තමන්ගේ සහකාරියව පෑගීම පිරිමිකම බව සිතන අම්මලාගේ පුත්තු

එදිනෙදා ජීවිතයේදී මානුෂීය සම්බන්ධතා දකිද්දි, අහද්දි තේරෙන දෙයක් තමයි ගොඩක් පිරිමි අය තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන වගේ තදබල හැඟීමකින් ඉන්න බව.

ඒ ආකල්පයෙන් ඉන්න අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න.

තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය,
තමන්ගේ සහකාරිය හැසිරෙන විදියෙන් කෙල්ලෙක් හැසිරෙන්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය,
තමන්ගේ සහකාරිය හිතන පතන විදියෙන් කෙල්ලෙක් හිතන්න ඕන විදිය ගැන තමන්ගේ අදහස නිරූපනය වෙනවය,
තමන්ගේ සහකාරියගේ මතවාද වලින් තමන්ගේ මතවාද නිරූපනය වෙනවය,

කියලයි ඔය මිනිස්සු හිතන් ඉන්නෙ.

සමාජය ඉස්සරහා තමාගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න නිසා නීති දාලා ගහලා බැනලා හරි කෙල්ලව තමන්ට ඕන විදියට වෙනස් කරන්නයි ඒ වගේ කොල්ලො බලන්නෙ.

“ඒක එයාගේ කැමැත්ත.. එයා ඉන්නේ එයාගේ විදියට” කියල කියන්න ගටක් තියෙන කොල්ලො හොයාගන්න අමාරු වුනාට…

“අනිත් කෙල්ලන්ගෙන් මට වැඩක් නෑ.. මගේ කෙල්ල ඉන්න ඕන මට ඕන විදියට.. ඒකි අඳින්න ඕන මට ඕන විදියට.. ඒකි හැසිරෙන්න ඕන මට ඕන විදියට.. ඒකි කතා කරන්න ඕන මට ඕන විදියට..”

…කිය කිය තමන්ගේ කෙල්ලට ගෙම්බර් දාන එක මාර ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්න පෞරෂහීනයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ.

ඇය තුළින් තමන්ගේ අනන්‍යතාවය නිරූපනය වෙනවා කියලා හිතාගෙන ඇයව වෙනස් කරන්න තමාගේ අධිකාරී බලය පාවිච්චි කරන මේ පිරිමි තුල තමන්ගේ ක්‍රියාකලාපය නිසා පුද්ගලයෙකු වශයෙන් ඇයගේ අනන්‍යතාවයට වෙන දේ ගැන කිසිම හැඟීමක්වත් සංවේදිත්වයක්වත් නැහැ. තමන්ගේ සහකාරියගේ ආකල්ප, හැසිරීම් සහ වටිනාකම් තමාට දරා ගන්නට බැරි තරම් නොගැලපෙනවා නම් සහ දෙදෙනාට ඒවා ගැන එකඟතාවයකට එන්න බැරිම නම් ඇයගේ අන්‍යතාවය මරා දැමීමට වඩා සබඳතාවය නවත්වන එකයි කරන්න ඕන කියල මේ අයට තේරෙන්නේ නැහැ. පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය මරලා දාලා දිගින් දිගටම ඒ මනුස්සයාව පාලනය කරන්න ගියාම ඒ මනුස්සයා තුළ හටගන්න වේදනාව, කලකිරීම සහ පීඩනය ගැන මොවුන්ට සහකම්පනයක් නැහැ.

ඕකෙම අනිත් පැත්ත තමයි,

තමාගේ සහකාරියගේ සිතුම් පැතුම් ආකල්ප තේරුම් අරගෙන ඇයගේ ස්වාධීනත්වයට ගරු කරන කොල්ලෙක් හම්බුනාම මේ වගේ හීනමානකාරයො “අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්” කියල කෑගහන එක. අර කොල්ලාට තමන්ට හැකි උපරිමයෙන් පීඩනය එල්ල කරන එක.

