සිය කැමැත්තෙන් පැවැත්ම අහෝසි කරගැනීම ගැන

කැමැත්තෙන් තමන්ගෙ ජීවිතය අවසන් කරගන්න එක ගැන සමහර වෙලාවට අපි හරි සැහැල්ලුවෙන් කතා කරනවා.

ඒත් මැරෙනවා කියන එක, ඒ කියන්නෙ අපේම ජීවිතය අපි විසින්ම අවසන් කරගන්නවා කියන එක අපි ඉස්සරහා තියෙන ස්විච් එකක් ඕෆ් කරනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි…

මැරුන කෙනෙක් දන්නෙ නෑ තමා මැරිලා ඉන්නෙ කියලා. ඒක හරි. මරණයේ අවුල විඳින්න පුද්ගලයෙක් තව දුරටත් පවතින්නෙ නෑ. ඒකත් හරි.

ඒ කියන්නෙ කල්පනා කරල බැලුවම මැරිච්ච එකාට ඒ මැරුන එකේ අවුලක් නෑ. අර කතාවකුත් තියෙන්නෙ, මියයාමේ වේදනාව මියගිය කෙනාට නෙමෙයි ජීවත්ව ඉන්න අයටයි කියල (හරියට කිව්වද මංදා)…

තමා ජීවිතය අවසන් කරගන්න තීරණය කරගත්තා කියමු. කේස් එක මේකයි.

මරණය කියන තත්වය විඳින්න පුද්ගලයෙක් නැති වුනාට ‘මරණයට පත් වීම’ කියන ඒ අත්දැකීම විඳින්න පුද්ගලයෙක් ඉන්නවා.

මරණයට පත් වීම කියන ඒ ප්‍රෝසෙස් එක ගත්තොත්, ඒක, ඒ විඳීම බොහෝ විට ඉතාමත් අපහසු, වේදනාකාරී, අමිහිරි අත්දැකීමක් වෙන්නයි වැඩි ඉඩක් තියෙන්නේ.

ඊළඟට, මොන ක්‍රමේකින් තමන්ගෙ ජීවිතය අවසන් කරගන්න තීරණය කලත් ඒ ඕනම ක්‍රමයකින් ඒ කෙනා මරණයට පත් නොවී බේරිලා දැඩි ශාරීරික සහ මානසික ආබාධ වලට ලක් වෙලා කලින් ජීවතය ගෙවපු තත්වයට වඩා අන්ත දුක්ඛිත තත්වයකට පත් වෙන්නත් ලොකු අවධානමකුත් තියෙනවා.

ඉතින් ඒකයි කේස් එක. ඒක එසේ මෙසේ කේස් එකක් නෙමේ, ඉතාම සීරියස් ගත යුතු බරපතල කේස් එකක්.

ඉතින් අපට යම් අවස්ථාවක ජීවිතය අවසන් කරන්න හැඟීමක් ආවත්, වාසනාවකට හෝ අවාසනාවකට ඒක අපට අපි ඉස්සරහා තියෙන ස්විච් එකක් ඕෆ් කරනවා වගේ කරන්න බැහැ. අර කිව්ව ප්‍රායෝගික අවධානම් දෙකම අපි ඉස්සරහා තියෙන නිසා.

“ජීවිතේ තේරුමක් නෑ. මේ හැම දෙයක්ම pointless. හැම දෙයක්ම තාවකාලිකයි.. ඒ නිසා ජීවත් වෙලා වැඩක් නෑනෙ..??” වගේ අදහසක් කාටහරි හිතෙනවා කියමු (කාටවත් හිතුනෙ නැතත් එහෙම හිතනවා කියල ගන්න වෙනවා මේ කතා ටික කියන්න. ඒ නිසා ඒම හිතෙන කවුරු හරි ඉන්නවා කියල හිතමු දැනට)……

හරි, කෙනෙක්ට එහෙම හිතෙනවා නම් සීන්ස් එක පොඩ්ඩක් පැහැදිලි කරලම කතාවට බහින්න වෙනවා…..

