ආදරය නිසා ජීවිතය විහින් අපායක් කරගැනීම | Turning Your love life to a living Hell

අරවින්ද, තවත් එක් කාර්යබහුල දවසක සිය වැඩපල හමාර කොට විඩාව මැදින් සිය ඔරලෝසුව දෙස බලයි.

“වෙලා නම් තියෙනවා. යනවද නැද්ද? යනවද නැද්ද?” ඔහු සිටින්නේ දෙගෙඩියාවෙනි. තම සහකාරියගේ මිතුරියගේ විවාහ මංගල උත්සවයයි, අද.

එදින උදයේ වැඩට පිටත් වීමට කලින් බලාපොරොත්තු වූ ලෙසම ඇයගේ බලකිරීමය. “වැඩ ඇරිලා අනිවාර්යෙන්ම එන්න. පුළුවන් නම්, මහන්සි නැත්නම්, ඔයා අකමැති නැත්නම්…”

ඇයගේ සැබෑ හැඟීම් නිරූපනය වන්නේ ඈ කියූ පළවෙනි වැකියෙන් කියා අරවින්ද දනියි. ඊලඟ වචන, ඇයගේ ඉල්ලීමේ සැර බාල කරමින්, එය නියෝගයක් නොව ඉල්ලීමක්ම පමණක් බව තහවුරු කෙරෙන වචන, ඇගේ මුවින් නික්මෙන්නේ විවාහ මංගල උත්සව වලට යාමට තමාට ඇති අකමැත්ත ගැන ඇයගේ දැනීමත්, දවස අවසනයේ තමන්ගේ විඩාව ගැන ඇයගේ සංවේදීබවත්, තමා කෙරෙහි ඇයගේ ආදරයත් නිසා බව අරවින්ද දනියි.

කුමක් කරන්නේද කියා ඔහු කල්පනා කරමින් සිටින්නේ, අවසනයේ තමා ගන්නා තීරණය කුමක්ද කියා උදයේ ඇය ඉල්ලීම කරන මොහොතේම ඇයත් තමාත් දෙදෙනාම හිත යටින් දැන සිටි බව නොදන්නවාක් මෙනි.

ඔහු විවාහ මංගල උත්සවය වෙත ළඟා වන්නේ දවස පුරා වැඩකරමින් තැළුණු පොඩි වුන ඇඳුම් හා ශරීරයක්ද සමඟිනි. කමින් බොමින් නටමින් සිටින පිරිස අතරේ ඔහු ඇයව සොයයි. කොහේවත් ඇස නොගැටුනු ඇය අවසනයේ සිටින්නේ ඩාන්සින්ග් ෆ්ලෝ එකේය. තවත් තරුණයෙකුත් හා සමඟ සතුටින් සිනහවෙමින් නර්තනයේ යෙදෙමින්ය.

එවිටම ඔහුව දකින ඔහුගේ මිතුරෙක් පැමිණේ. මිතුරා තමා අසළට කඩිමුඩියේ දිව එන්නේ තමන් හට මහා රහසක් හෙළිදරව් කිරීමට මෙනි.

“මචන්, අවන්ති ඩාන්සින් ෆ්ලෝ එකේ.. අර බලපන්.. අරූ එක්ක පැය ගානක් කතා කර කර හිටියා. ඉවරයක් නෑ. අපි හොඳට බලාගෙන හිටියේ. දැන් දෙන්නා නටනවා අර.. අර..”

මිතුරා කියන දේ අසමින් නොඅසමින් අරවින්ද ඩාන්සින්ග් ෆ්ලෝ එකට යයි. අරවින්දව දකිනා විවාහපත් යුවල පුදුමයට පත් වෙමින් එකවර ඔහුව බදා වැළඳ ගනියි. රාජකාරී බහුල වීම හේතුවෙන් තහවුරු නොකරන ලද තමාගේ පැමිණීම ඔවුන් බලාපොරොත්තු නොවන්නට ඇත. ඔවුන්ගේ දෑත් වලින් නිදහස් වූ ක්ෂණයේම ඔහු ඉදිරියේ සිටින්නේ අවන්තිය. අනපේක්ෂිත ලෙස, එන බව වත් නොකියා අරවින්ද පැමිණීම ගැන සතුටෙන් අවන්ති ඔහුව බදා වැළඳ ගන්නේ, තමා ඉල්ලීම කල උදයේ ඒ මොහොතේම, අරවින්ද හවස එන බව ඇය නොදැන සිටියාක් මෙනී.


