“පාසැල් මාතාව” නැමැති භයානක ගැහැණියගෙන් ඔබේ අහිංසක දරුවා ප්‍රවේශම් කරගන්න | Those Happy School Days


අපේ ගෙදර ඉලෙක්ට්‍රිකල් කටයුත්තක් සම්බන්ධ අලුත් වැඩියාවකට දන්න කියන කවුරුන් හරි එවන්න කියල මම මගේ මිතුරෙකුගෙන් ඉල්ලීමක් කලේ සති කිහිපයකට උඩදි.

කිහිපවතාවක් දුරකථයෙන් කතා කරලා අන්තිමේදී මගේ මිත්‍රයා කිව්වා පහුවදාට කෙනෙක් එන බව. මොකක් හරි හේතුවක් නිසා සාමාන්යයෙන් තරමක වැඩිහිටි කෙනෙක් ඔය වගේ වැඩකට එයි කියල අපේ ඔලුවෙ ඇඳිලා තිබ්බේ . නමුත් එදා උදෙන්ම මෝටර් සයිකලයකින් ඇවිත් බැහැපු අවුරුදු විසි හතරක පහක තරුණයා දැක්කාම අපට පුදුම හිතුනේ, අපි අවිඥානිකව දැක්ක නොගැලපිල්ල නිසා වෙන්න ඇති.

ඩෙනිම් එකක්, රතු පාටයි කළු පාටයි කොටු කොටු ෂර්ට් එකක් ඇඳලා කොණ්ඩේ වටේ අඩු කරල තිබ්බ ඔහුගේ ඇස් ගාණට වැටෙන්න ස්ට්‍රේට් කරපු කොණ්ඩ කෑල්ලක් එල්ලි එල්ලි තිබ්බා. ඒ ඔක්කොටම වඩා ඔහුගේ විශේෂත්වය වුනේ හැසිරීම. වැඩකරපු විදිය.

අඩි හයකට කිට්ටු වෙන්න උසක් තිබ්බ ඔහු යන්තන් වගේ කුදු බවකින්, ඉතාම හෙමින් ඇවිදිමින් වැඩ කලේ. ඒක පුදුම ස්ලෝ-මෝෂන් එහෙ මෙහෙ විල්ලක් !

අතක් ඉස්සුවත්, හැරුනත් අමුතුම ස්ලෝ ගතියක් තිබ්බා ඒ හැසිරීමේ. ඇත්තටම මේ සටහන ලියන්නේ මේ තරුණයා ගැන නෙමේ. මේ තරුණයාගේ “ස්ලෝ හැසිරීම” නිසා මට නැවතත් මගේ පාසල් කාලය සිහි වුන නිසා.

අපේ ඉස්කෝලෙ, අපි ඕලෙවල් වයසෙදි වගේ, අපේ පන්තියේ හිටියා අපේ ගෙදර වැඩේට ආපු ඔය තරුණයා වගේම ළමයෙක්. ඒ කියන්නේ ඔය වගේම හැරුනත් ස්ලෝ ආකාරයේ කොල්ලෙක්.

අපි මෑන්ස්ට අශේන් කියමු. අශේන් තමයි අපේ ඉස්කෝලෙ අපේ වයසෙ හිටිය හොඳම ක්‍රිකටර්. මෑන් සිරා බැට්ස්මන් කෙනෙක්. ඉගෙනීම අතින් සෑහෙන දුර්වල වුනාට ක්‍රිකට් අතින් නම් නොම්බර එකේ වැඩ්ඩෙක්. මට මතකයි ඒ කාලේ වයසින් අවුරුදු තුන හතර වැඩි අයියලාගේ මැච් වලට අශේන් සෙල්ලම් කරනවා. ඒ මැච් වලදි අයියලාගේ ෆාස්ට් බෝල වලට ඒ සම වයසෙ අයට වඩා හොඳට බැට් කරනවා. මේ බව අපි හැමෝම දැනන් හිටියට අපේ පන්ති බාර ගුරු උතුමා දැනන් හිටියේ නෑ.

දවසක් අපිට අපේ පන්තිබාර සර් පාඩම උගන්න උගන්න ඉද්දි, ක්‍රිකට් බාර ගුරුතුමා ඇවිත් අපේ පන්තිබාර සර්ගෙන් අවසර අරන් අශේන් එක්ක ක්‍රිකට් ප්‍රැක්ටිස් සම්බන්ධ දෙයක් ගැන කතා කලා.

ඔය කතාවට ඇහුම්කන් දුන්නු අපේ පන්තිබාර ගුරු උතුමාට දැන් මේක අදහාගන්න බෑ. අශේන්ට “මොකක් හරි දෙයක්” පුළුවන් කියල දැනගන්නට ලැබීම අපේ ගුරු උතුමාව පුදුමයට පත් කරල.

අශේන් ඉගෙනීම අතින් සෑහෙන දුර්වල ළමයෙක්. ඒ වගේම පන්තිය ඉස්සරහා නැගිටලා ප්‍රශ්නයකට උත්තර දෙන්න සෑහෙන පැකිලෙන, ඒ ආත්මවිශ්වාසය බින්දුවක්වත් තිබ්බෙ නැති සිසුවෙක්. සර් ප්‍රශ්නයක් ඇහැව්වාම, අශේන් නැගිටින විදියට මුළු පන්තියම, මමත් ඇතුළුව, බඩ අල්ලන් හිනා වෙනවා. කන්ටේනර් එකක් උස්සන ක්‍රේන් එකක් වගේ හිමීට හිමීට… හිමීට..හිමීට… හිමීට.. ඊටත් වඩා හිමීට බයාදු මූණෙන් අශේන් නැගිටලා ඉවර වෙද්දි, ඒකට විතරයක් විනාඩි පහක් විතර ගත වෙනවා වගෙයි අපිට දැනුනේ.

