මම සහ අනුන් | The Responsible Sri Lankan Citizen

සාමාන්‍යය ශ්‍රී ලාංකිකයාගේ චින්තනයට අනුව, තමා රාජකාරී කරනා ස්ථානයේ සේවකයෙක් වශයෙන් තමා අනුගමනය කල යුතු නීති රීති හැකි තරම් නොසලකා හැර තම හිතවතුන්ට ඒවා අතරින් රිංගා යෑමට උදව් කිරීම ඒ හිතවතුන් කෙරේ තම හිතවත්කම පෙන්වීමේ මාර්ගයකි.

තමා කඩකරනා නීතියේ රීතියේ තරම අනුව තමාගේ හිතවතා කෙරේ ඇති හිතවත් කම වඩ වඩා පෙන්විය හැකිය.

හිතවත් කම සාමාන්‍යය ප්‍රමාණයට ඇති හිතවතුන් වෙනුවෙන් සාමාන්‍යය ප්‍රමාණයේ නීති රීති කඩන අතර හිතවත්කම ඉතා වැඩි සමීපතම ලෙන්ගතු හිතවතුන් වෙනුවෙන් තමා සේවය කරන ආයතනය තුළ තමාට කැඩිය හැකි උපරිමයට නීති කඩයි. හැකි නම් ‘අහවලා මගේ ළඟම හිතවතෙක්ය..’ කියා තමාට ආසන්නම බලය වැඩි කෙනෙක්ගේ ආධාරයෙන් තමාට ළං වීමටවත් නොහැකි නීති කඩමින් අහවල් හිතවතාට උදව් කරයි.

තම පුද්ගලික හිතවත්කම් වෙනුවෙන්, නියමිත අනුගමනය කල යුතු ක්‍රමවේද නොසලකා පොඩ්ඩක් එහෙ මෙහෙ කොට, හොර පාරෙන්, පෝලිම් පැන්නීමෙන්, අපේක්ෂිත සුදුසුකම් අකුරටම නොබලා කරනා මේ ‘හිතවත්කම පෙන්වීමේ ගේම් වලින්’ සිද්ධ වෙන තවත් කාරණයක් නම් අදාල හිතවතා ඉදිරියේ තමා සේවය කරන ආයතනය තුළ තමාට ඇති බලය විදහා දැක්වීමය.

“අපේ මල්ලි වැඩ කරන්නෙ එතනනෙ… වැඩේ කරල දුන්නා පට් ගලා.. අනිත් මිනිස්සු එක්ක පැය ගනන් ඉන්න වුනේ නෑ…නෑ.. නෑ.. ඒවා ඕන වුනෙත් නෑ.. චෙක් කලේ නෑනෙ..” තම හිතවතා ගමේ ගිහින් තම නෑයන්, හිත මිතුරන් අතර කියනු ඇත. තමන්, තමා වැඩ කරන ආයතනයේ ‘යමක් කමක් කර ගත හැකි’ අයෙක් බවත්, තම හිතවතුන්ට දෙවරක් නොසිතා නොපැකිලෙමින් උදව් කරන යහපත් කෙනෙක් බවත් ඔවුන් දැනගනු ඇත. එමඟින් තමාට කොපමණ නම් හොඳ නමක් ඔවුන් අතර ඇති කරගත හැකිද..?

මේ හා සම්බන්ධ මගේ පුද්ගලික අත්දැකීමක් සිහිවේ.

මා ගුවන් තොටුපලේ සේවය කරනා කාලයේ ගුවන් ගමන් සඳහා චෙක්-ඉන් වන මඟීන්ගේ කටයුතු බාරව රාජකාරී කලේ මගේ ළඟම සගයන්ය. ඔය කාලයේම මගේ මව ඇයගේ මිතුරියන් පිරිසක් සමඟ සිංගප්පූරුවට ගමන් කිරීමට නියමිතව ඇති බව මගේ සගයන් අතරේ මා අතින් කියවිනි. “ආ.. එන්න කියපන්.. බලල කරල දෙන්නම්..” මගේ සගයෙක් මා හට කීවේ ඔහු තුළ මා ගැන තිබුනු සැබෑ ලෙන්ගතු කම නිසාමය. “නෑ නෑ.. මම අම්මට කියල තියෙන්නෙ කිලෝ තිහයි ගෙනියන්න පුලුවන්.. බලල බර ගාණට අරන් එන්න.. වැඩි උනොත් ගෙවන්න ඕන ගාන මේකයි.. නැත්නම් බඩු තියල යන්න වෙනව…” කියා මා පැවසුවෙමි. එවිට මගේ සගයන් මා දෙස බැලුවේ මව ගැන තැකීමක් නොකරන පුත්‍රයෙක් දෙස බලනා ආකාරයටයි. “යකෝ.. ඒ උඹේ අම්මා නේද?” එකෙක් පැවසුවේය.

මේ මගේ සගයන් කෙරේ එල්ල කෙරෙන විවේචනයක් නොවේ. ඒ ඔවුන්ද සාමාන්‍යය ශ්‍රී ලාංකිකයන් සේ සිතන්නට පුරුදු ඇතිව, සාමාන්‍යය ලෙස ඔවුන් සිතනා ආකාරයයි.

මෙහිදී වඩාත්ම සිත්ගන්නා සුළු කාරණය මෙයයි.

