මධ්‍යම පන්තියෙ කාර්

ඔය “මධ්‍යම පන්තිය” කියන්නෙ මොක්කුද කියන්න මම දන්නෙ නෑ. අහල බලද්දි හැමෝම මධ්‍යම පන්තියෙ. හාකො. එනිවේ,

ඉතිං මධ්‍යම පන්තියෙ නියම ලාංකික පිරිමියෙක් වුනාම අනිවාර්‍යයෙන් තියෙන්න ඕනෙ දෙයක් තමා කාර් එකක්. කාර් එකක් නැත්තං ඉතිං පුරුෂ නිමිත්ත අඟල් දෙකක් තුනක් විතර කෙටි වෙන සීන් එකක් තියෙනව. ලොකු කේස් එකක්. අඩු ගාණෙ ලදරං ඇල්ටො එකක්වත් ඕනෙ.

සිංගපූරුව කියන්නෙ සෑහෙන නොදියුණු රටක්. මෙහෙ ලංකාවෙ තරම් වාහන නෑ. මෙහෙ ගොඩක් මිනිස්සු කෝච්චියෙ එල්ලිලා තමා ගමන් යන්නෙ. මේ නිසා පුරුෂ නිමිත්ත කොටයි ගොඩක් අයගෙ. චීන්නු නිසා කොහොමත් කොටයි.

මුන් ඉතිං අවුරුදු විස්සෙ විසි දෙකේ වගෙ ඉඳල, රස්සාවකට ගිය මුල් අවුරුද්දෙ ඉඳල රට රටවල ඇවිදිනව. ට්‍රිප් යනව. යුරෝප් යනව, ඔස්ට්‍රේලියා යනව, මියන්මාර්, ලාඕස්, චීනෙ වගේ. ඒ රට රටවල ගිහිං උන් ගොඩ දාන්න හදන්නෙ තමන්ටම කියල වාහනයක් නැති සෝකෙ කියල තමා මට හිතෙන්නෙ.

මෙහෙ පිරිමි කෙනෙක්ගෙ මලගෙයක් දැක්කම මම ගිහිං අහනව “එයාට කාර් එකක් තිබ්බද?”. සමහරු කියනව නෑ කියල. ඒ වෙලාවට මමත් උන් එක්ක එකතු වෙලා අඬනව. පිරිමියෙක් වෙලා ඉපදිල තමන්ගෙ කියල වාහනයක් එලවන්න බැරි වෙන මිනිස්සු කොච්චර අවාසනාවන්ත ද?
පැයට කිලෝමීටර් දෙකක වේගයෙන් කොළඹ නගරය හරහා ඇදී යන මරුටියක් තුල ගෙවෙන දිවිය කෙතරම් සුන්දරද?


***-***

ඉහත සටහන මා උපුටා ගත්තේ Duminda Rathnayaka ගේ වෝල් එකෙනි. එය කියවීමෙන් පසු මා සිතේ මහත් දුකක් ඇති වුනි. මට අඩුම ගානේ ඩ්‍රයිවින් වත් බැරිය. පිරිමියෙක් වෙන්න තියෙන ප්‍රධානම සුදුසුකමක් වන ඩ්‍රයිවින් බැරි නිසා මම එතනින්ම ඩිස්කොලිෆයිඩ් වෙනවා විය යුතුය. හැබැයි, ඩ්‍රයිවින් බැරි වූවාට මට ඩ්‍රයිවින් ලයිසන් නම් තිබේ.

