සියදිවිනසා ගන්නෝ දඬු කඳේ ගැසීම | Condemning the Condemned

මනුස්සයෙක් සියදිවිනසා ගත්ත ආරංචියක් ආපු ගමන් ගොඩක් දෙනෙක් මේ වගේ කතා කියනවා අහන්න ලැබිල ඇති..

“පොඩි කාලෙ ඉඳල දුක් විඳල හදපු දෙමව්පියොයි පව්..”, “මෙච්චර මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්න හදද්දි ජීවිතේ නැති කරගන්නෙ එහෙමත් කාලකණ්ණිම තමයි”, “කොණ්ද පණනැති කමනෙ.. පෞරෂයක් නැති කමනෙ..”, “මේ වගේ දෙයක් නිසා ජීවිතේ එපා වෙනව නම් මැරිලා ගිය එකමයි හොඳ…”

ඒ වගේ කතා ගොඩ දෙනෙක් කිව්වත්, සියදිවිනසාගත්ත කෙනෙක් දිහා ඒ අය බලන ඒ ආකල්පය හරිද? ඒක සදාචාරාත්මකද?

සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.

කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩයෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල “පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ” පව් වගේ කතාවක් කිව්වාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝටම ඒ මියගිය කෙනාගේ කාලකණ්ණිකම ගැන එකඟ වෙලා, තමාගේ මානසික ශක්තිය ගැන තක්සේරුවක් කරගෙන, වින්දනයක් ලබලා විසිර යන්න පුළුවන්…

ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න කවුරු කවුරුත් හරිම කැමතියි. වෙන අයගේ දුක වෙනුවෙන් කතා කරන අපි හරි සංවේදී හොඳ මිනිස්සුනෙ නේද?

ඒත්, මානසිකව වැටෙන්න තියෙන අන්ත අඩියටම වැටිලා තමාගේම ජීවිතය තමන් විසින්ම අවසන් කරගත්ත ඒ මනුශ්‍යයා දිහා ඊට වඩා තේරුම් ගැනීමේ ඇසකින්, මානුශීය ඇසකින් බලන්න ක්‍රමයක් අපට නැද්ද?

කෙනෙක් තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්.

කුමක් හරි හේතුවක් නිසා ඇති වුන දරාගත නොහැකි අධික වේදනාව, තනිකම, පාළුව, තමාගේ දුක බෙදගන්න කියාගන්න කවුරුත් නැති එක, තමා දැඩිලෙස ආදරය කරන කෙනෙක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජය/දෙමාපියන් ගෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජයට මුහුණ දීමට තියෙන භය, තමා කරන ලද යම් ක්‍රියාවක් නිසා ඇති වෙච්චි වරදකාරී හැඟීම්, ඉච්ඡාභංගත්වයට පත් වීම, ලිංගික හෝ මානසික අපයෝජනයට ලක් විම(sexual or emotional abuse), රැවටීමට ලක් වීම, කිසිදා නොදැනුන කිසිදා පහනොවනවා කියල හිතෙන අසරණකමක් දැනීම, කිසිවෙකු විසින් තමාව තේරුම් ගැනීමට අපොහොසත් කියල සිතීම නිසා කාලයක් මුළුල්ලේ සිතේ ගොඬනැගෙන තනි වූ හැඟීම..

වගේ කාරණා රාශියක් හේතු වෙන්න පුළුවන් කෙනෙක් ඒ වගේ ඉතාම අපහසු තීරණයක් ගන්න තත්වයට පත්වෙන්න…

මිනිස්සු වෙච්චි අපිට උදේ නැගිටින්න, වැඩට යන්න, මහන්සි වෙන්න, සතුටු වෙන්න.. කෙළින්ම කියනව නම් “මිනිස්සුන්ට ජීවත් වෙන්න” අරමුණක් ලබා දෙනවා නොයෙක් දේවල්.

