මේ පසුගිය දිනකදී සිදුවුන සිදුවීමකි.
අවුරුදු දහයකට අඩු කුඩා දැරියක් සිත් පිත් නැති නරුමයෙකු අතින් දූෂණයට ලක් වෙයි.
කලක් තිස්සේ මේ අහිංසක කුඩා දරුවා දෙස ඇහැ ගහගෙනා සිටි මෘගයාගේ සැලසුම අවසනයේ සාර්ථක වේ. මුළු ජීවිත කාලය පුරාවටම වෙනස් කල නොහැකි ලෙස තැලී පෙළී ගිය සිතක් ශරීරයක් ඉතිරි කරමින්, තම සිතැඟි ඉටු කරගත් මෘගයා නිරුපද්‍රිතව නික්ම යයි. ඒ නික්මෙන්නේ කිසිදා කුමන නීතියකටත්, කුමන උසාවියකටත් වග උත්තර බැඳීමට හසු නොවන ලෙස සියලු සාක්ෂි හේතු සාධක තුරන් කිරීමෙන් පසුවය.
මඳක් නවතින්න. නැත. කතාව එතනින් අවසන් නැත. තවත් ඉතාම වැදගත් කාරණාවක් එකතු කිරීමට ඉතිරිව ඇත.
ඉහත කී මල් කැකුළ සදහටම විනාශ කර දැමීමට පෙර, ඒ කාලකණ්ණි අපරාධය සිදු කිරීමට මෘගයා සැරසෙන විටදීම, ඒ අසළින් මිනිසෙක් ගමන් කරයි. ඔහු නැවතී බලා, කුමක්ද සිදුවන්ට යන්නේ කියා තේරුම් ගනියි.
තවම මෘගයා, ඒ අහිංසක දියණියව පාගා හප කර දමා නැත. අර මිනිසාට තවමත් ඇයව මෘගයාගේ කුරිරු දෑත් වලින් බේරා ගැනීමට හැකියාව ඇත.
සිදුවන්නේ කුමක්ද? වෙන්නට යන මහා අපරාධය වැළැක්විය හැකිව තිබියදීත්, සියල්ල වැළකීමට තමාට හැකිබව සම්පූර්ණයෙන්ම දන්නා අර මිනිසා, කුඩා දැරියව මෘගයා අතින් දූෂණය වීමට ඉඩ හරියි.
ඒ මිනිසා, මේ අපරාධය වීමට කළින් එය වැළැක්වීම ප්‍රතික්ෂේප කල මිනිසා, එසේ කරන්නේ පහත සිතිවිලි පදනම් කරගෙනයි.
“මේ මොහුගේ නිදහසය. මා මොහුට බාධා නොකරමි. මා මොහුට බාධා කලෝතින්, මොහු මේ කිරීමට යන අපරාධය මොහු අතින් සිදුවන්නේ නැත. එවිට මොහුගේ සැබෑ ස්වරූපය හෙළි නොවේ. ඒ නිසා මා මේ වෙන්නට යන දෙය නොවළක්වමි. මොහු මේ අපරාධය කලොත්, පසුව මොහු පසුපස ගොහින්, මම මොහුව මරා මේ මෘගයාට දඬුවම් කරමි”
මගේ කතාවේ අඩක් දැන් සම්පූර්ණය. අර මිනිසා විසින් ඔහු සිතූ ආකාරයට තවම මෘගයාට දඬුවම් කොට නැති වුවත්, බොහෝ විට අනාගතයේ මතු යම් දිනයක අනිවාර්යෙන්ම ඔහු සිතූ ආකාරයටම මෘගයාට දඬුවම් කරනු ඇත. නමුත් වඩාත්ම ඛේදනීය කාරණය එය නොවේ.
“දරුවා විනාශ වී යාමට වඩා ඛේදජනක දෙයක් සිදු වන්නට මේ කතාවේ තවත් ඉඩ ඇත්ද?” කෙනෙක් මගෙන් අසනු ඇත.
අපරාධය නොවළක්වා බලා සිටි මිනිසා, තමාගේ ඒ තීරණය තමාටම පමණක් සීමා කරගන්නවා වෙනුවට, ගෙදර ගොසින් තම පවුල සමඟ, නෑදෑ හිතමිතුරන් සමඟ, අසල්වාසීන් ගම්වාසීන් සමඟ කියයි. තමා දුටු දේ, තමා නොකල දේ, තමා කරන්නට යන දේ ඔවුන්ට පැහැදිළි කරදෙයි.