මමතුමා හිතන විදියට මේ විශ්වය පැවතීමේ අරමුණක් නැහැ. ඒ විශ්වය තුළ අහඹු ලෙස හටගෙන, ක්‍රමයෙන් පරිනාමය වුන ජීවයේ පැවැත්මේත් කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ පැවැත්මෙන් සාක්ෂාත් කරගන්න පැවැත්මටම ආවේණික වුන අවසන් ඉලක්කයක් නැහැ (goal, end result හරි මොකක් හරි). කෙනෙක්ට කියන්න පුළුවන් පැවැත්මේ අරමුණ වර්ගයා බෝ කිරීමයි කියල. නමුත් වර්ගයා බෝ කරන්නේ ඇයි? ඒකෙන් ළඟා කරගන්න බලාපොරොත්තු වන අරමුණ මොකක්ද, අහවල් කෙංගෙඩියකටද මේ පැටව් ගහන එක කරන්නෙ කියල ඇහැව්වම ඒකට උත්තරයක් නෑ. ඔන්නොහෙ පැටව් ගහමු බන් කියනවා ඇරෙන්න.

නමුත්, වාසනාවට හෝ අවාසනාවට (ඇත්තම කියනවා නම් අවාසනාවට) විශ්වයේ හටගත් consciousness කියන ඉලව්ව නිසා (ඉංග්‍රීසි වචනය – විඥානය), හැඟීම් දැනීම් දැනෙන ජීවීන් කියල ජාතියක් නිර්මාණය වෙලා තියෙනවා. තනි වචනෙන් කියනවා නම් සචේතනික ජීවීන් කියල ජාතියක් ඉන්නවා.

ඒ හැඟීම් දැනීම් දැනෙන ජීවීන්ගේ, කෙටියෙන් කියනවා නම් ඒ සචේතනික ජීවීන්ගේ ඒ හැඟීම් දැනීම් වල තේරුමක්/වටිනාකමක් තියෙනවාය කියන එකයි මගේ හැඟීම.

“මේ විශ්වයේ වටිනාකමක් ආදේශ කල හැකි යමක් වේද, ඒ සචේතනික ජීවීන්ගේ සචේතනික බවයි”

ඔන්න ඕකයි, පුද්ගලිකව මගේ ලෝක දැක්ම කඩාගෙන කඩාගෙන ගියාම අන්තිමට සියල්ල පදනම් වන බේස් එක. ස්ටාර්ටින්ග් පොයින්ට් එක.

ඒ අර්ථයෙන් තමයි කෙනෙක් කුඩා දරුවෙකුට සෙල්ලම් බඩුවක් දුන්නාම ඒ දරුවා තුළ හටගන්නා සතුට නම් හැඟීමේ (experience එකේ) වටිනාකමක් (value එකක්) තියෙන්නෙ. ඒ වගේම අනිත් පැත්තෙන්, කුඩා දරුවෙක් පණපිටින් පිළිස්සෙද්දි ඒ දරුවාට දැනෙන වේදනාව නම් අත්දැකීමේ වටිනාකමක් තියෙන්නෙ. (බලන්න ඒ ‘පණපිටින්’ කියන වචනෙ ඇතුළෙම තියෙනවා කතාව. පණ තියෙන නිසා, ඒ කියන්නෙ හැඟීම් දැනීම් දැනෙන සචේතනික බව තියෙන නිසයි ඒ “පිච්චීම” කියන එකේ අවුල තියෙන්නේ)

පැවැත්මේ අර්ථයක් නැති වුනාට, අඹ අච්චාරු කද්දි සචේතනික ජීවියෙක් වශයෙන් උඹට, මට දැනෙන ඒ පොසිටිව් එක්ස්පීරියන්ස් එකෙයි, උඹේ මගේ කකුලෙ පොඩි ඇඟිල්ල මේස කකුළෙ වැදිලා අම්මගෙන් බීපු කිරි සිහිවෙන ඒ වේදනාව නම් එක්ස්පීරියන්ස් එකෙයි වටිනාකමක් තියෙනවා.

ඒ අනුවයි, උඹ බඩිගින්න නම් අමිහිරි experience එක විඳින කෙනෙක්ට ආහාර වේලක් දීලා ඒ අමිහිරි experience එකෙන් ඒ කෙනා මුදවන්න ක්‍රියාකරන එක වටිනා ක්‍රියාවක් වෙන්නෙ. ඒ වගේම පැත්තක ඉන්න මනුස්සයෙක් අල්ලගෙන උගෙ අත්දෙකයි කකුල් දෙකයි කපලා දාලා ඒ කෙනා මත දුක නැමති experience එක පැටවීම නොකල යුතු ක්‍රියාවක් වෙන්නෙ. (හොඳ සහ නරක වෙන් කරන මොරල් ෆ්‍රේම් එකක් හැදෙන්නෙත් ඒ අනුවයි)

මම ඒ අමාරුවෙන් කියන්න හැදුවේ මෙන්න මේක….