සමහරුන්ට තමාගේ ආදරවන්තයා/ආදරවන්තිය.. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්.. සමහරුන්ට තමන්ගේ රැකියාවේ අනාගතය.. සමහරුන්ට මුදල් හම්බකිරීම.. සමහරුන්ට සමාජයේ කීර්ති නාමයක් ඇති කර ගන්න එක.. තවත් සමහරුන්ට තමාගේ බිරිඳ, දරුවන්, තමාගේ පවුල…..

ඔය වගේ තමන්ගේ ජීවිතයට අරමුණක් එක් කල දේවල් එක පාරම හෙණ ගහන්නා වගේ නැති වෙලා ගියාම.. තමාගේ පැවැත්මේ මුළු අනාගතයම කියල හිතන් හිටිය ඒ දේ තව දුරටත් තමන්ට අහිමි බව තේරුම් ගියාම… ඒවගේ මොහොතකදි තව දුරටත් ජීවත් වෙන්න හේතුවක් හිතාගන්න බැරුව අන්ත අසරණ අඩියට වැටෙන එක මෝඩ කම විදියටවත්, නූගත්කම විදියටවත් හඳුන්වන්න එපා. ඒ මනුස්ස හැඟීම් ඒවගේ සිල්ලර විදියට විවේචනය කරන්න එපා.

අපි ඕනම කෙනෙක්ට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමා පුද්ගලයා අනුව එක එක තැන් වල පිහිටල ඇති.

මරණය කියන්නෙ මේ ලෝකයේ තියෙන නරකම දෙයවත්.. ජීවිතය කියන්නෙ මේ ලෝකයේ තියෙන හොඳම දෙයවත් නෙමේ..

ගොඩක් වෙලාවට සියදිවි හානිකරගන්න අය ඒ මොහොතේ විඳින දැඩි වේදනාව අවසන් කිරීමේ ක්‍රමයක් විදියට තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙනවා. මොකද ඔවුන් හිතනවා මේ වේදනාව කවදාවත් ඉවර වෙන එකක් නෑ, මට මේ වේදනාව දරාගන්න බෑ, මේක නිසා ඇති වෙන ලැජ්ජාවට මට මූණ දෙන්න බෑ කියල.

අපි හැමෝටම ජීවිතේ ගත කරන්න අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, ආශාවල් තියෙනවා, උවමනාවල් තියෙනවා. නමුත් ඉච්ඡාභංගත්වයට ලක් වුන කෙනෙක්ට ඔය කිසිදෙයක් නැහැ. ඒ කෙනාට තමාගේ ජිවිතය ගෙනියන්න අරමුණක් නැති වෙනවා පමණක් නොවේ ඔහුට/ඇයට ඉතිරි වන්නේ අධික වේදනාවක් පමණයි.

ඇත්තටම සියදිවිනසා ගන්න තරම් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට දෙමව්පියන් විදියට, යහලුවන් විදියට, නෑදෑයන් විදියට අත්වැලක් වෙන එක.. සහයක් වෙන එක.. ඒ තත්වයෙන් ගොඩ එන්න උදව්වක් වෙන එකයි කරන්න ඕන..

මේ සටහනින් කරන්නේ සියදිවි නසා ගැනීම සාධාරණීයකරනය කරන එක නෙමේ, සියදිවි නසාගන්න හිතන.. සියදිවිනසාගත්ත.. කෙනෙක්ව තේරුම්ගත යුතු බව සහ සමාජයක් විදියට ඒ මනුස්සයෝ ගැන තියෙන ආකල්පයේ ලොකු වැරැද්දක් තියෙන නිසයි මේ සටහන ලියවෙන්නේ.

කෙනෙක් හිතන්න පුළුවන් ඕවද ප්‍රශ්න, මාත් බූට් කාලා තියෙනවා, මාත් බඳින්න කලින් බඩ වුනා, මටත් රස්සාව නැති වුනා, මගෙන් පෙම්වතිය හදිසියේ මැරුනා, අපේ ආදරයටත් ගෙවල් වලින් අකමැති වුනා, ඒත් මම මේ හොඳට ඉන්නෙ කියල..

