වැඳීම – ජාතියක නිවට බවේ සංකේතය | Kneel before Authority Babylon !

නූතන ලෝකය විසින් ක්‍රමයෙන් අතහරිමින් පවතින, නමුත් සංස්කෘතිය රැකීමේ නාමයෙන් අපි තවදුරටත් පවත්වාගෙන යන චාරිත්‍රයක් තමා ‘වැඳීම’ කියල කියන්නෙ. සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදුන වැඩුන බොහෝ දෙනෙක්ට වගේම බණ්ඩාටත් මේ වැඳීම කියන චාරිත්‍රය නුහුරු දෙයක් නෙමේ.

අපේ රටේ ගොඩක් මව්වරු පියවරු සිංහල අලුත් අවුරුද්ද, උපන්දින වගේ දිනයන් වල වගේම ජීවිතයේ වැදගත්ය කියල සැලකෙන අවස්ථා වලට පිටත්වයාමට කලින් තමන්ට වඳින්න කුඩා දරුවන්ට පුරුදු කරනවා. එවැනි අවස්ථා වල අහල පහල තවත් වැඩිහිටියන් ඉන්නවා නම් ඒ වැඩිහිටියන් ඉදිරියේද කුඩා දරුවන් වැඳ වැටීම සාමාන්‍ය දෙයක්.

සමහර පවුල් වල දරුවන් දිනපතා පාසල් යන්න පිටත් වෙන්න පෙර සිය මාපියන්ට දණගසා වැඳ පිටත් වෙන බව බණ්ඩා දැකලා තියෙනවා. ඒ විතරක් නෙමේ, පාසලේදී පවා දරුවන්ට මේ චාරිත්‍රය දිරිමත් කරන්නේ පාසලේ ඉන්නා ගුරුවරුන්ට වැඳීමට සිසුසිසුවියන්ට පුරුදු පුහුණු කිරීමෙනුයි.

මේ විදියට වෙනත් කෙනෙකු ඉදිරියේ වැඳ වැටෙන එක සාමාන්‍යයකරණය වෙච්චි සමාජයක ජීවත් වෙන දරුවන් තම දෙමාපියන්, ගුරුවරුන්ගෙන් නොනැවතී තෑගි ප්‍රදානෝත්සවය වලදී තෑගි පිරිනැමීමට එන මැතිඇමතිවරුන් ඉදිරියේ පවා වැඳ වැටෙනවා. තමන්ට යම් යම් උපකාර කිරීමට ඉදිරිපත් වන පොහොසතුන්, ප්‍රභූවරුන් ඉදිරියේ වැඳ වැටෙනවා. මීට මාස කිහිපයකට පෙර මේ හැසිරීමේ උච්ඡතම අවස්ථාවක් විදියට බණ්ඩා දැක්කේ ගායන තරඟයක් ලෙස පැවැත්වෙන රියැලිටි ටීවී වැඩසටහනකදී වයස විස්සේ විසිපහේ තරුණ තරුණියන් තමන්ගේ ගායන කුසලතාවය විනිශ්චය කරන්නට ඉන්නා ගායක ගායිකාවන් ඉදිරියේ වැඳ වැටීමේ සිද්ධියකුයි.

“අනේ මට මෙච්චර දේවල් කියල දීලා මේ තරඟයේ මෙච්චර දුරක් එන්න උදව් කරපු අහවල් සර්ට ගොඩාක් ස්තූතියි.. ගොඩාක් පිං…”

මේ හැසිරීම් සියල්ල සමාජයක් විදියට අපි පිළිගන්නා ‘හොඳ’ යයි සම්මත හැසිරීම් බව අමුතුවෙන් සඳහන් කරන්න ඕන නැහැ.

