ගබ්සාව සහ නියම බෞද්ධයෝ | Morality of Abortion and Real Buddhists

මේ රටේ ගබ්සාව නීතිගත කිරීමට ඔබ එකඟද?

“කිසිසේත්ම නැහැ. මම සැබෑ බෞද්ධයෙක්. බුදුදහමට අනුව ප්‍රාණඝාතය මහා අකුසල කර්මයක්”

ඒ කියන්නේ විරුද්ධත්වයට හේතුව ඔබේ බෞද්ධකමද?

“ඔව්, ඒක ප්‍රධානතම හේතුවක්…”

එතකොට අබෞද්ධයෝ ගබ්සා කලාට කමක් නැද්ද?

“එහෙම බෑ.. මේක බෞද්ධ රටක්… මේ රටේ නීති හැදෙන්න ඕන බුදුදහම මූලික කරගෙන, බෞද්ධ විශ්වාස වලට අනුව…”

එතකොට ඉස්ලාම් ආගමිකයො අරාබිය වගේ රටවල තමාගේ ආගමික විශ්වාස මූලික කරගෙන හදාගත්ත නීති රීති අන්‍යාගමිකයන් මත බලෙන් පටවන එක හරිද?

“අරාබිය වගේ රටවල් වල ඉන්නෙ මිනිස්සු නෙමේ, වනචාරීන්. උන්ගේ ආගම අනුන්ගේ ඇඟේ ගහන්නයි උන්ට ඕනේ. ලංකාව ඒ කාලකණ්ණි අරාබිය වගේ නෙමේ. මේක බුදුපහස ලද පින් බිමක්”

එතකොට ආගම් මත පදනම් වෙලා රාජ්‍යය පාලනයට නීති දාන එක අරාබියෙ කරද්දි වැරදියි, මෙහෙ කරද්දි හරි. එහෙමද?

“ඔව්..”

හ්ම්..හොඳයි.. ගබ්සාවට ඔබ විරුද්ධ වෙන්න අනෙකුත් හේතු මොනවද?

“ජීවිතයක් විනාශ කරන්න කාටවත් අයිතියක් නෑ. කලිනුත් කිව්වානෙ, ප්‍රාණඝාතය අකුසලයක්…”

මේ ප්‍රශ්නය අහන්නෙ පැහැදිලි කරගන්න. එතකොට යුද්ධයකදී ජීවිත විනාශ වෙන එක කමක් නැද්ද? කුඩා කළලයක් වගේ නෙමේ එතනදි විනාශ වෙන්නේ වැඩුනු මිනිසුන් නෙ..

“ඒක වෙනස්.. උන් කරපු වැඩ නිසානෙ උන්ට මැරෙන්න වෙන්නෙ”

එතකොට ඒ වගේ වෙලාවල් වලදි ජීවිත විනාශ කරන්න අයිතියක් තියෙනවද?

“ඔව්, වෙන කරන්න දෙයක් නැති වුනාම ජීවිත විනාශ කරන්න වෙනවා”

කලින් කිව්වේ එහෙනම් ජීවිත විනාශ කරන්න අයිතියක් නෑ ඒක මහා අකුසල කර්මයක් කියල?

“නෑ තමා”

යුද්ධ කරන එකට එකඟද?

“ඔව්. රට රැකගන්න ඕනනෙ ඔක්කොටම ඉස්සෙල්ලා”

යුද්ධ කරන එක බෞද්ධ දර්ශනයට එකඟද?

“නෑ. යුද්ධයයි බුදුදහමයි කියන්නේ දෙකක්.”

ගබ්සාවයි බුදුදහමයි කියන්නේ එකක්ද?

