මොහොතින් මොහොත, නිමේෂයෙන් නිමේෂය

කාලයකට පසු හමුවූ මිතුරෙකු සමඟ මම, තවත් මිතුරන් කිහිප දෙනෙකු මුණ ගැසීමේ අරමුණින් දෙහිවල කරා ගමන් කරමින් සිටියෙමි. ඔහු රථය පදවමින් සිටි අතර මා සිටියේ වම් පස අසුනේය. ඔහු, මාත් සමඟ කතාබහ කරනවාට වඩා පාරේ අනෙක් වාහන වලින් ගමන් කරනා වෙනත් පුද්ගලයන් සමඟ කථා කරමින් යන බව මම සෑහෙන වෙලාවක සිට නිහඬව නිරීක්ෂණය කලෙමි.

“පොඩ්ඩක් ඉන්න..හදිසි වෙන්න එපා…” විටෙක ඔහු හිමීට කියයි. “ඉන්න ඉන්න.. ඉන්න.. දාන්න එපා හරකා වගේ…” තවත් විටෙක කේන්තියෙන්, ටිකක් උස් හඬින් කෑගසයි.

මේ කිසිවක් ඔහුගේ අනෙක් පස සිටින මට හැර වෙනත් කිසිවෙකුට ඇහෙන්නේ නැත. ඇත්තටම, වෙනත් කෙනෙකුට උපදෙස් දෙමින්, ඔහු කතා කරන්නේ ඔහු සමඟම ය. එකවරම, හදිසියේ ඔහු අපේක්ෂා නොකල අන්දමට වාහනය ධාවනය කිරීමක් නිසා “මුගෙ අම්මට…” කියා කෑගසා, අපට ඉදිරියෙන් යන වාහනයක් පසුකිරීමට ඉතා වේගයෙන් ගමන් කලේ “බලහන් මචන්, කාලකණ්ණියා.. දෙන්නම්කො අද ඕකාට..” කියමිනි. “මචන් හිමින් යමන්. ඌ ගියදෙන්.. අපිට කොහොමත් වෙලා වැඩියිනෙ. ගිහින් අරුන් එනකල් බලන් ඉන්න වෙයි” මම පැවසුවෙමි. මගේ මිතුරා “ඌට දීම” යනුවෙන් අදහස් කලේ වේගයෙන් ගොස් අපට ඉදිරියෙන් ගිය වාහනය පසු කර යාමය.

තවත් අවස්ථාවක වාහන තදබදයක හසුවූ අප, විනාඩි කිහිපයක් එක තැන අඩියෙන් අඩිය ගමන් කරන්නට සිදුවූ අවස්ථාවක මගේ මිතුරා ඉතා අපහසුතාවයෙන් වාහනයේ steering wheel එකට තට්ටු කර කර මැසිවිලි කියවන්නට විය.

මෙවැනි අත්දැකීම් ඕනෑ තරම් මේ සටහන කියවන ඔබටද ඇති බවට සැක නැත. සමහර විට, ඔබද මගේ මිතුරා මෙන් වාහනය පැදවීමේදී පොඩ්ඩ ඇත්නම් කෝප ගන්නා අයෙකු විය හැක.


මා පාසල් වියේදී, එනම් මගේ වයස අවුරුදු 17-18ක් පමණ කාලයේදී, දිනක් මට මගේ නැන්දා කෙනෙකු හා කොහේදෝ ගමනක් යන්නට සිදුවිය. බස් රථය එනතුරු අපගේ නිවස ඉදිරිපිට මා සමඟ සිටි මගේ නැන්දා විටින් විට පාර දෙසට ගොස් ඈත බලමින්, නැවතත් ගේට්ටුව ළඟට පැමිණෙමින්, මාත් සමඟ බස් රථය පරක්කු වීම ගැන මැසිවිලි නඟමින්, නැවතත් පාර දෙසට යමින් අවසානයේ බස් රථය පැමිණෙන තුරු විනාඩි දහයකටත් වඩා ගත කලාය.

මට එවෙලේ සිතුන දෙය ඒ විදියටම සමන්තභද්‍ර හාමුදුරුවන් දේශනාවකදී පැවසූ බව මගේ මුහුණු පොතේ මිතුරෙකු පළ කර තිබුන බව මේ මොහොතේ සිහිවේ.