බණ්ඩාට ඉන්නවා අවුරුදු දොළහක විතර නෑදෑ දියණියක්. කලින් කිව්වා වගේ සිංහල අලුත් අවුරුද්ද වැනි සංස්කෘතික උත්සව වලදී විතරක් නෙමේ, නෑදෑ හිතවතුන් එක් රැස් වන අවස්ථාවන් වල එකිනෙකාට සමුදීමේදී වයසින් අඩු අය වයසින් වැඩි අයට වැඳීම සිදු කෙරෙනවා. ඒ වගේ වෙලාවට කිසිවෙකුට වඳින්නේ නැතුව ශේප් න්‍යාය අනුගමනය කරමින් ඉන්න බණ්ඩාට වැඩ වරදින්නේ මේ කුඩා දියණිය නිසයි..

“අම්මේ අම්මේ.. බාප්පා එයාට වඳින්න දෙන්නෑ. එපාම කියනවා”

බණ්ඩාගේ වැඩිහිටි නෑදෑයන්ට අනුව බණ්ඩා කරන්නේ අර කුඩා දරුවාට ‘හොඳ ළමයෙකු’ වීමට තියෙන අවස්ථාව නැති කිරීමක්.

“කරුණාකරලා මේ ළමයා හදාගන්න දෙන්න. ඔය පොඩ්ඩක් වැන්දා කියල මොකද වෙන්නේ?” බණ්ඩාගේ වැඩිහිටියන් බණ්ඩාට දොස් තියන්නේ ඒ විදියට.

යම් පිරිස් ඉදිරියේ වැඳ වැටීම ‘හොඳ’ බවේ ලක්ෂණයක්ය කියන එක අපේ සමාජයේ තියෙන සම්මතයක්. වෙන කෙනෙක් ඉස්සරහා වැඳ වැටෙන්නේ ඇයි? කියලා අහපුවම ලැබෙන්නේ, “හිතේ තියෙන ගරුත්වය පෙන්නන්නයි වඳින්නේ. ගරු කරනවා නම් වඳින්න බැරි ඇයි?” වගේ උත්තර.

ඒත් මේ වැඳ වැටීම කියන්නේ ගරුත්වය පෙන්වීමේ සංකේතයක්ද කියන එක බණ්ඩාට කාලයක් තිස්සේ තිබුන ප්‍රශ්නයක්. බණ්ඩාට පේන විදියට නම් වැඳීම කියන සංකේතය භාවිතා වෙන්නේ ගෞරවය ප්‍රදර්ශනය කිරීමේ සංකේතයකට වඩා යටහත් පහත් බව ප්‍රදර්ශනය කිරීමේ සංකේතයක් විදියට. ගැති බව, කීකරු බව පෙන්වීමේ සංකේතයක් විදියට. අවනත බව පෙන්වීමේ සංකේතයක් විදියට.

ඔය අවනත බව, ගැති බව, යටහත්පහත් බව වගේ හැඟීම් ප්‍රදර්ශනය කිරීමේදී යම් යම් සාධක බලපාන බවයි බණ්ඩාට හිතෙන්නේ. උදාහරණයක් විදියට,

  • සමාජ භූමිකාව අනුව… (දෙමව්පියන්, ගුරුවරුන්, නෑදෑයන්)

  • වයස අනුව… (පවුලේ වැඩිමහලුන්, නෑදෑවන වයසින් වැඩි අය)

  • තනතුරු… (තමාට වඩා වැඩිමල් ඉහළ තනතුරක් දරන අය ඉදිරියේ වැඳ වැටෙන අයෙක් තමන්ගේ නිවසේ මෙහෙකාරකම් කරන තමන්ට වඩා වැඩිමල් කාන්තාව හෝ පිරිමියා ඉදිරියේ වැඳ වැටෙන්නේ නැහැ. සමහර පවුල් වල දරුවන් පවා බලයෙන් අඩු යැයි සම්මත මෙහකාරයන්/මෙහෙකාරියන්ට වඳින්නේ නැහැ)

  • බලය… (තෑගි ප්‍රදානෝත්සවය දවසට ගුරුවරු, ඇමතිවරු ඉස්සරහා දණින් වැටෙන දරුවන් පාසලේ කසළ ඉවත් කරනා පුද්ගලයාට පෝළිමේ ගොස් වඳිනවා දැකල තියෙනවද?)