“රටක් පාලනය කරන්න බෑ යුද්ධ කරන්නෙ නැතුව. රාජ්‍යය පාලනයයි බුදුදහමයි කියන්නෙ දෙකක්”

එහෙනම් කලින් කිව්වෙ මේ රටේ රාජ්‍යය පාලනය සහ නීති රීති සම්පාදනය වෙන්න ඕන බුදුදහමට අනුවයි, බුදුදහමට අනුව ප්‍රාණ ඝාතය වැරදි නිසයි ගබ්සාව නීති විරෝධී වෙන්න ඕන කියල? එතකොට රාජ්‍යය පාලනයයි බුදුදහමයි එකක්ද?

“ඔව්..”

හොඳයි, කමක් නෑ. කිසිම අවස්ථාවක කිසිම තත්වයක් යටතේ ගබ්සා කරනවට එකඟ නැද්ද?

“නෑ”

ඒ කිව්වෙ, කාන්තාව දූෂණය වුන අවස්ථාවක.. හෝ අංග විකල ළමයෙක් බිහිවීමේ අවධානමක් තියෙන අවස්ථාවක… මව අවුරුදු දහ අටට අඩු අවස්ථාවක.. වගේ. ඒ කිසිම වෙලාවකවත් එකඟ නැද්ද?

“එකඟ නෑ. ඒක මහා පාපකර්මයක්”

අවජාතකය කියලා හංවඩු ගැහෙන ළමයෙක් මේ ලෝකෙට බිහිවෙලා සමාජයෙන් අපවාද විඳිනවට කැමතිද? දූෂණය වුන වයස 15-16ක විතර ගැහැණු ළමයෙක්ට බිහිවන දරුවාව රැක බලා ගන්නේ කවුද? ඇයගේ සහ දරුවාගේ දෙදෙනාගේම අනාගතයන් කොහොම වෙයිද? එවන් වයසක ඉන්න කෙනෙක්ට දරුවෙක් හදා වඩා ගන්න තරම් පරිනතභාවයක් තියෙනවද? අංග විකල ලමයෙක් මේ ලොකෙට බිහි වෙලා උපන් දා සිට මැරෙනකල්ම අපට හිතාගන්න වත් බැරි තරම් අපහසුකම්, දුක් වේදනා වලට මුහුණ දුන්නාට කමක් නැද්ද?

“සැරයක් කිව්වනේ… ගබ්සාව මහා පාපකර්මයක්!”

හොඳයි. මේක අහන්නෙ දැනගන්න. බැරි වෙලාවත් ඔය වගේ ගබ්සා නොකර බිහි වුන ළමයෙක්ව හදාගන්න දුන්නොත් බාරගන්න කැමතියිද? ඒක ඔබේ ආගමේ හැටියට මහා පුණ්‍ය කර්මයක් වේවි නේද?

“පිස්සුද? හදා ගන්න කැමති අය ඉන්නවා ඕන තරම්.. මට ඒක කරන්න විදියක් නෑ. ඇරත් අපි අවුරුද්දට සැරයක් අනුරාධපුරේ ගිහින් නෙළුම් මල් දාහක් පූජා කරනවා. අවුරුද්දට දෙසැරයක් කතරගම යනවා. හැමදාම පන්සල් ගියාම පින් කැටේට සල්ලි දානවා. ඔය කරනගන්න පිංකම් හොඳටම ඇති ලබන ආත්මෙට…. එක එකාගෙ ළමයි අරන් හදාගන්න පිස්සුයැ. ඕකුන් ලොකු වුනාම අපිව දාලා ඇත්ත අම්මා හොයාගෙන යනවා. අන්තිමට කරපු හැමදේම වතුරේ..”

ගබ්සාවට විරුද්ධ ඔබ එල්ලා මැරීමට, ඒ කිව්වෙ මරණ දඬුවමට කොහොමත් විරුද්ධ ඇති නේද?

“නෑ. මරණ දඬුවමට එකඟයි”

එකඟයි…??