ඇත්තටම සර්ලා අතින්, ළමයින් අතින් අශේන්ව බුලි වුනා කිව්වොත් මං වැරදි නැහැ.

“මූ…?? මූ ක්‍රිකට් ගහනවා ! ඈ යකෝ.. මූ බැට් එක උස්සද්දි බෝලෙ විකට් පොළු ගලවගෙන ගිහින් ආයෙ මූ බැට් එක පාත් කරද්දි මැච් එකත් ඉවර වෙලා තියෙයි”

අපේ පන්තිබාර ගුරුතුමා එහෙම කියද්දි අශේන් බලාගෙන ඉන්නෙ මරණ දඬුවම තීන්දුව දෙන නඩුකාර උන්නන්න්සෙ කෙනෙක් දිහා බලාගෙන ඉන්න විත්තිකාරයෙක් වගේ. පන්තියේ ළමයි හතලිස් ගාණක සිනා සාගරය අතරින් ඇස් දෙකෙන් “මං මොනව කරන්නද? ඒ මගෙ හැටිනෙ” කියල හැමෝගෙන්ම අහනවා වගේ.

අපේ ගෙදර ඉලෙක්ට්‍රික් වැඩේට ආපු තරුණයා වැඩකරන හැටි බලන් හිටිය මට “මේකා ඒ කාලෙ අපේ ඉස්කෝලෙ හිටියා නම් ඉඳලා ඉවරයි” කියල හිතුනෙ ඒ නිසයි.

සමාජයේ ගොඩක් දෙනෙක් තමන් ගිය පාසල ගැන කතා කරන්නේ සෑහෙන ආඩම්බරෙන්. හැඟුම්බරව. හරිම සෑහීමකට පත් වුන සිතින්. ඒත් මට, මගේ පාසල ගැන තියෙන්නේ එහෙම හැඟීමක් නෙමෙයි. ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ හැඟීමක්. පාසල් ගිය කාලයේ වගේම, පාසලෙන් අවුට් වුන මුල් කාලයේ මේ තරම් සෘණාත්මක හැඟීමක් පාසල ගැන මට තිබ්බේ නෑ. නමුත් වයසින් වැඩෙද්දි, කරුණු කාරනා පොඩ්ඩ පොඩ්ඩ වැටහෙන්න ගනිද්දි ඉස්කෝලෙ ගැන මගේ හිතේ තිබ්බ හැඟීම “පාසල” කියන තැන ඉඳලා “මොන හරක් මඩුවක්ද ඒ? අපිව කෑවා” වගේ හැඟීමක් දක්වා වෙනස් වුනා.

අපේ පාසල මිශ්‍ර පාසලක්. කතෝලික පාසලක්. එක වසරේ ඉඳලා පහ වසර දක්වා ළමයින් බඳවා ගද්දි දැඩි ලෙස ආගම සලකලා බලලයි බඳවා ගන්නේ. හය වසරෙ ඉඳල නීතිය තරමකට ලිහිල්. මම පොඩි කාලේ ඉඳල හිතින් ඇදහෙව්වේ අම්මාගේ ආගම වුන කතෝලික ආගම වුනාට, සමාජයෙදි මාව පිළිගැනුනේ තාත්තාගේ ආගම වෙච්චි බෞද්ධ ළමයෙක් විදියට. ඒ නිසා මට මගේ පාසල කියල මම දැන් මේ කියන එකට ඇතුල් වෙන්න ලැබුනේ හය වසරෙදි. (කතෝලික නොවන ළමයින්ගෙන් ඇතුල් වෙද්දි අය කරන මුදල අනෙක් ළමයින්ට සාපේක්ෂව සෑහෙන වැඩියි. ඒක තමා කතෝලික නොවීම කියන වෙනසට ගෙවිය යුතු මිල).

කොහොම හරි ඒ කාලෙ ඉඳලම අපේ ඉස්කෝලෙ අනෙක් ඉස්කෝල වලට සාපේක්ෂව ලොකු බිල්ඩින් තිබ්බා, ලොකු ෆුට් බෝල් ග්‍රවුන්ඩ්, ක්‍රිකට් ග්‍රවුන්ඩ්, ටෙනිස් බාස්කට්බෝල් කෝට් අරව මේවා ඔක්කොම තිබ්බා. ඒ අතින් නම් මරු. ඉස්කෝලයක් කියන්නේ බිල්ඩින් නම්, පිට්ටනි නම්, අපේ ඉස්කෝලෙ සුපිරි ඉස්කෝලයක්.