දැරිය දූෂණය වූවාට වඩා ඛේදජනක දේ මෙයයි. ඔහුගේ කතාව ඇසූ සියල්ලෝ, ඔහු කල දේ, හරියටම කියනවා නම් නොකල දේ ගැන ඔහුට ප්‍රශංසා කරයි.
ඒ තීරණය හොඳම සාධාරණම තීරණය කියා ඔහුට ආවඩයි. ඔහුව ඇගයීමට සති අන්තයේ, හරියටම කියනවා නම් ඉරු දින උදයේ රැස් වීමක් සංවිධානය කරයි. එහිදී ඔහුට නොනිමි ප්‍රශංසා ලබා දෙයි.
ඔහු ගමේ සැමට කරදරයකදී උදව් පදව් කරනා මහත්මයෙකි. සැමගේ ගරුබුහුමන් ලබන ප්‍රභූවරයෙකි. ඉතින්, ගමේ මිනිසුන් ඔහුගේ ක්‍රියාව සාධාරණීයකරනය කිරීම තේරුම් ගත හැක.
එහෙම නේද?
මඳක් නවතින්න. නැවත සිතා බලන්න. ගමේ මිනිසුන්ට ඔහුගේ ක්‍රියාව සාධාරණීයකරණය කල හැකිද? ඔහුගේ ක්‍රියාව, මේ සටහන කියවන ඔබට අනුව, ඔහු නොකල ඒ ක්‍රියාව නිවැරදිද?
ඒ මහත්මයා, ඒ ප්‍රභූවරයා ගැන ඔබට ඇති වන්නේ කුමනාකාරයේ හැඟීමක්ද?
මේ සටහන ලියනා මම ඒ ප්‍රභූවරයාගේ සැබෑ නම දනිමි. ඔහුගේ නම පමණක් නොව ඔහු ගැන සියලු දේද, ඔහුගෙන් තමන්ට ලැබෙන වාසි ප්‍රයෝජන උදෙසා ඔහුට ආවඩන ගම් වාසීන් කවුරුද කියාද මම දනිමි. ඔව්, මම ඔහුගේ අනන්‍යතාවය ඔබට දැන් හෙළි කරමි. ඔවුන් කවුරුද කියාද ඔබ ඉදිරියේ ප්‍රකාශ කරමි.
අපරාධකරුට පසුව දඬුවම් දීමේ අරමුණින් අසරණ දැරියගේ දුක වේදනාවට අහක බැලූ මහත්මයාගේ නම, දෙවියන් වහන්සේය. ඔහුව හැඳින්වෙන්නේ සර්වබලධාරී දෙවියන්වහන්සේ කියාය.
ඔහු කල දේ අනුමත කරනා, ඔහුගෙන් ලැබෙන, ලැබෙනවා යයි සිතන වාසි නිසා ඔහුට ආවඩනා ගම් වාසීන් නම්, බිලියන ගණනක ඒ සර්වබලධාරී දෙවියන්ට වන්දනාමාන කරනා මිනිසුන්ය.
මම මුහුණු පොතේ සැරිසරමින් සිටිමි. නිවුස් ෆීඩ් එකේ උඩ පහළ යන මට අනතුරකට ලක් වී කුඩු වි විනාශ වී ගිය වාහනයක ඡායාරූපයක් ඇස ගැටේ.
ඒ ඡායාරූපය සමඟ, ඒ අනතුරින් පසු දැඩි තුවාල ලබා මාස ගාණක් සැත්කම් වෛද්‍යය ප්‍රතිකාර ලබාගෙන එකතැන් වී සිටීමෙන් පසු, තමන්ව බේරාගත් දෙවියන්වහන්සේට ස්තූති කරමින් ලියූ සටහනකි.
“ඔබගේ දෙවියන්වහන්සේ මහා අරුම පුදුම කෙනෙක්නේ. ඔබව අනතුරට පත් වීමෙන් වැලැක්වීමට හැකියාව තිබියදී, ඔබව අනතුරට පත් වීමට ඉඩ හැර, පසුව සුව කරන්නේ අහවල් එකකටද? එහි ඇත්තේ කුමන නම් සදාචාරයක්ද? ඇරත්, අද දවසේම මෙවැනි අනතුරු වලින් මිනිසුන් කීදෙනෙක් මියයන්නට ඇතිද? ඒ මියගිය අයගේ කීයක් නම් පවුල් අනාථ අසරණ වෙන්න ඇත්ද? ඔබට ලැබෙන දේ අනෙක් ජීවිත වලට නොලැබුනත්, එය ඔබට ලැබෙන තාක් එය හොඳ ඩීල් එකක් විදියට බාර ගන්නේ කෙලෙසද?”