“ඔව්. සමාජයට පිළිලයක් වුන මිනිස්සුන්ව නළවන්නයැ”

“ඒ කියන්නේ ඔබ කළලය ගබ්සා කරනවට විරුද්ධයි, ඒත් අනවශ්‍යය ගැබ් ගැනීමක් නිසා හටගත් කලලය දරුවෙක් විදියට බිහිවෙලා පීඩිත බවින් පිරුනු, සමාජීය ආර්ථික ප්‍රශ්න එක්ක මිරිකිච්ච ජීවිතයකින් පස්සෙ වැඩිහිටියෙක් වෙලා වැරදි කලාම, ඊට පස්සෙ ඒ මනුස්සයාව මරණ එකට එකඟයි??”

“ඔව්. එකඟයි”

එහෙනම් කලින් කිව්වෙ ප්‍රාණ ඝාතය අකුසලයක් කියල? එහෙනම් ඇයි එල්ලා මරනවට එකඟ?

“මමත් කලින් කිව්වෙ, රාජ්‍යය පාලනයයි බුදු දහමයි දෙකක් කියල”

නෑ. ඔබ කිව්වනේ ගබ්සාවට විරුද්ධව නීති තියෙන්න ඕන ගබ්සාව බුදුදහමට අනුකූල නැති නිසා කියල. රටේ නීති රීති හැදෙන්න ඕන බෞද්ධ ඇදහිල්ලට අනුකූලව කියල.

“ඔව්. ප්‍රාණ ඝාතය අකුසලයක්. මහා පාප කර්මයක්”

හරි හරි.. කමක් නෑ. දැන් කලලය කියන්නේත් ජීවිතයක් කියලනෙ ඔබ කියන්නෙ?

“නැත්තන්”

දවස් කීයක කලලයක්ද ඔබ ජීවිතයක් කියල හඳුන්වන්නේ?

“දවස් ගාණ වැඩක් නෑ කළලයක් නම් ළමයෙක් තමයි…”

කලලය මොහොතකට අමතක කරමු. දරුවෙක් බිහි කරන්නට යාමේදී කලින් දැනගත්තොත් දරුවා බිහි කරද්දි එක්කෝ අම්මාගේ ජීවිතයට අවධානමක් තියෙනවා, එහෙම නැත්තන් දරුවාගේ ජීවිතයට අවධානමක් තියෙනවා කියල, එවෙලාවට ජීවිත දෙකෙන් තෝරගන්නේ මොන ජීවිතයද?

“ගබ්සාව හොඳ නෑ. එනිසා අවධානම ගන්නවා”

හරි. දෙන්නගෙන් එක්කෙනෙක් පමණයි බේර ගන්න පුළුවන් කියන තත්වයක් උදා වුනොත්?

“එතකොට තෝරගන්න වෙන්නෙ අම්මව. මොකද අම්මට පුළුවන් නෙ ඕන්නම් පස්සෙ ළමයෙක් හදාගන්න”

එතකොට දරුවා ව තෝරා නොගෙන මැරෙන්න හරින එක මිනීමැරුමක් නෙමේද? දෙකම ජීවිත නම් ඒ ජීවිත දෙකෙන් එක ජීවිතයක් තෝරගන්නේ මොන පදනමෙන්ද?

“මගෙන් කුණුහරප අහගන්නෙ නැතුව ඉන්නවද? මෝඩ ප්‍රශ්න අහන්න එපා”

හරි හරි.. ජීවිතයක් විනාශ කරන්න අයිතියක් නෑ කියලනෙ ඔබ කියන්නෙ.. ජීවිතයක් කියන්නේ මොකක්ද?

“ජීවිතයක් කියන්නෙ මොකක්ද..? මොනවද මේ අහන ගොං ප්‍රශ්න..?”