ඒත් මට අනුව ඉස්කෝලයක් කියන්නේ ගඩොල්, සිමෙන්ති, කළු ගල් ගොඩක් නෙමේ. ඉස්කෝලෙක තත්වය තීරණය වෙන්නේ එහි ඉන්න ගුරුවරු මොනවගේද, ඒ ගුරුවරු සිසුන් සමඟ ගනුදෙනු කරන්නේ ගැටෙන්නේ කොහොමද, ඒ ඉස්කෝලය තුළ විනය අර්ථ දක්වල තියෙන්නෙ කොහොමද, ඒ පාසල තුළ දඬුවම අර්ථ දක්වලා තියෙන්නෙ කොහොමද, ඒ පාසල අකීකරු සිසුන් කියල හංවඩු ගහල තියෙන සිසුන් ගැන කටයුතු කරන්නේ කොහොමද වගේ කාරණා අනුවයි මට නම් ඉස්කෝලෙක තත්වය තීරණය වෙන්නෙ.

ඔය හැම අතින්ම, මට අනුව නම්, අපේ ඉස්කෝලයෙ ගත යුත්තක් නැහැ. කලින් කිව්වා වගේ අපේ ඉස්කෝලය ඒ අතින් සමාන වෙන්නෙ හරක් මඩුවකට. ඇයි මම එහෙම කියන්නෙ? අපේ ඉස්කොලෙ ගුරුවරු ළමයින්ට සලකන්නේ මිනිස් දරුවන්ට වගේ නෙමේ, හරක් පැටවුන්ට වගේ නිසා.

උදේට ඉස්කෝලෙ තියෙන වටපිටාව, අර atmosphere එක කියන්නෙ, හරියට දරුවන් ඉගෙනගන්න පාසලක නෙමෙයි, හමුදා පුහුණු කඳවුරක ස්වභාවයක් ගත්තෙ.

කොයි වෙලේ කොහෙන් “චටාස් පටාස්” ගාලා සද්දයක් ඇහෙයිද දන්නෑ. කා එක්කවත් කතා කරන්න බෑ, කොයි වෙලේ පිටිපස්සෙන් කවුරු පාත් වෙලා කණට කෙළියිද දන්නෑ.

ඒ වගේම අපේ ඉස්කෝලෙ හිටියා මානසික රෝගී පෞරෂහීන ගුරුවරුන් තුන් හතර දෙනෙක්. ඔය තුන් හතර දෙනා අතර නොනිල, නොපැවසූ තරඟයක් තිබ්බා “ඉස්කෝලෙ වසම සර්” පට්ටම උදෙසා. ළමයින්ට ගහන්නේ, වචනයේ අර්ථයෙන්ම සත්තුන්ට වගේ. එක දවසක් විභාගයක් වෙලේ ඔයින් එක සර් කෙනෙක් මගේ යාලුවෙක් කොපි කලා කියල ඌට නෙළ නෙළ ඉද්දි උගේ සීමාව පැනලා ඌ සර්ට කියල “මේ සර්, බොරුවට ගහගෙන එන්න එපා” කියල. ඌ ඇත්තටම කොපි කරල නෑ. සර්ටයි වැරදිලා තිබ්බෙ. කොහොම හරි අපි හිටිය පන්තියට පන්ති දෙකක් එහා එක පාර චට පට දඩෝන් ගගා සද්දෙ ඇහෙද්දි අපේ පන්තියෙ හිටිය ටීචර්ලා එහා පන්ති වල සර්ලා දිව්වා මොකද වෙන්නෙ බලන්න. හැමෝම දන්නවා අර පරයා කාට හරි ගහන බව. ගිහින් බලද්දි මගෙ යාලුවා අරෙහෙම ඇහැව්වා කියල ඌව බිත්තියට හේත්තු කරල ගහනවලු. අපේ පන්තිය ඉස්සරහින් අර පරයාව වෙන සර් කෙනෙක් ඇදගෙන ගියේ දඩ බල්ලෙක්ව ලණුවකින් ඇදගෙන යනවා වගේ. එදා ඒ ගහපු විදිය දැකලා අපිට සමාජ අධ්යයනය උගන්නපු ටීචර් අඬලා තිබ්බා.

මේ එක අත්දැකීමක් විතරයි. මමත් කාලා තියෙනවා අම්බානට. ඇත්තටම ඉස්සරහ පේළියේ හිටිය සිරිමත් මගෙ සකි ළමයෙක් හැර, අම්බානට නොකාපු එකෙක් නැති තරම් වෙන්න ඇති.

කෙළින්ම totalitarian පාලනයක්. වමනෙ යන්න එනවා මතක් වෙද්දි.

අපේ පන්තියෙ තව ළමයෙක් හිටියා ඒ ළමයාගෙ කටහඬ මාරම ගොරහැඬියි. අසාමාන්යය විදියට අවුල් (අර අල් පචීනෝ ටයිප් එකේ). කොටින්ම ඒක කොච්චර අවුල්ද කියනවා නම් ළමයි වෙච්චි අපිවත් කවදාවත් කිසිම කෙනෙක් ඒ ලමයට ඒ ගැන විහිලුවටවත් සඳහන් කරල නෑ. ළමයි වෙච්චි අපි ඒක එක්ක එහෙම ඩීල් කලා කියල දැන් මතක් වෙද්දිත් පුදුමයි.

ඒ ළමයි වුන අපි. පන්තියට එන හැම ගුරුවරයම වගේ, එකෙක් දෙන්නෙක් හැර, හැම අවුරුද්දෙම ඔක්කොම ඉස්සරහා අර ළමයගෙන් කෙළින්ම අහනවා මට මතකයි. “ඒ … මොකද ඒ කටහඬ…? හදන්න බැයිද ඕක…? අම්මලා මුකුත් කරන්නෙ නැද්ද..?

