ලාංකික ජන මනසේ දිනපොත | Eyes of others; Thoughts of others

කුමාරි අක්කා බඳිනවලු. අද හවස ලොකු අම්මා ඇවිත් වෙඩින් එක කියල ගියා. උත්සවය තියෙන්නේ 24 වෙනිදා. තව සති දෙකකට පොඩ්ඩක් වැඩියෙන් කල් තියෙන්නෙ. මාසෙ මුල වුනාට පඩියෙන් බාගෙකටත් වඩා ඉවරයි. ශික් ! මෙච්චර අමාරුවෙන් රෝල ගහගෙන ගෙනියන මාසෙ අස්සට ඔහොම එකක් ආවාම මාරම අමාරුයි. ඒත් මොනව කරන්නද, නොගිහින් බැහැ.

“නොගියොත් නෑදෑයෝ මොනව නොකියයිද?”

අඳින්න කියල හරිහමන් ඇඳුමකුත් නැහැ. කමක් නෑ. හැමදාම අඳින සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇඳලා ටයි එකක් දානවා මම. එතකොට ශේප්. නංගිට අලුත් ඇඳුමක් අරන් දෙනව. ගවුමක් හරි මොකක් හරි. මේකි කැමතිම කොට ගවුම් වලට, ඒවා කරන්න දෙන්න බැහැ.

“වෙඩින් එකට එන මිනිස්සු මොනව නොකියයිද?”

නංගි ගැන නරකක් හිතුවොත් මටත් එක්ක ලැජ්ජාව. අනික ඒක අපේ පවුලටම හරි නෑ. මේකි අපේ වහලෙ යට ඉන්නකල් නටන්න දෙන්න හොඳ නෑ.

නංගි කැම්පස් එකේ කොල්ලෙක් එක්ක හුටපටයක් පටන් අරගෙන කියල යාලුවන්ගේ මාර්ගයෙන් පොඩි ආරංචියක් ඇවිත් තියෙන්නෙ. ඇතුලෙ මගෙ කන්ටැක්ට්ස් තියෙන නිසා හොඳයි. මමයි තාත්තයි මෙච්චර අමාරුවෙන් උගන්නල ඕකිව කැම්පස් ඇරියෙ ඒකිට ඕන ඕන එකාලා එක්ක රවුම් ගහලා අනාථ වෙලා එන්න‍යැ.

“මිනිස්සු මොනව නොකියයිද මේ කතා ආරංචි වුනොත්”

හදිසියේ බඩ කරගෙන එහෙම ගෙදර ආවොත් වහකාලා මැරෙන්න වෙන්නෙ. කොහොමද අපි ගමේ උන්ට පේන්න පාරෙ බැහැලා යන්නෙ එහෙම දෙයක් වුනොත්? හැබැයි ඉතින් කවුරු වුනත් කමක් නෑ යමක් කමක් තියෙන පවුලකින් නම්, හිල්ටන් මාමාගේ දුව බැන්දේ ඉංජෙක්වනෙ. තට්ටු දෙකේ ගෙයයි වාහනෙයි එක්ක. උන්ට තියෙන මොළේ අපේ එකීට නැති හැටි. නංගිට අල්ලලා දෙන්න ඕන හොඳ අත්තක්. ගමේ උන්ට පේන්නත් එක්ක. අක්කත් අර වසවර්තියෙක් බැඳගෙන දහදුක් විඳින එකේ..

අක්කා බැඳලා ඉන්න රුවන් අයියා නම් මහම මහ කාළකණ්ණි නරුමයෙක්. බැඳලා මුල් අවුරුද්දෙ දෙකේ හොඳට හිටියට දැන් නම් අක්කව තඹ සතේකට ගනන් ගන්නෙ නෑ. පුදුම දුකක් අක්කා විඳින්නේ දාසියෙක් වගේ වැඩ කර කර. හැමදාම හවසට කටගොන්නක් බිගත්ත ගමන්ලු. හම්බ කරන හැම සතේම ඔහේ නාස්ති කරනවලු. කීපවිටක් අක්කට අත උස්සලත් තියෙනවද කොහෙද. පවුලෙ අය මට ඒ වැඩි විස්තර කියන්නෙ නෑ, මම ප්‍රශ්න ඇති කරගනියි කියල බයට. ඒක නිසා වෙන්න ඕන අක්කා කීපදවසක්ම අඬාගෙන ආවේ රුවන් අයියාගෙන් දික්කසාද වෙන්න ඕන කියල. අක්කා කිව්වට දික්කසාද වෙන්න දෙන්නෙ කොහොමද?

“අහල පහල මිනිස්සු මොනවා නොකියයිද? මිනිස්සු අහන ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්නද අපි?”

උජාරුවට වෙඩින් අරගෙන අවුරුදු තුනහමාරෙන් දික්කසාද වුනා කිව්වම ! මොන තරම් ලැජ්ජාවක්ද. ගමේ උන් හිනා වෙයි අපිට. එක එකාගේ කතා අහනවට වඩා සැපයි විඳව විඳව හරි ජීවත් වෙන එක.

අම්මා කිව්ව වගේ අක්කා ඉක්මනටම දරුවෙක් හදාගත්තා නම් හරි. එතකොට ඕවා ඇරිල යයි කියලයි අම්මා නම් කියන්නෙ. අනික දැන් ගමේ උනුයි මගේ යාලුවොයි හැමෝම මගෙන් අහන්නේ “අක්කට තාම ළමයි නැද්ද, ළමයි නැද්ද” කියල.

