සිද්ධාර්ථගේ ජීවිතය ප්‍රශ්න කිරීමේ අයිතිය වෙනුවෙන්?

1988 වසරේ පළවුන සල්මන් රෂ්ඩිගේ Satanic Verses නවකතාව තුළ ඉස්ලාම් ආගමික නායක මහම්මද්ගේ ජීවිත කතාවේ යම් කොටස් ඇතුළත් වෙලා තිබුනා. නමුත් රෂ්ඩි විසින් තම නිර්මාණයට මහම්මද්ගේ ජීවිතය සහ එහි සිදුවීම් ඇතුළත් කරල තිබුනේ ඒවාට ඔහුගේම අර්ථකතනයන් ලබා දෙමින්.

“සාම්ප්‍රදායික ආකල්ප හා විශ්වාස වලින් වෙනස් වෙච්චි විකල්ප දැක්මවල් ඉදිරිපත් වීම ඉතාම යුක්තියුක්ත දෙයක් විදියටයි මම දකින්නෙ. ඉස්ලාම් ආගම ගැන පමණක් නෙමේ, ඕනම දෙයක් ගැන. මේ මොහොතේ අපි ජීවත් වෙන සමාජයේ තියෙන ගතානුගතික දේශපාලනික අදහස් සැලකුවොත් එතනත් පොදුවේ පිළිගත්ත සාම්ප්‍රදායික අදහස් තියෙනවා. ඒ ගැනත් සාම්ප්‍රදායික දැක්මෙන් වෙනස් වෙච්චි විකල්ප දැක්මවල් ඉදිරිපත් විය යුතුයි. රැඩිකල් දේශපාලනික අදහස් සමාජගත වී ඇත්නම් ඒ අදහස් ගැනත් ප්‍රධාන ප්‍රවාහයෙන් වෙනස් වෙච්චි විකල්ප දැක්මවල් ඉදිරිපත් විය යුතුයි. ලේඛකයෙක්ට කරන්න පුළුවන් වැදගත්ම දේවල් වලින් එකක් තමයි, මෙන්න ඔබට ලෝකය දිහා බලන්න කියල දීලා තියෙන ක්‍රමය. නමුත් ලෝකය දිහා බලන්න ඒ එක ක්‍රමය විතරක් නෙමෙයි, තව ක්‍රමත් තියෙනවා කියන පණිවිඩය තම නිර්මාණ හරහා මිනිසුන්ට ලබා දීම….”

තමා විසින් ලියන ලද Satanic Verses නවකතාවට මුස්ලිම් ලෝකය තුළින් වාරණයට ලක් වීම් සහ එකපිට එක මරණ තර්ජන එල්ල වීමට පටන් ගත්තයින් පස්සෙ ලේඛක සල්මාන් රෂ්ඩි ප්‍රකාශ කල අදහසක් ඒ……

තමන් සාම්ප්‍රදායිකව දක්නා අදහස් වලට වඩා වෙනස් ස්වරූපයක් තම ආගමික නායකයාට ආදේශ කිරීම ගැන කුපිත වුන මුසල්මානුවන් රෂ්ඩිගේ කෘතියට ප්‍රතිචාර දැක්වුවේ සිය සුපුරුදු ගතානුගතික ගෝත්‍රික ආකාරයටමයි.

ඉරාන නායක රහෝල්ලා කමේනි විසින් රෂ්ඩි මරණයට පත්කිරීමට Fatwa නියෝගයක් නිකුත් කරනු ලැබුවා. එක රැයින් කෘතියට විරුද්ධව ලොව පුරා හිංසාකාරී විරෝධතා ඇවිලෙන්නට පටන් ගත්තා. කෘතියේ ප්‍රකාශකයාට කෘතිය පල කිරීම නවත්වන්නට බල කරමින් එකපිට එක තර්ජන ගලා එන්නට වුනා. කෘතිය පල වී පළමු මාසය අවසන් වන්නට පෙර ඉන්දියාව විසින් කෘතිය තහනම් කොට නියෝගයක් ප්‍රකාශ කෙරුනා. ඊළඟ මාසය ගතවත්දී බංගලාදේශය, සුඩානය, දකුණු අප්‍රිකාව මෙන්ම ශ්‍රීලංකාවේද රෂ්ඩිගේ කෘතිය තහනම් කෙරුනා. දෙසැම්බර් දෙවැනිදා බ්‍රිතාන්‍යයේ බෝල්ටන් නුවරට එක්වුන 7000ක් මුස්ලිම් ජනයා රෂ්ඩිගේ කෘතියට සිය විරෝධතාව පල කලා. පෙබරවාරි මාසයේ දෙලොස් වනදා පාකිස්තානයේදී 10,000ක් මුසල්මානුවන් එක් රැස් වී කෘතියට විරුද්ධව විශාල උද්ඝෝෂණයක් පැවැත්වූවා. එහිදී ඇමරිකානු සංස්කෘතික ආයතනයට කෙරුනු පහරදීමකදී පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා. ඇමරිකාවේ බර්ක්ලි, කැලිෆෝනියා සහ නිව්යෝක් නගර වල පොත් සාප්පු වලට බෝම්බ ප්‍රහාර එල්ල වුනා. ඉන්පසු ලන්ඩන් නගරයේ පොත් සාප්පු තුනකට නැවතත් බෝම්බ ප්‍රහාර එල්ල වුනා.