දැන් අවුරුදු තිස් තුනක් වෙච්චි මට හොඳටම තේරෙනවා ඒ වයසෙ ළමයෙක්ගෙ ශාරිරික වෙනස් කමක් තියෙනවා නම්, ඒ ළමයාගේ එකම ප්‍රාර්ථනය, ලොකුම ප්‍රාර්ථනය, අනේ කවුරුත් මේක ගැන මගෙන් අහන්නැත්නම්, කියන එක බව. ඒත් ඒක අර අවුරුදු පනහෙ පනස්පහේ නාකි හැත්තට තේරුනේ නෑ. මුළු පන්තියක් ඉස්සරහා තමාගේ ඒ වෙනස් කම ගැන කතා කරද්දි, ඒ ළමයාගේ මානසිකත්වය කොයි තරම් වැටෙනවද?

අයිස් ගහන සර්ලා, කුණුහරප කියන සර්ලා, පන්තියට ඇවිත් නිදාගන්න ටීචර්ලා, මූණ දැක්කාම මුස්පෙන්තු වෙන සර්ලා, අනෙ අම්මේ ඒකට ගැලපෙන නම “ඉස්කෝලෙ” නෙමේ. “බුලිපුරය” වගේ මොකක් හරි එකක්.

විෂයන් වලට ගන්න ලකුණු, අධ්‍යාපන තත්වයට වඩා පාසල් අධිකාරියේ අවධානය යොමු වෙලා තිබුනේ මේ ඊනියා ඉලව් විනය කියන එක ගැන. සරලවම කියනවා නම් conformity තමයි මූලිකම ඉලක්කය. ලකුණු අඩු වෙනවට වඩා ලොකු වරද පරක්කු වී පාසලට ඒම. පාඩම් වැඩ අතපසු වෙනවට වඩා ලොකු වරද කොණ්ඩේ ජෙල් තිබීම.

අණට, දෙන ලද නීති පද්ධතියකට අනුගත, ප්‍රශ්න නොකර අවනත වෙන, පෝලිමේ යන හරක් රෑනක් නිර්මාණය කිරීමයි පාසලේ අරමුණ වෙලා තිබුනේ.

කීකරු කම… අවනත වීම.. ඒගොල්ලො විනය කියල කියන එකට අනුව අඩිය තියන ඔලුව නමන නැට්ට වනන එකෙක් වීම..

මම වගේ ට්‍රැක් අවුට් ගිය අප්සට් ජොකියෙක් අවුරුදු පහ හයකට වරක් සමහර විට ඉන්නවා ඇති. අනේ ඒ වුනාට පාසලෙන් අවුට් වෙන හැමෝම වගේ, පෝළිමේ යන, පවතින සමාජ ක්‍රමයට අනුගත වෙන, ප්‍රශ්න නොකරන, විභාග සහතික ගොඩගහගෙන ලීස් දාලා කාර් එකක් අරන් ලෝන් එකක් දාලා ගෙයක් හදාගැනීම ජීවිතේ පරම අරමුණ කරගත්ත, සමාජීය කාරණා ගැන උනන්දු නැති, වැඩ ඇරිලා ඇවිත් නිවුස් වල පෙන්නන ඇක්සිඩන්ට් එකක් බලලා ත්‍රිල් එකක් අරගෙන, දෙවනි ඉනිම බලලා රිලැක්ස් වෙලා නින්දට යන කීකරු බලුකුක්කො.

ඔන්න පාසැල් මාතාව අපට කරපු දේ.

ඉස්කෝල කියන ගුබ්බෑයම් වලින් කරන්නෙ ඔන්න ඔය වැඩේ. මම ගිය ඉස්කෝලෙ විතරක් නෙමේ. මේ රටේ හැම ඉස්කෝලෙකම කතාව ඕකයි. වෙනසක් නෑ. මම මේ කරුණු කාරණා මගේ ඉස්කෝලෙ අදාල කරලා ලිව්වේ, මේ රටේම තියෙන ගොබ්බ පාසැල් සංස්කෘතියේ ගඳගහන අත්දැකීම් මම ලැබුනේ මම ගිය පාසැල හරහා වීම නිසා.

හොඳටම අනුගත වෙන, conform වෙන, කොණ්ඩෙ පැත්තට පීරන, ගුරුවරුන්ට මුට්ටි අල්ලන “හොඳ ළමයින්” තෝරගෙන ඒ අයව වර්ණනා කරලා, අනුගත වීමට පෙළබෙන්නෙ නැති දරුවන්ව බුලි කරලා තලලා පෙළලා, මානසික ශාරීරික අපයෝජනයට ලක් කරලා විනාශ කරලම දානවා.

ගුරුවරු කියන ලේබලේ ගහගෙන හිටිය ඒ මිනිස් බල්ලො අතර හිටිය එකම එක මනුස්සයා, එකම එක ගුරුවරයා ගැනත් වචනයක් ලියන්න ඕනෙමයි.