“අපිට වෙච්චි දේවල් වලට අපි සියදිවිනසා ගත්තා නම් මෙලහකට අපිව වළලපු තැන් වල ගසුත් පැළවෙලා”… ඕකනෙ සුප්‍රසිද්ද කයිවාරුව…

ඒත් මිනිස්සු කියන්නේ වතුර වගේ ඔක්කෝමල්ලා සෙල්සියස් අංශක 0දී ඝන වෙලා සෙල්සියස් අංශක 100දී නටන තත්වයට පත් වෙන දෙයක් නෙමේ.

එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. මිනිස්සු ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක, ඔවුන් ගැන නිගමන වලට එළඹෙන එක අණුවන වැඩක්.

ඒ එක්කම කියන්න ඕන අපි හැමෝටම සිය දිවි නසා ගැනීම කියන දේ හොඳම සහ එකම විකල්පය වෙන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. අපි ඒ තත්වයන් වලට මුහුණ නොදෙන්න තරම් වාසනාවන්තයි දැනට. නමුත් තව දුරටත් ජීවත් වෙන්න අරමුණක් හේතුවක් හොයාගන්න බැරුව මනුස්සයෙක්ට වැටෙන්න පුළුවන් අන්ත අසරණ අඩියටම වැටිලා ජීවිතය නැති කරගත්ත කෙනෙක්ව ගෙදර කම්පියුටරේ දාගෙන ෆෑන් එක එහා පැත්තේ ඉඳගෙන තේකක් බිබී ආතල් එකේ ඉඳගෙන විනිශ්චය කරන්න එපා..

ජීවිතය කියන මේ අමාරු ගමනක ඉන්න අපි කරන්න ඕන ඒ ගමනම යන අනෙකාව තේරුම් ගැනීම මිසක් එකිනෙකාව සිත් පිත් නැති විදියට විනිශ්චය කර ගැනීම නෙමේ..

අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක් එක මොහොතින් විනිශ්චය කරන්න එපා..

ඒක මහා අමානුෂික පහත් වැඩක්..

ජීවිතේට වැරදි කරල නැති කෙනෙක් ඉන්නව නම්, ඒ වැරදි වලට මූණ දෙන විදිය දන්නේ නැතුව මෝඩ වැඩ කරලා නැති කෙනෙක් ඉන්නවා නම්, ඉස්සරහට ඇවිත්, අසරණ බවේ අන්ත අඩියට වැටිලා මියගියයින් පස්සෙත් සමාජයේ අපවාදයට ලක් වෙන මේ මිනිස්සුන්ට පළවෙනි ගල ගහන්න !
.
.
.
– ජේමිස් බණ්ඩා

12 thoughts on “සියදිවිනසා ගන්නෝ දඬු කඳේ ගැසීම | Condemning the Condemned

  1. අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක් වැඩ ඇරිලා මිනිස්සු ගෙදර යන කෝච්චියට පැනල මරුනාම. ඒ මහා අමානුෂික පහත් වැඩේ කළේ කවුද? පැනපු එකාද නැත්තන් කෝච්චිය ඇතුලේ තැම්බි තැම්බි තදවෙලා චාටර් වෙලා තවත් පරක්කු වෙලා ගෙදර යන්න වෙන දහස් ගණන් සෙනගද?

    Like

    • ඔය වගේ දේවල් දිහා බලන විදිය පුද්ගලානුබද්ධයි. මට අනුව නම් ඒ පරක්කුව කියන ප්‍රශ්නය යටයි අර මනුස්සයා මුහුණ දුන්න අත්දැකීමට.

      Like

  2. අර මනුස්සයා මුහුණ දුන්න අත්දැකීම කියන්නේ මැරුණ එකද?
    පොඩ්ඩක් හොයල බලන්න ඔය සිය දිවි නසාගන්නට හේතු.
    එතැන තියෙන්නේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න බැරි කමක් නෙමේ. අවශ්‍යනං උදව් ගන්න තිබෙන්නත් ඇති.
    ඊට වඩා මැරෙන එක ‘ලේසි’ නිසා කෝච්චියකට පැනල දහස් ගණනක් රස්තියාදු කරන වෙලේ අනුන්ට කරදරයක් නොවී මැරෙන ක්‍රමත් නැත්තේම නැහැ නේද.