කලලය වර්ධනය වෙලා මොළය, හදවත, ස්නායු පද්ධතිය වැඩුනු තත්වයට ආවාම තමා ඒක ‘දරුවෙක්’ කියල හඳුන්වන්න පුළුවන්. ඊට කලින් ඒක වේදනාව නොදැනෙන මස් වැදැල්ලක් වගේ දෙයක්නෙ. ඒ අවස්ථාව පසු කරපුවාමයි කළලය ජීවිතයක් (person) කියල හඳුන්වන්න පුළුවන් කියල සමහර අය කියනවා. ඒකයි මං එහෙම ඇහැව්වෙ.

“විකාර කියවන්න එපා. දැන් මේ කියන්නෙ මාස අටේ ළමයෙක් ජීවිතයක් නෙමේ කියලද?”

නෑ නෑ. මාස අටක් කියන්නේ හොඳට වැඩුනු දරුවෙක්නෙ. ඒ වගේ කාලයක් ගියාම ගබ්සාව සුදුසු නැහැ කොහොමත්. මං අහන්නෙ කලලය සහ ඒ මාස අට අතර මොන වගේ කාලයකදිද ඒ කලලයට personhood තියෙනවා කියල සලකන්න පුළුවන්. ඊට කලින් වුනත් කොන්දේසි විරහිතව ගබ්සාවට විරුද්ධයිද? කළලය දරුවෙක් කියලා සලකන්න පුළුවන් තත්වයට එන්නේ සති කීයකින් විතරද? මිනීමැරුමක් වෙන්න නම් මනුස්සයෙක් ඉන්න එපැයි. ඒකයි ජීවිතයක් කියල අපි හඳුන්වන්නේ මොකක්ද, මොන අවස්ථාවෙන් පස්සෙද කියන එක ගැන බුද්ධිමය කතිකාවතකින් එකඟත්වයකට එන එක වැදගත් වෙන්නෙ. මේ කාරණා ගැන කියවලා හදාරලා එහෙම තියෙනවද?

“පලයන් බන් යන්න මගෙන් මැරුම් මොකා. ආවා මෙතන විකාර කියවන්න. වැඩි කතා ඕනනෑ.. අපි ගබ්සාවට විරුද්ධයි. අපි බෞද්ධ ! එච්චරයි. මේක අපේ රට. මේක බෞද්ධ රට. අපිට ඕන විදියට ඉන්න බැයි නම් කැමති රටකට යන්න පුළුවන්. දැන් ආපු අතක් බලාගෙන පල”

10 thoughts on “ගබ්සාව සහ නියම බෞද්ධයෝ | Morality of Abortion and Real Buddhists

  1. මේ ලිපිය ස්වයං වින්දනය වගේ එකක් නේන ප්‍රශ්නේ සහ උත්තරේ දෙකම දෙන්නේ එකම මිනිහා.

    Like

    • එහෙම හිතන්නත් පුළුවන්. කාලයක් තිස්සෙ මේ ගැන සංවාද කරලා පොදුවේ ඉදිරිපත් වෙන තර්ක වල පරස්පර විරෝධී බව පෙන්වන සටහනක් කියල හිතන්නත් පුළුවන්. තම තමන් ඉන්න තැන අනුව අනුව තමා බලන විදිය තීරණය වෙන්නෙ. කැමති විදියක් 🙂

      Like

  2. එතකොට ආගම් මත පදනම් වෙලා රාජ්‍යය පාලනයට නීති දාන එක අරාබියෙ කරද්දි වැරදියි, මෙහෙ කරද්දි හරි. එහෙමද?

    “ඔව්..”(මොකද අරාබියෙ පදනම් කරගන්නෙ වෙන ආගමක්,ලංකාවෙ පදනම් කරගන්නෙ වෙන ආගමක්.තව දුරටත් කීව්වොත් අන්‍යාගමිකයන්ව විවිධාකාරයෙන් පීඩනයට පත් කරන්න කියල කෙලින්ම උගන්වන ආගමක්..අපේ රටේ තියෙන ආගම එහෙම නෑනෙ..ඒ නිසා ඒක රාජ්‍ය පාලනයට පදනම් කරගත්තට කමක් නෑ..)
    ඔබේ ලිපියට 10%ක් එකඟයි..ඔබේ ප්‍රශ්නෙට මේ වරහන් ඇතුලෙ තියෙන පිලිතුර ලැබුනොත්(නිකම්ම ඔව් විතරක් නොකියා)ඔබේ ඊලඟ ප්‍රශ්නය(හෝ තර්කය) මොකක් වේවිද?