“පාර දිහා බලාගෙන උඩපැන පැන මැසිවිලි කිව්වාට බස් එක එන එක ඉක්මන් වෙන්නෙ නෑනෙ. ඒ ඉන්න ටික සැනසිල්ලේ ඉන්න. බස් එක ආවාම නැගලා යන්න”

මට ඒ වෙලේ සිතුනේ එවැනි අදහසකි. සමන්තභද්‍ර හාමුදුරුවන්ද, ඒ හා සමානම කථාවක් කී බව මුහුණු පොතේ මිතුරා කියා තිබුනි.


අපගේ ජීවිතයේ දිනයක් සැලකුව විට, අප අකමැති අන්දමට කටයුතු සිදුවීම නිසා අප කොපමණ නම් කරදරකාරී සිතින් කල් ගත කරනවාද? අප සිත තුළ නිතර ඇති වන ඉච්ඡාභංගත්වය, නොසන්සුන් බව වැනි හැඟීම් ඇති වන්නේ සැබවින්ම ඒ හැඟීම් ඇති කර ගැනීමට තරම් වන සිදුවීම් හේතු කොටගෙනද?

බස් රථය එන තුරු ඒ මොහොතේ සැනසිල්ල නැති කරගත් නැන්දාගේ ඉච්ඡාභංගත්වය හෝ නොසන්සුන් වීම නිසා බස් රථය පැමිණීම ඉක්මන් වුනාද? වාහන තදබදයේ සිරවී සිටි මගේ මිතුරාගේ කෝපයෙන්, වාහන තදබදය පහව යාමට බලපෑමක් වේද?

අප එකිනෙකාගේ ජීවිතයේ ස්වභාවය ගැන මඳක් නැවතී කල්පනා කල විට, අපට පෙනී යන දෙය තමයි අපට ජීවත් වීමට ඇත්තේ මොහොතින් මොහොත බව. අප ජීවත් වෙනවාය කියන්නේ මේ මොහොත තුළ, මේ ගෙවීයන නිමේෂය තුළ අප ලබන අත්දැකීම බව. අතීතය, මේ වර්තමාන මොහොතේ අපගේ සිත තුළ හටගන්නා මතකයක් වෙද්දි අනාගතය, මේ වර්තමාන මොහොතේ අපගේ සිත තුළ හටගන්නා අපේක්ෂාවක්. ඒ අතින් බැලුවාම අපට ඇත්තේ මේ මොහොත පමණක් නොවේද? මේ නිමේෂය පමණක් නොවේද?

අපට ඇති එකම දෙය වන මේ මොහොත, මේ නිමේෂය, ගත කරන්නේ කෙසේද කියන ප්‍රශ්නයයි ඔබත් මමත් ඇතුළු අප සැම ඉදිරියේම ඇත්තේ. ඔබේත් මගේ ජීවිතයේ යථාර්තය තමයි, අපේ ජීවිතය අපි නොදන්නා කොයි මොහොතක හෝ කෙළවර වන්නට නියමිත බව. ඔබගෙයි මගෙයි පමණක් නොවේ, ඔබත් මමත් ආදරය කරන සියල්ලන්ගේම ජීවිත කොයි මොහොතක හෝ කෙළවර වන්නට නියමිත බව. ඉතින්, කොයි මොහොතේ කෙළවර වේද කියා නොදන්නා ජීවිතයක් ගෙවනා අප, අප සතු එකම දෙය වන මේ මොහොත, අපගේ පාලනයෙන් තොර දෙයක් ගැන වදවීම නිසා අපහසුතාවයෙන්, වේදනාවෙන්, කෝපයෙන් ගත කිරීම අප තේරුම් ගන්නේ කෙසේද? මඳක් සිතා බලන විට, එවැනි හැසිරීම් අපට තේරුම් ගත හැකිද?

සමහර විට ඔබ, ඔබගේ ජීවිතයේ යම් ප්‍රශ්නයක පැටලිලා ඇති. සමහර විට ඔබ රැකියාව කරන තැන, සමහර විට ඔබේ නිවසේදි, සමහර විට ඉටු කරගැනීමට අපහසු යම් අවශ්‍යතාවයක් නිසා, එහෙමත් නැත්නම් සමහර විට මගේ මිතුරා සේම ඔබත් වාහන තදබදයකට හසුවී වික්ෂිප්තව සිටිනවා වෙන්න පුළුවන්.

