ඔබේ ‘විල්සන්’ කවුරුන්ද?

“ජීවිතය කියන එකේ තේරුම මොකක්ද?” මුහුණුපොතේ මිතුරෙක් ප්‍රශ්නයක් අහනවා.

ජීවිතය එක්ක හැමදාම ඔට්ටු වෙන මිනිස්සු විදියට අපි හැමෝටම මේ ප්‍රශ්නයට දෙන්න මොකක් හරි උත්තරයක් ඇති.

ලෝකයේ අහන දකින දේවල් සහ මිනිස්සු ගැන උනන්දු වෙන අපි.. කල්පනා කරන අපි..අපි ගැනම, අපේ ජීවිත ගැනම හිතල බලල තියෙනවද?
උඳේ ඉඳල රෑ නිදි ඇඳට යන තුරාවට අපි කරන දේවල්, ඇයි අපි කරන්නෙ..?

“ජීවත් වීම යනු” කුමක්ද… “ජීවත් වන්නේ” කුමකටද… කියල අහපු මගේ මිත්‍රයාගේ ප්‍රශ්නය මාව කල්පනා සාගරයක අතරමං කරනවා

මලගෙවල් වල රෑ නිදිමරන්න සිද්ධ වුනාම නිදි මරන්නම නිසා අපි එක එක දේවල් කරන හැටි මට මතක් වෙනවා.
ආ ගිය දේවල් කතා කරන හැටි.. හොල්මන් කතා කියන හැටි.. කැරම් ගහන හැටි… ඕමි බලන හැටි… කෝපි බොන හැටි..
අපි ඔය ඔක්කොම කරන්නෙ රාත්‍රිය ගෙවා ගන්න.

අපි මත බලෙන් පටවපු.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙන ඒ රාත්‍රිය හා සමාන ජීවිතය ගෙවන්නත් අපි එක එක අරමුණු සහ දේවල් හදාගෙනද කියල මට හිතෙනවා. රැය පහන් කරන්න අපි විසින් දේවල් නිර්මාණය කරගන්නවා වගේ


ටොම් හෑන්ක්ස්ගේ Cast Away චිත්‍රපටයේ වසර ගාණක් දූපතක තනිවන ප්‍රධාන චරිතය සිත්පිත් නැති වොලිබෝලයකට ‘විල්සන්’ කියා නම තබා වොලිබෝලය සමඟ වසර ගණනක් ගත කරන හැටි මට මතක් වෙනවා…

දූපතේ තනිවූ ඒ මිනිසා වගේ අපිත් අපේ පැවැත්මේ හිස්බව වහගන්න ‘විල්සන්’ලා කීයෙන් කීදෙනෙක් නිර්මාණය කරගෙනද?

ඉපදුන නිසාම ගෙවන්න සිද්ද වෙලා තියෙන ජීවිතය..!

අපි උදේට නැඟිටින්නෙ.. දත් මදින්නෙ.. රස්සාවකට යන්නෙ..සමාජය විසින් අපව ප්‍රෝග්රෑම් කරල තියෙනව වගේ.

අපි ඉපදෙන්නෙ.. හිතන්න ඉගෙන ගන්නෙ.. ආදරය, සතුට හොයන්නෙ.. දරුවන් බිහි කරන්නෙ.. ස්වභාවදහම විසින් අපව ප්‍රෝග්රෑම් කරල තියෙනව වගේ


තවත් ප්‍රශ්නයක්…

ජීවයේ පැවැත්මෙන් සාක්ෂාත් වෙන අවසාන අරමුණක් තියෙනවද? එහෙම නැත්නම් අප විසින් අරමුණු නිර්මාණය කරගන්නවද?

ඒත්, මේ විදියට ජීවිතයට වටිනාකම් සහ අරමුණු ආදේශ කරන්න වෙලා තියෙන එකෙන් කියවෙන්නෙ, ජීවිතයටම අනන්‍ය වූ වටිනාකමක් හෝ අරමුණක් ඇත්තටම නැහැයි කියන එකද?

එහෙම තිබ්බත් නොතිබ්බත්, අපි ජීවත් වෙන්න සටන් කරනව. ඒකත් ස්වභාවධර්මයේ ප්‍රෝග්රෑමින්ග් එකේ කොටසක් වෙන්න ඇති.

ඒ විතරක් නෙමේ, ස්වභාවධර්මය විසින් අපෙන් ඉල්ලන ප්‍රධානම දේ, ඒ කිව්වෙ දරුවන් බිහි කිරීමේ කාර්‍යයේ අපි යෙදෙනවා. වර්ගයා බෝ කරනවා.
මේ වගේ ප්‍රශ්න අතරේ සුළු පිරිසක් ඔට්ටු වෙද්දි, අතිමහත් බහුතරයක් ජීවත් වෙන්න සටන් කරනවා. තමාගේ පැවැත්ම තහවුරු කරගන්න ජීවිතය එක්කම අරගල කරනවා.
ඒ අයට මේ වගේ දේවල් ගැන හිතන්න කාලයක්වත් උවමනාවක්වත් නැහැ.