ඒ ගුරුවරයා, ඒ මනුස්සයා, හැම වෙලාවෙම කිව්වෙ,

“මේකේ ඉන්න නාහෙට අහන්නැති උන්ව තියාගන්න බෑ කියල අස් කරලා දැම්මොත් අපි කරන්නේ ඌව සමාජයට නිකන් ඔහේ අත ඇරලා දාන එක. එහෙම කලාම මුං ගිහින් මොකෙක් වෙලා නවතියිද? අස් කරන එක නෙමේ වැඩේ, මුන්ව තියාගෙන පුළුවන් තරම් හදන්න උත්සාහ කරන එකයි වැඩේ”

ඉස්කෝලෙ හිටිය හදන්නම බැහැ කියල හැමෝම කියපු කොල්ලො ගැන සර් ඒ කාලෙ ඉඳල කියපු ඒ කතාව අද වගේ මතකයි.

විදුහල්පතිවරු, ගුරුවරු ඔක්කෝමල්ලා කරදරකාරී ළමයින්ව අස් කරන්න හදද්දි අනිත් පැත්තට හිටියෙ ඒ සර් විතරයි. අරුන්ගේ විසඳුම ගහලා ගහලා අවනත නොවෙන එකාව අස් කරලා උගෙන් ගැලවෙන එක වුනත්, මම කියන මේ ගුරුවරයා එහෙම හිතුවේ නෑ. සර් කිව්ව කතාවේ බරපතලකම ඇත්තටම එදා තේරුනේ නෑ. ඒත් ඒ කතාවේ වැදගත්කම අපට තේරෙන්නේ දැන්.

නරක ළමයින්ව ළඟට අරගෙන, වෙනම ඒ අය එක්ක ඒ සර් කතා කරනවා. පැය ගනන්. ඒ ළමයින්ව තේරුම් ගන්න උත්සාහ කරනවා. අන්තිම කාලේ සර්ට ඉස්කෝලෙ ප්‍රින්සිපල් ලෙවල් එකෙන් ප්‍රශ්න පවා ආවා ළමයින්ට ගහන්නෙ නෑ, නළවනවා, ඒ නිසා සෙක්ෂන් එක බාරව ඉන්න ඒ සර් සුදුසු නෑ කියල.

සර්ලාගෙන් වැඩියෙන්ම ගුටිකාපු, හදන්නම බැරි ඇට්ටරයො විදියට හංවඩු ගැහුන ළමයින් ගැන, ඒ අයගේ පවුල් පසුබිම ගැන, ඒ ළමයින්ට අත් වල හිරි යනකල්, තමන්ගෙ එදිනෙදා ජීවිතයේ පීඩනය නිදහස් වෙනකල් පහර දුන්නු අනෙක් ගුරුවරු හිතුවේ නැහැ…. ඒ ඇට්ටරයො, ඒ විදියෙ ඇට්ටරයො වෙන්නෙ, අනෙක් අයව බුලි කරන ළමයි වෙන්නෙ, ගෙවල් වල දෙමව්පියන් අතින් ඒ අය බුලි වෙන නිසා කියල අපේ ඉස්කෝලෙ ගුරුවරු දැනන් හිටියේ නෑ. දැන් ඉස්කෝල වල උගන්වන ගුරුවරු දන්නවද දන්නෙත් නෑ.

වේවැලෙන් පස්සට වත්, අල්ලෙන් කම්මුලටවත් කෙළලා අරින එක නෙමේ විසඳුම, ඒ ළමයාගේ මනසට එබිලා, ඒ බිඳුන මනස හදන්න උත්සාහ කරන එකයි වැඩේ කියල ලංකාවෙ ගුරුවරුන්ගෙන් කීයෙන් කීදෙනෙක් හිතනවා ඇද්ද? තේරුම් ගැනීමයි, සානුකම්පාවයි, දයාවයි සැබෑ විසඳුම කියල, වේවැල කියන ශෝට් කට් එක තෝරගන්න කීයෙන් කීදෙනෙක් දන්නවා ඇත්ද?

යකෝ දරුවෙක්ට හරකෙක්ට වගේ සැලකුවොත් ඌ හැසිරෙන්නෙ හරකෙක් වගේ තමා.

ඇත්තටම, මම මෙච්චර කේන්තියෙන් ඒ ගුරුවරු ගැන කතා කලාට, ඒ අයත් එහෙම වෙලා තියෙන්නේ, ඒ අයත් කුඩා කාලයේ වැඩිහිටියන් අතින් අපයෝජනයට ලක් වෙලා තියෙන නිසා වෙන්න ඇති.

එහෙම බැලුවාම, අපේ රටම එකිනෙකාව බුලි කරගන්න මිනිස්සු ගොඩකගෙ එකතුවක්. අපි කොච්චර රෝගීද ඒ අතින් කියල හිතද්දිත් දැනෙන්නේ කණගාටුවක්. පාසල් කාලය කියල මතක් කරද්දි, අපි අපි යාලු මිත්‍රයො එකතු වෙලා කරපු කියපු දේවල් වල සතුට ඇරුනාම, මට නම් දැනෙන්නේ කණගාටුදායක මතකයක්.

හිතට එන්නේ සිරගෙයක වගේ හැඟීමක්.
.
.
.
— ජේමිස් බණ්ඩා

10 thoughts on ““පාසැල් මාතාව” නැමැති භයානක ගැහැණියගෙන් ඔබේ අහිංසක දරුවා ප්‍රවේශම් කරගන්න | Those Happy School Days

  1. මමත් ගියේ කොලබ ජනප්‍රිය පාසලකට (මහානාම ) නම්වශයෙන් කියනවනම් අපෙත් හිටියා සිරිල්, දීපාල්, පැමලා, අමරසිංහ, චන්දවිමල වගේ තමන්ගේ ගෙවල්වල ප්‍රශ්න ලමයින්ගේ පිටින් අරින නරුමයින්.