    Like

    • මිනිස්සු සියදිවිනසාගන්න එක, අඩුම ගානේ ලංකාවෙ තියෙන මට්ටමින්, සමාජීය ප්‍රශ්නයක්. ඒක තනි පුද්ගලයන්ගේ තීරණයක්ම විදියට බලනවට වඩා ඊට වඩා පුළුල්ව බලන්න ඕන කියලයි මං හිතන්නෙ. සමාජීය ප්‍රශ්න වලට දෙන්න ඕන සමාජීය විසඳුම්, ඒක ගැන අවධානය යොමු කරන එක ඒ සමාජයෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ වගකීමක්. නමුත්, එදිනෙදා එදා වේල ආතල් වලින් එහා ගිහින් මේ වගේ දේවල් ගැන උනන්දුවක් දක්වන්නෙ නැතුව මෙහෙම මිනිස්සුන්ට කාලකණ්ණි ලේබලයක් අලවලා අහක බලාගන්නා සමාජයක සියදිවිනසා ගන්න අය ඔක්කොමල්ලා කෝච්චි වලට පැනලම සිය දිවිනසා ගන්නවා නම් හොඳයි. එතකොට අඩුම ගානේ, ඒකෙන් තමන්ගේ ‘පහසුවට’ බලපෑමක් වෙන නිසා, මෙහෙම ප්‍රශ්නයක් අපි ජීවත් වෙන සමාජයේ තියෙනවා නේද කියල හිතලවත් බලයිනෙ…

      Like

  3. බන්ඩෝ,
    සියදිවි නසා ගැනීම ප්‍රශ්නයක් නොවේ. එය හුදෙක් මහා ආත්මාර්ථකාමී ක්‍රියාවක්.
    උන්ට ප්‍රශ්නයක් තිබ්බත් මොන ආකාරයකින් හෝ එම ක්‍රියාවෙන් කෙරෙන්නේ අනුන්ට කරදරයක්. මොලේ තියේ නං පොඩ්ඩක් කල්පනා කරලා බලපන් ගඟේ මූදේ පැන්නත්, කෝච්චියට බෙල්ල තිබ්බත්, ග්‍රමොක්සෝන් බිව්වත්, බෙල්ලේ වැල දා ගත්තත් කරදරේ තියෙන්නේ මළ එකාට නෙවේ, ළඟ ඉන්න එකාලට, සමාජයට. පාර අහුරගෙන ඉස්ට්‍රයික් කරනවා වගේ වැඩක් මේක. කෙනෙක්ට කරදරයක් කරලා ‘මෙහෙම ප්‍රශ්නයක් අපි ජීවත් වෙන සමාජයේ තියෙනවා නේද’ කියල තේරුම් කරලා දෙන්න නම් බොහොම අමාරුවෙයි. අනික් අතට මේක සමාජ ප්‍රශ්නයක් වෙන්න ලංකාවේ සියයට කීයක් සියදිවි නසා ගන්නවද? අවුරුද්දට සියයට දශම එකක් ? ඒ විදියට බැලුවොත් ඉතිං හැමදේම සමාජ ප්‍රශ්නනේ.
    මිනීමරුවටත් එකෙක් නොමරා ඉන්න පුළුවන් ඒත් ඌ දැන දැන මරනවා. ඒ විදියටම මේ කාලකන්නිත් හිතන්නේ සියදිවි හානිකර ගන්නේ දැන දැනම තමා. නොදැන නොවේ. මළාට පස්සේ ඌට නිබ්බ සේරම ප්‍රශ්න ඉවරයි කියල. ඔව් ඌට තිබ්බ ප්‍රශ්නේ ඉවරයි

    Like

    • රසික, ඔබ කතාකරන ආකාරයෙන් පෙනෙන්නේ ආතතිය, භින්නෝන්මාදය වැනි මානසික රෝග ගැන අවබෝධයක් නැති බවයි.