මම ප්‍රශ්න කරමි.
“දෙවියන් වහන්සේ වැඩ කරන්නේ අභිරහස්‍යමය විදියටයි. God works in mysterious ways” ඔහු මට පිළිතුරු දෙයි.
මේ ලෝකය තුළ වසරකදී පමණක් අවුරුදු පහළවට අඩු දරුවන් මිලියන හතකට ආසන්න ගණනක් මියයයි. එයින් මිලියන පහත් හයත් අතර ප්‍රමාණයක් දරුවන් අවුරුදු පහට අඩු දරුවන්ය.
ආසන්න වශයෙන් ගනන් බැලූ විට තත්පර පහකට වරක් අවුරුදු පහළවට අඩු දරුවෙක් බැගින්….!!!
මොහොතකට නැවතී සිතා බලන්න. ගත වන තත්පර පහක් ගානේ… ලෝකයේ කොහේ හෝ තැනක.. දරුවෙක්..! ඔබ මේ පෝස්ටුව කියවන්නට පටන් ගෙන දැන් තත්පර පහේ ඒවා කීයක් ගත වී ඇතිද?
2004 වසරේ සුනාමියෙන් මියගිය මුළු ගණන දළ වශයෙන් 240,000 කි. වසරකට මිය යන දරුවන් ගණන සලකන විට, සුනාමියෙන් මිය ගිය ඒ ගණනට සමාන ගණනක් ගත වන සෑම දින දොළහකට වරක්ම මියයයි.
සෑම දවස් දොළහකට වරක්ම සුනාමියක්. කුඩා දරුවන් පමණක් මියයන සුනාමියක් !
අප ජීවත් වන ලෝකය එවන් ලෝකයකි.
සර්වබලධාරී දෙවියන්ගේ පැවැත්ම විශ්වාස කරනා ජනතාව විසින් පිළිගන්නා පරිදි, සර්වබලධාරී දෙවියන්ගේ ලක්ෂණ තුනකි.
- සියලුම දේ දන්නා බව – All knowing [omniscient]
- සියලු දේ කල හැකි බව – All powerful [omnipotent]
- අනන්ත ලෙස ගුණවත් බව – possessing unlimited goodness. [omnibenevolent]
දෙවියන්වහන්සේගේ තියෙනවාය කියනා ලක්ෂණ සහ ලෝකයේ පවතින යථාර්තය අතර ඇති නොගැලපීම තේරුම් ගැනීමට පැය ගනන් කල්පනා කිරීමටවත්, පිටු ගනන් ලිවීමටවත් අවැසි යැයි නොසිතමි.
a) දෙවියන්වහන්සේ දැනගැනීමට ඇති සියලුම දේ දන්නවා නම්, මා ඉහත සඳහන් කල ආකාරයේ අයහපත් දේ ඒවා සිදුවීමටත් කලින්ම දන්නවා විය යුතුය.
b) ඔහුට සියල්ල කල හැකි නම්, ඒ අයහපත් දේ නැවැත්වීමට ඔහුට හැකියාව තිබෙනවා විය යුතුය.
c) ඔහු අනන්ත වූ ගුණවත් අයෙක් නම් මේ අයහපත් දේ වැළැක්වීමට ඔහුට උවමනාවක් තිබිය යුතුය.
එහෙත්, ලෝකයේ අයහපත පවතියි. අසීමිත ලෙස, හිතාගැනීමටවත් නොහැකි තරමට ලෝකයේ අයහපත පවතියි.
එක්කෝ දෙවියන්වහන්සේ විසින්, හැකියාව තිබියදී, අයහපත වළකන්නේ නැත. එක්කෝ දෙවියන්වහන්සේ කියා කෙනෙක් නැත. විය හැක්කේ මින් එකක් පමණි.
මේ පටලැවිල්ල ළිහා ගනු පිණිස, මගේ කතෝලික මිතුරන් පවසන්නේ මෙයයි.
