පෙරළි පෙරළි වඳිමි. නැත්නම් පෙරළෙන්නටම ගසමි.

ලංකාවේ අපට පෙරළි පෙරළි වඳින්නට කවුරුන් හෝ ඕනෑය. අනෙක් අතට පෙරළි පෙරළි ගහන්නටත් කවුරුන් හෝ ඕනෑය. අපේ චින්තනය හැඩ ගැසී ඇත්තේ ඒ අයුරිනි. අපේ ලෝකයේ සිටින්නේ එක්කෝ වීරයෝය, එක්කෝ දුෂ්ඨයෝය. එක්කෝ කළු චරිතය, එක්කෝ සුදු චරිතය. ආන්තික දැක්මකින් යුත් මිනිසුන් වන අපි මැදහත් සිතින් ලෝකය දැකීමට නොදනිමු.

අපේ ලෝක වල වීරයන්ට නිරතුරු සුවඳ දුම් අල්ලමින් බිම පෙරළි පෙරළි වන්දනා කරන අපි, අනෙක් අතට අපි දුෂ්ඨයන් සේ දකින මිනිසුන්ට රජ කාලයේ දඬුවම් දීමේ ආශාවකින් පෙළෙන්නෙමු. ඒ අපේ හැටිය. අපේ සංස්කෘතියේ විදියය.

උදාහරණයක් ගනිමු. රූපවාහිනී වැඩසටහන් වල නිවේදකයන්, එම වැඩසටහන් වලට එන නළු නිළියන්ව, ගායක ගායිකාවන්ව වෙනම තලයකට ඔසවා තබයි. අපේ ඉන්නේ නන්දා මාලිනී, අමරදේව, සුනිල් ආරියරත්න, සුනිල් එදිරිසිංහ නැමැති ගායක ගායිකාවන් නොවේ. නන්දා මාලිනියන්ය, අමරදේවයන්ය, සුනිල් ආරියරත්නයන්ය, සුනිල් එදිරිසිංහයන්ය. නිවේදකයන් කටහඬවල් වෙනස් කරමින් අමුතු විදියට කතා කරමින් මේ චරිත ඉදිරියේ හැසිරෙන්නේ පුළුවන් නම් ගෙදර උස්සාගෙන ගිහින් තියාගන්නට තරම් බටර් ගාමින් වර්ණනා කරමින්ය. ගායකයෙක් වර්ණනා කරන්නට මෙපමණ තොඳොල් වන මොවුන්, මොවුන්ගේ ලෝකයේ අගතැන්පත් චරිතය වන බුදුන්වහන්සේ හදිසියේ පැමිණියහොත්, උන්වහන්සේව විස්තර කිරීමට වචන නැතුව දිව සිර වී ගොළු වනු ඇත.

‘සිහිනයකි රෑ’ සංගීත වැඩසටහන ගැන මෙහිදී වචනයක් කීමට සිතේ. වැඩසටහන ආරම්භ වූ මුල් කාලයේ මා ආශාවෙන් නැරඹූ වැඩසටහනකි. නමුත් කල්යත්ම, වෙනස්ම විකාරරූපී ස්වභාවයකින් හෙබි ප්‍රොපගැන්ඩා මාදිලියේ වැඩසටහනක් බවට පත් වී ඇති අයුරු දුටිමි.

හේතුව, දැන් වැඩසටහනේ මූලික අංගය ගීත ගායනය නොව, යම් යම් සාරධර්ම සහ සමාජ පණිවිඩ ඇතුළත් ගීත තෝරාගෙන, ආරාධිතයා විසින් තම ජීවන අත්දැකීම් ඇසුරෙන් යම් අදහස් සමාජගත කිරීමය. වැඩසටහන ඉදිරිපත් කරන මහේෂ් නම් පුද්ගලයාට ‘අම්මා’ කියන සංකල්පය සමඟ ඇත්තේ පුදුමාකාර වියරුවකින් යුත් උන්මාදයකි. ඔහුට අම්මා යන වචනය ඇහෙද්දීම ඇස් වලින් කඳුළු පැන, වෙව්ළා, සිහි නැති වන ස්වභාවයක්ය දක්නට තිබෙන්නේ. දිනපතාම අම්මා, ගුරුවරු, කලගුණ සැලකීම වැනි පසුගාමී කල් ඉකුත් වූ ඊනියා සාරධර්ම සමාජගත කරන ප්‍රොපගැන්ඩාවක් බවට සිහිනයකි රෑ වැඩසටහන පත්ව ඇත. කවුරුත් පිළිනොපදනින බණ අසමින් චූන් වීමේ ආතල් එක වැනි, සංස්කෘතික ආතල් එකක් ගන්නා වැඩසටහනක් බවට එය පරිවර්තනය වී ඇත. මේ වැඩටහනේ නිවේදකයා සහ ආරාධිතයන් තම මව්පියන් වර්ණනා කරන්නට ප්‍රධාන කරගන්නා කාරණය නම්, අද මාව මෙතනට ගේන්න මගෙ අම්මයි තාත්තයි පුදුම විදියට දුක් වින්දා, කියන කරුණය.