අවුරුදු විස්සෙදි විතර ගෙදර ඈයන්ගේ වදේ නිසා ලයිසමය ගත්තෙමි. ට්‍රයල් පෙන්වීමට ඉඳගත් දායින් පසු ඩ්‍රයිවින් සීට් එකක හිඳගෙන නැත. අරුමය වන්නේ ප්‍රියම්භිකාවියගේ පියා ඩ්‍රයිවින් ලර්නර්ස් හිමිකරුවෙක් වීමයි. ඒ හේතුවෙන් ප්‍රියම්භිකාව, ඇයගේ නැගනිය සහ අක්කා යන අය සියල්ලන්ට කාර්, මෝටර් බයික්, වෑන්, ත්‍රීවීල් සියල්ල පැදවිය හැක. එසේම ඔවුන් වාහන ගැන දැනුමැත්තෝය. මම වාහනයක් දැක්ක විට, ඒක සුදුපාට කාර් එකක්, නිල් පාට කාර් එකක්, ඒ වාහනේ ලස්සනයි, වැනි දෙයකින් එහා යමක් ඒ ගැන කීමට නොදනිමි. ඒ නිසා මගේ පිරිමිකම නොමැති බව ගැන නිරතුරුව ඇගේ පවුලේ ඈයන් විසින් විහිලුවෙන් මතක් කර දෙනු ලබයි. එය ලොකු උදව්වකි. නැත්නම් මට අඩුවක් ඇති බව මට අමතක වී යන්නට ඉඩ තිබේ. බොහෝ විට මගේ සමහර මිතුරන්ද ඒ බව මට මතක් කර දෙන්නේ මා ගැන පහළ කරුණාවෙන් විය යුතුය. දිනක් මාගේ නෑදෑයෙක් වන අයියා කෙනෙක් පාටියක් අතරතුර මා පැත්තකට කැඳවා ගියේ රහසක් මාත් සමඟ බෙදා ගන්නට මෙනි. ඔහු මට බැරෑරුම් මුහුණෙන් කීවේ හැකි ඉක්මනින් ඩ්‍රයිවින් ඉගෙනගන්නා ලෙසත්, ඉන්පසු වාහනයක් මිලට ගන්නා ලෙසත්, කොල්ලෙක් වුනාම පවුලේ අය දමාගෙන තමාගේම වාහනයක් පැදවීමට හැකියාව තිබිය යුතු බවත් ය. පිරිමියෙක් වනවා කියන්නේ එය ලු (ඔහු කාර් එකක් ඇති සැබෑ පිරිමියෙකි).

අපේ ගෙදර මා කුඩා කාලයේ සිටම කාර් එකක් තිබුනි. එය ටොයෙටා කොරොල්ලා වර්ගයේ එකකි. “කොල්ලෙක් නේද? ගෙදර කාර් එකක් තියාගෙන ඩ්‍රයිව් නොකර ඉන්න ලැජ්ජ නැද්ද?” මා අවුරුදු දහසය පමණ පසුකල අවදියේ සිට නිරතුරුව අසන්නට ලැබුනු ප්‍රකාශයකි ඒ. මට ගෙදර වාහනයක් තිබිලාත් එය පැදවීමට නොහිතුනේ මා සැබෑ පිරිමියෙක් නොවන නිසා වන්නට පුළුවනැයි සිතේ.

ඒ ටොයොටා කොරොල්ලා කාර් එක තාම තිබේ. දැන් නම් එය යකඩ ගොඩක් පමණි. මීට වසරකට පමණ පෙර ගෙදරට තවත් කාර් එකක් ගෙන එනු ලැබුවේය. එය සුදුපාට කාර් එකකි. මේ වාක්‍යය ටයිප් කරන මොහොතේ මට ඒ කාර් එක ගැන එහි පාට සහ ඔටෝ ගියර් ඇති බව හැර අඩුම ගානේ එහි වර්ගය මොකක්ද කියාවත් කීමට නොදන්නා බව කීවොත් කියවන ඔබ එය පිළිගනියිද කියා මා නොදනිමි. නමුත් ඇත්තටම මම මගේ නිවසේ ඇති කාර් එකේ වර්ගය හරියටම නොදනිමි (එය ටොයොටා බව මතක් වුනි. ඉන් එහාට වර්ගය නොදනිමි).