මොකද මේ අයට අනුව කෙල්ලෙක් කියන්නේ තමාට ඕන විදියට “හදාගන්න” ඕන වහලෙක්. තමන්ට කැමති කැමති විදියට අඹා ගන්න තියෙන මැටි ගොඩක්…

මේ විදියට පීඩනයට පත් වෙලා ඉන්න දහස් ගාණක් තරුණියන්/ගැහැණුන් තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නය තමයි,,

තමාව ස්වාධීන පුද්ගලයෙක් විදියට සලකන්නෙ නැති, තමන්ගේ අනන්‍යතාවයට ගරු කරන්නෙ නැති, තමන්ව තේරුම් ගන්නෙ නැති Control Freak කෙනෙක් විදියට හැසිරෙන එකෙක් එක්ක තමන් දිගින් දිගටම ඉන්නේ ඇයි? කියන ප්‍රශ්නය.

ඉස්සෙල්ලා තමන් තමන්ටම ගරු කරන්න ඉගෙනගන්න. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරන්නේ නැත්නම් වෙන කෙනෙක් ඒ දේවල් වලට ගරු කරයි කියල හිතන්න එපා. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරනවා නම් වෙන කෙනෙක්ට ඒ දේවල් විනාශ කරන්න දෙන්නත් එපා.

මේ වගේ තරුණියන් ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි “මොනවා වුනත් එයා මට ආදරෙයිනෙ..” කියන එක. ඒ වගේ හිත හිත, අතීතයේ තමාගේ පීඩකයා තමා වෙනුවෙන් කල කී දේවල් මතක් කරමින් තමන්ගේ ජීවිතයේ වර්තමානය දුකෙන් තැවෙමින්, සුසුම් හෙළමින්, කඳුළු සළමින් ගත කරනවා.

ආදරය කියන දේ තිබීමෙන් දෙදෙනෙක් අතර සම්බන්ධයක් යහපැවැත්මෙන් ගත කල හැකිය කියල කියවෙන්නේ නැහැ. ගොඩක් බිඳ වැටෙන ප්‍රේම සම්බන්ධතා වගේම විවාහ සම්බන්ධතා වලදීත් දෙදෙනා අතර ආදරය තියෙනවා, සමහර විට ඕනැවටත් වැඩිය. නමුත් ඒ සම්බන්ධතා වල නැත්තේ එකිනෙකා කෙරෙහි ඇති ගෞරවයයි.

එකිනෙකා ගැන පුද්ගලයන් විදියට ගෞරවයක් නැත්නම් කොච්චර ආදරේ වුනත් සතුටින් යහපැවැත්මෙන් එකට කල් ගත කරන්න සෑහෙන අමාරුයි.

කොටින්ම එකිනෙකාට ආදරය කරන ඒත් ගරු නොකරන දෙන්නෙක්ට සතුටින් ඉන්න බැරි තරම්. ඒත් එකිනෙකා අතර ආදරය නැතත්, ගෞරවය තියෙනවා නම් ඒ දෙන්නාට යාලුවො දෙන්නෙක් වගේ හරි සතුටින්, තේරුම් ගැනීමෙන් එකට කල් ගත කරන්න පුළුවන්.

මේ ගැන කතා කරද්දි තව කාරණයක් එකතු කරන්න ඕන.

ගොඩක් අය (විශේෂයෙන් ගැහැණු ළමයි) තමන්ගේ ජීවිතයේ හිතන මෝඩම අදහස් දෙකක් තියෙනවා.

1. බැන්දයින් පස්සෙ එයා වෙනස් වෙයි
2. බබෙක් හැදුවයින් පස්සෙ එයා වෙනස් වෙයි

එහෙම හිතන් දවල් හීන දකින අයට කියන්න තියෙන්නෙ “කරලම බලල කියපන්කො.. එයා හිතුව විදියටම වෙනස් වුනාද කියල?” කියන එක තමයි.

මෙහෙමම හිතපු දහස් ගාණක් අයගෙන් අහලම බලන්න ‘එයා’ ඇත්තටම එහෙම වෙනස් වුනාද කියල.