ඔබට ඔබ මැදිවී සිටිනා ප්‍රශ්නය පාලනය කල හැකිද? එහෙනම් ඒ දේ කරන්න. ඒ දෙය කරන්න සැලසුම් කරන්න. සැලසුම් කර ඇත්නම් ක්‍රියාත්මක කරන්න. නමුත්, ඔබගේ ප්‍රශ්නය ඔබේ පාලනයෙන් තොරද? අඩුම ගානේ, මේ මොහොතේ ඔබට ප්‍රශ්නය විසඳීමට කල හැකි දෙයක් නැතිද? එසේ නම්, ඔබට ඇති මේ මොහොත ඔබේ පාලනයෙන් තොර ප්‍රශ්නයක් නිසා කනස්සල්ලට බිලිදී නැති කරගැනීමේ ඵලය කුමක්ද?

ඔබේ කනස්සල්ල සහ ඔබේ ප්‍රශ්නයට විසඳුමක් ලැබීම අතර සම්බන්ධයක් නැති බව තේරුම් ගැනීම වැදගත් නොවේද? ඔබේ කනස්සල්ල නිසා ඔබේ ප්‍රශ්නයට විසඳුමක් ලැබීම කෙසේ වෙතත් ඔබේ අවට ජීවත් වන ඔබ ආදරය කරන, ඔබට ආදරය කරන අයගේ ජීවිත නම් දුකෙන් කණගාටුවෙන් පිරී යනු ඇත. ඔබේ ආකල්පය ඔබට ඇති ප්‍රශ්නයට බලපෑමක් නොකලත්, ඔබේ ආකල්පය ඔබේ ප්‍රියයන්ගේ හැඟීම් වලට නම් අනිවාර්යෙන් බලපෑම් කරනු ඇත.

මොහොතක් නැවතී සිතන්න.

මේ මොහොතේ, ඔබ හොඳ පියවි සිහියෙන් සිටිනවා. බොහෝ විට මේ සටහන කියවන සියල්ලන් , නැත්නම් මේ සටහන කියවන කිහිපදෙනෙක් හැර අනෙකුත් අය තමාගේ අත පය හතර ඇතිව, සාමාන්‍යය නිරෝගීව සිටිනවා. මේ මොහොතේ, ඔබට දැනෙන ආකාරය සිතා බලන්න. ඔබ ගෙවන්නේ, ඔබට කවදා හෝ මුහුණ දීමට සිදුවන ඔබගේ ජීවිතයේ අවසාන දවස නොවේ. අවසාන තත්පර කිහිපය නොවේ. ඔබේ අත් වලට, නාසයට සේලයින් බට ගසා, ඔබව මැෂින් එකකට සම්බන්ධ කල මොහොතක් නොවේ ඔබ ගෙවන්නේ. ඔබ ඉන්නේ අත පය පණ නැතිව රෝහලක ඇඳක නොවේ. ඔබේ මව, පියා, සැමියා, දරුවන් බොහෝ විට නිරෝගී සුවයෙන් ඉන්නවා ඇති.

මෙයයි ඔබේ ජීවිතය. ඔබට ගත කරන්න හම්බෙන එකම ජීවිතය. මේ මොහොතයි ඔබේ ජීවිතය. තව මෙවැනි මොහොතවල් කීයක් ඔබ සතුව ඇත්ද, ඔබ ආදරය කරනා අය සතුව ඇත්ද කියා නොදැන ගෙවන ඔබේ ජීවිතය මෙයයි. අස්ථීර වූ ඔබේ ජීවිතය ගැන ඔබට සහතික කොට කිව හැක්කේ එකම එක දෙයක් පමණයි. ඒ, ගත වන මේ මොහොත ඔබට නැවත නොලැබෙන බව පමණයි !

මේ ලෝකයේ කීයෙන් කීදෙනෙක්ට අද දවස තුළ, තම පියා.. මව.. බිරිඳ… දරුවා.. මියගිය බවට ආරංචි ලැබෙන්නට ඇත්ද? කීයෙන් කීදෙනෙක්ට අද දවස තුළ අත් පා අහිමි වෙන්නට ඇත්ද? කී දෙනෙක්ට තමා ගොදුරු වූ සුව කල නොහැකි රෝග ගැන පණිවිඩ ලැබෙන්න ඇත්ද? නමුත් ඔබ, කුමක් හෝ වාසනාවකට, ජීවිතයේ කටුක යථාර්තයෙන් ගැලවී, ජීවත් වනවා නොවේද? ඔබ යම් ප්‍රශ්නයකට මැදිවී සිටියත්, ඔබ අඩුම ගානේ ඒ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට සටන් කල හැකි තත්වයක හෝ සිටිනවා නොවේද?