    Like

    • මම මේ සටහන ලියද්දි හිතුවේ මේකට බහුතරයක් දෙනෙක් එකඟ නොවී මගේ අදහස් නිර්ධය ලෙස විවේචනය කරයි කියලා (මීට අවුරුදු තුන හතරකට කලින් මෙවැනි මාතෘකා ගැන සයිබරයේ තත්වය තිබුනේ එහෙමයි).

      නමුත් ලැබුන ප්‍රතිචාර මම කොහොමත් බලාපොරොත්තු වුනා වගේ නෙමෙයි. ප්‍රතිචාර දක්වපු අයගෙන් 99%ක්ම වගේ මේ ගුරුවරු කියන අයගෙන් (හැමෝගෙන්ම නොවුනත්) තාඩන පීඩන වලට ලක් වුන, කලකිරීමෙන් ඉන්න අය. පුදුමයි.

      Like

    • මම පාඩුවේ හිටපු කෙනෙක් නිසා වැඩිය ගුටි කන්න සෙට් උනේ නෑ. ඒ උනාට ඕනතරං බොරුවට ගුටි කන කේස් දැකලා තියනවා.

      මම දැන් ඉන්නේ ලංකාවෙ නෙමෙයි. මගේ ලමයි අපි වගේ බයෙන් නැතුව, සතුටින් ඉස්කෝලේ යනවා බලලා සතුටු වෙනවා.

      Like

    • එක උදාහරනයක් නම්, ඉස්කෝලෙට පර්ස් එකක් ගෙනාවේ ඇයි කියලා හේතු දක්වන්න උනා. (හොද වෙලාවට ගුටි කන්න සෙට් උනේ නෑ)

      මොන ගොං තියරියක්ද? පර්ස් එක තියෙන්නේ සීසන් එක, ටියුශන් කාඩ්, සල්ලි ටික දාල තියාගන්න, මිසක් වෙන මොකටද?

      Like

    • මම සටහනේත් කිව්ව විදියට පාසැල් වල විනය අර්ථ දක්වනේ “පාලනය කිරීම”, “අනුගත කිරීම” විදියට. දෙන ලද කුමක් හෝ නීතියකට, ඒ නීතියේ තේරුමක් තිබ්බා හෝ නැතා හෝ, අනුගත වෙන්න පුහුණු කරන එකයි පාසැලෙන් කරන්නෙ.

      උදාහරණයකට අපේ ඉස්කෝලෙ ඇතුළෙ කැප් දාන්න බැහැ. ඉස්කෝලෙ ඇරිලා ගෙදර යද්දි අපි කැප් එක අතට අරන් ඔලුවට දාගන්නෙ ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට ආවයින් පස්සෙ. ඒ, කැප් එක දැමීමෙන් පාසලට අගෞරවයක් වෙන නිසාලු. ඒක තමයි ඒ නීතියට තිබ්බ පැහැදිලි කිරීම. වැඩේ කියන්නෙ, ස්පෝට්මීට් කාලෙට ළමයි දවසම ග්‍රවුන්ඩ් එකේ නිසා, ඒ කාලෙට ඉස්කෝලෙ ඇතුළෙ කැප් දාන්න පුළුවන්. ඒ කියන්නෙ, එතකොට ඒ කාලෙට ඒක අගෞරවයක් නෙමේද? මොන කුණුහරපයක්ද? එතන තියෙන්නෙ, අපි කියන දේ මොක හරි තොපි කරන්න ඕනෙ, කියන නීතිය.

      අපි ගිය ඉස්කෝල වල විනය කියන දේ තේරුමක් නැති විකාරරූපී සංකල්පයක් කරලයි තිබ්බෙ. මං හිතන්නෙ වර්තමානයෙත් වැඩි වෙනසක් නැහැ.

      Like

  2. ඔව්. මේ විදිහට මාවත් ගුරුවරියන් දෙන්නෙක් බුලි කරලා තියෙනවා. අප්‍රසන්නයි මතක් වෙද්දිත් ඒ දේවල්. ඒ බුලි වීම මගේ ළමා කාලයම විනාශ කලා ඇත්තටම.

    මේ ලියන්ඩ යන දිග කමෙන්ට් එක ඒ විදිහෙ මානසික රෝගී ගුරුවරු ගැන නෙමේ. මේක දැනට ඉස්කෝලවල් වල තියෙන ළමයින්ට ගහන, ගහලා හදන්ඩ හදන සිස්ටම් එක ගැන කථාවක්. අපි දන්න ඉතිහාසේ හිටන්ම ටීචර්ලා ළමයින්ව හදන්ඩ පාවිච්චි කරපු ක්‍රමය ඒකනේ. හැබැයි දැන් වෙනකොට ශාරීරිකව දඩුවම් කිරීම පාසැල් පද්ධතියෙන් අතුගාලා දාන්ඩ ගොඩක් සංවිධාන වල අය ට්‍රයි කරනවා. ඒ ළමා අයිතිවාසිකම්, ගහන එකෙන් ළමයින්ට ඇති වෙන මානසික බලපෑම් වගේ දේවල් සලකලා.