  • ලිංගිකත්වය… (සමහර පලාත් වල බිරියන් සැමියන්ට වැඳීම සිදු කරනවා)

  • මීට අමතරව පූජ්‍යය පක්ෂය… (මේ පිරිස ඉදිරියේ එකී මෙකී නොකී සියලු දෙනා වයස තරාතිරම නොබලා වැඳ වැටෙනවා)

කොයි විදියට කිව්වත් සමහරුන්ට අනුව වඳින්නේම ගෞරවය පෙන්නන්නලු.

ඒ වෙලාවලදි බණ්ඩා අහන ප්‍රශ්නය තමයි, “ඒ කියන්නේ අපේ සමාජයේ දෙමව්පියන් දරුවන්ට ගරු කරන්නේ නැද්ද? ගුරුවරුන් සිසුන්ට ගරු කරන්නේ නැද්ද? වයසින් වැඩි අය වයසින් අඩු අයට ගරු කරන්නේ නැද්ද? ගරු කරනවා නම්, වැඳීම කියන්නේ ගරුත්වය පෙන්වීමේ සංකේතයක් නම්.. ඇයි අපිට ඔය කිව්ව අය දරුවන්ට, සිසුන්ට, වයසින් අඩු අයට, බලයෙන් අඩු අයට වඳිනවා දකින්න ලැබෙන්නෙ නැත්තේ?” කියන ප්‍රශ්නය.

“ඒත් අපේ ඉස්කෝලෙ සර් හම්බුනාම වඳින්නේ නැතුව ඉන්න මොකක්ද මොකක්ද වගේ” දවසක් යාලුවෙක් බණ්ඩා එක්ක කිව්ව කතාවක්.

යාලුවාගේ ඒ කතාව පිටිපස්සෙ හැංගිලා තිබ්බ යථාර්තය තේරුම් ගන්න බණ්ඩාට එච්චරම අමාරු වුනේ නැහැ.

සමාජයෙන් සම්මත කරන ලද නිශ්චිත භූමිකා ඉදිරියේ යටහත් පහත් බව පෙන්වලා තමන්ගේ ‘හොඳකම’ පෙන්වන්න සමාජය දීලා තියෙනවා වැඳීම කියන සංකේතය. ඉතින් යම් අවස්ථාවක මේ ‘හොඳකම’ හෙවත් යටහත් පහත්, කීකරු බව පෙන්වීමේ සංකේතය භාවිතා නොකරනවා කියන්නේම ඒක ‘හොඳ’ හැසිරීමක් පෙන්වන්න තිබ්බ අවස්ථාවක් පැහැර හැරීමක්. ඒ කියන්නේ එහෙම කෙනෙක් උගන්නපු ගුරුවරයාටවත් නොවඳින කෙනෙක්. වඳින්නේ නැති එක උද්දච්ඡ කමේ ලක්ෂණයක් !

ඔය විදියටයි මගේ මිතුරාගේ හිතේ වරදකාරී හැඟීම (guilt) නිර්මාණය කෙරෙන්නෙ. ඇත්තම කියනවා නම් කවුරු කාට වැඳගත්තත් පුද්ගලිකව බණ්ඩාට නම් ඒක අදාල නැහැ. ඕනම කෙනෙක්ට ඕනම කෙනෙක් ඉස්සරහා වැඳ වැටෙන්න විතරක් නෙමේ, පොළවේ පෙරලි පෙරලි පස් කාලා අන්තිමට ඕනම කෙනෙක්ගේ පශ්චාත්භාගය ලෙවකන්නත් නිදහසත් තියෙනවා. ගැටළුවක් ඇත්තේම නැහැ.

නමුත් සමාජයක් විදියට අපගේ අනාගත පරපුර වන දරුවන්ට අධිකාරී බලය, තනතුරු, සමාජ භූමිකා වලට අවනත වෙන විදියේ සංකේත හුරු කරවමින් ඒ අන්දමේ මානසිකත්වයක් උරුම කරලා දෙන එකට නම් බණ්ඩා කොහෙත්ම එකඟ නැහැ.

