෙන, අපේ ස්වභාවයෙන් පාලනය වන දෙයක්.

      Like

  6. මට හිතෙන්නෙ අජිත් සහ බන්ඩා මේ කාරනයේ අන්ත දෙකක් ගැන කත කරනව කියල. ලමයි හැදීම/නොහැදීම පරාර්තකාමී ලෙස හෝ ආත්මාර්තකාමී ලෙස කල හැකියි කියලයි මට හිතෙන්නේ.

    ලමයි හැදීම
    ආත්මාර්තකාමී ප්‍රවේශය – පරම්පරාව ගෙනියෑමට, වයසට ගියාම බලා ගැනීමට, අනිත් උන් කරන නිසා, ලෝකෙට පෙනීමට, ආන්ඩුවෙන් ගන්න පුලුවන් උපරිම සහන ගැනීමට etc.
    පරාර්තකාමී ප්‍රවේශය – ලෝකයට වඩා හොඳ මිනිසකු ‘තෑගි’ කිරීම

    ලමයි නොහැදීම
    ආත්මාර්තකාමී ප්‍රවේශය – තමන්ට උපරිම සැප ගැනීම
    පරාර්තකාමී ප්‍රවේශය – දුකින් අවිනිශ්තිතභාවයෙන් පිරුනු ලෝකයකට තව ජීවියෙක් නොගෙනීම

    මූලික වශයෙන් ජීවිතේ ඔනෙම දෙයක වගේම මම යමක් කරන්නේ හෝ නොකරන්නේ මගෙ ස්වාර්තය තකාද අනිකෙකුගේ ස්වාර්තය තකාද කියන එක් උඩ තමයි තීරනය ගන්න තියෙන්නෙ කියලයි මගේ වැටහීම.

    Like

    • නැහැ. ළමයි බිහි කිරීම පරාර්ථකාමීව කරන්න බැහැ. මනුශ්‍යය සංහතියට හෝ සමාජයට හෝ යහපත් මනුස්සයෙක් බිහි කිරීමේ අරමුණින් ළමයෙක් බිහි කලත්, ඒ ක්‍රියාව ‘වෙනත් පාර්ශවයකගේ’ interest එක අරමුණු කරගෙන ළමයාව අවධානමේ දැමීමක්. ඒක කිසිවිටෙකත් පරාර්ථකාමී විදියට දකින්න බැහැ.

      දරුවන් බිහි නොකිරීමට කෙනෙක් තමාගේ self interest එක මත පදනම් වෙලා තීරණය කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මොකද ඔහුගේ ආත්මාර්ථකාමීත්වයෙන් හානියට පත් වෙන්නෙ නෑ ඒ බිහි නොවන ළමයා. ඒ නිසා එතන අවුලක් නෑ.

      Liked by 1 person

  7. නමුත් බණ්ඩා දුකේ අවිනිශ්චිතතාවය නිසා දුකට පත් වෙච්ච දරුවෝ වගේම ඉතා සතුටින් ජීවිත ගත කරන මේ ලෝකයට බිහි කිරීම, බිහි වීම පිළිබඳ ස්තූතිවන්ත වෙන ජීවිතත් මේ ලෝකේ ඉන්නවා. ඔය දුක ගැන හිතෙනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද මේ දුකේ අවිනිශ්චිතතාව රටෙන් රටට සාපේක්ෂයි. මට නම් ලංකාව වගේ රටක ඉපදෙන එක කරුමයක් තමයි. ඒ නිසා මේ රටේදි නම් මං ළමයි හදන් නෑ. නමුත් ජනගහණයෙන් 90% වඩා වැඩි පිරිසක් සතුටින් ජීවිත ගෙවන රටවල් ලෝකෙ තියෙනවා. ඒ නිසා මිනිස්සු දුක කියලා හඳුන ගන්න එක තමන් ජීවත් වෙන පරිසරයට සාපේක්ෂයි.

    Like

    • මේ ප්‍රශ්නයම මගෙන් වෙන තැනක අහපු කෙනෙක්ට දුන්න උත්තරයක් මම කොපි පේස්ට් කරන්නම්. මේ උත්තරේ අඩුපාඩුවක් තියෙනව නම් අහන්න.