    කොහොමහරි මේ අය ඇති කරන මේ ප්‍රතිරෝධය නිසා ගුරුවරයෙකුට ළමයෙක්ට යම් තරමකට හෝ දඩුවම් කරන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ගහලා හදන එකට මමත් එකග නොවුනත් ඒක එකපාරටම සිස්ටම් එකෙන් අතුගාල දැම්මොත් ලොකු අවුලක් වෙන්න පුළුවන්. මෙච්චර කල් ළමයින්ව හැදුවේ කලේ ගහලා නම් ඒක ඉස්කෝලෙන් අයින් කරනවා නම් ඒක වෙනුවට අළුත් සිස්ටම් එකක් ඉස්කෝලේ ඇතුලේ රීප්ලේස් වෙන්ඩ ඕනෙ. අර ඔයා කිව්ව වගේ ළමයින්ව ළගට ගෙන්නලා ප්‍රශ්නෙ ගැන අහල බලලා සහකම්පනයෙන් ළමයව ගොඩගන්න සිස්ටම් එකක්. ඒකට අපි හැමතැනම මෙන්න මෙහෙම ආදරෙන් සලකන්න ළමයින්ට කිය කිය තැන තැන ගිහින් කිව්වට වැඩක් නෑ. ඒක විශාල සිස්ටම් එකක් විදිහට පාසලට ආ යුතු දෙයක්. ඒ සිස්ටම් එක ඇතුලේ මට දැනට දැනෙන විදිහට මෙන්න මේ දේවල් තියෙන්න ඕන.

    ගුරුවරුන්‍ට ළමා මනෝවිද්‍යාව, අද්‍යාපන මනෝවිද්‍යාව ගැන සැලකිය යුතු දැනුමක්.
    පංතියක් ඇතුලෙ ළමයි 45ක් 50ක් ඉන්නවා දැනට. එහෙම නැතුව තනි තනි ළමයාට ඇටෙන්ශන් දෙන්න පුලුවන් තරමේ ළමයි ප්‍රමාණයක්.
    සිලබස්, විභාග ටාගට් නොවිච්ච දරුවෙකුව මනෝ සමාජීයව සංවර්ධනය කිරීම මූලික වෙච්ච අද්‍යාපන ක්‍රමයක්.
    දරුවෙකුගේ ප්‍රශ්ණ සම්බන්ධව ක්‍රියා කළහැකි ඉස්කෝලේ ඇතුලෙම ක්‍රියාත්මක වන කවුන්සලින්ග්, සයිකෝ තෙරපි සහ උපදේශන සේවා. එහෙම අමාරු නම් අඩුම තරමෙ ඉස්කෝලේ හරහා ළමයින්ව එහෙම සේවා වලට යොමු කිරීමක්. මෙතනදි දරුවා පමණක් නෙමේ දරුවාගෙ දෙමව්පියන්ටත් දරුවාගෙ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්ඩ ඕන විදිහ ගැන යම් දැනුමක් ලබා දෙන්ඩ ඕනේ.

    දැනට තියෙන තත්වෙත් එක්ක අපිට ඒ වගේ සිස්ටම් එහෙකට එන්න තව කොච්චර කාලයක් වගේ යයිද? දැනට ළමයින්ගේ හැම ප්‍රශ්නෙකටම විසදුම විදිහට පාවිච්චි කලේ කෝටුව. හැබැයි ක්‍රමවත් සිස්ටම් එකක් එන්න කලින් කෝටුව සිසට්ම් එකෙන් අයින් කලොත් ඊළඟට ළමයින්ට මොනවා වෙයිද? උදාහරණයක් විදිහට දැන් ගංජා ගහන ළමයෙක්ව පාලනය කරන්නේ කෝටුවෙන් නම් හෙට කෝටුව තහනම් කලොත් අපිට ඒ ළමයව යොමු කරන්න වෙන සිස්ටම් එකකුත් නැත්නම් ඒ ළමයට ඉන් පස්සෙ මොනවා වෙයිද?

    මට ළමයෙක් ඉන්න කාලෙක ඌට ගහන් නැතුව හදන විදිහ ගැන මට අවබෝධයක් තියෙනවා. මං අපේ අම්මගෙන් ටීචර්ලාගෙන් ගුටි කාපු විදිහට බුලි වෙච්ව විදිහට මගේ ළමයටත් ඒ ටිකම වෙනවාට මං කැමති නෑ. අන්න ඒ අවබෝධය ඉස්කෝලේ ඇතුලට නිවරැදි සිස්ටම් විදිහට ළමයින්ට ගහන්න එපා කියලා කෑගහන වේගෙටත් වැඩි වේගෙකින් ගේන්න ඕනෙ කියලයි මගෙ අදහස.
    මට තියෙන අවුල ළමයින්ට ගහන එකට විරුද්ධව කථා කරන අය ඊළඟට මොකද්ද අපි ගහන එක වෙනුවට ගේන්නෙ කියන එක කථා කරන් නෑ. කතා කලත් ක්‍රමවත් සිස්ටම් එකක් ගේන හැටි ගැන කථා කරන් නෑ. ඒකෙන් වෙන්නෙ පවතින ක්‍රමයත් බිද වැටිලා ගිහින් මුළු සමාජයක් පිටින්ම වලපල්ලට යන එකයි.