පැවැත්මේ තේරුමක් නෑ තමා. ඒ වුනාට පවතින සචේතනික ජීවීන්ගේ
experience එකේ තේරුමක් තියෙනවා. සචේතනික බවේ (sentience) වටිනාකමක් (value එකක්) තියෙනවා…

ස්චේතනික ජීවීන් වන උඹටත් මටත් ඒකෙ ඇත්ත නැත්ත ලේසියෙන්ම බලාගන්න පුළුවන්, යකඩයක් ගිණියම් වෙන්න තියලා ඊට පස්සෙ ඒකට අත තියාගෙන විනාඩියක් දෙක තුනක් ඉන්න ට්‍රයි එකක් දුන්නා නම්…..

ඒ ටික හරිනෙ..?

ඒ නිසා, ජීවිතයේ අපි අත්දකින පොසිටිව් සහ නෙගටිව් experience වල වටිනාකමක් නෑ කියන එකට මම එකඟ නෑ. වාසනාවට හෝ අවාසනාවට (ඇත්තම කියනවා නම් අවාසනාවට) මේ ලෝකයේ ඉපදුන උඹට මට, මියෙන තුරා ඒ විඳින්න පුළුවන්කම තියෙන ඒ එක්ස්පීරියන්ස් වල වැලියු එකක් තියෙනවා. පොසිටිව් එක්ස්පීරියන්ස් ළඟා කරගැනීමේ වගේම නෙගරිව් එක්ස්පීරියන්ස් මඟහැරීමේත්.

ඒ නිසා ජීවිතයේ තියෙන, අපට විඳින්න පුළුවන් පොසිටිව් සහ නෙගටිව් එක්ස්පීරියන්ස් වල වටිනාකමක් නෑ කියල හිතන එක වැරදියි කියලයි මගේ දැක්මට අනුව මම යෝජනා කරන්නෙ.

ඒ නිසා අපිට ඕන ප්‍රශ්න උගෙ ඔලුවෙ මවාගෙන අපෙන් ඒවා අහන අපේ උපකල්පිත මෑන්ස්ට අපි මෙහෙම කියමු

“..එකිනෙකා කෙරේ සහකම්පනය කියන හැඟීමෙන් යුක්ත සචේතනික ජීවීන් වන උඹට මට, කරන්න යම් වටින දෙයක්, උතුම් දෙයක් තියෙනවා නම්, ඒ තමා උඹ මම වගේම නෙගටිව් එක්ස්පීරියන්ස් වළකාලන්න උත්සාහ කරන අනෙක් ජීවීන්ට (අනිත් මිනිස්සුන්ට කියමු දැනට) ඒ දුක කියන නෙගටිව් එක්ස්පීරියන්ස් එක අඩු කරලා සතුට කියන පොසිටිව් එක්ස්පීරියන්ස් එක වැඩි කරන්න උදව් කරන එක. උඹට මේ ලොකෙ තියෙන කිසිම වස්තුවක් අත්කරගැනීමෙන් සතුටක් සැනසීමක් ළඟා කරගන්න බැරි වුනත්, මහා ඉලක්ක ජයගන්න උවමනාවක් නැති වුනත්, සහකම්පනය නම් හැඟීම තියෙන ජීවියෙක් වන උඹට, තව කෙනෙක්ට උදව්වක් කිරීම මඟින්, තව කෙනෙක්ගේ ජීවිතය තරමක් හෝ යහපත් තැනක් කරන්න අත දීම මඟින් සතුටක් සැනසීමක් අත්පත් කරගන්න පුළුවන් කියල මම හිතනවා. ..සාමාන්‍යයෙන් වෙන කෙනෙක් තමන්ගෙ ජීවිතයට වටිනාකමක් හදාගන්න දේවල් වලින් උඹට උඹේ ජීවිතයට වටිනාකමක් හදාගන්න බැරි වුනත්, අඩුම ගානේ අන්තිමට වෙනකෙක්ගේ ජීවිතය යහපත් කරන්නට උත්සාහ කිරීම කියන තැනින් උඹේ පැවැත්මට වටිනාකමක් හදාගන්න පුළුවන් කියල මම යෝජනා කරනවා.” (මෙතන වටිනාකම කිව්වෙ meaning කියන අර්ථයෙන්)