ඒකයි පෞරෂ හීන, නිවට, බියගුළු පරපුරක් දැනට ඇතිවෙලා තියෙන්න සහ ඉදිරියටත් ඇතිවෙන්න ඔය වැඳීම කියන සංස්කෘතික ලක්ෂණය සෘජුවම බලපාන බව බණ්ඩා තදින්ම විශ්වාස කරන්නෙ.

තවමත් කවුරුන් හරි කියනවා නම් “නෑ නෑ වඳින්නේ ගෞරවය ප්‍රකාශ කරන්න විතරමයි” කියල, බණ්ඩා ඒ අයට කියන්නේ එක දෙයයි.

ලංකාවේ සමහර පලාත් වල විවාහ උත්සව වලදී සිරිතක් තියෙනවා මනාලිය විසින් මනාලයාට වඳින. ඒ මනාලිය, මනාලයා ඉදිරියේ වැඳ වැටෙන්නේ මනාලයාට තියෙන ගරුත්වයට නම්, අපේ සංස්කෘතියේ මනාලයන්ද සිය මනාලියන්ට ගරු කරනවා නම්.. කවදා හරි විවාහ මංගල උත්සව වලදී මනාලයන් විසින් මනාලියන්ට වඳින එක මනාලයාට ලජ්ජාවට කාරණයක් නොවන, මනාලයාගේ පිරිමිකමට අභියොගයක් නොවන, සාමාන්‍යය සම්ප්‍රදායක් වුන දවසට ඇවිත් බණ්ඩාට කියන්න. එදාට අපි කවුරු කවුරුත් පිළිගන්නම් වැඳීම කියන්නේ යටහත් පහත් බව පෙන්වීමේ සංකේතයක් නෙමේ, ගෞරවය පෙන්වීමේ සංකේතයක් කියල.

එතකන් නම් ‘වැඳ වැටීම’ කියන්නේ ගෞරවය ප්‍රකාශ කිරීමේ සංකේතයක්ය කියලා පිළිගන්න පියවි සිහියෙන් ඉන්න කිසිම කෙනෙක්ට පුළුවන් වේවිය කියලා බණ්ඩා හිතන්නේ නැහැ.

8 thoughts on “වැඳීම – ජාතියක නිවට බවේ සංකේතය | Kneel before Authority Babylon !

  1. ඉතාම වටිනා අදහසක්. මමත් හිතනවා විශේෂයෙන් වැඩිහිටියන් වැඳීමෙන් අදහස් වෙන්නේ බය පක්‍ෂපාතී බව ඇඟවීම කියලා (ඇත්තටම බය පක්‍ෂපාත නොවිය හැක). ලිපියට ස්තූතියි. ඔබේ ලිපිය මගේ මුහුණුපොතේ බෙදා හැරියා.

    Like

  2. ගරුතර මහා සංඝ රත්නයට, ගුරුවරුනට හා දෙමාපියනට වන්දනා කිරීම බෞද්ධයන්ගේ චාරිත්‍රයක්. අප එය අගය කලයුතු අතර දරුවන්ට එය පුරුදු කලයුතුය්. නමුත් ඒ අතරම තමන්ගේ වාසිය තකා කපටි දේශපාලකයන්ට වන්දනා කිරීම හෙලා දැකිය යුතුය්! එය නිවට කමක් බව මෝඩයන්ට හා කපටියන්ට පෙන්වාදී ඔවුනට නිග්‍රහ කලයුතුය්.

    Like

    • යමක් දිගටම කරගෙන යා යුත්තේ ඒ දෙය චාරිත්‍රයක් වීම නිසාය කියන අදහස මම පිළිගන්නේ නැහැ. මම මේ ලිපියේ ඔය කියන දෙමාපියන්, ගුරුවරුන් සහ සංඝරත්නය ගැනත් සඳහන් කරලා තියෙනවා. ඒ අයට වුනත් යටහත් පහත් බව (submissiveness) පෙන්විය යුතු නැහැ. මම ඒ ගැන සටහනේ කථා කරල තියෙන නිසා නැවත පැහැදිලි කරන්න ඕන නෑ කියල හිතනවා.