මොන තරම් මමත්වයෙන් පිරි අදහසක්ද?

ඔවුන් නොකියා කියන්නේ, ඔබලාගේ ජීවිත දෙකම තනිකර දුකින් පෙළීමෙන් ගත කිරීම සාධාරණයි, අද මම මෙතන ඉන්න නිසා. ‘මම’ නැමති කෙනා වෙනුවෙන් ජීවිත දෙකක් කඳුලටම ක්ෂව දියවී යාම සාධාරණයි, මම අද ඒ තරම් වටින පුද්ගලයෙකු වී ඇති නිසා. මගේ දෙමාපියන් ඔය තරම් අසාමාන්‍යය විදියට මා වෙනුවෙන් දුක් වින්දා නම්, ඒ ගැන මතක් වෙන හැම වාරයක් වාරයක් ගානේ මට නම් දැනෙනු ඇත්තේ අභිමානයක්, ආඩම්බරයක් නොව ලජ්ජාවෙන් පිරි හැඟීමකි. ඇයි මෙහෙම දරුවන් වෙනුවෙන් දුක් විඳින්නේ? ඔපමණ අපහසු තත්වයක් නම් තිබ්බේ මාව මේ ලෝකයට ගෙනවිත් ඔබගේ ජීවිත විනාශ කරගත්තේ ඇයි? යන අදහස සාකච්ඡා කරනු වෙනුවට එය උඩ දදා වර්ණනා කරන්නට කෙනෙක්ට තිබිය යුත්තේ එසේ මෙසේ මමත්වයක් නොවේ.

අම්මා වර්ණනා කිරීමේ ගැටළුව කුමක්ද? ගෙදර බුදුන්ව වර්ණනා කිරීම ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ නේද? මේ සටහන කියවන කෙනෙකුට එසේ සිතෙන්නට පුළුවන.

ලාංකීය ජනතාව උදේ හවා වන්දනාමාන කරන ‘ගෙදර බුදුන් අම්මා’ යනු සංකල්පයකි. එය මහ පොළවේ ජීවත් වන සැබෑ චරිතයක් නොවේ. මහ පොළවේ සිටින්නේ හුස්ම ගන්නා, ලේ ඇට මස් වලින් හැදුනු, සාමාන්‍යය මානුෂීය හැඟීම් වලින් යුත් මිනිස් ගැහැණියකි. ඒ මානුෂීය හැඟීම් වලට ඊරිසියාව, වෛරය, රවටන සුළුබව, තණ්හාව වැනි හැඟීම්ද ඇතුළත්ය. මහ පොළවේ වෙසෙනා මව්වරුන් මිනිසුන් වීම ඔවුන්ගේ වරදක් නොවේ. ඔවුන් මිනිසුන් පමණක් බව යමෙක් පිළිගන්නවාද, එසේ පිළිගැනීම ඔහු කරනා වරදක්ද නොවේ. ලෝකයේ හැම අම්මාම එක වගේ නැත. එකවගේ හොඳත් නැත. එකවගේ නරකත් නැත. හොඳ, නරක දෙකින්ම සමන්විත මනුෂ්‍යයන් දහස් දසදහස් ගණනක් එකම කෝවක දමා, එකම තලයකට ඔසවා තැබීම නුවණැති ක්‍රියාවක්ද?

