මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන්

සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන ප්‍රගතශීලී මතදාරීන්ගේ තෝතැන්නක්.

ඒත් මේ සමහර ප්‍රගතශීලී මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.

බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ලුහුඬුකම් අවංකව කොන්දේසි විරහිතව විවේචනය කරනවා කිසිම පක්ෂපාතීත්වයකින් තොරව.

ඒත් ඔහු කොයිම වෙලාවකවත් ඔහු ඉගෙන ගත්තු කොළඹ හතේ මහ විසල් පාසල කාටවත් විවේචනය කරන්න දෙන්නේ නෑ. එහෙම කරන කොට බණ්ඩාගේ මිතුරාට හරියට කේන්ති යනවා බණ්ඩා දැකලා තියෙනවා.

“මම මචන් ජාතිවාදයට විරුද්ධයි, ආගම්වාදයටත් විරුද්ධයි. ඒත් මම ඉගන ගත්තු මහ විසල් ඉස්කෝලේ කවුරුන් හරි විවේචනය කරද්දි මට මහ කේන්තියක් එනවා. මට මාවම කියවගන්න බැරි වෙන්නේ ඒ වගේ වෙලාවට”

මේ පරස්පර විරෝධී හැසිරීම බණ්ඩාට පේන්නේ මහ විකාරයක් විදිහට

එක්තරා ආකරයකින් මේක හරිම උත්ප්‍රාස ජනකයි..!

ඇයි මෙහෙම වෙන්නේ?

බණ්ඩා ඉගෙන ගත්තේ ඔය සෝ කෝල්ඩ් මහ විසල් පාසලකින් නෙමෙයි. ඒත් බණ්ඩාට මහ විසල් පාසල්වල ඉගෙන ගත්තු යාළුවෝ ඉන්නවා. ඒ අය කියන දේවල් වල විදිහට බණ්ඩාට තේරුන දෙය තමයි ඒ අයට පොඩි කාළේ ඉදලම මේ මහ විසල් පාසල් ගැන විශේෂ හැඟීමක් ඔළුවට කාවද්දලා තියෙන බව

“මල්ලි අපිට අවුරුදු සීය ගාණකට වඩා වැඩි ට්‍රැඩිශන්ස් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන”

මේ මහ විසල් පාසල් වල දිවිහිමියෙන් අරක්ෂා කළ යුතු, ට්‍රැඩිශන්ස්, කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒ මහ විසල් පාසල් වල කොටසක් වෙන්නනම්, මේ සම්ප්‍රදායන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරටම පිළිපදින්න ඕන.

මේ මහ විසල් පාසල් වල කොටසක් වීම මඟින් එම පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බෙනවා.

“මල්ලි ඔයා අද ඉදලා ආනන්දියන් කෙනෙක් කියලා මතක තියා ගන්න”

“වන්ස් අ රෝයලිස්ට්, ඕල්වේස් අ රෝයලිස්ට්”

තමන් ගැන ආඩම්බර වෙන්න වෙන කිසිම දෙයක්, පුද්ගල දක්ශතාවක් නැති අයට පවා මේ මහ විසල් පාසල් ගෝත්‍රයට අයිති වීම නිසා එම පුද්ගලයට සමාජයේ සමාන්තර වයස් කාණ්ඩ වල අයවලුන්ට වඩා උසස් බව හැඟෙනවා.

මේකත් සුදු ජාතිකයෙක් වීම නිසාම ආඩම්බර වන, වර්ණ බේදවාදය පතුරන සුදු ජාතිකයන්ගේ KKK වගේ එක්තරා විදිහක ට්‍රයිබල් මෙන්ටලිටියක් කියලයි බණ්ඩාට හිතෙන්නේ.

මේ මහ විසල් පාසැල තුළදී පාසැල් ගීය, පාසැල් කොඩිය සහ පාසල් ලාංඡනය වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් කුඩා කාලේ ඉදලම ළමා මනසට බලෙන්ම කාවද්දන නිසා කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ මහ විසල් පාසල් ගෝත්‍රිකයන්ට ගොඩක් කෙන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.

බණ්ඩාට එතකොට මතක් වෙන්නේ හිට්ලර් සහ ස්වස්තික ලකුණ අතර ඇති දැඩි සහ සම්බන්ධය.

බණ්ඩාගේ මිතුරා මහ විසල් පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන ගොඩක් කලක් ගතවී ගිහිල්ලත් තම පාසලේ පාලකයින් ගැනත්, ගුරුවරුන් ගැනත්, තම පාසැල් සිසුන්ගේ විනය පිළිබඳවත් දක්වන්නේ දැඩි සැළකිල්ලක්.

“ගිය පාර පැරේඩ් එකේ අලියෙකුත් ගියා, මේ පාර කෝ අලියා?”

කිසිදා පිටුනොපාන මේ දැඩි භක්තිය, ශුද්ධවූ ළැදියාව දෙවෙනි වන්නේ කුමකටද කියන එක වෙලාවකට බණ්ඩාට ප්‍රශ්නයක්.