      Like

  3. මම නම් වඳින්නෙ වහල් මානසිකත්වයක් නිසා නෙවෙයි. අපෙ තාත්තා මතක් උනාම අදත් මට ඒ මතකයට හිතින් දනගහලා වඳින්න පුළුවනි. ඒ උතුම් මනුස්සයා ඉදිරියේ මම තාමත් බාලයෙක් කියලා මට දෑනෙන නිසා. මට එහෙම ගරු කරන්න හිතෙන්නෙ නෑති අය කොයිතරම් ඉහල හිටියත් මගෙ කරටිය නෑමෙන්නේ නෑ. මම බුදුන් වඳින්නෙත් එහෙමයි. ඒ උතුම් ගුරුවරයා කොයිතරම් මට වඩා ඉහලින්ද ඉන්නෙ කියතොත් මම පොලොවෙ වලක් කපාගෙන තවත් පහලට ගිහින් වෑන්දත් මදි.. එතකොට මගෙ මාන්නය නිකම්ම හිඳෙනවා.
    අමරදේව මහත්තයාගෙ මේ ගීත කොටසෙ අවසාන පද තමයි මම වඳින්නෙ ඈයි කියල කියන්නෙ.. මගේ කුදුබව පසක් වෙන නිසා..
    ඉහල නිල්වන් අහස විනිවිද
    නෑගෙන ඔබගේ යෝද බුදු බඳ
    මගේ නෙත සිත මෝහනය කර
    මගේ කුදුබව පසක් කර ඈත

    Like

    • මගේ තර්කය වැඳීම කියන ක්‍රියාව භාවිතා වෙන්නේ ගෞරවය නොව, යටහත් පහත් බව පෙන්වන හැසිරීමක් බව. එය සම්මතව ඇත්තෙ ගරු කිරීම පෙන්වීමටය කියා පිළිගැනෙන නිසා ඔබත් ඔබ ගරු කරන අයට ඒ බව පෙන්වීමට ඒ ක්‍රමය පාවිච්චි කරනවා ඇති.

      පුද්ගලිකව මම හිතන විදියට කෙනෙක්ට තමා තුළ තියෙන ගරුත්වය පෙන්වන්නට ඒ කෙනා ඉස්සරහා දෙකට නැමිලා බිම දිගා වෙන්න ඕනෑ නැහැ. එය මිනිස් කමටත් නිගාවක්. ඔබ එසේ නොසිතන බව පැහැදිලියි.

      එකඟ නොවීමට එකඟ වෙමු 🙂

      Like

    • සරත්, මාන්නය නැත්නම් ego එක නැති කර ගැනීමට වඳින එක ඇරෙන්න කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා නේද? දැන් ඔය වැන්දිල්ල කරන්න නැති මිනිස්සු අනිත් මිනිස්සුන්ට ගරු කරන්නේ නැතිද? බුදුන්ට වුවත් ගරු කිරීම වැඳීම නොවෙයි ප්‍රතිපත්තිය අනුගමනය කිරීමයි. වඳින එක ඊට වඩා ගොඩක් ලේසි නිසා අපි ඒක කරනවා කියන එකයි මගේ හැගීම.

      මම මගේ දරුවන් කාටවත් වඳිනවට කැමතිත් නැහැ. මට කවුරුවත් වඳිනවට කැමතිත් නැහැ. මගේ ප්‍රියතම විදිය තමයි hug එක. ඒක වදිනවට වඩා ගොඩක් හෘදයන්ගමයි.

      Liked by 1 person

    • වැඳීමෙන් පෙන්වන්නේ ගරු කිරීම නම්, ego එක අඩු කිරීම නම්, හැම විටම එක් පිරිසක්ම අනෙක් පිරිසට වඳින්නේ ඇයි කියල මම සටහනෙ අහල තියෙන ප්‍රශ්නයට පිළිතුරක් ලැබුනේ නැහැ.

      ඇයි වැඳුම් ලබන පිරිස තමාට වඳින අයට ගරු කරන්නේ නැද්ද? වැඳුම් ලබන පිරිසගේ ego එක අඩු විය යුතු නැද්ද? ඒ අය ego ප්‍රශ්න වලින් පිරුනු සාමාන්‍යය මිනිස්සු නෙමේද?

      Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s