ජීවිතයේ සමහර තීන්දු තීරණ දාදු කැටයක් උඩ දාලා තමන්ගෙ වාසිය එයි කියල හිතනවා වගේ ඔට්ටු අල්ලන්න වටින දේවල් නෙමේ. තමන්ට තියෙන එකම ජීවිතයේ වටිනාකම එහෙම බාල්දු කරනවා කියන්නෙ තමන්ට තමන්ම ගෞරවයක් නෑ කියන එකයි.

තමන්ගෙ ජීවිතයට තමන් ගෞරව කරන්නෙ නැත්නම් වෙන කෙනෙක් ඒක කරයිද?

ඉල්ලන් පරිප්පු කාලා තමන්ගේ ‘එකම ජීවිතය’ විනාශ කරගන්න එපා.

ආත්මවිශ්වාසයක් නැති පෞරෂහීනයන් ළඟට කරගෙන ඒ අයව තමන්ගෙ සෝ සුසුම් කඳුළු මතින් පුනරුත්ථාපනය කරන වගකීමක් බාරගන්න කලින් දෙපාරක් හිතන්න.

මේ මාතෘකාව ළඟින් යන තව දෙයක් ගැන මේ එක්කම සඳහනක් කරන්න ඕන.

අපේ ලංකාවෙ ගොඩක් පිරිමි බැන්දයින් පස්සෙත් “අම්මගේ පුත්තු”. අපි හැමෝම අම්මලගේ පුත්තු දූරු තමයි. නමුත් මෙතනදි මම “අම්මගේ පුත්තු” කියන එකෙන් අදහස් කලේ වෙන දෙයක්.

ගොඩක් අය තමන්ගේ සහකාරියට, විශේෂයෙන් විවාහයෙන් පස්සෙ බිරිඳට, ඇයට තමන්ගේ අම්මා එල්ල කරන පීඩනය හමුවේ ඇයව දැඩි ලෙස අසරණ කිරීමකට ලක් කරනවා. ගොඩක් වෙලාවට මේ පුත්තු ගන්නේ අම්මාගේ පැත්ත. ඒ අයට අනුව හැම වෙලාවෙම වෙනස් විය යුත්තේ තමන්ගේ බිරිඳයි..අර අවුරුදු පනහේ හැටේ තලත්තෑණි ගැහැණියගේ ඇනුම් පද වෙනස් කම් ඉවසගෙන කාමරයට වෙලා කඳුළු සලන ඇය සාලයට ඇවිත් සිනා මුසු මුහුණෙන් නිළියක් වගේ දිනපතා රඟපාන්න ඕන, තමාගේ සැමියාගේ බලකිරීම මත. තමන්ගේ අම්මාට වචනයකින් වත් විවේචනයක් නොකරන මේ පුත්තු සියලූම බර තබන්නේ තමන්ගේ බිරිඳගේ හිස මතයි. ඒ වගේ ජීවත් වෙන එක අපායක ජීවත් වෙනවා වගේ නෙමේද?

මගේ මිතුරු මිතුරියන් හරහා මේ ගැන මම අත්දැකීම් ගොඩක් ලබලා තියෙනවා…අහන්නට ලැබිලා තියෙනවා.

මේ අම්මලා සහ අම්මලාගේ සුරතල් පුත්තු නිසා බිරින්දෑවරු කීදෙනෙක් සිත් තැවුලෙන්, තනිවීමෙන්, තමාගේ සහකාරයා තමාගේ හැඟීම් තේරුම් නොගන්නේ ඇයි කියල සුසුම් හෙළමින් කල් ගත කරනවද කියන එක හිතාගන්න බෑ.