එක් ලේඛකයෙක් විසින් ලියන ලද පිටු පන්සීයයක පොතකට විසිවන සියවසේ ලෝකයේ බහුතරයක් නියෝජනය කරන මුස්ලිම් ජනතාව ප්‍රතිචාර දැක්වූවේ ඒ ආකාරයෙන්.

ලේඛක සල්මන් රෂ්ඩි තම ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් කෘතිය ලිවීමෙන් කලේ වරදක්ද?

සිය ආගමික විශ්වාස පිළිබඳ වෙනස් විදියට සාක්ච්ඡා කෙරෙන කලා කෘතියකට ලොව පුරා ජීවත් වන මිලියන ගණනක් මුස්ලිම් ජනතාව ප්‍රතිචාර දැක්වූ ආකාරය නිවැරදිද? ඔවුන්ගේ ඉල්ලීම වුනේ කෘතිය තහනම් කොට කතුවරයාට දඬුවම් කරන ලෙසයි. ඒ ඉල්ලීම් සාධාරණද?

මීට දින කිහිපයකට පෙර “අර්ධ” නම් කෙටිකතාව ලිවීමේ “වරදට(?)” එහි කතුවරයා සිරගත කෙරුනා. ඒ සිරගත කිරීම හරහා මීට මාස කිහිපයකට කලින් බුදුන්ගේ රස්තියාදුව කෘතිය හා සම්බන්ධව පැනනැඟුනු ප්‍රකාශන අයිතිය සම්බන්ධ සංවාදය ලාංකීය සයිබර් අවකාශය තුළ නැවත ඇති වෙලා…


මිනිස් ශිෂ්ඨාචාරය ආරම්භ වූ කාලයේ ඉඳල අද ඔබ මේ පෝස්ටුව කියවන මොහොත තෙක් සිදුවූ බුද්ධිමය නැඟීම සහ සදාචාරාත්මක පරිනාමය මෙහෙයවන යාන්ත්‍රණයේ ප්‍රධානම උපාංගයක් තමා “සංවාදය” කියන්නේ. ශිෂ්ඨාචාරය ආරම්භයේ සිට අද දක්වා සිදු කෙරුනු, ඉදිරියටත් සිදු වීමට නියමිත මේ සංවාදයට ලොව වටා ජීවත් වී මියගිය මිනිසුන් මිලියන බිලියන ගණනින් අඩු වැඩි වශයෙන් සිය දායකත්වය ලබා දුන්නා. ඒ දායකත්වයේ ප්‍රතිපලයක් විදියටයි වර්තමාන ලෝකය තුළ අප දකින දැනුම, වටිනාකම්, හරපද්ධතීන්, ලෝක දැක්මවල් මේ ආකාරයට නිර්මාණය වෙලා තියෙන්නෙ.

මිනිස් ඉතිහාසයේ යම් යම් කාල වල ජීවත් වුනා (අදටත් ජීවත් වෙනවා) තමා ජීවත් වන විශ්වය සහ ජීවිතය ගැන තමාට ඇතිවන ප්‍රශ්න වලට උත්තර තමා දැනටමත් සොයා ගත්තාය කියා සිතන අය. එවැන්නන් සහ නොයෙකුත් අධිපතිවාදී දේශපාලන උවමනා එපා කම් දැරූ මිනිසුන් විසින් මේ සංවාදයට වැටකඩොළු දමා ඒ සංවාදය තමාට රිසි සේ හසුරුවන්නට තමන්ට හැකි උපරිම බලය යෙදවූවා. තමන්ට රිසි ලෙස සංවාදයේ නොයෙදී තමා අකමැති දෑ මේ සංවාදයට එකතු කරන්නට දස වද දෙමින්, ඔවුන්ගේ පවුල් පිටින් විනාශ කරමින්, ඉතා දැඩිව තම බලය ඔවුන් මත යොදමින් මේ නොනිමි සංවාදයට ඔවුන්ගේ “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය” අහිමි කිරීමේ නිරත වුනා.

නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ බාධක මැද්දේ සිද්ධ වුන ආකල්පමය දියුණුව සහ සදාචාරාත්මක පරිනාමය නිසා අර කලින් කිව්ව “බාධක දමන්නන්ව” ඉතිහාස පොතේ කළු අකුරෙන් ලියන පරිච්ඡේද වලට එකතු කරමින් ශිෂ්ඨ සම්පන්න මිනිසුන් විසින් සැමටම මේ මනුස්ස සංහතියේ හෙට දවස උදෙසා කරන සංවාදයට දායක වීමේ අවස්ථාව හිමිකර දෙමින් “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය” මිනිසා සතු මූලික අයිතියක් බවට පිළිගැනීමට පටන් ගත්තා.