ඉහත මා වචන කලේ පුද්ගලිකව මා දන්නා විවාහ මංගල උත්සවයක සිදුවූ සිදුවීමකි. ඉහත සිදුවීමෙන් පසුව අරවින්ද කුමන ආකාරයෙන් හැසිරුනේද? ඔබ අරවින්ද නම්, නැත්නම් මේ කතාවේ චරිත මාරු වී අරවින්දගේ තැන සිටි අවන්ති ඔබ නම්, ඔබ ඊලඟට කුමක් කරයිද?

I. අධික කෝපයට පත් වීම. කෝපයට පත් වූ බව සඟවාගෙන සිට, තම සහකාරිය පැත්තකට රැගෙන ගොස් ඇයට බැන වැදීම. (මං මෙච්චර උඹ කිව්ව හින්දා මේ මගුලට ආවෙ උඹ වෙන කොල්ලෙක් එක්ක නටනවා බලන්නද? මං මොකටද ඌත් එක්කම නිදාගනින් ගිහින්)

II. ඒ මොහොතේ කිසිවක් නොකියා මුකුත් නොවූවා සේ හිඳ, අර යාළුවාගෙන් ඇගේ හැසිරීම ගැන තවත් විස්තර දැනගෙන ගෙදර ගිය පසු ඇයට හොඳ පාඩමක් ඉගැන්වීම. (තොට ලැජ්ජ නැද්ද යකෝ ඔහොම හැසිරෙන්න. මරණවා තෝව මම ආයෙ වෙඩින් වලට ජව්සන් නටන්න යන්න ලෑස්ති වුනොත්. අරූගෙ නම්බරේ ගත්ත නේද උඹ? දීපන් ෆෝන් එක මෙහෙට)

III. එතනදීම හෝ පැත්තකට ගෙන ගොස් “උඹ වගේ බඩුවක් එක්ක මට ඉන්න බෑ” කියා ඇයට කම්මුලට පහරක් දී ඇය සමඟ සම්බන්ධය අවසන් කිරීම

IV ඇය සමඟ අතිනත් ගෙන පැත්තකට ගොස්, තමන්ට මහන්සි බව පවසා, ඇයට කියාම බයිට් ප්ලේට් එකක් සහ මත්පැන් වීදුරුවක් ගෙන්වාගෙන “ඔයා ඩාන්ස් කරන්න ආසයිනෙ. ඔයා අරයා එක්ක ඩාන්ස් කරන්න. මට මහන්සියි මම ටිකක් ඉන්නම් නිදහසේ” පවසා නිදහසේ මත්පැන් උගුරක් තොල ගෑම


මනුෂ්‍යයන් දෙදෙනෙකු ආදර සබඳතාවක් පවත්වාගෙන යාමේදි (විවාහ වීමට පෙර හෝ විවාහ වූ පසු ) ඔවුන් එකිනෙකා දිහා බලනා ආකාරය, ඔවුන් එකිනෙකා කෙරේ ඇති විශ්වාසය, ඔවුන් තුළ තමා ගැන ඇති පෞරෂය, තමා ගැන ඇති ආත්මවිශ්වාසය, ඔවුන් පොදුවේ ගැහැණුන්/පිරිමින් ගැන දරනා අදහස් වැනි….. ඔවුන්ගේ චින්තනයේ ඇති සමාජීය සංස්කෘතික ආකල්ප කොතරම් නම් වැදගත් භූමිකාවක් ඉටු කරනවාද?

ඒවා, හරි හැටි තේරුම් ගැනීම, එකිනෙකාගේ ජීවිත වල යහපැවැත්මට කොතරම් නම් බලපෑමක් කරනවාද? ඒ කරුණු කාරනා නිසි ලෙස තේරුම් ගැනීම කොතරම් වැදගත්ද?

ඔබ අරවින්ද නම්, ඔබ කුමක් කරයිද? ජීවිත කාලයක් පුරා ඔබ තුළ ගොඬ නැගුනු අදහස් සහ පෞරෂය ඔබව කුමනාකාරයට මෙහෙයවයිද?

ඉහත කී සිදුවීම මා පුද්ගලිකව අත්දැක්ක සිදුවීමක් බව මම ඔබට පැවසුවෙමි. එහිදී අරවින්ද කලේ අවසන්, එනම් IV වැනි ඔප්ෂන් එක ආකාරයට හැසිරීමයි. ඔහු ඒ විදියට හැසිරුනේ බලෙන්වත්, ව්‍යාජ ලෙසවත් නොව, ඒ ඔහුගේ සැබෑම ස්වරූපය බව, ඔහුව හොඳින් දන්නා මම දැනසිටියෙමි.