ඊලඟට අනිත් එක, “කවදා හරි මැරෙනවා නම් මේ ඔක්කොම වැඩක් නෑනෙ. කවදා හරි මැරෙනව නම් අලුත් ජෝකර් ෆිල්ම් එක බලන්නෙ අහවල් එකකටද..?” කියන ප්‍රශ්නෙ එයා අපෙන් අහන බව කලින් වගේ ආයෙ උපකල්පනය කරමු.

ඒක ගැන මෙහෙමයි…

අපිට යම් අත්දැකීමක් ලබන්න පුළුවන් කෙටිකාලයක් වීම නිසා ඒ අත්දැකීමේ වටිනාකම නැතුව යන්නෙ නෑ. හරියට කෙනෙක් ගින්නෙන් පිච්චෙන්නේ විනාඩි පහක් විතරක් වුනා කියල ඒ වේදනාවේ බර නැතුව නොයනවා වගේ.

චොක්ලට් එකක් කෑම, අන්නාසි අච්චාරු කෑම, මගේ සමේ සිහිල් සුළඟක් වැදීම වගේ අප සහනයට පත් කරන හැඟීම් වල වටිනාකම, ඒවා තාවකාලික වූ පමණින්, අප කවදා හෝ මියගිය පමණින් නැතුව යන්නේ නෑ.

ඒ වගේම මට වෙඩින් වලට යන්න වීම, නෑදෑ ගෙවල් වල යන්න වීම, එහෙම ගියාම ඒ ගෙවල් වල දෙරණ නිවුස් දමා තිබීම වගේ දුක්ඛිත හැඟිම් වල වටිනාකම, ඒවා තාවකාලික වූ පමණින්, අප කවදා හෝ මියගිය පමණින් නැතුව යන්නෙත් නෑ.

ඒ මොහොතේ ඒ වටිනාකම තියෙනවා (value එක). ඒ මොහොතවල් සියල්ල එකතු වෙලයි ජීවිතය කියන එක හැදෙන්නේ. ඒ මොහොතවල් හට ගැනීම අවසන් වුන පළියට, ඒ එක් එක් මොහොතේ වටිනාකම කිසිම විදියට නැතුව යනවා කියල මම හිතන්නෙ නෑ. ඒ නිසා, ජීවිතයේ විඳින්න තියෙන දේවල්, අප කවද හරි මැරෙන නිසා වැඩක් නෑ කියල හිතන්න එපා කියලයි මම යෝජනා කරන්නෙ.

කෙනෙක්ට කැමැත්තෙන් සියපැවැත්ම අහෝසි කරගන්න තියෙන අයිතිය මම පිළිගන්නවා. මම කවදාවත් ඒ කෙනාව විනිශ්චය කරන්නෙත් නෑ. හැබැයි මම කීයටවත් ඒක රෙකමදාරු කරන්නෙ නම් නෑ. (අඩුම ගානේ දැඩි ආබාධිත තත්වයකට හෝ රෝගයකට පත්ව ජීවිතයේ හැම තත්පරයක්ම මහා දුක්ඛ වේදනාවකින් ගෙවනා කෙනෙක්ට හැර).

කෙනෙක් කැමැත්තෙන් තම පැවැත්ම අහෝසි කරගැනීම හෙවත්, මෙච්චර වෙලා අමාරුවෙන් මඟහැර හැර හිටිය ඒ තිත්ත වචනෙ, “සියදිවිනසා ගැනීම”, ගැන මගේ අදහස මේ මොහොතේ ඕකයි.