“දෙවියන්වහන්සේ මිනිසාට නිදහස් කැමැත්ත දීලා තියෙන්නේ. ලෝකේ තියෙන අයහපතට වගකියන්න ඕන ඒ නිසා මිනිසා. දෙවියන්වහන්සේට කරන්න දෙයක් නැහැ”
මේ පැහැදිළි කිරීමේ ඇත්තේ එක අවුලක් පමණක් නොවේ. ඒවා සියල්ල ගැන සඳහන් කිරීම පසෙක දැමුවත් එහි ඇති ප්‍රධානම, පැහැදිළිම අඩුපාඩුව නොසලකා හැරිය නොහැක.
ලෝකයේ ඇති මිනිස් ක්‍රියාකාරකම් වලින් පිට, භූ ස්ථර ඉහළ පහළ යාම නිසා හටගන්නා භූමිකම්පා, සුනාමි, කුණාටු වැනි මිනිසා පොළවේ හටගැන්මට පෙරත්, මිනිසා පොළවෙන් අතුරුදන් වූ පසුත් ඇති වන ස්වභාවික දේ නිසා ඇති වන අයහපත ඒ “නිදහස් කැමැත්තේ” තර්කයෙන් සාධාරණීයකරණය කල නොහැක.
ඒ වගේම මේ දෙවියන්වහන්සේගේ (එහෙම කෙනෙක් සිටියි නම්) නරුම ක්‍රියාවේ තවත් සඳහන් කල යුතුම අවුලක් ඇත.
ඒ නම්, මේ දෙවියන්වහන්සේ “මම උඹලාව මැව්වා.. නිදහස් කැමැත්ත දුන්නා.. දැන් ඕන දෙයක් කරගනිල්ලා” කියා පැත්තකට වී සිටිනා Deist
දෙවීකෙනෙක් නොවේ.
ඕනෑම ආගමිකයෙකුගෙන් අහන්න. දෙවියන්වහන්සේ මෙලොව ආගමිකයන්ගේ ජීවිත වලට නොයේකුත් ආකාරයේ විදි වලට සම්බන්ධ වේ, බලපෑම් කරයි.
ඔහු සමහර වෙලාවට නැති වූ යතුරු සොයා දෙයි.
සමහර වෙලාවට ප්‍රේමවන්තයන්ට ප්‍රේමවන්තියන් යාළු කරගන්නට උදව් කරයි.
මාසයේ අන්තිම ගෙවල් කුළිය, කාර් එකේ වාරිකය ගෙවන්නට අදහාගත නොහැකි සපෝට් ලබා දෙයි.
විභාග පාස් කරයි.
දරුවන් අහිමි අයට දරු පළ ලබා දෙයි
ලෙඩ රෝග සුව කරයි (කකුල් අත පය වෙන් වූ අයගේ අත පය නැවත සැකසීම හැර)
රස්සාව කරන තැන ප්‍රමෝෂන් ලබා ගන්නට බැකප් එකක් දෙයි.
යුධ ජයග්‍රහණ ලබා ගැනීමට සහය වෙයි ( ඒ විතරක් නම් මදෑ, ක්‍රිකට් මැච් දිනන්න පවා සපෝට් කරයි)
දෙවියන්වහන්සේ යනු මෙවන් අනේක විද වැඩ කරනා, යාච්ඥාවන්ට ප්‍රතිචාර දක්වනා, ඉඳ හිට ප්‍රාතිහාර්ය කරනා active දෙවිකෙනෙකි.
අදහන්නන්ට අනුව දෙවියන්වහන්සේ මිනිසුන්ගේ නිදහස් කැමැත්තට බාධා නොකර “අනේ මට පාඩුවේ ඉන්න දෙන්න මෙයා” කියා ඇඹරෙන්නේ ලක්ෂ ගණනින් ‘අනෙක් මිනිසුන්’ මත දුක් වේදනා පැටවෙද්දී පමණි. ඉරිදා පල්ලි ගොස් තමා ඉල්ලනා සමහර බොළඳ දේවල් (කාර් එකක් ගන්න සපෝට් එකක් දෙන්න මගෙ දෙයියෝ) වලදි දෙවියන්වහන්සේ අම්මට සිරි එල කොල්ලෙක් වාගේ පැන පැන උදව් කරයි.