      Liked by 1 person

    • රසිකගේ පොයින්ට් එකට අඩුම ගානේ යම් බරක් හරි එන්නේ සියදිවිනසා ගැනීම කියන්නේ කඩේට ගිහින් අඹ ගෙඩියක් ගැනීම, ප්‍රේම සම්බන්ධයක් පටන් ගැනීම, ඡන්දය පාවිච්චි කිරීම වගෙ සම්බුද්ධිකව ගන්න චොයිස් එකක් වුනා නම්. ඒත් ඒක එහෙම නෙමේනෙ. මේක රසික විතරක් නෙමේ, ගොඩක් දෙනෙක් කියන කතාවක්. වැඩේ කියන්නේ වෙඩින් ගැනීම, ළමයි හැදීම, ලෝන් දමා වාහන ගැනීම, දේශපාලකයන්ට කඩේ යෑම වගේ තීරණ වල මීහරක් බව ගැන ප්‍රශ්න කලාම “බබ්..බ..බබ්..” ගගා අමාරුවෙන් ඒ තීරණ පිටුපස ඇති කාරණා කාරණා ගැන සාධාරණීයකරනය කිරීමේ යෙදෙන්න තනන ඇත්තෝ සියදිවිනසා ගැනීම වගේ දෙයක් සම්පූර්ණ සම්බුද්ධික තීරණයක් විදියට සලකලා අදහස් ප්‍රකාශ කිරීම…

      Like

  4. Sri lankan-African Angel,

    ආතතිය, භින්නෝන්මාදය වැනි මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවා. ඒවාට ප්‍රතිකාර නොගෙන, ප්‍රතිකාර සඳහා යොමු නොකර හෝ යොමු නොවී සියදිවි නසා ගැනීම හා සුළු තුවාලයක් හෝ ASD වැනි හදවතේ දරුණු අබාධයක් තිබෙන කෙනා ප්‍රතිකාර ගෙන එය සුව කරගැනීමට උත්සාහ කිරීමත් ඔබ දකින්නේ කෙසේද?

    බන්ඩෝ,
    සියදිවි නසා ගන්න එකා හිතනවා ඇත්තේ ඒක සම්බුධ්ධික ක්‍රියාවක් ලෙසට වෙන්න ඇති. නැත්තන් ඌ එක කරන්නේ නැහැ.. ඌ පොඩ්ඩකටවත් හිතුවොත් ඒක මන්දබුධ්ධික ක්‍රියාවක් කියල ඌ එම දේ නොකර ඉඳීවි. වටේ ඉන්න එවුන් කොතරම් කම්පා උනත්, පව් කියල එළිපිට කිව්වත් යටින් හිතන්නේ මේ කෙනා අන්ත මෝඩයෙක් කියල මිසක් මැරෙනවා ඇර මෙයාට වෙන විකල්පයක් තිබුනේ නැහැ කියල නෙවේ.

    බණ්ඩාගේ කතාව මුලදී හරියටම හරි :
    “ඇත්තටම සියදිවිනසා ගන්න තරම් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට දෙමව්පියන් විදියට, යහලුවන් විදියට, නෑදෑයන් විදියට අත්වැලක් වෙන එක.. සහයක් වෙන එක.. ඒ තත්වයෙන් ගොඩ එන්න උදව්වක් වෙන එකයි කරන්න ඕන..

    මේ සටහනින් කරන්නේ සියදිවි නසා ගැනීම සාධාරණීයකරනය කරන එක නෙමේ, සියදිවි නසාගන්න හිතන.. සියදිවිනසාගත්ත.. කෙනෙක්ව තේරුම්ගත යුතු බව සහ සමාජයක් විදියට ඒ මනුස්සයෝ ගැන තියෙන ආකල්පයේ ලොකු වැරැද්දක් තියෙන නිසයි මේ සටහන ලියවෙන්නේ.”
    ඒක හරියටම හරි. ඒ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. වෙනස් කරවන්න ඕනේ. ඒ ආකල්ප වැරදියි කියල උගන්නන්නත් ඕනේ, ඉගෙනගන්නත් ඕනේ.