ඔබේ ආකල්ප හා සැසඳූ විට, අරවින්දගේ ආකල්ප ගැන ඔබට එන්නේ කුමනාකාරයක අදහසක්ද?


“මොකක්ද තමුසෙට වෙලා තියෙන්නෙ. ඩාන්සින් ක්ලාස් තමා තමුසෙට අඩු වෙලා තියෙන්නෙ දැන්. මෙන්න මේ ගෙදර වැඩක් කරගෙන ඉන්නවා.. නටන්න යන්න මෙතන”
“ඕකුන්ව ආශ්‍රය කරන්න එපා. සැරයක් කිව්වනේ. ඔයාට හරියන්නෑ ඒගොල්ලන්ව”
“අපෝ මොකක්ද ඔය කරන්නෙ. දානවකො ඕක හරියට. නෑ නෑ. මෙහෙම. අපෝ ඒකවත් කරනවකො හරියට”
“හොඳ වැඩේ තමුසෙට. මං කිව්වනේ ඕක කරගනියි කියල. උඩදාගෙන ගියෙ. මං කියන දේ අහනවා මීට පස්සෙවත්”
“අරක්කු බීලාද ඔයා? බියර් නෙමේ එන්නෙ අරක්කු ගඳනෙ? එන්න එපා මාත් එක්ක කතා කරන්න”
“ඔයාට මා එක්ක තමා කොහෙවත් යන්න බැරි. ගිය සතියෙ ගියා උනාට ඔයා දවස් තුනක් ට්‍රිප් එකක් ගියාම මට කව්ද ඉන්නේ? ඔයාට හැමදාම යාලුවො යාලුවො යාලුවො”
“මේ ෆෝන් එක අන්ලොක් කරල දෙනව. මොකටද කියන්නෙ? බලන්න. ඇයි තමුසෙට මොනවද හංගන්න තියෙන්නෙ?.. කව්ද මේ තිළිණ කියන්නෙ? ඇයි ඌ ඔයාට මැසේජ් කලේ? ඇයි ඌට ඒක අහගන්න ඔයාම විතරද ඉන්නෙ ඔෆිස් එකේ?
“මේ ගෑණියෙ. මගෙ යකා අවුස්සන්න එපා. යාලුවො ඉස්සරහා මාව ලැජ්ජා කලොත් දත්ටික බඩට යවනවා මෙතනම. ඔතන ඉඳගෙන ඉන්නවා. මම ගෙදර යන්නෙ මට ඕන වෙලාවට. උඹට ඕන නම් කාර් එක අරන් පලයන්. ඔව් බොනව තමා යකෝ උඹ මොනව කරන්නද මට?”
“කරුණාකරලා මගේ අම්මගේ වැරදි මට කියන්න එන්න එපා. ඔයා දැනගන්න ඕන ඉවසන්න. මොන කරදරයක්ද මේ. ඒ මගේ අම්මා!”


යාලුවො දෙන්නෙක්ට එකම බෝඩිමක කාලයක් ඉන්න අමාරු නම් ආදරය කරන දෙන්නෙක්ට එකට ඉන්න කොච්චර අමාරුද නේද?

ඔව්ද? ඇත්තටම එහෙමද..? යාලුවො දෙන්නෙක්ට එකට කාලයක් ආශ්‍රය කරන්න අමාරුද? එහෙනම් ඇයි ආදරය කරන දෙන්නෙක්ට කාලයක් ආදරෙන් එකට යාලුවො වගේ ඉන්න බැරි…?

මට හිතෙනවා සහකාරුවෙක්ටයි සහකාරියෙක්ටයි සතුටින්/යහපැවැත්මෙන් ඉන්න වැඩියෙන්ම වැදගත්ම දේ එකිනෙකා තුල එකිනෙකා කෙරේ ඇති ආදරයෙ තරමටත් වඩා එකිනෙකා තුල ඇති “ගෞරවය” කියන එක. එකිනෙකා අනෙකාට මනුස්සයෙක් විදියට රෙස්පෙක්ට් කිරීම කියන එක.