ඔබ යම් ප්‍රශ්නයක සිරවී සිටීම නිසා, ඔබේ ඇඟට අත්වැරදීමකින් වතුර විසිවීමේ වරදට වේටර් වරයාට බැනවදිනවා නම්.. ඔබේ ගුවන්යානය මඳක් පමා වීම නිසා ගුවන්සේවකයාට බැනවදිනවා නම්.. පොඩ්ඩක් වාහනය එහෙ මෙහෙ වීම නිසා තමා ඉදිරියේ යන මිනිසාට පරුෂ වචනයෙක් කෑගසනවා නම්.. පොඩ්ඩක් ඒ ජීවිත ගැන හිතා බලන්න. බොහෝ විට, ඔවුන්ද ඔබ මුහුණ දෙන්නා වැනිම ප්‍රශ්න වලට මැදිව අතරමං වූවන් වීමට වැඩි ඉඩක් ඇති බව ඔබට පෙනී යාවි. ඔවුන්ද දුකෙන්, වේදනාවෙන් මේ නිමේෂය ගත කරනන් වෙන්න ඇති.

මෙවැනි යථාර්තයක ජීවත් වන අපට අත්වැරැද්දකට සිනහවෙන් පිළිතුරු දිය නොහැක්කේ ඇයි? කරුණාවට, දයාවට, සිනහවට නිමන්න බැරි සිතක් තිබෙනවාද?

ජීවිතය කටුක බව ඇත්තකි. ලෝකය අපායක් බවද ඇත්තකි. නමුත්, අප සතුටු විය යුතු, ජීවිතයේ අගය කල යුතු දේවල් වත් අගය නොකරනවා නම්, අපට අපගේ ජීවිත ගැන තබා ගත හැක්කේ කුමන ආකාරයක බලාපොරොත්තුවක්ද?

සැබවින්ම ප්‍රශ්න කියන්නේ මොනවාද? අපි ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්නේ මොනවාද කියන එක ගැන අපි සෑහෙන හිතන්න අවශ්‍යයි.

දිනපතා බොන්න වතුර පොදක් නැතුව මියයන දරුවන් දහස්ගනනක් සිටිනා ලෝකයේ,

ඔබට දුරකතන ඇමතුමක් ගැනීමට අවශ්‍ය වෙලාවේදී ෆෝන් එකේ බැටරිය බැස තිබීම ප්‍රශ්නයක් ද? ඔබේ පෙම්වතා ඔබේ උපන්දිනයට සුභපැතීමට අමතක වීම ප්‍රශ්නයක් ද? කාර්‍යාලයේ මිතුරියක්/මිතුරෙක් ඔබට විරුද්ධව කේලාම් කීම ප්‍රශ්නයක් ද? ඔබේ පීසා ඩිලිවරි එක පමා වීම ප්‍රශ්නයක් ද? සිංහල අවුරුද්දට/නත්තලට තමාගේ පියා සතුව තමාට ඇඳුම් අරන් දීමට මුදල් නොමැතිවීම ප්‍රශ්නයක් ද? විනාඩි 20ක් වාහන තදබදයේ සිරවී සිටීමට සිදුවීම ප්‍රශ්නයක් ද? බිරිඳ අතින් කෑම එකට ලුණු මදී වීම ප්‍රශ්නයක් ද?

ඔබ සතු එකම දෙය වන, මේ නිමේෂය ඔබ ගත කරන්නේ කෙසේද? ඊළඟ නිමේෂය ගත කරන්න ඔබ බලාපොරොත්තු වන්නේ කොයි ආකාරයටද? ඔබ සහ ඔබගේ ප්‍රියයා එකට ගත කරන අවසන් දවසක් කවදා හෝ එන බව දැන දැන, ඒ අවසන් දවස අද ද කියා නොදැන ගත කරන මේ දවස තුල ඔබ මේ ලොවටත් වඩා ආදරය කරන ඔබගේ මව, පියා, බිරිඳ, සැමියා, දරුවා සමඟ ගත කරන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ කොයි විදියටද?

මොහොතකට නැවතී සිතා බලමු.


කලක් මාගේ මිතුරා හා එක්ව ලියූ අසම්මත සටහන් අද සිට තනිවම නැවත ලියමි. ඉක්මනින්ම අලුත් සටහන් සමඟින් හමුවෙමු. 🙂

Advertisements

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s