    හැබැයි පස්සේ කරන්නේ මැරෙන එක යම් විදියකයට සාධාරණීයකරනය කරන එක. හරියට අර “බබ්..බ..බබ්..” ගගා අමාරුවෙන් කියන අය විලසම :
    “අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක් එක මොහොතින් විනිශ්චය කරන්න එපා..

    ඒක මහා අමානුෂික පහත් වැඩක්..”

    සියදිවි නසාගැනීම වැරැද්දක්. බන්ඩෝ , ඒක ඒවගේම මහා අමානුෂික පහත් වැඩක්. අනික අපි දකින්නෙත් අවසාන ප්‍රතිපලය පමණයි. ඉතින් අපි කොහොමද ඒක හොඳයි කියල විනිශ්චය කරන්නේ. වැරැද්ද වැරද්දමයි.

    Like

    • රසික ඔබේ පිළිතුරට ස්තූතියි. එහි මට අදාල කොටස //ආතතිය, භින්නෝන්මාදය වැනි මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවා. ඒවාට ප්‍රතිකාර නොගෙන, ප්‍රතිකාර සඳහා යොමු නොකර හෝ යොමු නොවී සියදිවි නසා ගැනීම හා සුළු තුවාලයක් හෝ ආෂ්ඩ් වැනි හදවතේ දරුණු අබාධයක් තිබෙන කෙනා ප්‍රතිකාර ගෙන එය සුව කරගැනීමට උත්සාහ කිරීමත් ඔබ දකින්නේ කෙසේද?// ගැන අදහසක් දැක්වීමට ඉඩ දෙන්න. මානසික සෞඛ්‍යය ගැන ලoකාවේ තිබෙන අඩු දැනුම සහ සීමිත පහසුකම් ගැන ඇතැම්විට ඔබ දන්නවා ඇති. බොහෝවිට මානසිකව රෝගීවූ අය තමන් රෝගී බව දන්නෙ නෑනෙ. ඔහු/ඇය වටේ ඉන්න අයත් ඒවගේ. ඔබ දන්නවනෙ ළමයින්ගේ විභාග, ආදර සම්බන්ධතා වැනි කරැණු ගැන බොහෝ ලoකාවේ වැඩිහිටියන් හැසිරෙන අවිචාරවත් විදිහ, අර ළමය මානසික රෝගියෙක් වී සියදිවි නසා ගන්නකම්ම. තවත් උදාහරණයක් ගත්තොත්, විවාහ නොවී දරැවෙක් ලැබෙන්න යන කාන්තාවකට ඇගේ වැඩිහිටියන් සහ සමාජය සළකන අමානුශික විදිය, රෝහල් වල වෛද්‍ය සහ ඔෞෂධ හිඟය, ඔක්කොටමත් වඩා අධික දරිද්‍ර තාවය.. ඉතින් ඒවගේ සමාජයක ඔබ කියන //ආතතිය, භින්නෝන්මාදය වැනි මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවා. ඒවාට ප්‍රතිකාර නොගෙන, ප්‍රතිකාර සඳහා යොමු නොකර හෝ යොමු නොවී සියදිවි නසා ගැනීමට// ඒ මනුස්සයගෙ පිට සම්පූර්ණ වැරැද්ද පටවන්න බෑනෙ. මගේ අදහස නම් එවැනි ජීවිතයේ අපට ලැබුණු අවස්ථා නොලැබුණු අප තරම් වාසනාවන්ත නොවුනු මිනිස්සු ගැන සහකම්පාවකින් බැලීමට අප උත්සහ කල යුතු බවයි. කුඩා කාලයේ සිටම දරැවෙකුට යහපත් වටපිටාවක ජීවත් වීමටත් ප්‍රශ්න වලට මුහුණ දීමට, පෞරැෂය ගොඩනගා ගැනීමට, යහපත් ඇවතුම් පැවතුම් ඇති කර ගැනීමටත් දෙමාපියන්/වැඩිහිටියන්/සමාජය මගින් coach කල යුතුයි, එහෙම නොවන සමාජයක පෞරැෂයේ අඩුපාඩු සහිතව සුළු ප්‍රශ්නයකටත් මුහුණ දීමට බැරිව දිවි නසා ගන්නා අයකුට දොස් කියන්න බෑනෙ. //සුළු තුවාලයක් හෝ ASD වැනි හදවතේ දරුණු අබාධයක් තිබෙන කෙනා ප්‍රතිකාර ගෙන එය සුව කරගැනීමට උත්සාහ කිරීමත් ඔබ දකින්නේ කෙසේද?// යන්නට මගේ උත්තරය ඉතාම සරළයි. හේතු දෙකක් නිසා. 1) ශාරීරික ආබාධ වලදී මොළය නීරෝගී නිසා වඩාත් rational විසඳුම වන සුව කරගැනීමට උත්සාහ කිරීමට යොමු වෙන අතර මානසික ආබාධ වලදී මොළය රෝගී නිසා වඩාත් rational විසඳුම වන සුව කරගැනීමට උත්සාහ කිරීම සිදු නොවේ. 2) මානසික ආබාධ වල social stigma එක, කවුරැවත් කැමති නෑ තමුන්ව “පිස්සෙක්” ලෙස සමාජයේ හoවඩු ගැසී විවාහය, රැකියාව වැනි වැදගත් දේවල් වලට අහිතකරව බලපානවට.