“මට දෙන්න උත්තර නෑ. වස ලැජ්ජාව”

අක්කා කියන්නේ ළමයි හදන්න බයයි, රුවන් අයියා එක්ක දිගටම ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ කියල. මේකි මෙතන හදන්නෙ ගමේ මිනිස්සු ඉස්සරහ අපේ පවුලෙම මූණවල් වල දැළි ගාන්න. මේ පවුල මේ තත්වෙට ගෙනාවේ කොච්චර නම් අමාරුවෙන්ද?

පවුලේ ප්‍රශ්න මදිවට නිරංජිත් වදේ ගහනවා ඉක්මනටම බඳිමු බඳිමු ගගා. ගෙදරින් කේස්ලු මා එක්ක යාලුවෙලා දැන් ගොඩක් කල් නිසා. නිරංජිගේ නෑදෑයො යාලුවෝ එහෙම ඔක්කොම බැඳලලු. ඒකි විතරලු තාම බැඳලා නැත්තේ.

“ඒකිට ඒ අයට මූණ දෙන්න බෑලු”

දකින දකින තැන අහනවලු බඳින්නේ කවද්ද බඳින්නේ කවද්ද කියල..

මේකිට තේරෙනවයැ මගේ ඔලුවෙ තියෙන ප්‍රශ්න. ඇයි යකො වෙඩිම ගන්න අඩුම ගානේ ලක්ෂ දහයක් පහලවක්වත් ඕනි. ඕකට ලෝන් එකක් දාගන්න බලාගෙනම වෙඩිම ප්ලෑන් කරන්න ඕනි. අපේ ඉස්කෝලෙ පන්තියේ හිටිය රනිඳුවා වෙඩිමක් නොගෙන බැන්දා කියල උගෙම යාලුවෝ ඌට කිව්ව කතා ඌ දන්නවා නම් මෙලහකට ඌ මූදෙ පැනලා. ඌ කියනවා ඌට වෙඩිමට ගියෙ රුපියල් විසිදහයිලු. රෙජිස්ටාර් ගාවට ගිහින් බැඳලා ළඟම යාලුවො ටිකට රෑට බොන්න අරන් දුන්නලු. ඌයි කෙල්ලයි රෑට කඩෙන් බුරියානි ගෙනත් කාලා නිදාගත්තලු. ඌ නම් කියන්නෙ දැන් ඌ ෆුල් ආතල් එකේ ඉන්නව කියල. බැඳලා ජීවත් වෙන හැටි කලින්ම ප්ලෑන් කරපු නිසා සල්ලි ප්‍රශ්න නැති තරම්ලු.

“ඒත් ඉතින් කොහොමද ඔහොම කරල පාරෙ තොටේ බැහැලා යන්නෙ. මිනිස්සු මොනවා නොකියයිද?”

මම එහෙම බැන්දොත් අම්මටයි තාත්තටයිනෙ ලැජ්ජාව. මම එකම පුතා නිසා ණය වෙලා හරි හැමෝගෙම කටවල් වැහෙන්න ලොකු වෙඩිමක් ගන්න එක එයාගෙ එකම ආසාව කියලනෙ අම්මා හැම වෙලේම කියන්නෙ..

කොහොම හරි ලබන අවුරුද්දෙ අන්තිම වෙද්දිවත් ලෝන් එකක් දාලා සුපිරියට මගෙ වෙඩිම ගන්න ඕන. බැඳලා අවුරුද්දක් විතර යද්දි හදනවා කොලු පැටියෙක්.. අවුරුදු දෙකෙන් ගන්නවා පොඩි කාර් එකක් ලීස් එකක් දාලා.

“ගමේ ඉන්න ඊරිසියා කාරයන්ගේ කටවල් වැහෙන්නම”

ඊට පස්සෙ ඉතින් හැමදාම බතුයි කරෝලයි සම්බෝලයි කකා ඒ ණය අවුරුදු ගාණක් ගෙව්වත් සැපයි. අපි කන බොන හැටි මිනිස්සු දන්නවයැ. ඔලුව කෙළින් තියාගෙන පාරෙ යත හැකි එතකොට මටයි මගෙ අහිංසක අම්මටයි තාත්තටයි.

බැරි වෙලා හරි මගෙ ප්ලෑන් ටික ඔහොම කරගන්න බැරි වුනොත් එහෙම.. ඒ කියන්නෙ නංගි දැන් යාලුවෙලා ඉන්න එකා එක්ක තියෙන සම්බන්ධේ කඩලා දාලා ලොකු ගෙයකුයි වාහනයකුයි තියෙන පොරකට බන්දලා දීලා, අක්කා රුවන් අයියාගෙන් දික්කසාද වෙන එක නවත්තලා ළමයෙක් හදන්න ඒකිගේ හිත වෙනස් කරලා.. ලෝන් එකක් දාලා මගෙයි නිරංජිගෙයි වෙඩිම අරගෙන අවුරුදු දෙකෙන් කාර් එකක් අරගෙන මගේම කියල කොලු පැටියෙක් හදාගන්න බැරි වුනොත් එහෙම..

වහ කාලා මූදෙ පනින්න තමා වෙන්නෙ..

ඇයි? ඕවා ඔහොම ඔය විදියටම කරගන්න බැරි වුනොත්..

“ගමේ උන් අපිට මොනවා නොකියයිද?”

.
.
.

  • දෙසැම්බර් 28, 2017
    ලාංකික ජන මනසේ දිනපොත

Advertisements

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s