දෙන්නෙක්ට හොඳින් සතුටින් ඉන්න අවශ්‍යය එකම සාධකය කියල කියනව නෙමේ. මට අනුව නම් වැදගත්ම සාධකය තමයි ඔය රෙස්පෙක්ට් එක කියන දේ. පහළ තියෙන්නේ මේ සම්බන්ධ කතාබහකදී අද මම වෙනත් තැනක කිව්ව අදහසක්

“…තමාගේ පාර්ට්නර් වෙනම පුද්ගලයෙක් සහ එයා වැඩිහිටි මනුෂ්‍යයයෙක් කියන දේ පිළිඅරන් එයාට ගෞරව කරන්න ඕන. ඒ කියන්නෙ තමාගෙ පාර්ට්නර් තමාගෙ ජීවිතේ නොහිටිය කෙනෙක් කියල හිතමු. එහෙම ඉඳලා එයාව දැක්කාම “එයා නම් මාරයි” කියලා මනුස්සයෙක් විදියට එයාට ආස හිතෙනවා නම්, එයා ගැන ගෞරවයක් ඇති වෙනවා නම්, අන්න ඒකයි වැදගත්. මනුස්සයෙක් විදියට, මම හිටියා හෝ නැතා, එයා නියම කෙනෙක් කියන හැඟීම වැදගත්. එහෙම එයා ගැන ගෞරවයක් ආශාවක් නැත්නම්, මොන මගුලකටද ජීවිත කාලයම ගත කරන්න තමාගෙ සහකරුවා/සහකාරිය විදියට එයාව තෝරගත්තෙ?

.. ගොඩක් අයට තමාගෙ පාර්ට්නර් ගැන ගෞරවයක් නෑ. ඒ අයට ඕන තමාගෙ ඔලුවෙන්, තමාගෙ සිතිවිලි වලින් පාලනය වෙන රිමෝට් කන්‍ට්‍රෝල් රොබෝ කෙනෙක්. කඩේට ගිහින් කේක් එකක් ගැනීමෙ ඉඳල, ගෙදරට අවශ්‍යය පිඟන් බඩු කෝප්ප මොනවද තේරීමේ ඉඳල, ගේ අතු ගෑම දක්වා “අයියෝ.. මොකද මේ කලේ” කියල එයාගෙ හැම හැසිරීමක්ම තමාට ඕන විදියට එඩිට් කරන්න හදනවා.

..ඒ වගේම තමයි තමාගෙ පාර්ට්නර්ට තමාගෙන් තොර පැවැත්මක්, ජීවිතයක් තියෙන වෙනම ස්වාධීන පුද්ගලයෙක් බව තේරුම් අරගෙන, ඒ තමා අයිති නැති ඇගේ ජීවිතයේ කොටස නිදහසේ ගෙවන්න ඔහුට/ඇයට බාධා නොකර ඉන්න ඕන. ඇයට/ඔහුට තීරණ ගන්න දෙන්න ඕන. එයා කරන දේකට, ගන්න තීරණයකට එකඟ නැත්නම් තමා එකඟ නැති බව කියලා තමාගේ යෝජනා ඉදිරිපත් කිරීමෙන් එහා බලපෑම් කිරීම නොකරන්න ඕන. එයාට වැරදුනත්, ඒ වරද්දගන්නත් ඉඩ දෙන්න ඕන. Told you so කියන එක නෙමේ කරන්න ඕන..

…ඔය බිඳ වැටෙන ආදර සම්බන්දතා, දෙදරා යන විවාහ ඒ තත්වයට පත් වෙන්නෙ එකිනෙකාට ආදරේ අඩුවක් නිසා නෙමේ. ගොඩක් වෙලාවට ඒ අය ඕනවටත් වඩා එකිනෙකාට ආදරෙයි. ඒ අයගේ අවුල ඒ අය එකිනෙකාව මනුස්සයො විදියට බාර අරගෙන ගෞරව නොකිරීම නිසයි. එකිනෙකාට ගෞරව කරනවා නම් එකිනෙකා අතර ආදරය නැති දෙන්නෙක්ට වුනත් යම් තරමක සතුටකින් ජීවත් වෙන්න පුළුවන්. ඒත් එකිනෙකාට ගෞරව කරන්නැති දෙන්නෙක්ට, එකිනෙකාගේ ස්වාධීනත්වයට රෙස්පෙක්ට් කරන්නෙ නැති දෙන්නෙක්ට එකිනෙකාට කොච්චර පැල් බැඳගෙන ආදරේ වුනත් සතුටින් නම් ඉන්න බැරි තරම් ජීවිතේ අමාරු වීමට නියමිතයි…”


සමහරුන්ට තමන්ගෙ කෙල්ල/කොල්ලා වෙන කෙනෙක් එක්ක ෆොටෝ එකක් ගත්තත් ඌ එක්ක නිදාගත්තා වගේ දැනෙන්නෙ. ඌව හග් කලත්, ඌ එක්ක ඩාන්ස් කලත් දවස් ගාණක රණ්ඩුවක්. ඌ එක්ක නිදාගත්තා කියන මට්ටමෙන් තමා ඉන් පස්සෙ සිද්ධි දාමය දිග හැරෙන්නෙ.