මගෙන් මේ සටහන ලියන්න නිසා මට ඕන ඕන ප්‍රශ්න අහන මගේ උපකල්පිත මිත්‍රයාට කියන මේ ටිකෙන් මේ “අක්‍රමවත් සටහන” මෙතැනින් අවසන් කරනවා

“….. ජීවිතය අවසන් කරගන්නවා කියන එක මෙච්චර අමාරු වැඩක් වෙලා තියෙද්දි, ඒ පැවැත්ම අහෝසි කරන්න කෙනෙක් ඔච්චර කට්ටක් කන්නේම පැවැත්මෙන් තමා සෑහීමකට පත් නොවන යම් දෙයක් ඒ කෙනා බලාපොරොත්තු වන නිසා නෙමේද? පැවැත්මේ තේරුමක් නැති බව ඇත්තටම පිළිගන්න කෙනෙක්, පැවැත්මේ තේරුමක් නැති වීම ගැන වදවෙයිද? ඒක එහෙම වීම නිසා නිසා disappoint වෙයිද?

කෙනෙක්ට අච්චර අමාරු, ලොකු මෝටිවේෂන් එකක් අවශ්‍යය වෙන මරණයට පත් වීම කියන ඒ අමාරු එක්ස්පීරියන්ස් එක තුළින් යන්න හිතෙන්නෙම, ඔහු බලාපොරොත්තු වන වටිනාකමක හැඟීමක් ජීවිතය තුළ නොතිබීම නිසා කියල මං යෝජනා කලොත්..? එතනම තියෙනවා නේද “වටිනාකමක්” ගැන අදහසක්..? මියයන්න කෙනෙක්ට අවශ්‍යය මෝටිවේෂන් එක එනවා කියන්නෙම ඒ කෙනාගෙ පැවැත්ම තුළ ඒ වටිනාකම ගැන අදහස එයා පිළිගෙන ඉවරයි කියන එක නෙමේද?

ඒ අර්ථයෙන් ගත්තම, පැවැත්මේ කිසිම තේරුමක් නෑ කියල ඇත්තටම හිතන කෙනා, දිවිනසාගන්න තරම් වද වෙයිද?

එයාට දිවිනසාගන්න මෝර්ටිවේෂන් එකක් එයිද? එනවා නම් ඒ මෝටිවේෂන් එකේ පදනමම යම් “වටිනාකමක්” ගැන හැඟීමක් නෙමෙයිද…?

….උඹයි මමයි ඉපදිලා ඉවරයි. මරණයට පත් වීම කියන්නේ ඉතාම අමාරු අත්දැකීමක් හරහා යා යුතු තැනක්. ඒ වගේම අපි මැරුනයින් පස්සේ මියනොගිහින් ඉතුරු වන අපේ ප්‍රියයන්ගේ ජීවිත මැරී මැරී ඉපදෙන පණ පිටින් අපායක් බවට පත් කරන දෙයක්. ඒ නිසා, මම අන්තිමට අහන්නම් මෙහෙම, මේ ඔක්කොම මෙච්චර තේරුමක් නැත්නම්, කිසිම හැඟීමක අත්දැකීමක වටිනාකමක් නැත්නම්….,

“ඇයි බං මැරෙන්න අච්චර කට්ටක් කන්නෙ?” 😉 ….”

— ජේමිස් බණ්ඩා

ප/ලි –

1) මේ සටහන දැනට ඉපදිලා මේ සචේතනික බවේ කරුමය ඕල්‍රෙඩි කරගහන්න වෙච්චි අය ගැන කතාවක් බවත් මේ ප්‍රශ්න මුකුත් නැති නූපන් අයව මේ ප්‍රශ්න ගොඩට අත ඇරීම ගැන කතාව වෙනම එකක් බවත් කරුණාවෙන් සලකන්න.

2) මේ පැවැත්මේ තේරුම ගැන මතුවන දාර්ශනික ගැටළු වලට පිලිතුරු දීමේ උත්සාහයක් ලෙස ලියවුන සටහනක්. විශාදය හෝ වෙනයම් මානසික ව්‍යාකූලතාවයකින් පෙලෙනා කෙනෙකුට මේ කතා කීමට නොයන්න කියා අමුතුවෙන් කීමට උවමනා නැතැයි හිතනවා.

3) සටහන අපභ්‍රංසයක් වගේ නම් සමාවෙන්න. මේ මුල සිට අගට වෙනදා වගේ ප්ලෑන් කරල ලිව්ව සටහනක් නෙමේ. වෙන තැනක වෙන උවමනාවකට අපිළිවෙලින් ලියවුන අදහස් ගොන්නක් එකට ගැටගහලා තව කාටහරි කියවන්න දෙන අදහසින් එක සටහනක් බවට පත් කරන්න ගත්ත උත්සාහයක් 🙂 .

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s