      //..දුක කියන එකේ ප්‍රධාන කාර්‍යභාරය කරන්නෙ සිස්ටම් එක කියන එකට එකඟ නෑ. දුක කියන එකේ මූලික කාර්‍යභාරය කරන්නෙ පැවැත්ම (existence). දුක (suffering) කියන එක ගහට පොත්ත වගේම පැවැත්මේ කොටසක්. වඩා හොඳ සිස්ටම් එකක් මඟින් අපට සාපේක්ෂව හොඳ ජීවන තත්වයකට එන්න පුළුවන් කියන එක හරි. ඒත් යූටෝපියානු පර්ෆෙක්ට් සිස්ටම් එකක් කවදාවත් හදන්න බෑ. සහ එහෙම පුළුවන් වුනත් ඒ සිස්ටම් එකෙන් ජීවිතය කියන එක හා සමඟ එන ලෙඩ රෝග, මරණය, කායික මානසික ප්‍රශ්න නැති කරන්න බෑ. තේරුමක් නැති පැවැත්මක් එක්ක මෙච්චර ඔට්ටු වෙන එක make sense වෙන්නෙ උපන් අය ගැන කතා කරද්දි පමණයි. පැවැත්මේ ස්වභාවය සලකා බලද්දි, යුටෝපියනු සිස්ටම් එකකට වුනත් ළමයි බිහි කරන එක make sense වෙන්නෑ..///

      මේ උත්තරේ අඩුපාඩු සහ තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

      Like

    • රිප්ලයි කලාට ස්තූතියි! ම්ම්..ඔව් ඔයා පැහැදිලි කරපු දේට එකඟයි. වයසට යන එක, ලෙඩ වෙන එක කොහෙ හිටියත් පොදුයිනේ. ඒත් දරුවෝ හදන එක සම්බන්දෙන් ඔයා දරන ආකල්පයට විරුද්ධව නැගෙන ඒකට සම්පූර්ණයෙන් එකඟ නොවෙන මොකද්දෝ හැඟීමක් හිතේ තියෙනවා. තර්කයක් නැති මටම පැහැදිලි කරගන්න අමාරු තැනක්. තව කල්පනා කරලා හොයාගන්න ඕන තැනක් ඒක. 😊

      Like

    • පරිනාමිකව දැඩි ලෙස අපට උරුම කරන ලද ඒ ප්‍රෝග්‍රෑමින්ග් එක සහ අපේ ජීවිතය තුළ පැවැත්මට වටිනාකමක් දරුවන් විසින් ලබල දෙන නිසා ඔය වගේ හැඟීමක් එන එක තේරුම් ගන්න පුළුවන්. නමුත් ඉන් කියවෙන්නේ නෑ ඒ හැඟීම හරි බව, සාධාරණ බව 🙂

      Like

  8. ‘මනුශ්‍යය සංහතියට හෝ සමාජයට හෝ යහපත් මනුස්සයෙක් බිහි කිරීමේ අරමුණින් ළමයෙක් බිහි කලත්, ඒ ක්‍රියාව ‘වෙනත් පාර්ශවයකගේ’ interest එක අරමුණු කරගෙන ළමයාව අවධානමේ දැමීමක්’
    මට හිතෙන්නෙ ඒක බහුතර හිතාය බහුතර සුඛාය පිණිස ගන්නා calculated risk එකක් කියලයි.
    ලමයා මෙලොවට ගෙන ඒමෙන් සහ ඔහු/ඇය මෙලොවට පලදායී ජීවියෙක් කිරීමෙන් වෙන වාසිය එහි අනිත් පැත්තට වඩා බරයි කියලයි මට හිතෙන්නේ. (හැබැයි මේ පලදායී ජීවියෙක් කිරීම කියන එකේ තියෙන අමාරුව මම දන්න නිසාම , මම අද දන්න දේ දැනට අවුරුදු 15කට කලින් දැනගෙන හිටියනම් මම බන්ඩගෙ පාරෙම යන්න ඉඩ තිබුන)
    හිතන්න අද අපි ජීවත්වෙන ලෝකය වඩා හොඳ තත්වෙකට ගේන්න උදව් උනු මිනිස්සු නොහිටියානම් (හෙවත් ඒ මිනිස්සුන්ගෙ දෙමව්පියන් බන්ඩගෙ තීරනය ගත්තනම්) මොන වගේ වෙයිද? “මෙලොව වඩාත් භයානක නරක මිනිස්සුන්ගේ ඝෝශාව නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි”

    Like

    • මගේ තර්කයම එහෙමමනෙ බං. දෙමාපියන්ගෙ interest එක වෙනුවෙන් දරුවෙක් බිහි කරල දරුවාව අවධානමේ දැමීමත්, තෙවන පාර්ශවයක (සමාජය/ලෝකය) interest එක වෙනුවෙන් දරුවෙක් බිහි කරල අවධානමේ දැම්මත් වෙනසක් නෑ. ලෝකය වෙනස් කරන්න දරුවො ඕන නම් අලුතෙන් ළමයි හදන්න ඕන නෑ, කාත් කවුරුවත් නැති දැනට ඉපදුන ළමයි ඕනෑ තරම් ඉන්නවා. පවතින ලෝකය වෙනස් කිරීම හෝ පවත්වාගෙන යාම හෝ මොක හෝ ඒක දැනට උපන් මිනිස්සුන්ට තියෙන පැවැත්ම විසින් නිර්මාණය වුන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය නූපන් කෙනෙකු මත පටවන එකම immoral.

      Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s