ඒ ආදරය, භක්තිය හිමිවන්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, ඔවුන්ගේ මනසේ ඇඳුන සර්වසම්පූර්ණ සංකල්ප පද්ධතියකට කියලා බණ්ඩාට හිතනවා.

මේ විසල් පාසල් වලින් නිර්මාණය කොට පුහුණු කරනු ලබන්නේ තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරිවාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක්.

පාසල්වාදයෙන් ආරම්භවන මේ චින්තන ආකෘතියම ජාතිවාදය සහ ආගම් වාදය වගේ ගෝත්‍රික සංකල්ප වල චින්තනයන්ටද මූල බීජය වනවා.

එයින් නොනැවතී රැකියා සම්මුඛ පරීක්ෂණ වලදී නිශ්චිත පාසල් වලට වගේම තම තමන්ගේ elite පාසල් වලට අසාධාරණ ප්‍රමුඛතාවයකුත්, ජීවිතය පුරාම මේ විෂය කාරණයට අදාල මහන්තත්තකමකුත් බොහෝ දෙනෙක් නඩත්තු කරන තත්වයක් දක්වා මේ ආකල්පය උඩු දුවනවා.

අනෙකාට වඩා තමන් උසස්ය, සුවිශේෂීය කියා උගන්වන.. සමාජයේ අනෙකාගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙන.. මහ විසල් පාසැලකට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් දක්වන රාමුවකට හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ.

මේ පටු අදහස් වලින් ඤාණය නිවහල් කර ගන්න, වර්ගවාදී, ගොත්‍රවාදී, ආගම්වාදී (religion based), ලිංග බේදවාදී (gender based), අධ්‍යාපන ක්‍රමය සහමුළින්ම කඩා බිඳ දමලා බින්දුවෙන්ම පටන් ගන්න ඕන කියලයි බණ්ඩාට හිතෙන්නේ.

ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා ඇන්ටිලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.

මචන්.. රටයි ලෝකෙයි හදන්න කලින් පින් අයිතිවෙයි ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් අවුට් වෙලා හිටහං…!
.
.
.
— ජේමිස් බණ්ඩා (Repost)

4 thoughts on “මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන්

  1. හොඳ ලිපියක්. මේ ගැන මමත් හරියට හිතල තියෙනවා. මට තේරැන දේ මේකයි. මගේ අත්දැකීම අනුව පාසල ඔළුව උඩ තියාගෙන ඉන්නේ ගොඩක් පාසලෙන් පසු උසස් අධ්‍යාපනය නොලැබූ අය. මේගොල්ලො උසස් අධ්‍යාපනය ලැබූ සුපිරි නොවන පාසල්වල අයව පාගන්න හරි තමන්ගෙ හීනමානය වසාගන්න හරි මේක පාවිච්චි කරනවා. උදාහරණයකට වෛද්‍යවරියකට වඩා බොහෝවිට පාසල නිසා ගහමරා ගන්නේ රැකියාවක් නොකරන ගෙදර ඉන්න ගෑනු කෙනෙක් (my experience since I went to a girl’s school). ඒ මදිවට OGA එකටත් රිoගගෙන එතන පොර වෙන්නත් යනවා. හැබැයි සමහර අය මොන උපාධි ගත්තත් පාසල ඔළුව උඩ තියාගෙන ඉන්නේ. ඒගොල්ලන්ව නම් තේරැම් ගන්න අමාරැයි. සමස්තයක් විදියට බොහෝ හීනමානයෙන් පෙලෙන පූර්ව ලමාවිය සoවර්ධනය නොවූ අය පාසල, රැකියාව, විවාහය, ලමයි, ලමයින්ගේ විභාග, වාහනය ආදී මෙකී නොකී දේවල් අනිත් අය සමඟ සසඳමින් තමන් ගැන තෘප්තිමත් වීමට හදනවා. පාසල ඉන් එකක් පමණයි.

    Liked by 1 person

  2. මමත් හොදට අත්දැකල තියෙන දෙයක්. මම දැකල තියෙන විදියට නම් ඔවුන් ජීවිතයේ වර්තමානයේ ඉන්න තත්වය කුමක් වුවත් යම් ගෝත්‍රවාදයකට නතු වීම පැහැදිලිවම දැකගත හැකියි. මෙය Desmond Morris මනුසත් උයනෙහි කියන විදියට සුපිරි ගෝත්‍ර තුල තම අනන්‍යතාවය දියවෙලා ගිය බහුතරය කුමන හෝ ගැට්ටකට හේත්තුවී තම පොරත්වය උලුප්පා ගැනීමට භාවිතා කර ගන්න කරු කියල තමයි මට හිතෙන්නේ. එසේ වුවත් සිත් ගන්නා සුලු තවත් දෙයක් තමයි බොහෝ විට අපෙ වගෙ පසුගාමී අදහස් මුල් බැස ගත් සමාජවල මේ තත්වය උපරිමව දැකගත හැකි වීම. අනිත් රටවල මිනිස්සු මේ තරම් තමන් ගිය ඉස්කොලෙ හෝ university එක බදා ගෙන ඉන්නව මම දැකල නැහැ.

    Liked by 1 person

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s