“අතට අතදීම, හග් කිරීම, එකට ඉඳලා ෆොටෝ එකක් ගැහීම, එකට නිදා ගැනීම වගේ ඒවා ඉරිගහලා එකක් හොඳයි අනෙක නරකයි කියලා වෙන් කරන්නෙ කොහොමද?”

යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා.

මම ඒ යාලුවාට දුන්නු උත්තරේ මේ.

“…ඒ ඒ හැසිරීම දිහා සියලු පාර්ශව බලන විදිය අනුව නේද ඕක තීරණය වෙන්නෙ. එයාර්පෝර්ට් එකේදි බුර්කාව ඇඳගෙන එන ගෑණුන්ට සිද්ධ වෙනවා තමාගේ මූණ නිරාවරණය කරලා චෙකින් කවුන්ටරේ ඒජන්ට් ට පෙන්නන්න. එතකොට ඒ අය කරන්නේ ගෑණු ඒජන්ට් කෙනෙක්ට මූණ පෙන්නලා අනන්‍යතාවය තහවුරු කරන එක. පිරිමි කෙනෙක්ට මූණ පෙන්නන්නෑ මලාට. ඕකට අපි එක්ක වැඩ කරන කෙල්ලො මුන්ට පිස්සු කියල හිනා වෙනවා. හැබැයි ඒ වගේම තමයි, ඒ කෙල්ලොම ට්‍රිප් එකක් ගියාම වතුරට බහින්නේ ත්‍රී ක්වාටර් ඩෙනිම්, ටීශර්ට් ගහගෙන, එහෙනම් සුද්දියෙක්ට පුළුවන්, අපේ උන් දිහා බලලා මුන්ට පිස්සු කියලා හිනා වෙන්න. බුර්කාව අඳින ගෑණිට මූණ පෙන්නද්දි දැනෙන්නේ අපේ කෙල්ලෙක්ට ටොප් එක ගලවලා තන් දෙක පෙන්නනවා වගේ හැඟීමක් වෙන්න ඇති.. අපේ කෙල්ලෙක්ට බිකිනිය ගහන් ගඟට බහින එක දැනෙන්නේ ඇඟේ නූල් පටක් නැතුව හෙළුවෙන් ඉන්නවා වගේ වෙන්න ඇති.

ඒ වගේ තමා මං හිතන්නෙ. අතට අත දීම, හග් කිරීම අවුල්ද කියන එක පදනම් වෙන්නේ ඒ දිහා අදාල පාර්ශව බලන විදිය අනුව. පාරේ වෙන පිරිමියෙක් එක්ක කතා කර කර හිටියත් ගල් ගහලා මරන්න ඕනෑය කියල හිතන සංස්කෘතීන් ලෝකෙ තියෙනවානෙ. ඒ වගේ තමා කොල්ලෙක් එක්ක තමාගෙ කෙල්ල ෆොටෝ එකක් ගත්තාම උන් දෙන්නා නිදාගත්තා වගේ දැනෙන එකත්.

මේවා වචන වලින් පැහැදිලි කරන්න අමාරුයි. ගැහැණු පිරිමි එකට කටයුතු කරන, කරන්න වෙන සමාජයක හග් කිරීම සෙක්ස් කිරීම වගේ දකින එකෙක් එක්ක රිලේෂන්ශිප් එකක් ගෙනියන එක ටෝචර් වීමක් වගේ ඇති. ඒ නිසයි ඒක අවුල් හැසිරීමක් වෙන්නෙ…”


සෙට් වෙලා අරක්කු බීලා පේර කොළ කකා ගෙදර යන යාළුවෝ,
ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරද්දි ගෑණිව හලලා තනියෙම යන එක මුලින්ම ප්ලෑන් කරන යාලුවෝ,
සමහර යාලුවන්ගෙ ගෙදර ගියාම සිගරට් එක ගහන්න ඌ එක්ක වත්ත පහළට යන්න ඕන..