තම දරුවන්ට ශාරීරිකව මෙන්ම මානසිකවද හිංසා කරන අම්මාවරු ඇත. තම දරුවන් අතුරෙන් තමා කැමති ආකාරයට හැසිරෙන අනුපිළිවෙලට තම දරුවන්ට වැදගත්කම සහ ආදරය ලබා දෙන අම්මාවරු ඇත. තමාගේ සිහින, ආශාවන් ඉටුකරගැන්මට තම දරුවන් මෙවලමක් ලෙස පාවිච්චි කරනා අම්මාවරු ඇත. තම දරුවන් ලොකු මහත් කිරීමේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව ආපසු හැරවිය නොහැකි ආකාරයේ දරුණු වැරදි තීරණ ගන්නා අම්මාවරුන් ඇත. තම දරුවා වැඩිහිටියෙකු වී සහකරුවෙක්/සහකාරියක් තෝරාගැනීමේදී ඒ තීරණයට අනිසි විදියට, කැත විදියට බලපෑම් කරන අම්මාවරුන් ඇත. තම දරුවා විවාපත්වූ පසු ඒ පවුල් ජීවිතයට ඇඟිලි ගසමින් ඒ දරුවන්ගේ ජීවිත අපායන් බවට පත් කරනා අම්මාවරු ඇත.

එසේම තමා මෙලොවට බිහිකල තම දරුවාගේ අනාගතය යහපත් කිරීමට හැකි පමණ අවංකව උත්සාහ කරනා ගරු කටයුතු අම්මාවරුද ඇත. මා කියන්නේ සියලු අම්මාවරු නරකයි කියා නොව, සියලු අම්මාවරු ඔය කියන විදියට හොඳ නැති බවය.

උපන් විගස තම දරුවාව කුණු කූඩයට විසි නොකල පමණින් කාන්තාවක් බුදු පට්ටම හා සසඳා වර්ණනා කරන්නට සුදුසු තත්වයට එසවෙනවා නම්, මෙලහකට මෙලොව සියලු සත්වයෝ ගැහැනුන් වී ඉපද නිවන් ලබා සිටිය යුතුය.

මෙවැනි කරුණු කාරනා ලියූ විට, පෙර කී “වඳිමි නැත්නම් ගහමි” පිරිස මා වැනි අයට ගහන්නට අවි අමෝරාගෙන එන්නට ඉඩ ඇත. ඔවුන්ගේ මූලිකම තර්කය වන්නේ ‘තොගෙ අම්මා ඔහොම වෙන්න ඇති. අපෙ අම්මා ඔහොම නෑ’ කියන තර්කයයි.

වඳිමි නැත්නම් ගහමි පිරිස තේරුම් ගත යුතු කාරණය මෙයයි. මේ සටහනින් කතා කරන්නේ මුළු සමාජයක් ගැනය. සංස්කෘතියක් ගැනය. මෙය ඔබේ ගෙදර ඉන්නා ඔබේ අම්මා ගැන සටහනක් නොවේ. ඔබේ අම්මාගෙන් ඔබ වෙසෙනා මුළු රටේම ඉන්නා අම්මාවරු නියෝජනය වෙන්නේ නැත. ඔබේ අම්මා ඉතාම හොඳ, බුදු වෙන්නට ඔන්න මෙන්න ඉන්නා මනුෂ්‍යයකු වීමට ඉඩ ඇති බව මා පිළිගනිමි. සතුටුය. සුභ පැතුම්ය. එසේ නම් මේ සටහන ඔබේ අම්මා ගැන නොවේය. ලෝකයේ හැම දෙයක්ම, හැම කතාවක්ම ඔබ ගැන කතාවක් කියා නොසිතන්න. ලෝකය ඔබට වඩා බොහෝම විශාලය, පුළුල්ය. සංකීර්ණය. දැන්වත් ඔබලාගේ පුංචි ලෝකයෙන් නිදහස්වී එළියට එන්න, ඔවුන්ට කීමට ඇත්තේ එයයි.

මුළු සමාජයකම අඩුපාඩු වලින් යුත් මිනිසුන් කොටසක් එකම කෝවක දමා මැන, වර්ණනා කරන තත්වයට ඔසවා තැබීමෙන් වන්නේ, ඒ පිරිස අතින් පීඩනයට පත් වන අයට යන එනමක් නැති වීමය.