කෙසේ හෝ, යමක් ගැන උනන්දුවක් නැති විට ඒ ගැන සිතීම පුදුම විදියට දොරකින් වසා දමනවා සේ වැලකී යයි. ඇස් ඉදිරිපිට යමක් තිබුනත් එය නොපෙනෙයි. ඒ මිනිස් මනසේ හැටි විය යුතුය.

හැමටම කාර් එකක් ලැබෙනවාට වඩා හැමටම කලට වෙලාවට සුවෙන් සැපෙන් යා හැකි පොදු ප්‍රවාහණයක් හැදෙනවා නම් මම කැමැත්තෙමි. අපට කාර් මෙච්චර උවමනා වන්නට අපේ පොදු ප්‍රවාහණයේ හොඳකම ප්‍රධාන හේතුවක් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මට අනුව නම් විය යුත්තේ සැමටම කාර් එකක් ඇති රටක් වෙනුවට ඉහළ පොදු ප්‍රවාහන සේවයක් ඇති රටක් තැනීමය. හැබැයි එසේ වූවොත් රටේ බාගයක් මිනිසුන්ට පිරිමින් වීමේ අවස්ථාව මඟ හැරේ. ඒ නිසා එය එච්චර හොඳ අදහසක් නොවෙනවා විය යුතුය (මා ගිය මාසයේ හක්ස්ලිගේ Brave New World කියෙව්වෙමි. එහි සැමට පුද්ගලික හෙලිකොප්ටර් තිබේ. ඔවුන් නම් මාරම පිරිමි විය යුතුය. අනේ එහෙම දවසක් අපිටත් එනවා නම් !)

කෙසේ හෝ, දැන් මට වැටහෙන පරිදි පාරේ රෝද හතරක් එහෙ මෙහෙ කැරකවීමට හැකි වීම මාර වැඩකි. මට ඒ මාර වැඩේ ඉගෙනගැන්මට උනන්දුවක් නැති නිසා මම පරාජිතයෙකි. ඒ එක්කම, කාර් සහ පිරිමිකම අතර සෘජු සම්බන්ධයක් තිබෙන බව පැහැදිළිය. ඒ නිසා පිරිමියෙක් වන්නට නම් කාර් එකක් ගත යුතුය. සාර්ථක මිනිහෙක් වන්නට නම් කාර් එකක් උවමනාය. එය ගොඩක් ගනන් නම් සාර්ථකත්වය වැඩිය. මනුස්සයාගේ වටිනාකම වැඩිය.

කාර් එකකින් කෙනෙක්ට ප්‍රයෝජනයක් ඇති බව සත්‍යයකි. ඒ වගේම දුමින්ද කියනා සේම එය හා ශිශ්ණ දිග අතර මානසික සම්බන්ධයක් ඇති බවද සත්‍යයකි (ටූ ඉන් වන් ය). ඒත් ඉතින් මා එය වරදක් කියා නොසිතමි. අපි මිනිස්සුනේ.

මම අදම පිරිමියෙක් වන්නට උත්සාහ කරන්නට අදිටන් කර ගනිමි. නැත, එක්කෝ හැමෝටම හෙලිකොප්ටර් ගත හැකි දිනයක් එනකම් සිටිමි. එදාට මටම කියා හෙලිකොප්ටරයක් අරගෙන මට එක එක ඒවා කී එවුන්ට පේන්න අහස සිසාරා සන්ග්ලාස් දෙකක් දාලා එය පැදගෙන යමි. එදාට ඔවුන්ට ගොඩාක් රිදෙනු ඇත. මට හරියට සතුටු හිතෙනු ඇත.
එදාට ඒ ලෝකය හක්ස්ලිගේ ලෝකය මෙන් Brave New World එකක්ම වනු ඇත.

ප/ලි – හක්ස්ලිගේ Brave New World කියවා නැති අයට කියවන්න රෙකමදාරු කරමි. ඒ ලෝකය මාර ලෝකයකි. අපේ ලොවත් එසේ වූවා නම් කුමක් වේද කියා සිතන්නට වටිනා ලෝකයකි.

Advertisements

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s