    Like

    • ඉස්ලාම් වගේ ආගමක අනුගාමිකයන්ට පිළිපදින්න වෙනම නීති පද්ධතියක් නම් කරල තියෙනවා. බෞද්ධ දර්ශනයේ එහෙමද? මොකද පන්සිල් පද පහ රකින්න කියල හරි සියලු සතුන්ට මෛත්‍රී කරන්න කියල හරි නීති දාන්නද? හැම පෝයටම සිල් ගන්න නීතිදාන්නද? ප්‍රායෝගිකව ඕවා කරන්න බැහැ. ලංකාවේ ගොඩක් බෞද්ධයන්ට අනුව රාජ්‍යය නීතිය බුදුදහම අනුව පදනම් විය යුතුයි කියන්නෙ, රාජ්‍යය නීතිය බෞද්ධයන්ට ඕන විදියට විය යුතුයි කියන එකයි. ඒකයි මම සටහන තුළ ඒක බුද්ධිමය පිවිසුමක් නොව, තලෙයිබාන් ආකල්පයක් බව සඳහන් කරල තියෙන්නේ.

      Like

    • ”ලංකාවේ ගොඩක් බෞද්ධයන්ට අනුව රාජ්‍යය නීතිය බුදුදහම අනුව පදනම් විය යුතුයි කියන්නෙ, රාජ්‍යය නීතිය බෞද්ධයන්ට ඕන විදියට විය යුතුයි කියන එකයි”
      තේරුනා.ස්තූතියි

      Liked by 1 person

  3. This is what happened when the religion is instituionalised. Ministry for Buddhism, chief monk, temples and preaching 24 hours on TV. Buddhism is the way of life not a rule or low. Buddhism is the way of nature not agaisnt it. How the nature behaves that’s what Buddha explained which is Dharma. The above is good illustration of how contracdtory is popular Buddhism is.

    Liked by 2 people

  4. අවුරුදු 18ට අඩු කෙනෙක්ට ගබ්සාවක් ගැන තීරණය කරන්න තරම් පරිනත බවක් තියෙනවද?

    Like

    • මේක නිකන් හරියට අවුරුදු 18ට අඩු ළමයෙක්ට විවාහ වෙන්න අකමැත්ත ප්‍රකාශ කරන්න පරිනත බවක් තියෙනවද? කියල අහනවා වගේ ප්‍රශ්නයක්.

      Like

  5. මේ ලිපිය බලන්න
    https://kolambagamaya.blogspot.com/2019/06/blog-post_30.html

    ගබ්සාව ගැනත් මීට සමාන තත්වයක් තියෙනවා.

    බටහිර දොස්තරලා පැහැදිලිවම ගබ්සාවට කඩේ යනවා. බලන්න මාස තුනට වඩා වැඩුනු මිනිස් කලලය හඳුන්වන්න බටහිර වෛද්‍යවරයා පාවිච්චි කරන නම භ්‍රූනය.
    එයින් අදහස් වන්නේ එය පනනැති දෙයක් බවයි. අදාල ඉංග්‍රීසි වදන සිංහලට පර්වර්තනය කලේනම්ලැබෙන්නේ “මිනිස් පිලවා” යනුවෙන්. ඉංග්‍රිසි වචනයත් ගබ්සාවට අනුබලදෙන එකක් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව සතුන් යන් රොබෝවර්න් පිරිසක්.

    Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s