ඕනෑම අදහන්නෙකුගෙන් දෙවියන්ගේ බලමහිමය ගැන විමසන්න. තමාගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේ සිය පවර්ස් හරහා වැඩ පෙන්නූ අයුරු ගැන පැයක දෙකක ලෙක්චර් එකක් අසා ගත හැක.
ආගමිකයන්ගේ සදාචාරාත්මක බංකොලොත්භාවයට මීට වඩා සාක්ෂි උවමනාද? මේ තරම් දෙපිටකාට්ටු බොළඳ තක්කඩි ලෝක දැක්මක් තවත් තියේද?
- “දෙවියො මට සපෝට් ඒ නිසා දෙවියො මාරයි. ආලෙලූයා”
-
“එතකොට ඇයි දෙවියො අච්චර දුක් විඳින මිනිස්සුන්ට උදව් කරන එක නොසලකා හැරලා ඔයාට සැපට යන්න ගත්ත කාර් එකේ වාරිකේ ගෙවන්න වගේ එකකට සපෝට් කරන්නේ.. මාර නෙ priorities දෙවියන්ගේ තියෙන්නෙ..?”
-
“ඒවා එහෙම තමයි. ඒ වුනාට දෙවියන්වහන්සේ හොඳයි..”
දෙවියන්වහන්සේ සහ සදාම් හුසේන් වැනි කෲර පාලකයෙක්ගේ වෙනස කුමක්ද කියා මට නොවැටහේ.
ඔබේ පියා ඔබට සලකමින්, ඔබේම සහෝදරයෙක් කාමරයක සිරකරගෙන ඒ සහෝදරයාගේ සුවදුක් නොසලකා හරිමින් ඔහුව හාමතේ තබනවා නම්, ඔබට සැලකූ නිසාම ඔබ ඔබේ පියාව උතුම් මනුෂ්‍යයකු ලෙස පසසයි නම්, ඔබ මොන තරම් සිත් පිත් නැති නරුම තක්කඩියෙක්ද?
ඔබට සැනසුම දෙන අතරේ, තම දරුවන්ගේ දුක ගැන කියා කඳුළු සලමින් දෙවියන්ගෙන් සහනය ඉල්ලන සැබෑ වේදනාවෙන් පෙළෙන කීදාහක් මිනිසුන්ගේ ඉල්ලීම් දෙවියන්වහන්සේ විසින් නොසලකා හරිනවාද?
එයින් නොනැවතී, ඒ මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනෙක් වෙනත් ආගම් වල වෙනත් දෙවිවරුන් අදහමින් ඔබේ දෙවියන්ව ප්‍රතික්ෂේප කල නිසා සදාකාලික අපායට යනවාද?
පොඩ්ඩක් හිතන්න. මේ අප ජීවත් වන යථාර්තය ගැන සිතීමට මොන තරම් විකාරරූපී ලෝක දැක්මක්ද කියා.
අපට සැමවිටම අහන්නට ලැබෙන්නේ දෙවියන්වහන්සේට සියල්ල කල හැකි බවය. දෙවියන්වහන්සේ අසීමිතව කාරුණික බවය. දෙවියන්වහන්සේ තමාගේ ජීවිතේ වෙනස් කම් කල ආකාර ගැනය. එහෙත්, කවුරුන් හෝ මේ විදියට, ඇස් පනා පිට පේන්න තියෙන ඇත්ත පෙන්නුවොතින්, එනම් දෙවියන්වහන්සේ යනු අකාරුණික, අසාධාරණ, සිත් පිත් නැති අධමයෙක් බව පෙන්වුවොතින් එකවිටම “දෙවියන්වහන්සේ හරිම මිස්ටීරියස්නෙ” කියා කියයි.
මේවැනි තර්කන ක්‍රම, මෙවැනි චින්තන රටා ගැලපෙන්නේ මන්දබුද්ධිකයන්ට නොවේද?
ලෝකයේ කොහේ හෝ කොනක තත්පර පහකට එකෙකු බැගින් අහිංසක දරුවෙකු වේදනාවෙන් මිය යන ලෝකයක ජීවත් වෙමින්, පල්ලියේ ගීතිකා කියද්දි මට මාර සැනසීමක් දෙන නිසා දෙවියන් පැසසිය හැක්කේ කෙසේද?
“මා බලවත් කරනා සමිඳානන් හට, සියල්ල කල හැකි වේ, සියල්ල කල හැකි වේ.”
මා කුඩා කාලයේ මගේ මවත් සමඟ දෙව්මැදුරට ගොස් ගායනා කල ගීතිකාවක කොටසකි ඒ.