ඉපදුන නිසාම ගෙවන ජීවිත.. ඒගොල්ලන්ගෙ විතරක් නෙමේ.. අපි ඔක්කොගෙම !

එහෙම බැලුවම මිනිස් ඉතිහාසයේ ආරම්භයෙ ඉඳලම ස්වභාවධර්මය කරල තියෙන්නෙ අපිව කඩේ යවන එක.

අපේ ජීවයේ අරමුණම, අපේ පැවැත්මේ අරමුණම වර්ගයා බෝ කරලා මැරිලා යන එකද?

අපි මෙච්චර සංකීර්ණ කරගෙන ඉන්න, මෙච්චර ලොකුවට හිතාගෙන ඉන්න අපේ ජීවිත අස්සේ සැඟවිලා තියෙන යථාර්තය මෘග ඉවකින් පාලනය වෙන ස්වභාවධර්මයේ මෙහෙයවීමක් විතරද?

මට මතක් වෙනවා මම සහ මගෙ යාලුවෙක් අතර කාලයකට කලින් ඇති වුන දෙබසක්

යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?

මම – ඇයි උඹ ළමයි හදන්නෙ?

යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?

මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?

යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?

මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්

යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමා

මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් ජීවියෙක් නිර්මාණය කරනවා. ඒක සදාචාරාත්මකද?

යාලුවා – උඹට කවද හරි හිතෙයි ළමයෙක් හැදුවනම් හොඳයි කියල. උඹ පසුතැවෙයි

මම – උඹට කවද හරි හිතුනොත් ළමයි හදපු එක අපරාදෙ කියල. උඹ පසුතැවුනොත්?

යාලුවා – ඒ නැතත් අපි වර්ගයා බෝ කරන්න ඕන. ලෝකය පවත්වාගෙන යන්න ඕන

මම – ඇයි වර්ගයා බෝ කරන්නෙ? ඇයි ළමයි හදන්නෙ?

යාලුවා – ළමයි හදන්නෙ ඉතින් වර්ගයා බෝකරන්න

මම – ඒක හරි. මම අහන්නෙ ඇයි වර්ගයා බෝ කරන්න ඕන?

යාලුවා – ඉතින් වර්ගයා බෝ කරන්න නිසා…


“ඇයි වර්ගයා බෝ කරන්න ඕන?”


අපි කීයෙන් කීදෙනෙක් ඔය ප්‍රශ්නෙ අඩුම ගානෙ අපෙන්ම අහල තියෙනවද? අඩුම ගානෙ හිතලවත් තියෙනවද?

“පාරේ ඉන්න හිඟන්නෙක්ට කාසියක් විසි කරද්දි අපි දෙපාරක් බලනවා විසි කරන්නේ මොන කාසියද කියල. ඒත් මේ අවධානමින් පිරුන කුරිරු ලෝකයට ළමයෙක් බිහි කරන්නෙ ඒ ගැන මොහොතක්වත් හිතල බලන්නේ නැතුව…”
එහෙම කියන්නේ මීට වසර ගාණකට කලින් ජීවත් වුන ආතර් ෂොපෙන්හර් කියන ජර්මානු දාර්ශනිකයා.

දරුවන් බිහිකිරීම හා සමාන..හැමෝම කරන නිසා කරන ගොඩක් දේවල් වලට තියෙන්නේ මෘග ඉවකින් පාලනය වෙන අතාර්කිකත්වය මත පදනම් වුන හැඟීම්.
කවුරුත් නොඅහන ප්‍රශ්න අහද්දි ඒ පදනම් දෙදරලා යනවා.

ඉපදීම නිසාම ජීවත් වෙන්නත් ස්වභාව ධර්මය මඟින් උරුම කරල දුන්න කාර්‍ය වන දරුවන් හැදීමේත් අපි නිරත වෙනවා. ඒකයි අපේ ප්‍රෝග්‍රෑමින් එක; හෙවත් එහෙමයි ස්වභාව ධර්මය ජීවීන්ව කඩේ යවන්නෙ.

දෙමාපියන්, පවුල, පෙම්වතිය, බිරිඳ, දරුවන්, රැකියාව, ජීවිතයේ නොයෙක් අරමුණු.. මිනිස්සු විසින්ම හදාගත්තු ආගමික අරමුණු වගේ අනන් මනන් ගොඩක් අපි ජීවත් වෙන්න හේතු විදියට හදාගන්නවා. මල ගෙදර රෑ ගෙවා ගන්නම කරන වැඩ වගේම.

ඉපදුන දා ඉඳල දුවනවා.. දුවනවා.. ආයෙමත් දුවනවා..වටිනාකම් පස්සෙ දුවනවා.. ඉලක්ක පස්සේ දුවනවා.. එක ඉලක්කයක් ජය අරගෙන එක ජය කණුවක් ළඟට ආවාම ඈත තියෙන තවත් කණුවක් බලාගෙන ආයෙම දුවනවා.