      Like

  5. Sri lankan-African Angel

    ඔබගේ පිළිතුරට බොහොම ස්තුතියි.
    මම එයට පිළිතුරක් ලියන්නට ගියත් මේ පෝස්ට් එකේ ( http://chamsewwandi.blogspot.com/2019/10/blog-post_9.html) බොහොමයක් දේ තියෙනවා.

    සියදිවි නසාගන්නවුන් පත්තරෙන්, රූපවාහිනියෙන් පෙන්වා උත්කර්ෂයට නංවන්නේ නැතුව හෝ පෙන්වනවානම් එය සමාජයට කරන වරදක්/ ආත්මාර්ථකාමී ක්‍රියාවක් බව හා එය සුවකරගැනීමට මාර්ග ඇතිබවත් පෙන්වියයුතු බව
    social stigma එක නැතිකිරීමට ක්‍රියාමාර්ග
    ආතතිය, භින්නෝන්මාදය වැනි මානසික රෝග හඳුනාගැනීමේ ක්‍රමවේද සමාජයේ ප්‍රචලිත කිරීම හැර ඔවුන්ව දඬු කඳේ ගසනවා වැනි දේ කීම මේ ප්‍රශ්නය තවත් වැඩි කරන්නක් බවයි මගේ අදහස.

    Like

    • ජේමිස් බන්ඩාට ස්තූති කරන්නට කැමතියි අපට ආන්දෝලනාත්මක ලිපි ඉදිරිපත් කරනවාට. ඒවයේ හරි වැරැද්ද මොකක් උනත් සමාජය තුල කතිකාවක් ඇති කරන්නට බන්ඩා ගන්නා උත්සාහය අගය කරනවා. රසික ඔබත් පිළිගන්නවා ඇති යම් දෙයක් ගැන අපි මෙතෙක් නොහිතපු පැත්තක් දිහා බලන්නට විවර කරපු අගනා කවුළුවක් වුනා මෙම සoවාදය. ඒ සම්බන්ධයෙන්, මම එකඟ වුනත් නැතත්, රසික සහ ජේමිස් බන්ඩාට කෘතඥ වෙනවා. අපි අළුත් ලිපියකින් ආයෙත් හමු වෙමු.

      Liked by 1 person

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s