මනුෂ්‍යයෙකු සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ ඒ තරම්ම වැදගත්, ඉහළින්ම තැබිය යුතු, කොන්දේසි විරහිතව ආරක්ෂා කල යුතු වටිනාම සංකල්පයක් විදියට ශිෂ්ඨ ලෝකයේ පිළිගැනුනා. මේ සංකල්පයේ වටිනාකම කොතරම්ද යත්, තමා නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරන අදහසක් වුවත් අන් කෙනෙක්ට ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමේ වටිනා කම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් තේරුම් ගන්න පටන් ගත්තා. වර්තමාන ශිෂ්ඨ මනසක් විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දෙස බලන්නේ ඒ ආකාරයටයි…

නමුත් අවාසනාවට, වසර දහස් ගණන් පැරණි කල් ඉකුත් වුන දෘෂ්ටිවාදයන් කර තබාගෙන, විශ්වය සහ ජීවිතය සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර තමාගේ යම් ආගමික ග්‍රන්ථයක් තුල දැනටම ඇතැයි සිතන, මිලියන ගණනක මිනිසුන් තවමත් වර්තමානයේත් ජීවත් වෙනවා. ඒ යල්පැනගිය ගතානුගතික අදහස් කරපින්නාගෙන සිටිනා පිරිස් වලට මානව ප්‍රගමනයේ නූතන සංකල්ප වටහා ගැනීමට හැකියාවක් නැහැ.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ වාරණය අතර ගැටුම ඇති වෙන්න ප්‍රධානම හේතුව ඕකයි. ඉහත පැහැදිළි කල ප්‍රකාශනයේ අයිතියට යම් අදහසක් ප්‍රකාශ කිරීම, පවතින අදහසක් විවේචනය කිරීම වගේම උපහාසයට ලක් කිරීම කියන අයිතීන් ද ඇතුළත්.

ගත වූ දින කිහිපයේ මතබේදයට තුඩු දී තිබෙන අර්ධ කෙටිකතාව ගැන ඇති වී තිබෙන සංවාදය ගැන යමක් සඳහන් කල යුතුයි.

ප්‍රකාශනයේ අයිතිය අභියෝගයට ලක් වෙලා තියෙන පරිසරයක, ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් කල හැකි උසස්ම ක්‍රියාව නම්, තමාගේ ප්‍රකාශනයේ නිදහස උපරිම ලෙස භාවිතා කිරීමයි. ඒ ක්‍රියාව එවිට පවතින සිස්ටම් එකට අභියෝග කිරීමක් වෙනවා. ‘වීර ක්‍රියා’ කියන්නේ ඒවගේ ක්‍රියා. එහෙම නොකර, ප්‍රකාශනයේ අයිතිය පිළිනොගන්නා අඳ බාලයන්ව අහක ඉන්නා අවුස්සා නොගත යුතු බල්ලන්ට සමාන කොට නිකන් බලාගෙන සිටීම නොවේ කල යුත්තේ.

යම් නිර්මාණකරුවෙක් කලා නිර්මාණයක් කල විට, ඒ කලා නිර්මානයේ කොලිටි එක බලලා ඒ කලාකරුවාගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී හිඳීම හෝ නොහිඳීමට ඒ කොලොටිය පදනම් කර ගන්න එක ලොකු වරදක්. නිර්මාණකරුවන්ට නිදහස තිබිය යුත්තේ “මම හොඳයි කියල හිතන නිර්මාණ කරන්න” විතරක් නෙමේ. මම පිළිකුල් කරනා නිර්මාණ කරන්නත් ඕනම නිර්මාණකරුවෙක්ට අයිතිය තිබිය යුතුයි..

ඊළඟට, “තමන්ගේ ගෙදර ඉන්න අම්මාව සම්බන්ධ කරගන්නෙ නැතුව කිසිදු සමාජීය මාතෘකාවක් කතා කිරීමට බැරි වීම” නම් අමුතුම රෝගයකින් පෙළෙන ලාංකීය බෞද්ධයන් විසින් මේ ගැන කතා කරද්දි මුල්ම අභියෝගය විදියට එල්ල කෙරෙන ප්‍රශ්නයකට පිළිතුරු දිය යුතුය කියා හිතනවා.

“උඹේ අම්මා ගැන විවේචනයක් හරි, අම්මාව උපහාසයට ලක් කරල කවියක් හරි නවකථාවක් හරි ලිව්වා නම් උඹ ඔහොම කියනවද?” නැමති ගැඹුරු ප්‍රශ්නය.

සරලවම කියනවා නම්, “ඉර අඳින්නේ කොතනින්ද?”

බුදුන්, ජේසුස්, මහම්මද් කියන්නේ මම, ඔබ, මගේ පියා, ඔබගේ මව අර්ථයෙන් ‘පුද්ගලයන්’ නෙමේ. බුදුන්, ජේසුස් කියන්නේ සංකල්ප. බුදුන් ජේසුස් පමණක් නෙමේ, ස්ටීව් ජොබ්ස්, මහින්ද රාජපක්ෂ, ඉලාන් මස්ක්, සදාම් හුසේන් කියන්නෙත් මහා ප්‍රොපගැන්ඩා රාශියක ප්‍රතිපල විදියට කාලයක් පුරා මිනිසුන්ගෙ හිත් වල නිර්මාණය කරන ලද සංකල්පීය ප්‍රතිරූප.

ස්ටීව් ජොබ්ස් වගේ චරිතයක් උදාහරණයට ගමු. ස්ටීව් ජොබ්ස් කියන සංකල්පය තුළ ජීවත් වෙන ‘සැබෑ මිනිසා’ මොන වගේද කියන එක හොයන්න අමාරු වුනත්, ඔහු මිය ගිහින් තවම ඉතා කෙටි කාලයක් පමණක් නිසා අමාරුවෙන් හරි ඔහු තුළ හිටිය සැබෑ මිනිසා ගැන අපට යම් අදහසක් ගන්න බැරි කමක් නැහැ. ඒත් මතුපිටට නොපෙනෙන කාරණා හොයලා බලන්න සෑහෙන අධ්‍යයනයක් කලයින් පස්සෙ. ඔහු මිය ගිහින් වැඩි කල් නැති නිසා අපට ඒ සංකල්පය තුළ ඉන්න සැබෑ මිනිසාගේ සහ ගොඬනගන ලද ප්‍රතිරූපයේ තරම (ප්‍රතිශතය කියමු) ගැන බුදුන් වගේ අවුරුදු දහස් ගාණකට කලින් හිටිය කෙනෙක් ගැනට වඩා තරමක පැහැදිලි නිගමනයකට එන්න පුළුවන්.

මේ චරිත ජීවත් වෙලා මිය ගිය කාලය වැඩිවෙන්න වැඩිවෙන්න, ඔවුන් ඉතිහාස ගත වෙන්න වෙන්න, ඔවුන් තුළ ඉන්න ලේ ඇට මස් ඇති මිනිසා මිය ගිහින් ප්‍රොපගැන්ඩා මඟින් මෙහෙයවෙන, කාලයත් එක්ක එකතු කිරීම් අඩු කිරීම් වලට අහු වුන සංකල්පීය චරිතය ඉතිරි වෙනවා.

ඉතින් අපි මේ විවේචනයට ලක් කරන්නේ බුදුන් නැමති සංකල්පයයි. කොටින්ම බුදුන් ගැන කියල අද අප කියවන කථා පවා කවුරුන් හෝ කාලයකට කලින් ජීවත් වුන ගෞතම කියන මිනිසාට දුන්න එක අර්ථ ගැන්වීමක් තමා. ඉතින් ඒ ඉතිහාසයට අරුත් දීම කරන්න අයිතිය තියෙන්නේ ඒ මුල් ලියුම්කරුට පමණක් නෙමේ. මුළු මානව සංහතියටම ඒ නිදහස තිබෙනවා, තිබිය යුතුයි. රාහුල කියන්නේ සැබවින්ම ගෞතමගේ දරුවා නොවේ ඡන්නගේ දරුවා කියනා ආකාරයට හෝ ජේසුස් සමඟ මරිය මද්ගලේනා නිදිවැදුන ආකාරයක් ගැන හෝ කියා නිර්මාණයක් කිරීමේ අයිතිය (දැනටම එහෙම නිර්මාණයක් තියෙනවා. මාර්ටින් ස්කෝසේසිගේ Last Temptation of Christ බලන්න ) නිර්මාණකරුවෙක්ට තියෙන්නේ ඒ නිසයි.

ඉර අඳින්නෙ කොතනද ප්‍රශ්නයට ආයෙ ආවොත්..

ඕනම සංකල්පීය චරිතයක් හෝ දැනට ජීවත් වන පුද්ගලයෙක් ඔහු ජීවත් වන සමාජීය චින්තනයට සහ හැසිරීම් වලට බලපෑම් කරන මට්ටමට ආවාම, ඔහුව සමාජීය මට්ටමෙන් විවේචනය කිරීම වගේම ඔහුට සමාජීය මට්ටමින් මඩ ගැසීම වැරදි නැහැ. කොටින්ම එය අනිවාර්‍යෙන් කල යුත්තක්. මෙතනදි කතා කල යුත්තෙ සමාජිය කාරණා වලට අදාලවයි. පොදු සමාජයට අයත් නැති ඔහුගෙ පුද්ගලික ජීවිතය එතනට අදාල නැහැ. (ඇමති කෙනෙක්ගෙ දේශපාලන ක්‍රියාකාරකම් ගැන කාටූන් එකක් පත්තරේ දමා ඔහුව උපහාසයට ලක් කිරීම හරි වෙලා ඔහුගෙ දුවගෙ ප්‍රේම සම්බන්ධයක් ගැන ගමේ තාප්ප වල කැලෑ පත්තරයක් ගැසීම වැරදි වෙන්නෙ ඒ අර්ථයෙන්)

නමුත් බුදුන් වැනි සම්පූර්ණයෙන්ම වගේ සංකල්පීය චරිත, ඔහුගේ පුද්ගලික යැයි සැලකෙන ක්‍රියා කාරකම් දක්වා ප්‍රශ්න කිරීමට ලක් විය යුතුයි. මොකද ඔහු වැනි චරිත දේවත්වයට ඔසවා ඇති නිසා. ඉතින් ඔහුගේ මුළු ජීවිතයම ප්‍රශ්න කිරීම, ඔහු ගැන නිර්මාණය වී ඇති දේව ප්‍රතිරූපයට කෙරෙන අභියෝගයක්. ඒ අභියෝගය දේශපාලනිකයි. ඒ දේශපාලනික අභියෝගය කිරීම ඒ දේශපාලනයෙන් බලපෑමකට ලක්වන සැම සතු අයිතියක්. (ගාන්ධි තම අවුරුදු 14 නෑදෑ දියණියක් එක්ක නිරුවතින් නිදා ගැනිම තරුණියන්ට ඔහු ඉදිරියේ උඩුකය නිරුවතින් සහ සම්පූර්ණ නිරුවතින් නර්තනය කරන්නට කීම, තරුණියන් සමඟ ස්නානය කිරීම, ඉතා දැඩි ජාතිවාදියෙක් වීම, ඉන්දියාවේ මිනිසුන් ලක්ෂ ගණනකගේ ජීවිත අපායක් කල කුල ක්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම වැනි දේ ගැන කෙරෙන විවේචනයන් වැලිඩ් වෙන්නෙ මේ අර්ථයෙන්)

මුළු රටකටම, සමාජයකටම, අනාගත පරපුරකටම බලපවත්වන දෘෂ්ඨිවාදයක් මූලික කරගත් ගෞතම බුදුන්, ජේසුස්, මහම්මද් වගේ චරිත විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ෂා කල යුතුය කියල සිහි බුද්ධියක් ඇති අයෙක් කියයි කියා මා සිතන්නේ නැහැ.

ඒ කරුණු ටික පැහැදිළි ඇතැයි හිතනවා.


.
මීට අමතරව තව එක කාරණයක් සඳහන් කල යුතුයි.

මුලින් සඳහන් කල සල්මාන් රෂ්ඩිට විරෝධය පල කල මුසල්මානුවන්ට තමාගේ ආගම වන ඉස්ලාම් ආගමෙන් ඒ විරුද්ධත්වයට හේතු සාධක සපයා තිබෙනවා. ඒ කියන්නේ මුසල්මානුවන්ගේ ඒ ගෝත්‍රික හැසිරීම ඔවුන්ගේ කල් ඉකුත් වූ ගෝත්‍රික ආගම විසින් සාධාරණීයකරනය කෙරෙනවා.

නමුත් බෞද්ධයන්ට එසේ නොවේ. බෞද්ධ දර්ශනය කියන්නේ ඉස්ලාම් ආගම වැනි ආගමක් එක්ක සැසඳීමේදී වඩාත් ප්‍රගතශීලී ආගමක්. මේ ගැන ඔවුන්ගේ ශාස්තෲවරයා කියන්නේ මෙහෙම අදහසක්…

“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය.” – [දීඝ නිකාය, බ්‍රහ්මජාල සූත්‍රය]

මා හැමදාම බෞද්ධයන්ව එලොවටත් නැති මෙලොවටත් නැති මෝඩ අමන ගොන් හැතිකරයක් විදියට හඳුන්වන්නේ ඒකයි. ඔවුන් ඔවුන්ගේ ආගමික අතින් පවා අන්තිම බංකොලොත් පිරිසක්. ඔවුන් උදේ සිට හවස් වෙන තුරා කර තියාගෙන වන්දනා කරන බුදුන්ගේ ධර්මයත් සතපහකට ගනන් ගන්නෙ නැහැ. බුදුන්ගේ ඉගැන්වීම් පඩේකටත් වඩා ගනන් නොගන්නේ අබෞද්ධ අප නොවේ, බෞද්ධ ලේබලය අලවාගෙන සිටින මේ මීහරක් පිරිස සහ ඔවුන්ගේ මෝඩ කමින් තම පැවැත්ම සහ අධිකාරී බලය හදාගෙන සිටිනා භික්ෂූ පරපුරයි.

ඔවුන් තර්ක කල යුත්තේ අපත් සමඟ නොවෙයි, ඔවුන්ගේ ශාස්තෲවරයා වන බුදුන් සමඟයි.

වර්තමාන ලෝකයේ ඉහළින්ම සිටිනා විද්වතෙක් ලෙස සැලකෙන නෝම් චොම්ස්කි අදහස් ප්‍රකාශනයේ අයිතිය ගැන කියූ වචන කිහිපයකින් මේ සටහන අවසන් කරන්න හිතුවා.

“මම විරුද්ධයි සාහිත්‍යය නිර්මාණ තහනම් කරන එකට. මම විරුද්ධයි මිනිස්සු කියන, හිතන දේවල් මොනවද කියල තීරණය කරන්න රාජ්‍යයට (state එකට) බලය ලබා දෙනවට. එවැනි විශාල බලයක් රජයට ලබා නොදිය යුතුයි. යම් සමාජයක මිනිසුන් ද්වේෂ සහගත කලානිර්මාණ කරනවා නම් ඒ ප්‍රශ්නයට සමාජය විසින් ප්‍රතිචාර දක්වන්න ක්‍රමයක් හොයාගන්න ඕන. එහෙමයි කියල හැම දේටම වඩා භයානක රාජ්‍යයට මිනිස්සුන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පාලනය කරන්න බලය දීම ඉතා විශාල වැරැද්දක්….”


මෙය කියවන ආගමිකයෙක් ඉන්නවා නම් අවසාන වශයෙන් මතක තියා ගත යුතුයි මේ කාරණය…….

ආගම් වලට අගෞරව කරන්න කාටවත් බෑ. ආගම් කියන්නෙ සංකල්ප/දෘෂ්ඨිවාද/අදහස්. ඒ සංකල්ප විවේචනය කලාම, ඒවා උපහාසයට ලක් කලාම ‘මිනිස්සුන්ට’ පුළුවන් ඒවාට අගෞරව වුනා කියල හිතල ට්‍රිගර් වෙන්න. එහෙම වෙන එකෙන්ම ඔප්පු වෙනවා ඒ මිනිස්සු තුළ ආගම් වලින් ඇති කරන්න අපේක්ෂා කරන ශික්ෂණය අල්ප මාත්‍රයක්වත් නැහැ කියල.

බුදුන්ව විවේචනය කරද්දි මිනිස්සුන්ට මලපනින එක තරම් මිනිස්සුන්ගෙ ජීවිත වල බුදුන්ගෙ දර්ශනය ෆේල් කියල ඔප්පු කරන්න තවත් හොඳ සාධකයක් නැහැ. බුදුන්ට මොනව හරි කිව්වම ඇස් වලට කඳුළු එනවා හෝ කේන්ති යනවා නම් ඔහු හෝ ඇය බුදුන් ඉගැන්වූ දෙයින් අල්ප මාත්‍රයක්වත් ජීවිතයට අරගෙනත් නැහැ. අන්‍යාගමිකයන්ට දෙයියෙක් වගේ තමයි ඔවුන්‍ට බුදුනුත්.

මට වැටගෙන විදියට නම් ගෞතම බුදුන්ට කරන්න ඊටත් වඩා අපහාසයක් තවත් නැහැ.

Advertisements

13 thoughts on “සිද්ධාර්ථගේ ජීවිතය ප්‍රශ්න කිරීමේ අයිතිය වෙනුවෙන්?

  1. මේ සිද්ධිය ගැන ලියපු අපක්ෂාපාති හොඳම විවරණයක් මේක. මම එහෙම කිව්වේ මම ෂෙයාර් කලේ නැහැ මේ සිද්ධිය ගැන ලියපුව. අපේම යාලුවෝ සමහර වාමවාදී නැතිනම් ලිබරල් අදහස් තියෙන අය අනිත් ආගම් ගැන විවේචන ආවහම (කතෝලික පල්ලියේ ලිංගික අපයෝජන, මුස්ලිම් පල්ලියේ ගැහැණු සහ පිරිමි ළමයි අපයෝජන සහ වෙන ආගමිකයන් මරන්න කියල කියන කතා වගේ දේ) හෙමින් සීරුවේ කටුව ඇතුලට රිංගනවා. මේ සිද්දියට හැමෝම උඩ පනිනවා. බුද්ධාගමේ හින්දද දන්නේ නැහැ. නිකන් අර නිකන් තියන ගෙරි හැමට තැලුවට කමක් නැහැ වගේ.උදාහරණයක් වශයෙන් මම ලියපු සියාමා පොත කිසිම ජන වර්ගයකට එල්ල කරලා ලිව්වේ නැහැ. ඒ ගැහැණු ළමය මුස්ලිම් වීම කතාවේ තියෙන දෙයක්. ඒ ළමයට වෙච්ඡ දේ වෙන ආගම් අදහන වෙන අනිත් ළමයින්ටත් වෙලා තියෙනවා. තවමත් වෙනවා. නමුත් සමහරු විවේචනය කලේ මොකද ආයිත් අවුළුවන්නද හදන්නේ. ඒ හැමෝම නරකද ඔන්න ඔය වගේ කතා කියල .
    ඉතින් ඔය ඇවිලවීම මේ ලියපු කතාවටත් සාධාරණයි. පොලිසිය පැත්තෙන් බැලුවාහම සල්මන් රුෂ්ඩි ගේ නවකතාවට ට ඇවිලුනා වගේ බෞද්ධ මිනිස්සු ඇවිලෙන්න පුළුවන්.
    විවේචනය කරනවානම් හැම ආගමකම වැරදි විවේචනය කරන්න . නැත්නම් පැත්තකට වෙලා ඉන්න එකක් විතරක් අල්ලාගෙන උඩු බුරුලන්නේ නැතිව. ඔන්න ඕකයි මම කියන්නේ. ඒ අතින් මේ ලිපිය හොඳයි. ප්‍රකාශනයේ නිදහස්- ඒක ආරක්ෂා කරන්න ඕන වෙලාවක.

    Like

  2. මෙතනදී වැරැද්ද තියෙන්නේ නීතියේ මිසක් නීතිය පාවිච්චිකල හාමුදුරුවන්ගේ නෙමෙයි නේද?.
    වනවදුලේ වසන්තය ටෙලිනාට්‍යය තහනම් කිරීම ගැන කවුරුවත් කතා නැත්තේ ඇයි.

    Like

    • වනවදුලේ වසන්තය තහනම් කිරීම ගැන දැනුමක්වත් මතකයක්වත් නැහැ. නීතිය වගේම නීතිය අවැසි විදියට අර්ථකතනය කිරීමත් වැරදියි මෙතනදි

      Like

  3. අජිත්ගේ සටහනක් දැක මෙතනට එන්නට ලැබුණා ඇත්තටම මේ ගැන ලියැවුන හොඳ ලිපියක්

    Like

  4. සෑර් කියන විදියට මට නං තේරෙන්නේ ලංකාවේ සියලුම බෞද්ධයෝ මේ හාදයාගේ කෙටි කතාවට විරුද්දයි කියලනේ. ඇත්ත සිද්දිය එහෙම නෙවෙයිනේ. එහෙම නේද?

    මේ කතාවේ බුදුන්ට අපහස කොරල නැහැ නේ. බුදුන්ට ජිවත්ව ඉන්න කාලෙත් අපහස කළා අදත් කොරනවා හෙටත් කොරවී. ඒක එදා ඔහුට ප්‍රශ්නයක් උනේ නැහැ. අද උනත් ප්‍රශ්නයක් වෙන්ඩ විදියක් නැහැ. නමුත් චන්නහේ යශෝධරාගේ සිද්ධිය නිශේධ කොරන්න අද ඔවුන් වත් වෙන කෙනෙක්වත් නැහැ. අන්න ඒක අසාධාරණයි. භාෂණයේ අයිතිය තිබුන කියල හිතට එන ඕන විකාර අදහසක් ලියන්ඩ ඇහැක් නං ටෞකන්ඩ දෙයියනේ කාටවත් පාරේ තොටේ බැහැල යන්ඩ බැරි වේවි නේ.

    ඔබත් භාෂණයේ අයිතිය ඉහලින්ම පාවිච්චි කොරනවා. දැන් බලන්ඩ ඔබගේ ‘මා හැමදාම බෞද්ධයන්ව එලොවටත් නැති මෙලොවටත් නැති මෝඩ අමන ගොන් හැතිකරයක් විදියට හඳුන්වන්නේ ඒකයි. ඔවුන් ඔවුන්ගේ ආගමික අතින් පවා අන්තිම බංකොලොත් පිරිසක්.’ කියමන සාධාරණද? බොහෝ දෙනා එසේ හැසිරුනත් සියල්ලන්ම එසේ යයි ඔබ කියන්නේ කෙසේද ? ඔබට භාෂණයේ අයිතිය තිබේ කියා ඔබට හිතෙන හිතෙන ලියන්ඩ ඇහැකි. නමුත් එක සාධාරණද. පොඩ්ඩක් කල්පනා කොරල බලන්ඩ.

    රටේ නීතියට අනුව අර යකා රිමාන්ඩ් එකේ ඉන්නවා. පහුගියකාලේ ජොනී රිමාන්ඩ් එකේ හිටිය. අන්තිමේ නිදහස් වෙලා ගෙදර ගියා. කවුරුවත් බ්ලොග් වල සද්දේ දැම්මද ජොනී නිදහස් කරනු කියල. නෑ නේ. ඒ විදියටම සත්කුමාර නිවැරදි නං උසාවියෙන් ඒක බේරගන්ඩ ඇහැකි. නැත්තං ඊළඟට ඇපීල් කෝට් එකටත් අනතුරුව සුප්‍රීම් උසවියටත් යන්ඩ ඇහැකි. අපි වෙරි වෙන්ඩ කියල මීතයිල් ඇල්කොහොල් කොච්චර තිබ්බත් බොන්නේ නැහැනේ.

    ජයවේවා
    Myself Hattor

    Like

    • සියලු බෞද්ධයන්ට ආවේණික වූ හැසිරීම් සහ ආකල්ප නැති තරම් ය. මේ කතා කර ඇත්තේ දැන් සමාජයේ පවතින පොදු තත්වය ගැනයි.
      බුදුන් යනු සංකල්පයකි. මනුශ්‍යයකු නොවේ. සංකල්ප වලට අපහාස කල නොහැක.
      මා බෞද්ධයන් ගැන කියා ඇති අදහස නිවැරදි බව නිරතුරුවම බෞද්ධයන් විසින් ඔප්පු කරමින් සිටින නිසා මා කියා ඇති කතාව සාධාරණ යැයි සිතමි. බෞද්ධයන්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාප වෙනස් වූ දිනයක මම මගේ අදහස වෙනස් කර ගැනීමට මැලි නොවෙමි.
      රටේ නීතිය යනු විශ්වීය නිරපේක්ෂ සත්‍යයක් නිරූපනය කරනා මිම්මක් නොවේ. එය ගැනද අපට සාකච්ඡා වාද විවාද කල හැක. මේ කරන්නේ එයයි.

      කමෙන්ටුවට ස්තූතියි.
      ඔබටද ජය.

      Like

  5. තැන්කිව්, තැන්කිව් සෑර් ඔබගේ රිප්ලයි එකට.
    ඔබත්, ඔබ පොදුවේ ලෝකය ගැනත් සිතන විදිය අපූරුයි.

    ‘ඕනම සංකල්පීය චරිතයක්… චේදය නැවත වරක් (හෝ කීප වරක්) කියවා බලන්ඩ.
    හරි, ඔබ හරියටම හරි. බුදුන්ගේ ක්‍රියාකාරකියාකම්, දර්ශනය විවේචනය කළ යුතුයි. එය ඔහුත් පවසා තිබේ. මා කියුවා හෝ ඔබේ ගුරුතුමා කීවා කියා ඔබ එය එසේම පිළිගත යුතු නැත, ඔබම හිතා බලා එය තීරණය කරගත යුතුය. ඒ කියන්නේ ඔබ කියන පරිදි බොහොම සීරියස් විවේචනයක් තිබිය යුතුයි. ඇත්තටම නැත්තෙත් එයයි. අඩුම තරමේ එවැනි දෙයකට යොමු කිරීමක් වත් අසන්නට නොලැබේ.

    නමුත් චේදය අවසානයේ ඇති ඇමති කෙනෙක්ගේ දුවගේ ඉස්ටෝරියයි යශෝධරා හෝ චන්නගේ ඉස්ටෝරියයි දෙකම එක නේද. අන්න එතැනදී ‘සත්කුමාර’ ඩබල් ඉර කැපුවා. අන්න ඒකයි වැරදි. සත්කුමාර උපාධිධාරියෙක්. ඔහුට ටිකක් කල්පනා කොරන්ඩ තිබුන. සමහරවිට ඔහු ඕනෑකමින්ම මේ කොන්ට්‍රෝවසී එකට පනින්ඩ ඇති. අඩුම ගන්නේ මට වත් අන්න ඒක භාෂණයේ අයිතිය අවභාවිතාවේ යෙදවීමක්. එය ‘නිරපේක්ෂ නොවූණත්’ රටේ නීතියට අදාළයි . මොලේ පුකේ නං ඉතින් කියන්ඩ තියෙන්නේ කුම්බිලා මාළු කෑවනං ශුක විඳපන් වලලෝ කියලම තමයි.

    අවසානයේ බන්ඩ සෑර් මට කියන්ඩ කවුද මේ ඔබ කියනා ‘බෞද්ධයන්’ කියල. වෛද්‍ය කර්මයේ යෙදෙන්ඩ එයට අදාළ දේ ප්‍රගුණ කොරලා ‘නිරපේක්ෂ නොවූණත්’ සහතිකයක් අවශ්‍යයි, වෙනත් බොහෝ දේටත් එවැනි ප්‍රගුණ කිරීමක් අවශ්‍යයි. මා දන්නා තරමින් බෞද්ධයෙක් වීමට අඩුම තරමේ පන් සිල් වත් රැකිය යුතුයි. ඉතින් ඔබ බෞද්ධයන් කියන්නේ නියම බෞද්ධයන්ටද නැත්නම් ‘බෞද්ධයන් යයි කියාගන්න’ කොට්ටාශයකටද ?. එසේ නං ඔබගේ බෞද්ධයන්ට දී ඇති සැටිපිකෙට් එකත් ඉතාම අසාධාරණයි.

    Man, it is very interesting to be here. I learned a lot and have more questions now.

    සෑර් ඔබට ජයවේවා!
    Myself Hattor

    Like

    • ඔබ අහන ප්‍රශ්නයට උත්තරය තමයි මම මහත්මා ගාන්ධි ගැන උදාහරණයක් දීලා සටහනේ පැහැදිලි කලේ. සමහර විට මගේ අදහස් ඉදිරිපත් කිරීම එච්චර සාර්ථක නැතුව ඇති. මම ආයෙ උත්සාහ කරන්නම්. ගෞතම බුදුන්, ජේසුස්, මහම්මද් වැනි අයගේ චරිත මෙන්ම මහත්මා ගාන්ධි, ඕෂෝ වගේ අයගේ චරිත මම සහ ඔබ, මගේ අම්මා සහ ඔබේ පියා වගේ චරිත වලින් වෙනස්. මොකද අර කලින් කිව්ව චරිත, කාලයක් තිස්සෙ ගොඬනඟන ලද සංකල්පීය (දේවත්වයට හෝ අසාමාන්‍යය උසස් තත්වයකට) ඔසවන ලද චරිත. ඒ වගේම ඔවුන්ගේ ඒ අසාමාන්‍යය/දේවත්වයට ඔසවනු ලැබූ/විශාල ප්‍රතිරූප නිසා ඒ චරිත වටා විශාල සංඛ්‍යාවක ජනයා එකතු වෙලා ඉන්නවා. ඒ අනුව ඒ ජනයා තුළ ඒ සංකල්පීය චරිත හරහා දේශපාලන බලයක් ගොඬනැගෙනවා. එතකොට බුදුන්ගේ හෝ ගාන්ධිගේ හෝ මුළු ජීවිතයම ගැන ප්‍රශ්න කිරීම, ඔවුන්ගේ ක්‍රියාකලාපයන් වලට තමන්ගේ අර්ථකතන දීම හරහා අර ජනයා තුළ ගොඬනැගිලා තියෙන “අසාමාන්‍යය/දේව ප්‍රතිරූපයට” අභියෝග කරන්න පුළුවන්. ඒ වගේ සමාජයට බලපාන සංකල්පීය චරිත වලට මට සහ ඔබට අදාල වන පෞද්ගලිකත්වය පිළිබඳ රීති අදාල නොවිය යුත්තේ ඒ නිසයි. මම අනියම් සම්බන්ධයක් පැවැත්වීම සමාජයට අදාල කාරණයක් නෙමේ, ඒක මගේ පුද්ගලික කාරණයක්. නමුත් ගාන්ධි අනියම් සම්බන්ධයක් තියන් හිටියා නම් ඒක එහෙම නෙමේ. පැහැදිලි ඇතැයි හිතනවා.

      යම් කලාකාරයෙක් තමා ජීවත් වන සමාජය තුළ ආන්දෝලනයක් ඇතැයි සිතන නිර්මාණ කිරීම හෝ කෙනෙක් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීම ඔහුගේ අයිතීන් වාරණය කරන්නවත් ඔහුට හිංසා අපහාස කරන්නවත් නිදහසට කාරණයක් නෙමෙයි. දැන දැනම තමා ජීවත් වන සමාජය පිළිනොගන්නා ආකාරයේ අදහස් සාකච්ඡා කල එකට සොක්‍රටීස් වැරදිය කියා සිහි කල්පනාවෙන් යුත් කවුරුත් කියයි කියල මම හිතන්නෙ නෑ.

      සැබෑ බෞද්ධයා කවුද කියන එක එක එක්කෙනාට අනුව පිළිතුරු වෙනස් වෙන්න පුළුවන් විවාදාත්මක ප්‍රශ්නයක්. මම මේ සටහනේ බෞද්ධයන් කියල අදහස් කලේ තමන්ව බෞද්ධයන් කියල හඳුන්වා දෙන ලංකාවේ වෙසෙන පොදු ජනයා කියන සරල අදහසින්.

      මේ කමෙන්ටුවේ අපහැදිලි තැන් හෝ තව අමතර ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

      Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s