    Liked by 1 person

    • ළමයෙක් තමන්ට ශාරීරික දඬුවම් නොලැබුනොත් කීකරු නැත්නම්, විනයානුකූල නැත්නම්, එතනින් කියවෙන්නේ ළමයාගේ ළමා කාලයේ දැනටමත් විශාල ගැටළුකාරී බවක් තිබෙන බවයි. සරල භාෂාවෙන් කියනවා නම්, ගුටි නොකා හරියට හැසිරෙන්නේ නෑ කියන්නෙම වැඩේ දැනටමත් කොට උඩ කියන එකයි.

      උදාහරණයක් විදියට, ළමයා හැදුන වැඩුන පරිසරයේ ළමයා දකින්නේ ආවේගශීලී, හිංසාකාරී වටපිටාවක් නම්, ළමයා හුරු වෙලා තියෙන්නේ ඒ හැසිරීම් වලට. තමන්ගෙ දෙමාපියන් ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය, ඔවුන් එකිනෙකා සමඟ වාද විවාද කරන ආකාරය, ඔවුන් තම දරුවන් ඉදිරියේ හැසිරෙන ආකාරය, ඔවුන් වෙනත් මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය වගේ දේවල් වලින් ළමයින්ගේ ආකල්ප හැඩ ගැහෙනවා. ඉතින් තමාගේ අම්මා කරන යම් දෙයකට කේන්ති ගිහින් තමන්ගේ තාත්තා ඇයට කුණුහරපෙන් බනින හෝ ගුටි බැට දෙන පරිසරයක හැදෙන ළමයාට පාසලේදී කරුණාවෙන් ඔහුගේ වැරදි පහදලා දෙන්න ගියොත් කණකට ගන්න එකක් නෑ.

      ඒකයි ගැටළුව. ළමයෙක් හැදෙන්නේ වැඩෙන්නේ සම්පූර්ණයෙන්ම පාසලේදිවත්, සම්පූර්ණයෙන්ම දෙමව්පියන් ගාවවත් නෙමේ. ඔය දෙකම අතර මැද්දෙයි. ඒ නිසා ළමයෙක්ගේ ආකල්ප වල ස්වභාවය ඔය පරිසරයන් දෙකම මත පදනම් වෙනවා.

      බණ්ඩාරගේ යෝජනා සියල්ලටම වගේ එකඟයි. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කිරීම ඉතාම ඈත දුරක තියෙන දෙයක් කියන එකටත් එකඟයි.

      ඒත් අපිට, මුල් පියවරක් විදියට, ළමයින්ව ගුරුවරුන් විසින් බුලි කිරීම, ළමයින්ට ශාරීරික දඬුවම් ලබා දීම සහ ලජ්ජා කිරීම මඟින් මානසික අපහසුතා වලට ලක් කිරීම, වගේ ක්‍රියා දෙස සමාජයක් විදියට අපි බලන විදිය වෙනස් කරගන්න පුළුවන්.

      දැන් තියෙන “හැඳි නොගා හදන හොද්දෙයි නොගහා හදන ළමයාගෙයි වැඩක් නෑ”, “අපි මෙහෙම ඉන්නේ අපේ ගුරුවරු අපිට හොඳට ගහල හදපු නිසා”, වගේ මෝඩ අදහස් අත ඇරලා දාන්න පුළුවන් නම්, ඒකම සෑහෙන සාධනීය පළවෙනි පියවරක් කියල මම හිතනවා.

      දීර්ඝ කමෙන්ටුවට ස්තූතියි බණ්ඩාර 🙂

      Like

  3. “Deschooling Society” ලියන අයිවන් ඉලිච් පෙන්වා දෙන්නෙත් ඔබ පවසන කාරිණයමයි ඇත්තටම පාසල නැතිනම් ඉස්කෝලය රෝගීන් පළවා හැර නිරෝගි අය රඳවා ගන්න රෝහල් වගේ ජාතියක් යයි එහි පැවසෙන හරය මොනතරම් වැදගත් දැයි ඔබේ ලිපියත් පැමිණි කොමෙන්ටුත් කියවන විට පෙනී යනවා. බොහොම වටිනා ලිපියක්. 1950 ගණන්වල පාසල මීටත් වඩා අසුන්දර ගවහලක් වූ බව මා මතකයේ තිබෙනවා. එකල මා පාසලට ගෙන ගියේ කෝටුවක් රැගත් පියාණන් විසින්. ඉවසාගන්නට බැරිම තැන බොරුවට අසනීප වුනු වාර ගණන අද සිහිකරන්නටවත් නොහැකියි. මෙයින් අදහස් කළේ දැන් එය සුන්දර තැනක් යයි පැවසීමට නොවෙයි. තවමත් කුඩා වියේ දරුවන්ට ගහන උන්ට මුළු දිවියම එපා කරන තැනක් වීම ලොකු ඛේදවාචකයක්.

    Like

  4. ohoma kalakanni genu ,minissu neti iskola lowet lankawe ne. hema ekama hitan inne uda daan neluwama hedenawa kiyala. moratuwe prince of wales eket hitiya salgadu, kirthiratna, maths eke Rahnayake wage awalan ballo tikak. ungen kana pramane tirane wenne uta ea welawe hithe tiyena prashne pramaneta. ea wagema T.T.Sriyani kiyala melo wedak neti geniyek science kara. ea wage awalammu atare hoda minissut atarin patara hitiya.

    Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s