උන් හිත හදාගන්නවා “ගෑණු ඔහොමයි බං” කියලා.

නෑ. ගෑණු එහෙම නෑ. උඹේ ගෑණි එහෙමයි කියල තමා කියන්න තියෙන්නෙ.

ඔහොම ගෑණු එක්ක ඉන්නවට වඩා හොඳයි මොකක් හරි කරල හිරේට යන එක. ඒක ඊට වඩා නිදහස්.


මේ ගැන අපේ මිත්‍ර කසුන් චන්ද්‍රනාත් ලස්සන කතාවක් කිව්වා.

“කසාද බඳිනවා කියන්නේ දෙන්නෙක් එක්කෙනෙක් වීම නෙමේ, එක්කෙනෙක් දෙන්නෙක් වීම කියලා. තමා තුළ අනෙකාගේ ජීවිතයට ඉඩ දීලා ඒක පිළිගැනීමයි ආදරය කිරීම කියන්නේ..”

දෙන්නෙක් එක්කෙනෙක් වෙන්න ගියොත් එතන වෙන්නේ power struggle එකක්.

මේ තේරුම් ගැනීම ඇති සහ නැති රිලේශන්ශිප් දෙකේ වෙනස අන්නාසි හෝ අඹ තෝරාගැනීමේ වෙනස වගේ නෙමෙයි.

වඩා සතුටින්, well being එක වැඩි මානුෂීය සම්බන්ධයක් වෙන්නෙ මම කියන ආකාරය මිසක්, එකිනෙකාට නීති දාගෙන සීමා කරගෙන ඉන්නා ඒවා නෙමේ.

එකිනෙකාගේ ස්වාධීනත්වය පිළිගැනීම යාලුවන් කියන මානුෂීය සම්බන්ධයෙ ඉඳල රොමෑන්ටික් සම්බන්ධ දක්වාම තියෙන්න ඕන.
නැත්නම් කට්ට තමයි. කට්ට ඕකේ නම් ශේප් ඉතින්.

ඒ වගේම තමයි මේ හැමදේම කරන්න දෙපාර්ශවයම ඕන. එක අතින් අප්පුඩි ගහන්න බෑ.

එක්කෙනෙක් මේ දේවල් අකුරටම කලත්, අනිත් එකා පැය බාගෙන් බාගෙට චැට් එක චෙක් කරන මැන්ටලයක් නම් මොකාටවත් ඒ හෝන්තුව එක්ක සතුටින් ඉන්න බෑ.

2 thoughts on “ආදරය නිසා ජීවිතය විහින් අපායක් කරගැනීම | Turning Your love life to a living Hell

  1. ඔයාට කියන්න තියෙන්නේ අර කාට කිව්වත් තමන්ට වෙනකන් හැමෝම දර්ශනිකයෝ කියන එක. මම බැඳලා ඉන්නේ ඔය ඔයා අපහාසෙට ලියන විධිහේ සුද්දියක්. එය කාත් එක්කවත් නැටුවට මට අවුලක් නැහැ. හැබැයි ඕනෑවට වඩා ලංකාවේ ඉන්දියාවේ එකෙක් එක්ක ඩාන්ස් ෆ්ලො එකේ හිටියොත් එක සිංදුවකට වඩා නැත්නම් කතා කර කර හිටියොත් විනාඩි 15 කට වඩා මම එන්ටර් වෙනවා. මොකද ලංකාවේ හරි ඉන්දියාවේ හරි එකා ඊට පස්සේ ඒක උගේ යාලුවට කියන්නේ අර සුද්දිට චැටක් දැම්ම විධිහට , සුද්දී නටන කොට උගේ ඇඟට ආව විධිහ ඔන්න ඔය වගේ නොසසන්ඩාල කතා . මම ඕක මගේ බිරිඳට ඔප්පු කරල දීලාම තියනවා. දැන් නම් එයා ඕනෑවටත් වඩා පරිස්සන්.නටන්න අහන පරක්කුවෙන් අයින් වෙලා එනවා. ඒ කියන්නේ මගේ ලිබරල් අටිටියුඩ් අයින් කරලා තියෙන්නේ.

    Like

    • මේ පෝස්ට් එකේ අරවින්ද කියලා ලිව්වට ඒ අත්දැකීම මගේ අත්දැකීමක්. 🙂

      Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s