ඕනෑම වෘතියකට (ගුරු, වෛද්‍යය, සෙබළ) හෝ නිල ඇඳුමකට හෝ (සිවුර, ලෝගුව), පට්ටමකට හෝ (මව්පදවිය, පියපදවිය) ඉබේ විශේෂ ගරුත්වයක් හිමි වීමෙන් අසාධාරණයට පත් වන්නේ ඒ ගෞරවය හිමි යැයි සැලකෙන මිනිස්සුන්ගෙන් පීඩනයට පත් වන පීඩිතයන්ය.

මේ විශේෂ ගරුත්වය හිමි පුද්ගලයන් අතින් පීඩනයට සහ අසාධාරණයට ලක් වූවන් ඊට එරෙහිව හඬනගන්නට හෝ නීතියේ පිහිට පතන්නට හෝ සමීපතමයෙක් හා තම සිතැඟි බෙදාගන්නට හෝ මැලි වන්නේ, ස්වභාවයෙන්ම ඔවුන්ට තමාට වඩා වැඩි පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන බව දන්නා නිසාය. එනිසා මෙවැනි කැපී පෙනන විශේෂ සිදුවීම් වලදී හැර බොහෝ විට සිදුවන්නේ මේ ‘ගරුකටයුතු’ වෘතීන් වල නියැලෙන්නන් අතින් වන අසාධාරණයන් අනෙක් අය ‘ඉවසීමය’.

මන්ද, අවසානයේ මේ උසස් කරනු ලැබූ පට්ටම් පසුපස සැඟව ඉන්නා මිනිසුන්ගෙන් පීඩනයට පත් වූ මනුෂ්‍යයයෙකු එළියට පැමිණ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියද, සමාජ ගතව ඇති ආකල්ප නිසා මුළු සමාජයම ඔහුට එරෙහිව පට්ටම් ලාභියා වෙනුවෙන් පෙනී සිටිනු ඇත. මීට දින කිහිපයකට කලින් සිසුවෙකුට පහර දුන් ගුරුවරිය වෙනුවෙන් බොහෝමයක් දෙනා පෙනී සිටීමට වඩා මා කී කරුණ සත්යය බව තහවුරු කිරීමට වෙන සාක්ෂි අවැසි නැත.

පුද්ගලිකව මම මිනිසුන්ට ඔවුන් කරනා වෘතිය නිසා හෝ ඔවුන් දරනා පට්ටම් නිසා හෝ ඔවුන් අඳිනා නිල ඇඳුම් නිසා ඔවුන්ට විශේෂ ගෞරව සැලකිලි නොදක්වන්නට හැකි තරම් උත්සාහ කරමි. සැමටම ලැබිය යුත්තේ මනුස්සයෙක්ට හිමි ගෞරවය පමණි. කෙනෙක්ට අනෙක් අයගෙන් විශේෂ ගෞරවයක් අවශ්‍ය නම් ඔහු ඒ විශේෂ ගරුත්වය ඔවුන්ගෙන් දිනාගත යුතුය. හැසිරීමෙන් සහ කල්ක්‍රියාවෙන් තමා අනෙකුන්ට වඩා විශේෂ බව පෙන්විය යුතුය. එවිට ඔහු මොන වෘතියේ නියැලුනත්, මොන පට්ටම දැරුවත් ඔහුට සියල්ලන්ගේ ආදරය ගෞරවය ලැබෙනු ඇත.
මන්ද, ගෞරවය යනු දිනාගත යුතු දෙයක් මිස, ඉබේ ලැබෙන දෙයක් නොවන නිසාය.

Advertisements

2 thoughts on “පෙරළි පෙරළි වඳිමි. නැත්නම් පෙරළෙන්නටම ගසමි.

  1. සිහිණයකි රෑ වෙනුවට…

    මා පිය නැමදීම… හාන්දුරුවන්ගෙ එක ඒ වෙලාවට පෙන්නුවා නම් හරි…

    Like

    • ඒක සංගීත වැඩසටහනක් නෙමේ. ආගමික වැඩසටහනක් වගේ. එන ආරාධිතයො බණ කියන්නේ.

      Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s