මේ දිවිල්ලේ තේරුමක් තියෙනවද කියල බලන්නවත් නවතින්න හේතුවක් සිස්ටම් එක විසින් අපට නිර්මාණය කරල දීලා නැහැ. අපි කරන්නේ සිස්ටම් එක අපෙන් ඉල්ලන දේ. අපි ඒ දේ ආපහු ප්‍රශ්න කිරීමකින් තොරව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පුළුවන් විදියකට ඉෂ්ඨ කරනවා. අන්තිමට මරණ ඇඳ පේනකල් ඔහොම දුවලා දුවලා.. සතුට හොයලා හොයලා.. හති දාන්න නවතින්නේ එතන විතරමයි.
ඊට පස්සෙ තියෙන්නෙ මැරෙන්න. ඊට පස්සෙ මැරෙනවා. එච්චරයි. අපේ කථාව එතනින් නිම වෙනවා. පරම්පරා ගානකින් පස්සේ අපි ගැන මතකය පවා නැතිව යනවා.

අපේ පැවැත්මේ අවසානය ඒකයි.
ඉටිපන්දමක් නිමලා දැම්මා වගේ නැතුව යනවා.

ටික කාලයක් සමහරුන්ගේ මතකයේ අපි ඉඳියි. අන්තිමට ඒ අයගෙන් පස්සෙ අපිව අමතක වෙලාම යයි.

මනුස්ස ජාතියම කවදා හරි මේ ලෝකෙන් තුරන් වෙච්චි දවසක, මේ ලෝ තලයේ ජීවය නැති වෙලා ගිය දවසකට.. අපි සුසුම් හෙල හෙල දුක දරාගෙන කරපු දේවල් සදහටම අමතක වෙලා යාවි. මතක් කරන්නවත් කෙනෙක් නැතුව යාවි.

ඕක තමයි අපේ ජීවිත වල තියෙන කටුක ඇත්ත.
තේරුමක් නැති නිෂ්ඵල බව… අර්ථශුන්‍ය බව.

සමහර විට මිනිස්සු ආගම් හරහා කොයිම ආකාරයක හරි මරණින් පසු පැවැත්මක් හොයන්නෙ ඒ අමිහිරි ඇත්ත ඒ තරම්ම තිත්ත නිසා වෙන්න ඇති. ආගමික විශ්වාස මාර්ගයෙන් යථාර්තයට මුහුණ දීම ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසා වෙන්න ඇති..
අරමුණු නැති ජීවිතයක අරමුණු හදාගෙන ඒවා පස්සේ හති දදා දුවලා අන්තිමට මැරිලා ගිහින් අමතක වෙලා පෘථිවි තලයෙන් නැත්තටම නැති වෙලා යන එක තමයි අපේ ජීවිත වල යථාර්තය. අපේ පැවැත්මේ තිත්ත ඇත්ත.

මට මතක් වෙනවා මගේ කණට වැටුන.. මගේ හිතගත්ත කතාවක්..

“මිනිස් වර්ගයාට කල හැකි ගෞරවාන්විතම දෙය තමා අපේ ප්‍රෝග්‍රෑමින්ග් එක ප්‍රතික්ෂේප කරන එක. වර්ගයා බෝ කරන එක නවත්තන එක. එකිනෙකාගේ අත් අල්ලාගෙන සහෝදර සහෝදරියන් සේ මනුශ්‍යත්වයේ අවසානය කරා කැමැත්තෙන් පිය නඟමින් මේ අර්ථශුන්‍යය සෙල්ලමෙන් ඉවත් වෙන එක..”

මම ඊට වඩා මුකුත් කියන්න යන්නෙ නෑ,
මොකද, ජීවිතය ගැන මම දකින මගේ ඇත්ත.. ඒ තරම්ම තිත්ත නිසා.

“ජීවත් වීම යනු” කුමක්ද… “ජීවත් වන්නේ” කුමකටද…

සමහර විට ඔබට වෙනත් පිළිතුරක් ඇති.. ඔබට ජීවත් වෙන්න අරමුණ දෙන ‘විල්සන්’ කෙනෙක් ඇති.

නමුත් ඒ ප්‍රශ්නයට මගේ පිළිතුර තමා මේ….

Advertisements

2 thoughts on “ඔබේ ‘විල්සන්’ කවුරුන්ද?

  1. ඉස්සර නම් හෙට එච්චර කළුවර නෑ කියලා ලිව්වේ මාලන් කියලා කෙනෙක්.
    ඒ මනුස්සයාට නොලියා බැරි අවුලක් තිබ්බ එක වෙනම එකක්. ඒත් ඒ මේ ජේම්ස් බන්ඩාම කියලා හිතුනම දැනුනේ නිකම් වහ කාලා දැනෙන හැඟීමක් !

    Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s