අවාසනාවක මහත, දෙවියන්වහන්සේ මාව චූන් කලාට, මට පොඩි පොඩි සයිඩ් කික් සපෝට් දුන්නාට, ඔහුට සියල්ල කල හැකි වුනාට, දින පතා ගතවන පැයක් විනාඩියක් තත්පරයක් ගානේ ලෝකයේ වෙසෙනා අනෙකුත් අසරණ මිනිසුන්ගේ දුක් වේදනාවන්ට අහක බලාගෙන මාව චූන් කරනා දෙවිකෙනෙකි. තම පුතාව කුරුසේ ඇණ ගසා දස වද දීමෙන් තොරව මිනිසාගේ වැරදි වලට සමාව දිය නොහැකි සයිකොපැත් කෙනෙකි. (දෙවියො සර්වබලධාරී නම්, නීතියත් දෙවියන් නම්, තීරකයාත් දෙවියන් නම්, සමාව දෙන්නෙත් දෙවියන් නම්, මොකටද කාවවත් කුරුසේ ඇණ ගහන්නේ? නිකන්ම සමාව දෙන්නෙ නැතුව. තමාගේ පුතාට වද නොදී පෙන්විය නොහැකි ආදරය මොන තරම් රෝගී විකාරරූපී ලේ පිපාසිත ආදරයක්ද? මේවා සිහිකල්පනාවෙන් ඉන්නා මනුෂ්‍යයෙකුට පිළිගත හැකි දේවල්ද?)
එවැනි දෙවියන්වහන්සේ කෙනෙකු සැබවින්ම හිටියත්, මා කරන්නේ ඔහුගේ මූණට කෙළ ගැසීම මිස ඔහු ඉදිරියේ දණින් වැටී ඒ මානසික රෝගියාව ප්‍රශංසා කිරීම නොවේ.
“If there is a god he’ll have to beg my forgiveness”
“දෙවියන් කියා කෙනෙකු ඉන්නවා නම්, ඔහුට මගෙන් සමාව ඉල්ලා මා ඉදිරියේ බැගෑපත් වීමට සිදුවනු ඇත”
හිට්ලර් විසින් සිදු කල යුදෙව් සංහාරය දුටු, එක් යුදෙව්වෙක් කියූ කතාවක් ලෙස ප්‍රචලිත කතාවකි ඒ.
ඔව්. දෙවිකෙනෙක් කියා කෙනෙක් සිටියි නම්, ඔහු මගෙන් පමණක් නොව, මුළු මනුෂ්‍යය සංහතියෙන්ම සමාව ඉල්ලිය යුතුය.
අවසාන වශයෙන් මගේ කතෝලික/ක්‍රිස්තියානි මිතුරන්ට එක දෙයක් පවසමි.
“කවුරුන් හෝ කුඩා දරුවෙක් දූශණය කර මරා දමන්නට යයි නම් ඔහුව නවත්වා ඒ අසරණ දරුවාම මම බේරාගනිමි. මම සහ ඔබේ අසීමිත ගුණැති දෙවියන්වහන්සේගේ වෙනස එයයි”
.
.
.
— ජේමිස් බණ්ඩා
ප/ලි –
- ළමා මරණ පිළිබඳ දත්ත ලබා ගත්තේ යුනිසෙෆ් නිල වෙබ් අඩවියෙනි.
- සටහනේ සාකච්ඡා කර ඇති මාතෘකාව “Problem of Evil” නමින් සර්ච් කිරීමෙන් තව දුරටත් අධ්‍යයනය කල හැක
- සටහනේ අවසාන වාක්‍යය මගේම අදහසක් නොව Tracie Harris නම් නිරාගමිකයෙකුගේ අදහසකි. [If I could stop a person from raping a child, I would. That’s the difference between me and your God]
- ඡායාරූපය ; 1985 නොවැම්බර් 16 දින කොලොම්බියාවේ Nevado del Ruiz ගිණිකන්ද පිපිරීමට හසුවූ Omayra Sánchez Garzón නම් දහතුන් වියැති දරුවාගේයි. දවස් තුනක් එකතැන සිරවී සිටි ඇය පැය හැටක් ජීවිතය සමඟ සටන් කොට දුක් වේදනා විඳීමෙන් පසු මියගියාය.
ප්‍රතිචාර සඳහා: