වන්දනාවේ යමු පෙවීලා තිසරණ සීලේ

දිනක් මගේ මිතුරෙක් මා හමුවීමට පැමිණියේ වැදගත් කතාවක් මාත් සමඟ කීමට ඇතැයි පවසමිණි. වෙනදා මුහුණේ ඇති සැහැල්ලු විනෝදජනක ස්වභාවය වෙනුවට බැරෑරුම් බවක් ආරූඩ වුනු ඔහුගේ මුහුණ දුටු මම එවැනිම විලසකින් කාරණය කුමක්දැයි විමසා සිටියෙමි.

“ශ්‍රී.. අපි හැම අවුරුද්දෙම අනුරාධපුරේ යනවනෙ, වන්දනාවට. එන කට්ටියගෙ නම් ලිස්ට් එක දැන්ම හදනවා. යන දින දවස් මම අද දවස ඇතුළත කියන්නම්. මොකද කියන්නෙ, එනවද උඹ?”
මගේ නිර්-ආගමික භෞතිකවාදී ආකල්ප ගැන මේ මිතුරා තවම නොදන්නවා විය යුතුය. කෙසේ වුවද රාජකාරී ස්ථානයේ මෙවැනි සුහද ආරාධනාවක් ආ විට එකවර ප්‍රතික්ෂේප කිරීමට වඩා ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වීම යෙහෙකියි සිතූ මම ගමන ගැන වැඩිදුර විස්තර විමසුවෙමි.

“ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය….. අටමස්තානෙම වඳිනවා..” කියූ මිතුරා මට මේ මොහොතේ නිච්චියටම මතකයේ නැති නමක් කියමින් (සිවුරු පූජාව?) රුවන්වැලිසෑය වටේට සිවුරක් ඔතන බව කීවේය (ඔහුට අනුව එය මහා පින්කමකි).

කෙසේ හෝ මා ඔවුන් සමඟ වන්දනා ගමනට සහභාගි වූයේ නැත. මට මිතුරාගෙන් මේ ආරාධනය ලැබී මේ ලියන මොහොත වන විට වසරකට කිට්ටුය. නමුත් වෙනත් අවශ්‍යතාවයක් උදෙසා මීට මාස දෙකකට පමණ කලින් දිනයක අනුරාධපුරයට ගිය මම, මගේ මිතුරා කියූ සිවුරු පූජාවක් කෙරෙන ආකාරය දැකගතිමි.

මගේ මිතුරා මට වන්දනා ගමන සඳහා ආරාධනා කල අවස්ථාවේ, ගමන යාමට මා තුළ පෙළඹවීමක් ඇති කරන අදහසින් ගමන සඳහා සහභාගී වන අනෙක් පිරිසේ නම් ද මා සමඟ කීවේය. ඔහු මා වෙතින් ඉවත්ව ගිය පසු මා සිතේ නැඟුනේ ප්‍රශ්නයකි.

වන්දනා ගමන යාමට සැදී පැහැදී සිටිනා සියල්ලන් මම හොඳින් දන්නා හඳුනන අයයි. මෙච්චර දුරකතර ගෙවාගෙන වන්දනාගමන් ගියද, ඔවුන් තුළින් මම විශේෂ ධාර්මික හැසිරීම්වත්, විශේෂ නිවුන බවක්වත්, ඉවසීමක්වත්, පරිනතබවක්වත් දැක නැති බව මට සිහිවිය. ඔවුන් තුළද දක්නට ලැබුනේ ආගමට එතරම් බරක් නොදෙන අයගේම හැසිරීම්ය. සමහර වෙලාවල් වලට ඊටත් වඩා නරක හැසිරීම්ය.

ඔවුන් බොහෝමයක් දෙනා විවේකයක් ලද සැනින් තැන් තැන් වල එකතු වී ඕපාදූප කතා කරයි, අනෙක් අයව දැඩි විවේචනයට ලක් කරයි, එයින් මහත් රසවින්දනයක්ද ලබයි , අන් අයට ඊර්ෂ්‍යා සහගත කතා කියයි, එකිනෙකා සමඟ රණ්ඩු නෝක්කාඩු පටලවාගනියි. වන්දනා නඩයේ තරුණයන් සැලකුවහොත් ඔවුන්ද අනාගමිකයන් සේම මත්පැමින් සප්පායම් වෙයි, කෙළිලොල් ජීවිත ගත කරයි. ඔවුන්ගේ හැසිරීම් තුළද මහා ලොකු ධාර්මිකත්වයක ඡායාවක්වත් නැත. නමුත් මේ පිරිස හැම වසරේම වන්දනා ගමන් නම් යයි. (මේ පිරිස පමණක් නොව, අනුරාධපුර වැනි නගර වලට වාරිෂිකව ගොස් අතිවිශාල පින් දහම් කරන්න පෙළඹෙන, විශේෂයෙන්ම කතරගම වන්දනාගමන් යන අය ටද මේ කාරණාව පොදුය කියා සිතමි).

මෙවැන්නන් තුළ ඔවුන්ගේ ආගම් විසින් මිනිසුන් මත ඇති කිරීමට අපේක්ෂා කරන ශික්ෂණයත් දක්නට නොලැබේ නම්; ඔවුන්ගේ ජීවන රටාවෙන්, හැසිරීමෙන්, ආකල්ප වලින් අනාගමිකයන්ගෙන් වෙන්වූ කැපී පෙනෙන වෙනස් කම් නොපෙන්වයි නම් ඔවුන් මෙපමණ ආගමට දහම හා සම්බන්ධ පූජා කටයුතු වලට ලැදි බවක් දක්වන්නේ ඇයි? මෙච්චර දුර කතර ගෙවාගෙන වන්දනාවේ යන්නේ කුමන හේතුවකටද?

මෙවැනි වන්දනා ගමන් වෙනුවෙන් මුදල් හදල් වැය කරන්නේ වැඩිවශයෙන්ම බෞද්ධ-කතෝලික මධ්‍යයම පාන්තිකයන්ය. ලංකාවේ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වන මේ පිරිසට විශේෂ වූ ලක්ෂණ දෙකක් මා දකිමි. (1) ලෝකයම තමාව සහ තමා ගොඩගසාගෙන ඇති වස්තුව විනාශ කරගැන්මට බලාගෙන සිටිනවාය කියා මහා අනියත බියකින් පසුවෙයි. (2) ලෝභ කමින්, කුම්මැහි කමින් අනුන්ට මොන උප්පරවැට්ටියක් හෝ දමා ධනය සහ වස්තුව ගොඩගසා ගැනීමේ උවමනාවෙන් පෙළෙයි.

මොවුන් දවසේ හැම තත්පරයක්ම ගෙවන්නේ කොයි මොහොතක හෝ තමන්ට හෝ තමන්ගේ පවුලේ කෙනෙකුට ලෙඩ රෝගයක් වැළඳේදෝ කියා බියෙනි. කොයි මොහොතක තමන්ට අභාග්‍යයක් වේදෝ කියා බියෙනි. කොයි මොහොතක හෝ තමන් අමාරුවෙන් ගොඩගසා ගන්නා වස්තුව අහිමි වේය කියා බියෙනි. මොවුන් තමාගේ අල්ලපු ගෙදර ජීවත් වන මිනිසුන්ගෙන් පටන් ගෙන ගම් වැසියන් පමණක් නොව මලගිය හොල්මන් භූතයන් පවා තමන්ට විපත් පැමිණවීමට බලාගෙන සිටින කුමන්ත්‍රණකාරයන් සේ දකිති. ඉන් බිය වෙති. ඉතින්, ගස් ගල් සරණ පතා ගොස් සිවුරු ඔතති. දස දහස් ගණනින් මල් පලතුරු පූජා කරති.

ඉන් නොනැවතී තම අනාරක්ෂිත මනසෙන් තමාටම බේරීගත නොහැකිව වාහන වල දෙහි-මිරිස් එල්ලයි. ගෙවල් වල ආරක්ෂාවල් කර වත්ත හතර මුල්ලේ හා බිත්ති මුලු වල බෝතල් වලලයි. මාස පහ හයකට වරක් කේන්දර කොපි උස්සන් රට වටේ ඉන්නා කපටින් පසුපසු දුවයි. ඔවුන්ට රැවටී ලක්ෂ ගණන් වියදම් කොට බලි තොවිල් නටයි. වාලම්පුරි, ෆෙන්ෂුයි මිලට ගනියි. නිවසට ඇතුල් වෙද්දීම පෙනෙන්නට බුදුපිළිමයක් තබයි. ඊට පසකින් සරස්වතී, විෂ්ණු, ඝන යන එකී මෙකී නොකී දෙවිවරුන්ගේ පිළිම වලින් පුරවයි. නිවසින් පිටට අඩියක් තියන මොහොතක් මොහොතක් ගානේ බුදුපිළිමයට වඳියි. තමාව ආරක්ෂා කරදෙන්නය, තමාගේ සිතුම් පැතුම් ඉටුකර දෙන්නය ඉල්ලයි. බෙල්ලේ යන්තර මන්තර එල්ලා ගනියි. දේවාල ගානේ දුවයි. දෙහි කපයි. පිරිත් නූල් ඔතාගනියි. සුර දමයි. තමන් ඉල්ලන දෙයක් ලබා දෙන්නේය කියනවා නම් ඕනෑම අසූචි ගොඩකට වුවද හඳුන්කූරු ගසා ඔලුවේ තියාගෙන ගොස් බිම දිහා වී වන්දනාමාන කරයි.

මේ අනාරක්ෂිත බවෙන්, බියෙන් මිදීමට රටේ ඉන්නා ඕනම කපටියෙක් කියනා ඕනම දෙයක් මුදල් වියදම් කරමින් එකපයින් කරන්නේ හිස් ගෙඩි ඇතුළේ මොළ නැති මුග්ධයන් විලසිනි.
දවසේ පැය විසිහතරම බියෙන් පසුවන මේ පිරිසය, වසරකට දෙතුන් වතාවක් දහස් ගණනින් ඉන්දන වලට වියදම් කරගෙන, පූජා නගර වලට ගොස් දස දහස් ගණනින් මල් පහන් පූජා කරමින්, බාර හාර වෙමින්, ඔප්පු කරමින් තමන්ගේ අනියත බිය වෙනුවෙන්, තම මනසේ අනාරක්ෂිත බාවය වෙනුවෙන් පුද පූජා පවත්වන්නේ.

නිරතුරුවම තම සිත පෙළන අනියත බියෙන් බේරීමට අමතරව මොවුන් දෙවිදේවතාවුන් පස්සේ දුවන අනෙක් හේතුව නම්, වස්තුව ගොඩගසා ගැනීමේ උවමනාවයි. මොවුන්ට ඇත්තේ අනන්‍යයන් ඉදිරියේ ධන වස්තූන් ගොඩගසා කැපීපෙනීමට ලක්වී සමාජයේ ගරු නම්බු දිනා ගැනීමේ අරමුණයි. ලෞකිකත්වයට සිරවී, ආධ්‍යාත්මයෙන් ඈත් වී, මුදල් හදල් පසුපස ගාල කඩාගත් හරක් සේ දුවනා මොවුන් සිය ආගමික ශාස්තෲවරුන් පාවිච්චි කරන්නේ තමන්ට රිසි දේ ඉල්ලා ගැනීමට සිටිනා අදෘෂ්‍යයමාන ඒජන්තවරුන් ලෙසිනි. සරල භාෂාවෙන් කියනවා නම් මොවුන්ට තම ආගමික ශාස්තෲවරුන් යනු, ඇලඩින්ගේ පුදුම පහනේ සිරවී සිටිනා භූතයා වැනි තමන්ට සිතූ පැතූ සම්පත් දිනා දීමට සිටිනා භූතයන්ය.

තමන්ට අවැසි අලුත්ම පන්නයේ මෝටර් රථයේ සිට, දුවගේ/පුතාගේ විවාහ මංගල්ය තරුපහේ හෝලයක ගැනීමේ සිට, විභාග සමත් වීම දක්වා අනේක විද දේ ප්‍රාර්ථනා කරමින් ගස් ගල් ඉදිරියේ බිම දිගා වෙති.

ඇත්තවශයෙන්ම බැලූ කල මොවුන්ට උවමනා ධාර්මිකත්වයක් නැත. ශික්ෂණයක් නැත. සියලු ආගම් වලින් තමන්ගේ ලෞකික ජීවිත වලට පනවන සීමා නොසලකා හරිමින් ආගම් වලින් ලබා දෙන සහන පමණක් තෝරාගන්නා මොවුන් ආගමික සිද්ධස්ථාන සහ සංකේත සලකන්නේ තමන්ට සිතූ පැතූ දේ ලබා දෙන කප් රුකවල් ලෙසිනි.

“ඉතින් ඒ මිනිස්සු දෙවියන්ගෙන් යමක් ඉල්ලගෙන පාඩුවේ බාරයක් හාරයක් වෙලා හිටියම වෙන හානියක් තියෙනවද?” කෙනෙක් තුළ මේ පැනය නැඟෙන්නට පුළුවන.

ආගම වැඩිය සීරියස් නොගන්නා, ආගම යනු තම ලෞකික දිවිය ගොඩදාගැනීමට ඇති උපකරණයක් ලෙස සලකන මෙම පිරිස මුළු සමාජයක් විදියට Dogma’s ආරක්ෂා කරන අයයි. ඔවුන් තමාට සැනසීමක් ලැබේ නම් ඕනෑම මිත්‍යාවක් කරේ දමා ගැනීමට පසුබට නොවෙයි. මුළු සමාජයම, රටම බුද්ධිමත්ව සිතීමට නොහැකි ලෙහෙසියෙන් රැවටෙනසුළු මිත්‍යාදෘෂ්ඨිකයින්ගෙන් ගහන වන අතර එවැනි මෝඩයන් රවට්ටන කපටින්ගෙන් පිරීයයි.

ඒවගේම මොවුන් තමාගේ ආගම, සහ ආගම ආශ්‍රිතව ගොඩනැගී ඇති මිත්‍යාදෘෂ්ඨීන් විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ෂා කරන අතර, ඒ ආරක්ෂා කිරීම තුළ ආගමික අන්තවාදීන්ට රිසි සේ හැසිරීමට වේදිකාව නිර්මාණය කරනු ලබයි. අන්තවාදය පෝෂණය කරනා දෘෂ්ඨීන්ට එරෙහිව එල්ලවන බුද්ධිමය විවේචනයන්ගෙන් අන්තවාදය පෝෂණය කරනා දෘෂ්ඨීන් ආරක්ෂා කරන්නේ මෙම පිරිසයි. සරලවම කියන්නේ නම්, ආගමික අන්තවාදීන්ට අවැසි වේදිකාව සකසන්නේද, ඒ වේදිකාව උසුලන දෘෂ්ඨිය විවේචනයෙන් සුරකින්නේද, බියෙන් සහ තණ්හාවෙන් ඒ දෘෂ්ඨීන් බදාගෙන ඉන්නා එලොවටත් නැති මෙලොවටත් නැති මේ පිරිස විසිනි. (මොවුන්ව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ Religious Moderates ලෙසිනි)

නමුත් මේ තණ්හාකාරයන්ට නොතේරෙනා ඉතා වැදගත් කාරණාවක් ඇත. එක, මොවුන් බුද්ධිමය අතින් අඳබාලයෝය. තමන්ගේ මානසික අවශ්‍යයතා උදෙසා වෙනම ෆැන්ටසිකමය යථාර්තයක් නිර්මාණය කරගෙන ඒ තුළ වෙසෙනා පෞරෂ හීනයන්ය. දෙක, මොවුන් තම තමන්ගේ ආගමික පැත්තෙන් ගත්තත්, මුළුමනින්ම වාගේ අසාර්ථකය. හැම ආගමකින්ම නිර්දේශ කරන්නේ තම ආගමික ඉගැන්වීම් අකුරටම පිළිපැදගෙන, මුළු ජීවිතයම ආගමෙන් යෝජනා කරන අවසන් ඉලක්කය ළඟා කරගැන්ම උදෙසා කැපකරනා ජීවන රටාවකි. ඉතින්, මේ පිරිස ඒ අතින්ද උඩින්ම අසමර්ථය. ඔය ආගම් වලින් උගන්වන, ආගමානුකූලව ජීවත් නොවූවන්ට අවසානයේ හිමිවන දඬුවම් වලට (අපාය, දුකින් පිරුණු ඊළඟ උපත්) ආගම් විවේචනය කරනා පිරිස් වලටත් වඩා සුදුසුකම් ලද්දෝ, මේ පිරිස වෙති.

ඉතින්, ඊළඟ වර කතරගම වන්දනාවට යන තම නෑදෑ හිතමිතුරන් ගැන දැනගත් විට, මේ සටහනේ සඳහන් කරුණු කාරණා ගැන මෙනෙහි කර බලන්න. ඔවුන් තරම් තම ජීවිත වල උවමනා එපා කම් උදෙසා නිර්ලජ්ජිතව දෙවියන් බුදුන් හෝ වේසකමේ යවනා හෘද සාක්ෂියක් නැති ආත්මාර්ථකාමී අමනයන් පිරිසක් තවත් නැති බව ඔබට වැටහෙනු ඇති.

Advertisements

2 thoughts on “වන්දනාවේ යමු පෙවීලා තිසරණ සීලේ

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s