පුද්ගලිකව මම නම් හිතන්නේ මේ වගේ අම්මාව අත ඇරගන්න බැරි කවුරු හරි ඉන්නවා නම්, ඔහු විවාහ නොවී තමන්ගේ අම්මාට සලකගෙන, මියෙන තුරා අම්මා කියන දේ කරගෙන අහගෙන ඇයට ඇප උපස්ථාන කරගෙන ඉන්න එකේ කිසිම වරදක් නැහැ. නමුත් විවාහයෙන් පස්සේ, තමන් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න බලාපොරොත්තු රොත්තක් පොදි බැඳගෙන ආපු ඒ කෙල්ලට, අම්මාගේ පැත්ත අරන් ප්‍රශ්න ඇති කරනවා නම්, ඒක මාරම අසංවේදී නරුම වැඩක්.

මම අහල දැකල තියෙන දේවල් වලින් මම තේරුම් ගත්ත දෙයක් තමයි, මේ අම්මලා, වයස් ගත තම සැමියා විසින් දැඩි ලෙස නොසලකා හැරීමට ලක් වීම නිසා, ජීවිතයේ එකම අවසන් අරමුණ වුන තමන්ගේ දරුවන් අතහැර ගන්න බැරුව, ඔවුන්ගේ පවුල් වලට ඇඟිලි ගසමින්, ඒවායේ ප්‍රශ්න ඇති කරමින්, වෙනම ආකාරයකට වින්දනයක් ලබමින් තමන් කියලා කෙනෙක් ඉන්න බව අනෙක් අයටත් තමන්ටත් මතක් කරගන්නා බව. මේ අම්මලා (නැන්දම්මලා) තමන්ගේ තනිය, කම්මැලිකම, ජීවිතයේ අරමුණක් නැති කම වහ ගන්නේ තම දරුවන්ට බලපෑම් කිරීම මඟින් ඔවුන්ගේ ජීවිත වලට රිංගලා.

සටහන අවසාන කරන්න කලින් මේ වචන ටික එකතු කරන්නම්.

කතාවක් තියෙනව සමාජයක/සංස්කෘතියක ප්‍රගතශීලීබව තීරණය කරන්න පුළුවන් හොඳම සාධකයක් තමා ඒ සමාජය කාන්තාවට සලකන ආකාරයෙන් කියල.

ඒ වගේම තමා, පුරුෂයෙක්ගේ පෞරෂයත්වය මැනගන්න පුළුවන් හොඳම සාධකයක් තමා තමන් තමාගේ ප්‍රේමවන්තියට/බිරිඳට සලකන විදිය කියන්නෙ.

කෙනෙක්ව පාලනය කරන්න කෙවිටක්/තුවක්කුවක් අතට ගත්ත ඕනම නරුමයෙක්ට පුළුවන්. නමුත් කෙනෙක්ව තේරුම් ගන්න, ඉවසන්න, ගරු කරන්න, අනිත් අය ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් පෙනී ඉන්න නම් ලේසි පාසු කෙනෙක්ට බැහැ.

ඒකට මනා පෞරෂයක් තියෙන බුද්ධිමත් මනුස්සයෙක්ම වෙන්න ඕන.
.
.
.
— ජේමිස් බණ්ඩා

ප/ලි – මේ සටහනේ කතා කෙරුනේ පිරිමි පාර්ශවය විසින් කාන්තා පාර්ශවය පාලනය කිරීම ගැනය. එහි අනෙක් පැත්ත සිදුවන තැන්ද ඕනෑ තරම් තිබේ. ඒවා ගැන වෙනමම සාකච්ඡා කල යුතුය.

3 thoughts on “තමන්ගේ සහකාරියව පෑගීම පිරිමිකම බව සිතන අම්මලාගේ පුත්තු

    • ඉතාම හොඳ ප්‍රශ්නයක්. කතා කරන්න වටින දෙයක්. උත්තරයක් නම් මම දන්නෙ නෑ. නමුත් ගොඩක් දෙනෙක්ගෙ ආකල්ප දිහා බැලුවම පේනවා ඒ අය පිරිමිකම කියල දෙයක් හිතින් හදාගෙන ඒක ආරක්ෂා වෙන විදියට ජීවත් වෙන්න සෑහෙන මහන්සියක් ගන්න බව.

      Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s