මෙසේ තම හිතවතුන්ට තමාට හැකි උපරිම බලයට අනුව හැකි උපරිම ‘හොරකම’ කිරීමට උදව් කිරීමෙන් හොඳ හිත පෙන්වන මිනිසුන්මය, දේශපාලකයන් තමන්ගේ නිල රථ තම නෑදෑයන්ගේ පුද්ගලික වැඩ වලට දීම ගැන දොස් පවරන්නේ.. මෙසේ තම නෑදෑයන්ට අනෙක් මිනිසුන් පරයා පෝලිම් පනින්නට උදව් කරන මිනිසුන්මය දේශපාලකයන් ඔවුන්ගේ හිතවතුන්ට හොර පාරෙන් ටෙන්ඩර් පාස් කරදීම ගැන බැනවදින්නේ..මෙසේ තමාට රිසි අයුරින් හොරෙන් නීති කඩ කරන මිනිසුන්මය දේශපාලකයන්ට ‘පවුල් පාලනය’ කියා දෙස්දෙවොල් තියන්නේ..

“ජනාධිපති පුටුවට උඹ ගියත් ඕකමනෙ බං කරන්නෙ”..

ඒ අපේ මිනිස්සු අතර නිතර ඇහෙන කතාවකි. කතාව සහතික ඇත්තය.

මෙයයි අපේ චින්තනය..

රටේ ජනාධිපතිගේ සිට.. රජයේ සේවකයා හරහා කොන්දොස්තර දක්වා අපගේ බලයේ උපරිම ප්‍රමාණයට රිසිසේ ‘හොර පාරවල් කපනා’ ජනතාවකි, අපි.

මීට කලිනුත් කිහිප සැරයක්ම මා සඳහන් කර ඇත්තා සේ, අපේ රටේ මිනිසුන්ට ඇත්තේ දේශපාලකයන් හොරකම් කිරීම, නීතිය කඩ කිරීම ගැන ප්‍රශ්නයක් නොවේ. අපේ රටේ මිනිස්සුන්ට ඇත්තේ ඒ හොරකම් වලින් තමාට කුට්ටියක් නොලැබීමේ ප්‍රශ්නයයි.

අවසානයේ තව එක් කාරණයක් සටහනට එකතු කල යුතු යැයි සිතමි.

අපේ චින්තනයට අනුව සදාචාරාත්මක විය යුත්තේ ‘අනෙකා’ පමණි. මම සදාචාරවත් විය යුතු නැත. මම විනයගරුක විය යුතු නැත. මම නීතිගරුක විය යුතු නැත.

අනෙක් උන් විනයගරුක වී, නිතිගරුක වී.. මට ඉදිරියට යාමට ඉඩදිය යුතුය.

පාරේ වාහනය එළවන විට අනෙක් උන් මාර්ග නීති කඩකරමින් ගමන් කරද්දී අපට නහුතෙට තද වෙයි. එහෙම බැරිය, උන් හරිහැටි මාර්ග නීති වලට අනුව යමින් මට වෙට්ටු දමා ඉක්මනට යාමට ඉඩ දිය යුතුය.

අප පෝලිමේ ඉදිරියෙන් සිටියදී පසුව එන උන් පෝලිම් පනිනවා නම් අපට මලය. ඒත් මා පරක්කු වී ආ දවසට හැකි තරම් පෝලිම් පැන ඉක්මනට යන්නට ඇත්නම් සැපය. අපේ නෑදෑ මල්ලි වැඩ කරන තැන නම් ඔහු ඇවිත් අපිව පෝලිමේ නොතියා අනෙක් අයට කලින් ඇතුලට එක්කන් යනු ඇත.

රටේ හැමෝම හොරකම් කරලා රට ආගාධයට යනවාය..මේ රට නම් ගන්නම දෙයක් නැත.. ඒත් අපි රට යන විට කිලෝ දෙක තුනක් වැඩියෙන් නොගෙවා ගෙනියන්නට නොදෙන ගුවන්සේවකයා හිත්පිත් නැති ආත්මාර්ථකාමියෙකි.

ඕනෑම මලගෙදරක, ඕනෑම හමුවක සමාජයක් විදියට අනෙක් මිනිසුන් හැසිරෙන, ක්‍රියාකරන අන්දම ‘අනේ අපොයි’ කියමින් විවේචනය නොකරන අයෙක් ඉන්නවාද? ඒවා අසාගෙන සිටින විට සිතෙන්නේ මේ බැනුම් ලබන උන් පිටසක්වලින් ආපු වෙනම සෙට් එකක්ද කියාය.

රට යනු.. සමාජය යනු මා අයිති දෙයක් නොවේ. එය මගේ නිවසේ ගේට්ටුවෙන් එළියේ ඇති වෙනම එකකි. උන් හරියට හැසිරිය යුතුය. එවිට මට හරිම ලේසිය. එනමුත් මා ඔවුන් වෙනුවෙන් මගේ පහසුව මොහොතකට හෝ කැපකිරීම මට දරාගත නොහැකි ඉතා අමාරු දෙයකි.

අපේ චින්තනය මෙයයි. අපි අපේ දරුවන්ට උරුම කරන චින්තනයද මෙයයි.

මේ විදියට හැසිරෙන ජනතාවකින් යුත් රටක කොඩියේ සිටිය යුත්තේ ගාම්භීරත්වය සංකේතවත් කෙරන සිංහයෙක් නොවේ. කපටිකම සංකේතවත් කෙරෙන නරියෙකි.
.
.
.

  • ජේමිස් බණ්ඩා

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s